තාජුඩීන්ගේ ඝාතනය සහ නාමල්ගේ ‘තල්ලුව’

6359524289527957891023442179_opioid-body (1)
ඖෂධ සම්බන්ධ මරණ එක්සත් ජනපදයේ ආයු අපේක්ෂාව පහත දමයි
February 13, 2018
26733497_567038346986291_8036190117827233504_n
දැරියක් කෙලෙසූ ඇමති සජිත්ගේ ගෝලයෝ
February 13, 2018
Show all

තාජුඩීන්ගේ ඝාතනය සහ නාමල්ගේ ‘තල්ලුව’

VVVVVVVVVV

යමෙකුගේ පෞරුෂය, යහපත් මානසික තත්ත්වය, විනයගරුක බව, සාමුහිකව කටයුතු කිරීමේ හැකියාව, අන් අයට සහ ඔවුන්ගේ මතවලට ගරු කිරීම යන සියලුම ගුණාංග වර්ධනය කිරීම සඳහා ඇති හොඳම මාර්ගය වන්නේ ක්‍රීඩාවය. ක්‍රීඩාවේ අරමුණු එසේ වුවද, වර්තමානය වන විට මේවා කොතෙක් දුරට ක්‍රියාත්මක වනවා දැයි බරපතළ ගැටලුවක් පවතී. මේ බව සනාථ කෙරෙන සිදුවීමක් පසුගිය 30 වැනිදා වැලිසර දී ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම සහ සී. ආර්. ඇන්ඩ් එෆ්. සී. කණ්ඩායම අතර පැවති රගර් තරගයේ දී සිදු විය. මෙම තරගයේ දී හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂ ද සී. ආර්. ඇන්ඩ් එෆ්. සී. කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළේය.
මෙම තරගයෙන් අනතුරුව ක්‍රීඩකයන් අතර ඇති වූවා යැයි කියන බහින්බස් වීමක් අවසානයේ දී නතර වූයේ මහා ගුටිකෙළියකිනි. එහි දී නාමල් රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂ නාවික හමුදා කණ්ඩායමේ ක්‍රීඩකයකුට පහර දෙන ආකාරය මාධ්‍ය ඔස්සේ දැකගන්නට හැකි විය. මෙය අපේ ගැමි වහරේ පවතින ‘ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි’ යන කියමන යළි සනාථ කිරීමකි. මොවුන්ගේ පියා බලයේ සිටි සමයේ දී ඔහු කටයුතු කරන ලද්දේ මෙරට වැසියන් තමන්ගේ වහලුන්ගේ ගණයට දමාය. ඊට හේතුව තමන් විසින්ම තමා මහරජාට ඇඳගෙන සිටීමය. මේ නිසා මොහුගේ රාජ ඌෂ්ණය ඔහුගේ පවුලේ අයට, ඥාතීන්ට, චක්ගෝලයන්ට, වන්දිභට්ටයන්ට යන සියලුම දෙනාටම වැදී තිබිණි. එම යුගයේ දී නාමල්ලා, යෝෂිතලා සිටියේ රටේ දෙවෙනි පුරවැසියා ලෙස සැලකෙන අගමැතිවරයාටත් වඩා ඉහළින්ය. ඔවුන් ක්‍රීඩාපිටිය තුළ හැසිරුණේ ද එම රාජ ඌෂ්ණය හිස මත තබාගෙනය. එකල බොහෝ දෙනෙකු රගර් ක්‍රීඩාව හඳුන්වනු ලැබුවේ රාජපක්ෂ පවුලේ ක්‍රීඩාව ලෙසය. එකල රගර් විනිසුරුවරුන්ට මෙන්ම පුහුණුකරුවන්ට ද නොයෙකුත් තර්ජන එල්ල වූ බවට ද වාර්තා පළ විය. මේ නිසාම එකල බොහෝ තරග විනිසුරුවරු තරග විනිශ්චය සඳහා පැමිණීමට ද මැලි වූහ. මෙරට ජනප්‍රියතම ක්‍රීඩාව වන කි්‍රකට් ක්‍රීඩාවටත් වඩා එකල රගර් ක්‍රීඩා තරගාවලි සඳහා අනුග්‍රහ දැක්වීම් තිබිණි. එය නාමල්ලාගේ දක්ෂතාවය යැයි මෙහිදී යමෙකුට පැවසීමට හැකිය. එහෙත්, මෙතන සැබැවින්ම සිදු වී ඇත්තේ, අනුග්‍රාහකයන් අනුග්‍රහය කැමැත්තෙන් ලබා දුන්නා නොව ඔවුන්ගේ බලය යොදාගෙන ඒවා ලබා ගැනීම බව පැහැදිලි වන්නේ එදා එම අනුග්‍රාහකයන් විසින් ලබා දුන් අනුග්‍රහය වර්තමානයේ දී රගර් කී්‍රඩාව සඳහා ලබා නොදීම හේතුවෙනි.
එපමණක් ද නොව මහා නා හිමිවරුන් එපා කියද් දීත්, ඔවුන්ට එදා දළදා මාලිගාව වටා ‘නයිට් රේස්’ පැදීමේ හැකියාව තිබිණි. කී්‍රඩා නාළිකා පවා පවත්වාගෙන යාමට හැකියාව ලැබිණි. එම නාළිකාව ඔවුන්ගේ එකක් නොවේ යැයි
