කතාව සහ ක්‍රියාව

saim iii
‘සයිටම්’ අළුයට ගිනි
February 13, 2018
kesel ken
පාලකයන්ගේ වරදින් බැටකන සූරියවැව…
February 13, 2018
Show all

කතාව සහ ක්‍රියාව

Operation-RESCUE-Warm-Shelter-Flag-2 (1)

ජනවාරි 16 පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා විනාඩි 35ක සැර කතාවක් කර නැගිට ගිය බව පුවත්පත් වල පොල්ගෙඩි අකුරින් වාර්තා කර තිබුණි. ඉන් පසු ඇල්පිටියේ පැවති ශ්‍රීලනිප මැතිවරණ ප්‍රචාරක රැලියකදී ඔහු පවසා ඇත්තේ තමා එහි ආවේ ‘වැරදිකරුවන්ට දඩුවම් දෙන ඔපරේෂන් II’ ආරම්භ කිරීමෙන් අනතුරුව බවයි.
ඔහුට අනුව ඔපරේෂන් I වන්නේ බැඳුම්කර ගනුදෙනු ගැන සෙවීමට ජනාධිපති කොමිසමක් පත් කිරීමයි. එසේම බරපතළ වංචා දූෂණ ගැන සෙවීමට ජනාධිපති කොමිසමක් පත් කිරීමයි. මේ කොමිෂන් දෙකේම වාර්තා තමා අතට පත්ව ඇති බව ද ජනාධිපතිවරයා කියා තිබේ.
ඔපරේෂන් II ලෙස ඔහු අදහස් කරනුයේ මෙම කොමිෂන් වාර්තා වලින් වැරදිකරුවන් ලෙස දක්වන අයට නීතිය ක්‍රියාවට නැගීමයි. ජනවාරි 17 දා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත නීතිපති, මහබැංකු අධිපති, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආදී නිලධාරීන් ගෙන්වා ජනාධිපතිවරයා සාකච්ඡා කළ බවක් පවසා ඇත. එහිදී නීති ක්‍රියාමාර්ග කඩිනම් කිරීමට ඇති බාධාවන් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට සාකච්ඡා වී තිබේ.
ඒ අනුව පනත් තුනක් සකස් කිරීමට සූදානම් කර තිබෙන බවද මාධ්‍ය වාර්තා කර තිබුණි. මේ සියල්ල දෙස බලන අයෙකුට පෙනී යන්නේ ජනාධිපතිවරයා නින්දෙන් ඇහැරුණ අයෙකු මෙන් කඩිමුඩියේ දුම්මල වරම ගත් ආකාරයට හැසිරෙන බවයි. වංචා දූෂණ හා අක්‍රමිකතාවලට ජනාධිපතිවරයා මේ අන්දමට කටයුතු කරන්නේ නම් එය ඉතාම අගනේය. සැබවින්ම රටේ පවතින බලපතළම ප්‍රශ්නයක් වන්නේ මෙකී මහා දූෂණයයි. එය වැලැක්වීමට ඉහළින් ආදර්ශය දීම අත්‍යවශ්‍ය කටයුත්තකි. එහෙත් ප්‍රශ්නය වන්නේ වත්මන් ජනාධිපතිවරයාගේ පාලනය වසර 3ක් තිස්සේ මේ රටේ ජනතාව අත්විඳ තිබුණ ද ඔහුගේ මෙවැනි අවංක මැදිහත්වීමක් ප්‍රදර්ශනය නොවීමය. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතු බවට කියමනක් තිබේ.
ජනාධිපතිවරයාගේ මෙම හදිසි ආවේශය දෙස සැකයෙන් බැලීමට සිදු වන්නේ ඒ නිසාය. අනෙක් පසින් ගත් විට ජනාධිපතිවරයාගේ අනාගත දේශපාලනයට තීරණාත්මක ප්‍රතිඵල ගෙන දෙන මැතිවරණයක් ප්‍රකාශයට පත් වී තිබේ.
මෛත්‍රීපාල ජනාධිපතිවරයා බලයට පත් කිරීමේ 2015 මුල් වූ බලවේග බොහොමයක් අපේක්ෂා කළේ අතිශය දූෂිත රටක් බවට පත්කර තිබූ රට තුළ යහපාලනය ඇති කිරීමයි. රාජපක්ෂ පාලනයේ පැවති මහා මූල්‍ය වංචා අපරාධ සම්බන්ධ පරීක්ෂණ පවත්වා වැරදිකරුවන්ට දඩුවම් ලබා දීමයි.
