පතී පැතු මතු සිනමාවේ තතු

0112
අපට මේ නැති වුණේ පසුව හෝ පුරවන්න බැරි හිඩැසක්
February 7, 2018
arjun-aloysius
ඇලෝසියස් හිරේ සිට ප්‍රබලයෙකුට අමතයි
February 8, 2018
Show all

පතී පැතු මතු සිනමාවේ තතු

52

යමක් ලියන්ඩ තීරණය කරලා පෑන අතට ගන්නවාට වඩා ගොඩක් හොඳයි කියලා හිතෙනවා, ලියැවෙන දේට ඉඩක් දෙන එක. මේ ලියමනටත් එහෙ ම ඉඩ දිය යුතුමයි. කලාව ස්පර්ශ කරමින් ඉන්න අපිට ශ්‍රව්‍ය දෘශ්‍ය කලාවේ ආදරණීය පියෙක් විදියට දැනෙන ධර්මසේන පතිරාජයන්ගේ නික්ම යාම කවදාවත් ම පිරිමැසිය හැකි වර්ගයේ පාඩුවක් නොවෙයි. ඒ දැවැන්තයා පැතිරිලා හිටපු සිනමා, රූපවාහිනී ඉඩ පුරවන්ඩ තවත් සිනමා, රූපවාහිනීකාරයෝ දහ පහළොස් දෙනෙකුටවත් පුළුවන් වෙයි ද? කියන කනගාටුදායක ප්‍රශ්නය නඟමින් ම පතිරාජ නාමයට අද ඉඩහසර වෙන් කරන්ඩ තීරණය කළා.
එදා මෙදාතුර කිසිදු පාලන සමයක දී හරිහමං වැඩපිළිවෙළකට යටත්ව මෙහෙයවන්ඩ බැරි වුණු අතිශය ශෝචනීය වූ අපේ රටේ සිනමා කර්මාන්තය පිළිබඳව අධි චෝදනා පත්‍රයක් ලියනවා හැරෙන්ඩ වෙන මොන කතා ද කියල හිතෙනවා. ඒ චෝදනා පත්‍රය අපගේ ප්‍රස්තූත සිනමාකරු වූ පතිරාජයන් ම මේ රටේ ප්‍රධාන විධායකයා ඉදිරියේ දිගහැරියා. ඔහු මෙලොවින් නික්මෙන්නට ළං වෙත් ම තිබුණු උපහාර උත්සවයේ දී සිනමා දිවියේ අර්ධ ශතකය සම්පූර්ණ කළත්, නිර්මාණ විදියට ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණ දහයකට වඩා කරන්න බැරි වුණු බව කිව්වා. මේ රටේ සිනමා කර්මාන්තයක් තියෙනවා නම්, තමන් සිනමාකාරයෙක් නම්, කොහොම ද එහෙ ම වෙන්නෙ කියලා ඔහු කනගාටුවෙන් කිව්වා.
ඒ වාගේ ම අසූ ගණන්වල සිනමා පටයක් කළාට පස්සේ 2003 ‘මතු යම් දවස’කරන කල් ම කිසිදු චිත්‍රපටයක් නොකරපු තමන් කොහොම ද සිනමාකාරයෙක් වෙන්නේ කියලා ඔහු ප්‍රශ්න කළා. ඒ ප්‍රශ්නය අස්සෙ තියෙන්නේ තමන් වැනි සිනමාකාරයෙකුට චිත්‍රපටයක් කරන්ඩ අවුරුදු විස්සකට ආසන්න කාලයක් යනවා නම්, මේ රටේ සිනමාවක් තියෙනවා කියලා කියන්ඩ පුළුවන් ද කියන ප්‍රශ්නයයි. නිදහසෙන් පස්සේ අපිට ස්වාධීන වෙන්ඩ නම්, අනන්‍යතාවය පෙන්වන්ඩ තිබුණු හොඳ ම මාධ්‍යයක් විදියටයි සිනමාව සැලැකුවේ. ඒත්, ඒක එහෙ ම කරන්ඩ පරිපාලනය මොන උදව්ව ද දුන්නේ ? කියලා ඇහැව්වොත්, උන්දැලාට ලැජ්ජාවෙන් ඔළුව හංගා ගන්නවා ඇරෙන්ඩ වෙන මොන කතා ද?
