අයි.පී.එල්. වෙන්දේසියෙන් ලංකාව විසිවෙයි

_99566625_8eff760e-1c6b-4fed-ab7d-e9c54a07b4e0
වෙළඳපොළේ පුපුරා යන සෞදියේ ෆුට්බෝල්
February 13, 2018
motor cross
පහත් තැනින් යයි ගලා ජලේ…
February 13, 2018
Show all

අයි.පී.එල්. වෙන්දේසියෙන් ලංකාව විසිවෙයි

ipl

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය හෙවත් අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ 2018 තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය මේ මස 27,28 දිනයන්හිදී සිදුකිිරීමට නියමිතව ඇත. මේ සඳහා ක්‍රීඩකයන් 1122කු ලියාපදිංචි කර ඇති අතර, ඒ සඳහා විදේශ ක්‍රීඩකයන් 282කු ඇතුළත් වේ. මේ සඳහා ක්‍රීඩකයන් 39 දෙනෙකු සුදුසුකම් ලබා ඇත. කෙසේ වෙතත් මොවුන් අතරින් ප්‍රමුඛ කාණ්ඩයට ඇතුළත් වීමට අවස්ථාව උදා වී ඇත්තේ ඇන්ජලෝ මැතිවුස්ට පමණි. මේ කාණ්ඩයට ක්‍රීඩකයන් 36 දෙනෙකු ඇතුළත්ව සිටින අතර ඔවුන්ගේ ආරම්භක ලන්සුව ශ්‍රී ලංකා මුදලින් රුපියල් හාරකෝටි පනස් ලක්ෂයකට ආසන්න වේ. කලක් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු වූ ලසිත් මාලිංගද ඇතුළත් වී ඇත්තේ සෙසු කාණ්ඩයකටය. එම කාණ්ඩයේ ක්‍රීඩකයෙකුගේ ආරම්භක ලන්සුව රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් පමණ වේ.
අතීතයේදී ක්‍රිකට් ක්‍රීඩාව හැඳින්වූයේ මහත්වරුන්ගේ ක්‍රීඩාව ලෙසය. එකල ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදුනේද සැබෑ මහත්වරුන්ය. ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්, ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස්, ශ්‍රීමත් ලෙන් හට්න් වැනි ක්‍රීඩකයන් ඒ සඳහා කදිම උදාහරණ වේ. එහෙත් වර්තමානය වන විට ක්‍රිකට් ක්‍රීඩකයන්ද වහලුන් මෙන් වෙන්දේසි වීමට පටන්ගෙන ඇති අතර, ක්‍රිකට් ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම ව්‍යාපාරිකයන්ගේ මෙන්ම සූදු අන්තුවන්ගේ ග්‍රහණයට හසු වී හමාරය. දැන් ක්‍රීඩකයන්ගේ දක්ෂතාවයද මිලට ගත හැකිය. බොහෝ දෙනෙකු මෙය අයි.පී.එල්. තරගාවලිය නිසා ආරම්භ වූවක් ලෙස හැඳින්වුවද මෙහි ආරම්භය 70 දශකය තරම් අතීතයකට දිව යයි. මේ සඳහා මූලික වූයේ ඕස්ට්‍රේලියාවේ විසූ කෝටිපති ව්‍යාපාරිකයෙකු වූ කෙරී පැකර්ය. කෙරී පැකර් යනු රාජපක්ෂ පාලන සමයේදී මෙරට වැඩිපුරම කතාබහට ලක් වූ නාමයක් වන ලොව ප්‍රබලම කැසිනෝ ව්‍යාපාරික ජෙම්ස් පැකර්ගේ පියාය. ක්‍රිකට් ක්‍රීඩාව මුදල් ඉපයීම සඳහා කදිම මාර්ගයක් යැයි සිතූ ඔහු තම මුදල්වල බලයෙන් ක්‍රීඩකයන් පමණක් නොව ක්‍රීඩාංගණ පවා මිලට ගත්තේය. එකල ක්‍රීඩකයන්ගේ ආර්ථීක දුෂ්කරතා නිසා ක්‍රීඩකයන් සහ ක්‍රිකට් බලධාරීන් අතර නිරන්තරයෙන් පැවති ගැටුම් ඔහුට ඒ සඳහා මහත් ආශීර්වාදයක් විය. ප්‍රදර්ශන ක්‍රිකට් තරග ක්‍රිකට් ලොවට හඳුන්වාදෙන ලද්දේ ද ඔහු විසිනි. එම යුගයේදී ඔස්ට්‍රේලියාව නියෝජනය කළ ප්‍රබල ක්‍රීඩකයන් වූ ග්‍රේග් චැපල්, කිම් හියුස්, රොඩ්නි මාෂ්, ඩෙනිස් ලිලී වැනි ක්‍රීඩකයන් සහ එවකට ලොව ප්‍රබල ක්‍රීඩකයන් වූ ක්ලයිව් ලොයිඩ්, විවියන් රිචර්ඩ්ස්, ඇන්ඩි රොබට්, ඉම්රාන් ඛාන්, ටෝනි ග්‍රේග් වැනි ක්‍රීඩකයන් මුදලට ගෙන ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ලෝක කණ්ඩායම අතර ප්‍රදර්ශන තරග පවත්වා විශාල මුදලක් උපයා ගැනීමට සමත් විය.
