අපට මේ නැති වුණේ පසුව හෝ පුරවන්න බැරි හිඩැසක්

Dharmasena-Pathiraja-1034
අහස්ගව්ව සහ බත්තලංගුණ්ඩුව
February 7, 2018
52
පතී පැතු මතු සිනමාවේ තතු
February 7, 2018
Show all

අපට මේ නැති වුණේ පසුව හෝ පුරවන්න බැරි හිඩැසක්

0112

ආචාර්ය ධර්මසේන පතිරාජගේ අහිමි වීම ශ්‍රී ලංකා ජන සමාජයට පාර්ශ්ව කිහිපයකින් බලපැවැත්වෙනවා. එකක් තමයි ධර්මසේන පතිරාජ කියන සිනමාවේදියාගේ අහිමි වීම. දෙක තමයි ධර්මසේන පතිරාජ නමැති ශාස්ත්‍රාලීය බුද්ධිමතා ගේ අහිමි වීම. තුන ධර්මසේන පතිරාජ නමැති සමාජ ක්‍රියාධරයාගේ අහිමි වීම. හතර තමයි ධර්මසේන පතිරාජ නමැති මිතුරා, හිත හොඳ මනුෂ්‍යයා ඇසුරට ප්‍රිය කරන වැඩිහිටියා මේ ඕනෑම කුලකයක ඉන්න ඉතාම හොඳ ඉහළ මිනිස් ගුණ දහම්වලින් පිරි සාමාන්‍ය මිනිසාගේ අහිිමි වීම.
එතකොට මේ කාරණා හතර මම හිතන්නෙ ලංකාවේ සමාජයට පිරවිය නොහැකි අඩුවක්. සමහර හිස්තැන් තිඛෙනවා අපි ඒවට කියනවා අවකාශ, හිඩැස්. සමහර හිඩැස් පසුව හෝ පුරවන්න පුළුවන්. නමුත් අපට මේ නැති වුණේ පසුව හෝ පුරවන්න බැරි හිඩැසක්. මෙබදු අහිමි වීම් නූතන සාහිත්‍ය සමාජයේ සිදු වෙලා තිඛෙනවා. මම උදාහරණ කිහිපයක් කිව්වොත්, මේ අහිමි වීම සමාන වෙන්නෙ මහගම සේකරගෙ අහිමි වීමට. ආචාර්ය ප්‍රේමසිරි කේමදාසගේ අහිමි වීමට. පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව, මහාචාර්ය සුචරිත ගම්ලත් වගේ අතළොස්සකගේ අහිමි වීම් ගණයටයි මේක වැටෙන්නෙ. ඒවා පස්සේ හෝ පිරවිය නොහැකි දේවල්.
ඒකට හේතුවක් තියෙනවා. ඒ තමයි ධර්මසේන පතිරාජ නිර්මාණය වුණු සමාජ, සංස්කෘතික, දේශපාලන පසුබිම අද්‍යතන ලංකාවේ සිටින කිසිදු ළමයෙකුට හෝ දරුවෙකුට හෝ තරුණයෙකුට නොලැබීම. ඒ නිසා ඒ සමාජ, සංස්කෘතික දේහය නැවත නොලැඛෙන නිසා ඇත්ත වශයෙන්ම එවැනි පුද්ගලයකු බිහි වීමට තිඛෙන ඉඩකඩ නැතුව යනවා. ධර්මසේන පතිරාජයන්ගෙ ළමා වියේ ඉඳ ලා ද්වීතීයික පාසල් අවධිය, ධර්මරාජයේ පාසල් අවධිය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල විශේෂවේදී උපාධිය සඳහා බටහිර සම්භාව්‍ය සාහිත්‍යය තමයි ඔහුගෙ විෂයය වුණේ. ඔහුගේ විශ්වවිද්‍යාල අවධිය සිනමා අධ්‍යක්ෂවරයෙක් විදියට ඔහු ගත කරපු අවධිය මේ කිසිවක් දැන් ඉන්න තරුණයකුට අත්විඳින්න හම්බ වෙන්නෙ නැහැ. ඒ නිසා බිහි වෙන්න ඉඩක් නැහැ. ඒ එක පැත්තක්.
ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ සමස්ත කලා ජීවිතයම ගත්තොත් එහි දේශපාලන දෘෂ්ටිය සහ ඇප-කැප වීම වාමවාදී දර්ශනයක් මත පදනම් වන්නක්. ඊ ළඟ කරුණ හැටියට ධර්මසේන පතිරාජයන්ව යෙදුමකින් හැදින්වුවහොත්, ඔහුව හදුන්වන්න පුළුවන් අපිට සුසමාදර්ශීය මිනිසෙක් හැටියට. එසේ මා ඔහුව හදුන්වන්නෙ ඔහු ජීවත් වූ ලෝක කාලවකවානුවක ක්‍රියාත්මක වූ ඥාන තරංගය වෙනස් කරන්න සමත් වෙච්ච කෙනෙක්. එහෙම ප්‍රඥා තරංගය වෙනස් කරන්න සමත් වෙච්ච කෙනෙක් තමයි සුසමාදර්ශීය මිනිසෙක් ලෙස හදුන්වන්නෙ. අපේ සිනමාවේ දෙවැනි කැරැලිකරු වෙන්නෙ ආචාර්ය ධර්මසේන පතිරාජ. පතිරාජ නියෝජනය කරන ශාස්ත්‍රීය භූමිකා රාශියක් තිඛෙනවා. මේ සියල්ලම එක මිටකට ගත්තත් කෙනෙකුට රන් හුයක් වගේ නොකැඩී පසුතලයේ ගමන් කරන එක්තරා ප්‍රවණතාවයක් දකින්න පුළුවන්. ඒ තමයි පතිරාජයන්ගේ සමස්ත ජීවිතයේම තිඛෙන වාමවාදී ප්‍රවේශය. ධර්මසේන පතිරාජ පිළිබඳව අගැයුම් ඉදිරිපත් කරපු විවේචකයන් ස්ථීර වශයෙන්ම කරුණු දෙකක් දක්වනවා. ඒ තමයි පතිරාජයන් විකල්ප සිනමාවක් බිහි කළ බව. දෙවන කරුණ ඔහු වම් ඉවුරේ ප්‍රබලතම සිනමාකරුවා බව. මේක කරුණු දෙකක් වුණාට ඇත්ත වශයෙන්ම අභ්‍යන්තරිකව ගත්තොත් එකම තැනක තමයි වම් ඉවුර සහ විකල්පය උපදින්නෙ. වම් ඉවුරක් නොවේ නම් ඔහු විකල්ප කල්පනාවකට එන්නෙ නැහැ. ඒ වගේම සම්මත සිනමාවේම හිටියා නම් ඔහු වම් ඉවුරේ සිනමාවක් ගොඩනඟන්නෙ නැහැ. ඒ නිසා මේ දෙක එකිනෙකට සම්බන්ධයි. මේ කරුණු සියල්ල කැටි කරලා ධර්මසේන පතිරාජ නමැති මිනිසා ඒ කලාකරුවා පසුබිමේ තිඛෙන හේතුකාරක කරුණු මොනවද කියලා ඉතා නිවැරැදිවම කියන්න පුළුවනි. පළමුවැනි කාරණය තමයි පවුල, පාසල සහ පෞද්ගලික ජීවිතය පදනම් වෙච්ච ඔහුගේ පසුබිම. දෙවැනි කාරණය තමයි ධෛර්යය සහ වීර්යය. මොක ද? ඒ වකවානුවේ ජීවත් වුණු කෙනෙකුට තිබුණු අපහසුතා, ගැටලූ, සීමා මායිම් මෙතෙකැයි කියා නිම කරන්න බැහැ. ඒ නිසා ඒකට මුහුණ දෙනවා කියන්නෙ පහසුවෙන් කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. තුන්වන කාරණය තමයි, අනවරත හැදෑරීම. මේ අනවරත හැදෑරීම හරි පුදුම එකක්. මේ මොහොත දක්වා ඔහු පුදුමාකාර කියවන්නෙක්. ඒ නිසා ඔහු සිනමාව, කලාව, දේශපාලන දෘෂ්ටිය ජාත්‍යන්තර සහ දේශීය වශයෙන් තුලනාත්මකව හැම තිස්සෙම හදාරන කෙනෙක්. හතරවැනි කරුණ තමයි, පර්යේෂණකාමීත්වය. මේ පර්යේෂණකාමීත්වය නිසාම තමයි පස්වන කරුණට පාර කැපෙන්නෙ. ඒ තමයි තමා පිටුදෙන සම්ප්‍රදායය ඒ ආකාරයෙන් පිළි නොගෙන එය බිඳමින් ගමන් කිරීමට තිඛෙන නැඹුරුව. හයවෙනුව මනුෂ්‍යයාට උචිත නිවහල් ජීවිතයක් සොයා යන ප්‍රාර්ථනය. ඊළඟට තමයි මා හිතන්නෙ මෙන්න මේ කරුණ සඳහා නැත්නම් මේ නිවහල් උතුම් ශිෂ්ටසම්පන්න මනුෂ්‍ය ජීවිතය සොයාගෙන යාම සඳහා අවශ්‍ය කරන දේශපාලන දෘෂ්ටිය සහ කැපවීම. මේ සියල්ලන්ගෙන්ම ආචාර්ය ධර්මසේන පතිරාජ යුක්ත වෙනවා