මිනිස්සුන්ගේ ඡන්දෙ අල්ලස් දීලා හරි මංකොල්ලකාලා හරි රවට්ටලා හරි අරගෙන ආත්මාර්ථය ම සලසා ගත්තු අමන දේශපාලන සංස්කෘතියක් ඇතුළේ කලාවක් හරි සිනමාවක් හරි ගැන කතා කරන එකත් එක අතකට වැදගැම්මකට නැති හිස් දෙයක් වෙන්න පුළුවන්. ඒත්, ඒකවත් නොලියා පතිරාජගේ ජීවන චරිතයයි, නිර්මාණ නාමාවලියයි, සම්මාන ටිකයි ගැන ලියලා ඇති ඵලය මොකක් ද? එතුමාට ලොකු ම ගෞරවය නම්, එතුමා පතපු, එතුමා හිතපු, එතුමා අරගල කරපු සිනමාවක් ගැන යළි යළිත් පාලක පැලැන්තියට සිහි කරලා දෙන එක කියලයි මට හිතෙන්නේ.
සිනමාවක් නැත් නම්, වැඩපිළිවෙළක් නැත් නම් කොහොම ද ධර්මසේන පතිරාජ කෙනෙක් බිහි වුණේ ? කියලා පරිපාලනයෙන් ප්‍රශ්න එන්ඩ පුළුවන්. ඒ වාගේ ම ධර්මසිරිලා, වසන්තලා බිහි වුණේ කොහොම ද කියලා අහන්ඩ පුළුවන්. ඒ ප්‍රශ්න යමෙකුට නැෙඟනවා නම්, ඒ දැඩි අනවබෝධයක් නිසා කියලා තමයි, කියන්ඩ වෙන්නේ. යට කියපු නිදහසෙන් පස්සේ ඇති වුණු වුවමනාවට චිත්‍රපට කරලා ස්වාධීන වෙන්ඩ උත්සාහ කළත්, අපට ඉන්දියානු සාගරයෙන් එහා ගිහින් ඒක කරන්ඩ වුණා. ඒ අපට තිබුණු තාක‍ෂණික අඩුපාඩු නිසා. ඒ ගිය ගමන පෝක් සමුද්‍ර සන්ධියෙන් මෙහාට ආපහු ආවෙ ම දැඩි ඉන්දියානු අනුකරණවාදී සිනමා භාවිතාවක් එක්කයි. ඒක අපේ නළු නිළියෝ පෙනී ඉන්න ඉන්දියානු චිත්‍රපටි වගේ වුණා. භාෂාව සිංහල වුණත්, හැඩය, රිද්මය ඉන්දියානු වීම කිසිසේත් වළක්වා ගන්ඩ බැරි වුණා.
ලෙස්ටර් ෙජ්ම්ස් පීරිස්ගේ ආගමනයත් එක්ක අපේ සිනමාවට කිසියම් වටිනාකමක් ලැබුණු බව ඇත්තක්. ඒත්, ගෙවල්, ඉඩම් උකස් තියලා ඇම්මට සිනමාව කරලා අදත් දුක් විඳින පීරිස් යුවළ දිහා බලලා, එතුමන්ලාගේ උත්සාහයට කිසියම් තල්ලූවක් දෙන්න මොන පාලකයාට ද හිතුණේ. ලෝක සිනමාවේ යම් යම් ප්‍රවණතා ගැන සවිඥානිකව කිසියම් දියුණු මට්ටමක සිනමාවක් කරපු ලෙස්ටර් මහත්තයත් සතුටින් යුතුව මේ අවසන් කාලය ගෙවනවා කියලා අපට මොහොතකටවත් කියන්ඩ පුළුවන් ද?
කොහො ම වුණත්, ලෙස්ටර් පීරිස්නි’ධානය’වගේ නිර්මාණයකින් ලොකු වෙනසක් කරලා ජාත්‍යන්තර තත්ත්වයකට ළඟා වෙන්ඩ පුළුවන් සිනමාවකට අත වනද්දී බහුතරයක් නිර්මාණ ඒකාකාරී වට්ටෝරු ගණයට ම වැටුණා. ඒ අතිශය ඒකාකාරී සහ ඉන්දියානු මොඩලයේ ම සිනමාවක් දිවෙන අතරෙමයි, ඒ ගුරුකුලවලින් ගොඩනැඟ=ණු ඒවායෙන් ආදර්ශ නොගත්තු සහ රාජ්‍ය අනුග්‍රහයන් නොලැබූ පතිරාජයන් පහළ වෙන්නේ.