ඒ සඳහා ආණ්ඩුව බලයට පත්වූ වහාම සමාජය වෙතින් රාජපක්ෂ ආණ්ඩුවේ දූෂණ වංචා පිළිබඳ පැමැණිලි විශාල වශයෙන් ගලා එන්නට විය. එපමණක් නොව ආණ්ඩුව බලයට පත් වූ මොහොතේම සිදු වූ බැඳුම්කර වංචාව හා තවත් එවැනිම දූෂණ ගැන පැමිණිලි ඉදිරිපත් වන්නට විය.
ඒ අනුව පිහිටුවනු ලැබූ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වෙත පැමිණිලි 481ක් ලැබුණි. ඒ ඒවාට අදාළ තොරතුරු, ලිපි ලේඛන හා ෆයිල් ද සමගිනි. එහි මූලික විමර්ශනයක් සිදු කර මූල්‍ය අපරාධ විමර්ෂන කොට්ඨාසය වෙත පැමිණිලි 258ක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට 43ක් ද අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිෂන් සභාව වෙත 148ක් ද පොලිස්පති වෙත 32ක් ද යොමු කර තිබේ. මේවායෙන් 400කට ආසන්න ප්‍රමාණයක් පසුගිය රාජපක්ෂ පාලනයේ වගකිවයුත්තන්ට එරෙහිව එල්ල වී තිබිණි. ඊට අමතරව වංචා දූෂණ පිළිබඳ ජනාධිපති විමර්ෂන කොමිසම වෙත ලැබුනු පැමිණිලි වලද පරීක්ෂණ වාර්තා 34ක් ඇති බව ජනාධිපතිවරයා මෑතකදී ප්‍රකාශ කළේය. ඒවා ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද පවසා තිබේ.
දැන් ප්‍රශ්නය වන්නේ මේ සා විශාල පැමිණිලි හා සිදු වූ පරීක්ෂණ වලට සිදු වුයේ කුමක් ද යන්නයි. මේ අතරින් නීතිය ක්‍රියාත්මක වූයේ එක් සිදුවීමකට පමණි. එනම් 2015 මැතිවරණය සමයේ රජයේ මුදල් වැය කර මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක වැඩ සඳහා සිල් රෙදි බෙදීමේ සිදුවීමයි. එයට වැරදිකරුවන් වූයේ රාජපක්ෂවරු නොවේ. අනූෂ පැල්පිට හා ලලිත් වීරතුංග දෙදෙනාය. ඔවුන්ට බරපතළ වැඩ ඇතිව වසර තුනක සිර දඩුවම් නියම විය. එහෙත් සිදු වූයේ කුමක්ද? දින කිහිපයක් තුළ අභියාචනාධිකරණය මගින් ඔවුන්ට ඇප ලබා දී නිදහස් කිරීමයි.
රාජපක්ෂ ආණ්ඩුවේ චෝදනා ලත් මැති ඇමතිවරුන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් දැන් සිටින්නේ වත්මන් ආණ්ඩුවේය. එනම් මෛත්‍රී සෙවනේය. මෛත්‍රී ශ්‍රීලනිප සභාපති වූ පසු රාජපක්ෂවරුන්ට හා ඔවුන් සමග සිටින අයටද නීතිය ක්‍රියාත්ම වන බවක් පෙනෙන්නේ නැත. ඒ අතර එජාපයේ ඉහළම තැන් වලින්ද රාජපක්ෂවරුන්ට රැකවරණය සැලසෙන බවද නීති ක්ෂේත්‍රයේ ආරංචිමාර්ග ප්‍රකාශ කරයි.
ඒ නිසා ආණ්ඩුව පිළිබඳ තීරණ ගත යුත්තේ හදිස්සියේ නින්දෙන් අවදි වූවාක් මෙන් කරන ප්‍රකාශ වලින් නොව ක්‍රියාවෙන්ය. වසර තුනක ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය තුළ තහවුරු කර ඇති ‘නොහැකියාව’ මේ මැතිවරණ දින කීපයේ ‘හැකියාවක්’ වේදැයි වටහා ගැනීම පාඨකයාට භාර කටයුත්තකි.