ඊළඟ කාරණේ තමයි ධර්මසේන පතිරාජ නමැති අදීන දේශපාලන දැක්මක් සහිත පුරවැසියා නැවත හමු නොවීම. මම හිතනවා අදීන චින්තනයක් දෘෂ්ටිවාදයක් සහිත නොසැලෙන මනුෂ්‍යයා තමයි සිනමාව ඇතුළෙත් හැම තැනම ඉන්නෙ. එතකොට වර්තමාන සිනමාව, සිනමාවේ කර්මාන්තමය ස්වරූපය, අධ්‍යක්ෂවරුන්ගේ ස්වරූපය මේ සියල්ල දිහා බැලූවත් පතිරාජගේ වියෝ වීම බරපතළ විදියට අපිට ඉස්සරහට දැනෙයි. ඒක දැනෙන්නෙ මම ඒක සමාන කරනවා මට මතකයි ආචාර්ය කේමදාසගේ වියෝව පදනම් කරගෙන අපි සඳහන් කළා කේමදාසගෙ මරණෙන් පස්සෙ ඕනෑම ශබ්දයක් සංගීතය වීමේ අවදානම තිඛෙනවා කියලා. ඒ කියන්නෙ සංගීතය සම්බන්ධව නිර්ණායක සකස් කරපු අපි අර අපි දෙවියන් විශ්වාස කරන්නෙ නැති වුණාට කෙනෙක් කවුරුහරි ඉහළ ඉඳන් බලාගෙන ඉන්නවා ඇති කියලා හිතාගෙන අපි අපේ චර්යාවන් පාලනය කර ගන්නවනෙ. එතකොට සංගීතය සම්බන්ධව හිටපු සංකේතීය පිතෘවරයෙක් වගේ මහා නිර්දේශපථයන් ආදී ඕනෑම දෙයක් සංගීතය වෙන්න පුළුවන්නෙ. පතිරාජයන්ගේ අහිමි වීමත් එබන්දක්. ඔහුගෙ අහිමි වීමෙන් පස්සෙ සිනමාව සම්බන්ධව මහා පිතෘවරයා වගේ කෙනෙකුගේ අහිමි වීමක් තමයි දැනෙන්නෙ.
ඊළඟට ඔබ දන්නවා ලංකාවේ සිනමාවේ කැරැලි තුනක්. පළමුවැනි කැරැල්ල ආචාර්ය ලෙස්ටර් ෙජ්ම්ස් පීරිස්. දෙවැනි කැරැල්ල ධර්මසේන පතිරාජ තුන්වැන්න ප්‍රසන්න විතානගේ සහ අශෝක හඳගම. එතකොට පළමුවැන්න සහ තෙවැන්න අතරේ තිඛෙන දෙවෙනි සුසමාදර්ශය තමයි මේ බිඳවැටුණේ. ප්‍රසන්න විතානගේලා සහ හඳගමලා විමුක්ති ජයසුන්දර, සංජීව පුෂ්පකුමාර, මාලක දේවප්‍රිය දක්වා තරුණයන්ට බලපාපු ආදර්ශය තමයි ධර්මසේන පතිරාජ. ඔහු තමයි අපේ රටේ බිහිවුණු ඇත්තටම ඉතාම බලගතු දේශපාලනික සිනමාකරුවා. එතකොට මේ පදාසයන් නැවත පිරවිය නොහැකි අඩු. නැවතත් මම තහවුරු කරන්න කැමතියි ධර්මසේන පතිරාජ තුළ අන්තර්ගත වෙලා තිබිච්ච මානක වගයක්. උදාහරණයක් විදියට ඔහු ඉතාම බලගතු විදියට පොත් පත් කියවපු කෙනෙක්. ඔහු විශ්ව සාහිත්‍යය ඉතා ඉහළින් පරිශීලනය කරපු කෙනෙක්. අඛණ්ඩව ලෝක සිනමාව නරඹපු කෙනෙක්. ඔහු දිනපතා අධ්‍යයනයේ යෙදී සිටි කෙනෙක්. එතකොට වර්තමාන චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ අපිට මෙන්න මේ කියන ගුණාංග දකින්න ඉතාම අමාරුයි. එනිසා තමයි එවැන්නෙක් නැවත අපිට හමු නොවන්නෙ.