එතනින් නොනැවතුනු ඔහු ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්‍රිකට් ක්‍රීඩාංගණයක් වන සිඩ්නි ක්‍රීඩාංගණය මිලට ගෙන එය වටා දැවැන්ත විදුලි පහන් කණු සවිකරවා රාත්‍රී කාලයේදීද ක්‍රීඩා කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලදී. වර්තමානය වන විට ඉතා ජනප්‍රිය තරග රටාවක් වන දිවා – රාත්‍රී ක්‍රිකට් තරග වල ආරම්භය සිදු වූයේ එලෙසය. ඔහුගේ මෙම ක්‍රියාකලාපයට බලපෑම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පවා නොහැකි විය. සැබැන්ම එකල ක්‍රිකට් ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම පැකර්ගේ ආධිපත්‍යයට යටත් වී තිබිණි. ක්‍රිකට් ක්‍රීඩකයන්ද තම රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම වෙනුවට මුදල් වෙනුවෙන් ක්‍රීඩා කිරීම ආරම්භ වූයේද ඒ සමගය.
අද ඉන්දියාව විසින් සිදු කරනු ලබන්නේද එදා කෙරී පැකර් විසින් සිදු කරන ලද දෙයමය. ඔවුන් ඔවුන්ගේද මුදල් බලය යොදා ගනිමින් ලොව සිටින සුපිරිම ක්‍රීඩකයන් මිලට ගනී. ලොව ඕනෑම සුපිරි ක්‍රීඩකයෙකුට මිලක් නියම කිරීමේ අයිතිය දැන් ඔවුන් සතු කරගෙන හමාරය. මෙය වෙනත් ආකාරයකින් පැවසුවහොත් ලොව සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් ඔවුන්ගේ වහලුන් කරගෙන හමාරය. අයි.පී.එල්. තරගාවලියට ක්‍රීඩා කරනු ලබන ක්‍රීඩකයන්ට එම කාල සීමාව තුළ තම රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ හැකියාව ලැබෙන්නේ නැත. තම ප්‍රබල ක්‍රීඩකයන් නොමැතිව තරගාවලි වලට ක්‍රීඩා කිරීමට නොහැකි නිසා අයි.පී.එල්. තරගාවලිය පවත්වන කාල සීමාව මග හැර තම ක්‍රිකට් තරග කාල සටහන සකස් කිරීමට සෙසු රටවල ක්‍රිකට් පාලක මණ්ඩලවලට සිදු වී ඇත.
අතීතයේදී නම් ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ එකම අරමුණ වූයේ තම රට නියෝජනය කර ඒ වෙනුවෙන් ක්‍රීඩා කිරීමය. එහෙත් වර්තමානය වන විට එය සම්පූර්ණයෙන්ම කණපිට පෙරළී ඇත. දැන් ක්‍රීඩකයෙකු තම රට නියෝජනය කිරීමේ අවස්ථාව ලබා ගැනීමට උත්සාහ කරන්නේ රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නොව කෙසේ හෝ අයි.පී.එල්. තරගාවලි දෙක, තුනක් ක්‍රීඩා කිරීමටය. ඒ තරමටම ක්‍රීඩකයන්ද මුදල් පසුපස හඹා යාමට පටන්ගෙන ඇත.