මේ රටේ සිනමාවක ක්‍රමික වර්ධනයෙන් සහ වැඩපිළිවෙළේ ප්‍රතිඵලයක් විදියට නොවෙයි, පතිරාජ පහළ වෙන්නේ. ඔහුගේ පහළ වීම අහම්බයක්. වරෙක සිරිල් බී. පෙරේරා ‘සංවාද’කියන සඟරාවට (1987) ලියමින් කියන්නේ, පතිරාජ, වසන්ත ඔබේසේකර, ධර්මසිරි බණ්ඩාරනායක කියන තුන්දෙනා ම අපේ සිනමාවට අහසින් වැටුණු මිනිස්සු කියලා. ඒවා ඕපපාතික සිද්ධි කියලත් ඔහු හඳුන්වනවා. ඒ හැඳින්වීම අතිශය සාධාරණයි කියලා හිතෙනවා, අද වන තුරුත් ඒ උදවිය රැක ගන්ඩ කිසිදු රජයක් හරිහමං වැඩක් නොකළ හැටි බලාගෙන හිටපු අපට. (අද එතැනින් අපට ඉන්නෙත් එක්කෙනෙයි)
ධර්මසේන පතිරාජ 1974 ‘අහස් ගව්ව’ එක්ක මේ පොළොවේ සිනමාවේ ගහන්නෙ පික්චර් එකකට වඩා කැරැල්ලක්. ඒ කැරැල්ලට ධර්මසිරිත්, වසන්තත් අඩුවැඩි වශයෙන් එක් වෙනවා. එතෙක් හිටපු වීරයා, දුෂ්ටයා, ජනපි්‍රය ගීත, නැටුම් සහ වට්ටෝරුගත කතාව මුළුමනින් ම වෙනස් වෙනවා. සමහර වෙලාවට වීරයා වෙන්නේ දුෂ්ටයා. ප්‍රධාන චරිත වෙන්නේ ඉබාගාතේ ඇවිදින කවුරුහරි. තේමාවට අහු වෙන්නේ අපි අහුමුළුවල සැරිසරන කොට අහපු, දැකපු දේවල්. එතෙක් සිංහල සිනමාව කියලා හඳුන්වපු එකේ හිටපු මහා සක්විතිලා මේ කිසි ම නිර්මාණයක නෑ. ඒ නැත්තේ, ඒ නළුවන්ගේ අඩුවක් නිසා නොවෙයි. මේ අය කිසියම් විප්ලවයක් කරපු නිසා ප්‍රධාන ශිල්පීන්ගේ ඉඳලා ම ඒ වෙනස කළා. විශේෂයෙන් අජිත් තිලකසේන ලියපු ‘පාර දිගේ’ (1980) වගේ පිටපතක් සිනමාවට නැඟීම පතිරාජ ගත්තු රැඩිකල් ම තීරණයක් කියලා කියන්ඩ පුළුවන්. ඒක හරියට පිටස්තරයෙක් සිනමාවට වැද්දගෙන පතිරාජ ගත්තු මහා අවදානමක් කියලා කිව්වත් වැරැදි නැහැ. ‘බඹරු ඇවිත්’ (1978), ‘සොල්දාදු උන්නැහේ’ (1981) වගේ නිර්මාණවලින් අපේ සිනමාව උඩු යටිකුරු කරන විප්ලවය කරන්ඩ ඔහු සමත් වෙන්නේ අපට හැමදාමත් කතා කරන්ඩ පුළුවන් දෙයක් ඉතුරු කරමින්.
අද වෙන කොට වසංගතයක් වෙලා තියෙන ටෙලිනාට්‍ය කෙරුවාව දිහා බැලූවොත්, එදා මෙදාතුර ටෙලි තිරයේ බිහි වුණු අති විශිෂ්ට නිර්මාණ දෙක තුන අතරේ ඉහළින් තියන්ඩ පුළුවන් ‘කඩුල්ල’වගේ නිර්මාණයක් කරලා මේ පුංචි රූප පෙට්ටියෙත් මහා විප්ලවයක් කරපු කෙනෙකු විදියට ධර්මසේන පති්රාජයන්ව හඳුන්වන්ඩ පුළුවන්.
මහා තිරයක ඉඳලා පුංචි ම පුංචි තිරයකට (එදා අඟල් 12-14 වගේ) රූප ගෙනෙද්දී මොන තරම් කල්පනාකාරී විය යුතු ද කියලා මේ ෙක‍ෂ්ත්‍රයේ ඉන්න අපට හොඳට දැනෙනවා. ඒත්, ඔහු ඒ අභියෝගය පහසුවෙන් ජය ගන්නවා. ඒක තව තවත් ඔප්පු වෙනවා, ‘ඇල්ල ළඟ වලව්ව’, ‘දුර්ගාන්තය’, ‘නාඳුනන පුත්තු’, ‘සුභ අනාගතයක්’ ඇතුළු බොහොමයක් ටෙලි නාට්‍ය මාලාවනුත්, බොහෝ ඒකාංගික නාට්‍ය හා වාර්තා වැඩසටහනුත් ටෙලි තිරයට එකතු කරමින් කරපු සේවය එක්ක.
