ඖෂධ සම්බන්ධ මරණ එක්සත් ජනපදයේ ආයු අපේක්ෂාව පහත දමයි

යළි ඉපදීම
February 13, 2018
VVVVVVVVVV
තාජුඩීන්ගේ ඝාතනය සහ නාමල්ගේ ‘තල්ලුව’
February 13, 2018
Show all

ඖෂධ සම්බන්ධ මරණ එක්සත් ජනපදයේ ආයු අපේක්ෂාව පහත දමයි

6359524289527957891023442179_opioid-body (1)

ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලන මධ්‍යස්ථානය විසින් පසුගිය වසරේ දෙසැම්බර් 21 දා නිකුත් කරන ලද වාර්තා දෙකක ඖෂධ අධිමාත්‍රාව හා සියදිවි නසාගැනීම් හේතුවෙන් ඇමෙරිකානු ජනතාවගේ ආයු අපේක්ෂාව පහත වැටෙමින් තිඛෙන බව පෙන්නුම් කරයි.
මෙය හුදෙකලා සිදුවීමක් නොවේ. මෙම දත්ත පිළිබිඹු කරන්නේ, ධනවතුන් තව තවත් පොහොසත් කිරීම ඉලක්ක කර ගනිමින් ප්‍රධාන පක්ෂ දෙක දශක ගණනක් තිස්සේ අනුගමනය කර ඇති පිළිවෙත් මගින් මිලියන ගණන් සාමාන්‍ය ජනතාවගේ හිස මත හෙළා තිබෙන සමාජීය ව්‍යසනයයි. සමාජ ප්‍රගතිය පිළිබඳ මූලික මිනුමක් වන ආයු අපේක්ෂාවේ පහත යාම ඇමෙරිකානු ධනවාදයේ පිරිහීමේ ඓතිහාසික සන්ධිස්ථානයකි. එක්සත් ජනපදය තුළ ආයු අපේක්ෂාව අඛණ්ඩව පහත වැටුණු දෙවන වසර මෙය වන අතර, එය ඒ ලෙසින් සිදුව ඇත්තේ වසර පනහකට පසු ප්‍රථම වරටය.
2015 දී වසර 78.7 ක් වූ ආයු අපේක්ෂාව 2016 දී වසර 78.6 කට වැටුණු අතර පුරුෂයන් අතර එම වැටීම වසර 0.2 ක අගයක් වෙමින් 76.3 සිට 76.1 දක්වා ඇදවැටිණි. කාන්තා ආයු අපේක්ෂාව වසර 81.1 මට්ටමේ රැඳී තිබුණේ කාන්තාවන් හා පුරුෂයන් අතර ආයු අපේක්ෂාවේ පරතරය එහි ඉහළම අගය වාර්තා කරන තත්ත්වයක් තුළය.
ලෝකයේ තාක්ෂණික හා වෛද්‍යමය වර්ධනයන්ට මානව ජීවන කාලය දිගු කිරීමට පවත්නා හැකියාව ඉහළ යාම නිසා හෘද රෝග, පිළිකා සහ අනෙකුත් රෝග නිසා සිදු වන මරණ අඩු වීම හේතුවෙන් වයස්ගත පුද්ගලයන්ගේ ආයු අපේක්ෂාව වැඩි වෙමින් තිබේ. එහෙත්, විශේෂයෙන්ම එක්සත් ජනපදය තුළ ඔපියොයිඩ් ඇතුළු ඖෂධ අධිමාත්‍රාවෙන් භාවිත කිරීම හෝ සියදිවි හානි කර ගැනීම නිසා වයස අවුරුදු 44 ට අඩු පුද්ගලයන් අතර මරණ අනුපාතයේ සුවිශේෂී ඉහළ යාම විසින් ආයු අපේක්ෂාවේ පිරිහීම ජනනය කර ඇත.
2016 වසරේ සිදු වූ මරණ 63,000 කට වගකිව යුතු ඖෂධ පමණ ඉක්මවා භාවිතය එක් වසරක් තුළ සියයට 21 කින් ඉහළ යාමක් ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලන මධ්‍යස්ථානයේ වාර්තාව මගින් පෙන්නුම් කරයි. එය හරියටම, කැලිෆෝනියාවේ පාලෝ ඇල්ටෝ, උතුරු ඩකෝටාවේ බිස්මාක් හෝ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ෆෝට් මයර්ස් වැනි නගරයක් සෑම වසරකම මුළුමනින්ම විනාශ වී යාමට සමාන වේ. 2006 වසරේ සිට මේ දක්වා දළ වශයෙන් පුද්ගලයන් 4,30,000 ක් ඖෂධ අධිමාත්‍රාව නිසා මිය ගොස් ඇති අතර, එම මරණ සංඛ්‍යාව දෙවන ලෝක යුද්ධය තුළ මරණයට පත් එක්සත් ජනපද සොල්දාදුවන් ගණනටත් වඩා අධිකය.