මෙවර අයි.පී.එල්. තරගාවලිය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 39 දෙනෙකු ලියාපදිංචි කර ඇත. ඒ අනුව දැනට ලංකාවේ සිටින සෑම ක්‍රීඩකයෙකුම වාගේ අයි.පී.එල්. ක්‍රීඩා කිරීමේ අපේක්ෂාවෙන් සිටී. එහෙත් ඔවුන් තම රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමේදී මේ තරම් උනන්දුවක්, කැපවීමක් දක්වනවාදැයි සැක සහිතය. පසුගිය වසරේ ඔවුන් සහභාගී වූ ජාත්‍යන්තර තරග 54න් 40ක්ම පරාජය විය. විස්සයිි 20 තරග 15කට ක්‍රීඩා කර ඉන් ජය ගෙන ඇත්තේ තරග 5ක් පමණි. අනෙක් කාරණය වන්නේ දැනට වාර්තා වන අන්දමට මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩකයන් වෙන්දේසි කිරීමේදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 39 දෙනා අතුරින් ප්‍රමුඛ කාණ්ඩයට ඇතුළත් වීමට හැකි වී ඇත්තේ ඇන්ජලෝ මැතිවුස්ට පමණි. සෙසු ක්‍රීඩකයන් ඇතුළත් වන්නේ සෙසු කාණ්ඩ වලටය. එයින් අදහස් වන්නේ ඉන්දියාව මෙරට ක්‍රීඩකයන්ට ලබා දෙන්නේ කුඩම්මාගේ සැලකිලි බවය. වෙනත් ආකාරයකට පැවසුවහොත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දක්ෂයන් ලෙස ඔවුන් පිළිනොගන්නා බවය.
එපමණක්ද නොව වරක් හිටපු ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමතිනී ජයලලිතා ජයරාම් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට තමිල්නාඩු ප්‍රාන්තයට අයත් චෙන්නායි ක්‍රීඩාංගණයේදී පවත්වනු ලබන තරග සඳහා සහභාගී වීමට ඉඩ නොදෙන බව ප්‍රකාශ කළා පමණක් නොව ඒ සඳහා ඇතුල්වීමට වීසා පවා ලබා දුන්නේ නැත. මෙය ක්‍රීඩකයන්ට පමණක් නොව සමස්තයක් ලෙස මුළු රටටම කරන ලද අවමානයකි. මෙහිදී ක්‍රීඩකයන් තම රට ගැන හිතා කටයුතු කළේ නම් සෑම ක්‍රීඩකයෙකුම එවර අයි.පී.එල්. තරගාවලිය වර්ජනය කළ යුතුව තිබිණි. එහෙත් ඔවුන් එසේ කළේ නැත. මෙම සියලු කාරණා වලින් පෙනී යන්නේ ඔවුන් රටට හෝ් ක්‍රීඩාවට වඩා මුල් තැන ලබා දෙන්නේ මුදලට බවය.
තවද තම රට වෙනුවෙන් ක්‍රීඩා කරද්දී තරගයක් හෝ දෙකක් ක්‍රීඩා කළ සැනින් ආබාධවලට ලක්වන ක්‍රීඩකයන් කිසිවෙකුට හෝ අයි.පී.එල්. තරගාවලියේදී එක දිගට තරග රැසක් ක්‍රීඩා කළද ආබාධ වලට ලක් වන්නේ නැත. එසේ නොමැතිනම් ඔවුන්ට ආබාධ තිබුණත් ඒ පිළිබඳව තැකීමක් කරන්නේ නැත. එමෙන්ම රට වෙනුවෙන් ක්‍රීඩා කරද්දී විශේෂයෙන් පන්දු රැකීමේදී දක්වනු ලබන අලසකම, දුර්වලකම් අයි.පී.එල්. තරගවලදී පෙනෙන්නටවත් නොමැත. තවද රට වෙනුවෙන් ක්‍රීඩා කරද්දී ආරක්ෂාව පිළිබඳව දක්වන උනන්දුව අයි.පී.එල්. තරගවලට ක්‍රීඩා කිරීමේදී ඔවුන්ට වලංගු වන්නේද නැත.
වර්තමානයේ පවතින ආර්ථීක තත්ත්වයත් සමග ක්‍රීඩකයන් මෙසේ මුදල් පිළිබඳව අවධානය යොමු කර කටයුතු කිරීම වැරදි දැයි යමෙකුට මෙහිදී ප්‍රශ්න කිරීමට හැකියාව ඇත. එයට දිය හැකි පිළිතුර වන්නේ, ආර්ථීක ගැටලු පවතින්නේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට පමණක් නොව සෙසු ක්‍රීඩාවල නිරත වන ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ටද එය එලෙසම බලපායි. සෙසු ක්‍රීඩාවල නිරත වන ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ට සාපේක්ෂව මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන්ට විශාල වරදාන වරප්‍රසාද සහ පහසුකම් ප්‍රමාණයක් හිමි වේ. මේ නිසා මෙහි ගැටලුව ඇත්තේ ආර්ථීකයේ නොව ආකල්ප වල බව පැහැදිලි වේ.


සමන් රණවක ආරච්චි