දැන් අපි මේක ගැන අහිමි වීමේ දේවල් ගැන කතා කරලා වැඩක් නැහැ. දැන් අපි බල කරන්න ඕනෙ නැවත වතාවක් අපි ඉස්සරහ තියෙන ප්‍රශ්න මොනවා ද? ආචාර්ය ධර්මසේන පතිරාජගේ සකලවිධ වෘතාන්ත සිනමා කෘති, ටෙලි නාට්‍ය, වාර්තා චිත්‍රපටි කියන නිර්මාණ නැවත අපි දැක ගන්නෙ කොහොම ද? ඒවා සංරක්ෂණය වෙලා නැති බව තමයි කියන්න තියෙන්නෙ. අනාගත සමාජයට ඔහුගේ නිර්මාණ දේහය දැක ගන්න තියෙන ඉඩකඩ ඉතුරු කර ගන්නෙ කොහොම ද? ඉතින් නැවතත් රජයකින් ඉල්ලලා ඵලක් තියෙනවා ද? සිනමා සංරක්ෂණාගාරයක්. සිනමා සංරක්ෂණාගාරයක් පිළිබඳව ආචාර්ය පතිරාජ තමයි බලගතුම වාර්තාව ඉදිරිපත් කළේ. ඉන්දියාවට ගිහිල්ලා පූනේ සිනමා සංරක්ෂණාගාරය නරඹලා ඒ අය මුණගැහිිලා මා පෞද්ගලිකව දන්නවා රාජපක්ෂ රෙජීමය වකවානුවේ ඔහු ඉතාම පරිපූර්ණ වාර්තාවක් මුද්‍රිතවත්, එහි මෘදු කොපියක් සහ ඩී.වී.ඩී. පිටපතක් පවා භාර දුන්නා. මොක ද? ඊට පදනම් වුණු සියලූ හැදෑරීම් සහිත ලිපි ගොනු තුනම පතිරාජ සර් භාර දුන්නෙ මට. ඒ වාර්තාව ඔහුගෙ ස්ටඩි එක මා ගාව තියෙනවා. එතකොට මම දන්නවා පතිරාජ ඒක භාර දෙන බව. නමුත් අපි දන්නවා එබදු සංරක්ෂණාගාරයක් හැදෙන්නෙ නැහැ. දිගින් දිගටම ආචාර්ය ෙජ්ම්ස් පීරිස් ඇතුළු සිනමා සමාජය ම රජයන් දෙකක් විසින් ඊට පස්සෙත් රවට්ටලා තියෙන්නෙ. ඒ නිසා අපි කාගෙන් ද පතිරාජගේ සිනමාව රැක ගන්න කියලා දැන් ඉල්ලන්නෙ.
එතකොට දැන් එබදු විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් නැවත අපට මුණ නොගැහීමේ අඩුව. මට මතකයි දෙදහස් දොළහේ ආචාර්ය සංගම් සටන වෙලාවෙ ඔහු සියයට හයක් අධ්‍යාපනයට වෙන් කරන්න කියලා පත්‍රිකා ඛෙදද්දි අපත් සමග එකතු වෙලා පාරෙ පති්‍රකා ඛෙදපු හැටි. ඒ වයසෙදි පවා දේශපාලන ක්‍රියාධරයෙක් හැටියට නිවැරැදිවම සමාජ ව්‍යාපාරයක් එක්ක හිටගන්න ඔහුට පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ ආදර්ශරූපී බව මෙන්න මේ නිර්ව්‍යාජත්වය, මේ වෙහෙස නොවනසුලූ කැපවීම තමයි මම හිතන්නෙ පණිවිඩයක් හැටියට තරුණ සිනමාකරුවන් ඉදිරියේ සිටින චිත්‍රය.


හිනිදුම සුනිල් සෙනෙවි