ඔපියොයිඩ් අධිමාත්‍රාවෙන් ගැනීම නිසා 2016 දී 42,249 දෙනෙකු මරණයට පත් වූ අතර, එය ඊට පෙර වසරට සාපේක්ෂව සියයට 28 ක ඉහළ යාමකි. හිලරි ක්ලින්ටන් වෙනුවෙන් උද්ඝෝෂණය කිරීම සඳහා ‘ඇමරිකාව දැනටමත් ශ්‍රේෂ්ඨ රටක්’ යැයි කියමින් බැරැක් ඔබාමා සංචාරයේ යෙදෙමින් සිටි සමයේ ඔපියොයිඩ් අධිමාත්‍රාව නිසා සෑම දිනකම මිනිසුන් 90 කට වැඩි දෙනෙක් මිය යමින් සිටියහ.
මෙවැනි තත්ත්වයක් තිබිය දී වර්තමානයේ එක්සත් ජනපදයේ සාපේක්ෂව දුගී ප්‍රදේශවලට පෙති මහා පරිමාණයෙන් බෙදා හරිමින් සිටින්නේ ට්‍රම්ප් පාලනයේ ද අනුමැතිය ඇතිවය. උදාහරණයක් ලෙස මියාමි – ලූකන් නමැති ඖෂධ බෙදාහරින සමාගම 2007 හා 2012 අතර සමයේ 25,000 ක් දෙනා ජීවත් වන බටහිර වර්ජිනියාවේ මින්ගෝ කවුන්ටි ප්‍රදේශයට ඔක්සිකොඩෝන් හා හයිඩ්‍රොකොඩෝන් මාත්‍රා මිලියන 11 ක් නැව්ගත කළේය. 2013 වසරේ සිට 2017 අවසන් වන තෙක් කාලය තුළ එම ප්‍රමාණය මිලියන 15 ක් දක්වා වර්ධනය වී තිබේ.
පසුගිය ඔක්තෝබර් මාසයේ දී ‘මිනිත්තු 60’ නම් වැඩසටහනට සහභාගි වූ ඖෂධ බලාධිකාර පරිපාලන ආයතනයේ හිටපු නිලධාරියෙකු වන ජෝ රනාසිසි, ඒවායේ පතුරුවා හැරීම් නිසා බොහෝ දෙනා මරණයට පත් වන බව දැන දැනම සමාගම් දුගී ප්‍රදේශවලට ඇතුළු වන්නේය යන්න තහවුරු කර ඇති කරුණක් යැයි කීවේය.
ඖෂධ සමාගම්වලට එරෙහි නෛතික පියවරයන් ලෙස ඩොලර් මිලියන කිහිපයක නොවටිනා දඩුවම් පනවා ඇතත්, එය මත් ව්‍යාපාර කිරීමේ දී දරනු ලබන පිරිවැයේ කොටසක් පමණි. 2011 හා 2014 අතරතුර කාලයේ ඖෂධ බෙදාහරින්නන්ට විරුද්ධව ගොනු කළ නඩු ප්‍රමානය ට්‍රම්ප් පරිපාලනය විසින් සියයට 69.5 කින් කපා හරින ලදී.
ආයු අපේක්ෂාව පහත වැටීම හා අධිමාත්‍රාවෙන් ඖෂධ භාවිතය, සමාජ අසමානතාව පිම්මේ ඉහළ යාමේ නිෂ්පාදිතයයි. බොහෝ සෞඛ්‍ය අධ්‍යයන අපට පෙන්වා දෙන්නේ පොහොසතුන් හා දුගීන් අතර වර්ධනය වන අගාධය බොහෝ ජනයා අනවශ්‍ය ලෙස මිය යාමට හේතු වන බව යැයි ඊසානදිග විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් වන ඩැනියෙල් කිම් රොයිටර් පුවත් සේවයට පවසා තිබුණේය.
එය මැනවින් පසක් කරමින් පසුගිය වසර 40 පුරා ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් පක්ෂ දෙකම නිරත වෙමින් ඇත්තේ වැටුප් කැපීමට, විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට, පොහොසතුන් මත බදු කප්පාදු කිරීමට හා හාම්පුතුන් විසින් සපයන සෞඛ්‍යාරක්ෂණය අහෝසි කිරීමට සහයෝගය ලබා දී තිබේ. මේ ක්‍රියාවලිය හරහා ඩොලර් ට්‍රිලියන ගණන් මුදල් එරට සුපිරි ධනපතියන්ගේ බැංකු ගිණුම් වෙත ඇදෙමින් තිබෙන අතර, අද වන විට ජනගහනයේ ඉහළ සියයට 10 එරට ධනයෙන් සියයට 77 කට හිමිකම් කියයි. ධනවත්ම පුද්ගලයන් තිදෙනා රටේ ජනගහනයෙන් අඩකටත් වැඩි දෙනෙකුගේ ධනයට සමාන ධනයකට හිමිකම් කියති.


ධනංජය සූරියබණ්ඩාර