මේ විදියට අති දැවැන්ත ම කැරැලිකාරයා පුංචි තිරයටත් ඇවිත්, ඒකෙත් රස විඳිය හැකි යමක් කරන්න පුළුවන් කියලා පෙන්වල දීලා, අන්තිම හුස්ම යන තුරුත් අද ඒ පුංචි තිරයේ දකින අපි්‍රයසහගත විකාර ගැනත් කනගාටු වෙන්න ඇති. කැරැලිකාර අධ්‍යක‍ෂවරයා කියලා කිව්වට අපි දන්නා අයුරින් පතිරාජ වියතාණන් මේ රටේ විශ්වවිද්‍යාලවලින් ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති උපාධි හදාරලා, මොනෑෂ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් (සිනමා) අරගෙන ඒ දැනුම අපේ විශ්වවිද්‍යාලවලට නොමසුරුව ලබා දුන්නු ආචාර්යවරයෙක්.
එතුමා අර කියපු උපහාර උලෙළෙ දී කිව්ව දේවල් අතර අපේ තරුණ පරම්පරාව අදත් අතිශය නිර්මාණශීලී අයගෙන් සමන්විතයි. ඒ අයට තියෙන උණ සනීප කරන්ඩ රාජ්‍ය අනුග්‍රහය අත්‍යවශ්‍යයි. කියන එක ඉතාමත් අවධාරණයෙන් මතු වුණා. ඔහු හැත්තෑ ගණන්වලට ඒ ගහපු සුන්දර කැරැල්ල අද තාරුණ්‍යය වෙනුවෙන් වඩා හොඳ සහ ස්වාධීන සිනමාවක් දායාද කරන්ඩ තමයි, ගැහැව්වෙ කියන එක ඔහුගෙ අවසාන කතාවලත් පැහැදිලිව තිබුණා. අවසන් වශයෙන් අපට කියන්ඩ තියෙන්නේ, අපේ මහා සිනමාවේදියා අපට නැති වුණා කියලා බොරු කිඹුල් කඳුළු හෙළලා, ශෝක පණිවිඩ නිකුත් කරන එක නොවෙයි. පරිපාලනයට කරන්ඩ තියෙන්නේ, එතුමා පතපු සිනමාව මේ රටට ළං කරන්ඩ අවශ්‍ය එක පියවරක් හරි අවංකව ගන්න එකයි කියලා.
ඔහුගේ උපහාර උලෙළේ දී ඔහු ම අහපු විදියට සිනමාව මේ රටේ වෘත්තියක් ද? කොයි කාලෙවත් එහෙ ම වෙලා තිබුණා ද? එහෙ ම වුණා නම්, රුක්මණී, එඩී, ඩොමී වගේ දැවැන්ත තරු පවා අන්තිම කාලේ අසතුටින් හිටියේ ඇයි? මේ ප්‍රශ්න එහෙ ම ම තියෙද්දී රූපවාහිනී අංශය සම්බන්ධයෙනුත් එමමයි කියලා කියන්ඩ වෙනවා.
පරිසරයට ආදරය කරපු, වමේ දේශපාලනයක් කරමින්, ජනතා සුභසාධනය පතපු, අන්‍යොන්‍ය ආදර ගෞරවය උතුම් කොට සලකපු පෞද්ගලික සුඛවිහරණය තකා සිනමාව පාවා නොදීපු අපට කැත නැතිව බලන්ඩ පුළුවන් පින්තූර ටිකක් ඉතිරි කරපු මේ සුන්දර සිනමාකාරයාත් අනෙක් දැවැන්තයෝ වගේ ම අසතුටු සිතින් නික් ම ගියේ ය. කියලා තමයි, කනගාටුවෙන් කියන්ඩ තියෙන්නේ. නැවත අප අතරේ ඉපැදේවා  කියන සාම්ප්‍රදායික ප්‍රාර්ථනය කරන්ඩ අප උත්සුක නොවෙන්නේ එහෙ ම වුණොත්, ආයෙත් සැරයක් ඔබට ඔය විදියට ම කලකිරීමෙන් තමයි, නික්ම යන්ඩ වෙන්නේ කියලා පේන හින්දා.


සුරංග ලක්මාල් සෙනෙවිරත්න