පසුගිය සමයේ දී ඔවුන් පරසක්වළ ගසමින් කීය. අපට ඔවුන්ගෙන් ඇසීමට ඇත්තේ, එසේ නම්, මේ දක්වා අපේ රටේ කිසිදු පෞද්ගලික නාළිකාවකට නොලැබුණු (විශේෂ අවස්ථා කිහිපයක දී හැර) රජයේ නාළිකාවන් සතුව තිබූ ජාත්‍යන්තර ක්‍රිකට් තරග විකාශය කිරීමේ අයිතිය ඔවුන්ට ලැබුණේ කෙසේ ද කියාය.
මෙම සිදුවීමෙන් දින කිහිපයකට පසුව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවක දී කළ ප්‍රකාශයක දී සඳහන් කළ කාරණා කිහිපයක් පිළිබඳව අවධානය යොමු කළ යුතුව ඇත. ඔහු මාධ්‍ය හමුවේ මෙසේ පැවසීය.
‘අද මේ ආණ්ඩුව කොයි තරම් බංකොලොත් වෙලා ද කියලා කියනවා නම්, අපි ක්‍රීඩා කරන රගර් මැච් එකත් දේශපාලනීයකරණය කරලා. ඒකෙනුත් දේශපාලන වාසි ගන්න හදනවා. පසුගිය දවසක තිබුණ මැච් එකක දී පොඩි සිදුවීමක් වුණා. මේ වගේ සිදුවීම් වුණේ මේ තරගයේ දී විතරක් නෙමෙයි. ඕනෑම රගර් මැච් එකක් අවසානයේදීම මේ වගේ බහින්බස් වීම්, තල්ලු කර ගැනීම් සිදු වෙනවා. මොකද? රගර් කියන්නේ චෙස්, කැරම් වගේ ක්‍රීඩාවක් නෙමෙයි. මේක මහ ලොකු සිදුවීමක් නෙමෙයි. හැබැයි, ආණ්ඩුව අද මේකත් තමන්ගේ දේශපාලනයට යොදා ගන්නවා. අපි ආණ්ඩුවට කියන්නේ, ක්‍රීඩාව දේශපාලනීයකරණය කරන්න එපා. ක්‍රීඩකයන්ට ක්‍රීඩාව කරගෙන යන්න දෙන්න. ඒකෙන් පාඩු වෙන්නේ නාමල් රාජපක්ෂට නෙමෙයි. ක්‍රීඩකයන්ට සහ රගර් ක්‍රීඩාවටයි. ආණ්ඩුව මේ සිද්ධියත් දේශපාලනීකරණය කරන්න හදන හින්දා මම මේ ගැන තංගල්ල පොලිසියට පැමිණිල්ලක් දාලා තියෙන්නේ.’
ඔහු ආණ්ඩුවෙන් ඉල්ලන්නේ ක්‍රීඩාව දේශපාලනීයකරණය නොකරන ලෙසය. මේ කතාව අසා යමෙකු මේ කතා කියන්නේ කටින් දැයි කියා විමසුවහොත්, එහි වරදක් නොමැත. මන්ද? පසුගිය රාජපක්ෂ සමයේ තරම් ක්‍රීඩාව පමණක් නොව මුළු රටම දේශපාලනීයකරණය වී තිබූ කාලයක් මෑත ඉතිහාසයේ නොමැති තරම්ය. එකල නාමල් රාජපක්ෂට පමණක් නොව ඔවුන් සමඟ සිටි සනත් ජයසූරියට ද ක්‍රීඩා කරමින්, දේශපාලනය කිරීමේ අවස්ථාව ලැබිණි. ඔවුන් දෙදෙනාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස සිටිමින්, ක්‍රීඩාවේ නිරත වූහ. මෙවැන්නක් මීට පෙර කිසිම දිනක සිදු වී තිබුණේ නැත. අර්ජුන රණතුංග පවා දේශපාලනයට පිවිසියේ ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසුවය. බොහෝ ක්‍රීඩා සංගම්වල මුල් පුටුවලට පිවිසීමේ අවස්ථාව උදා වූයේ ද තමන්ගේ සුවච කීකරු වන්දිභට්ටයන්ටය. එපමණක් ද නොව අප මීට පෙර කලාපයකින් සඳහන් කළ පරිදි 2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ සත්කාරකත්වය මෙරටට ලබා ගැනීම සඳහා පැවති මාර්ග සංදර්ශන ඇතුලු අනෙකුත් කටයුතු සඳහා ද ඔවුන්ට රාජ්‍ය ආයතනවලින් මෙන්ම ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගැනීමට හැකි වූයේ ද දේශපාලන බලය නිසාමය.
තවද, ඔහු පවසන පරිදි මෙය සුළු සිද්ධියකි. එපමණක් ද නොව තල්ලූ කිරීමකි. එම වීඩියෝ දර්ශන නරඹන විට තල්ලු කරන ආකාරය මනාව පැහැදිලි වේ. ඔවුන්ට රාජ්‍ය බලයක් නොමැතිව අදත් ඔවුන් කටයුතු කරමින් සිටින්නේ මෙලෙස නම්, ඔවුන්ට රාජ්‍ය බලය තිබිය දී කෙසේ කටයුතු කරන්නට ඇත් දැයි සිතීම ඔබටම භාර කරන්නෙමු. ඔහුට මෙය සුළු සිද්ධියක් වන්නේ ඔවුන්ගේ කාලයේ දී ඊට වඩා ලොකු සිද්ධීන් සිදු වූ නිසා විය හැකිය. ඔහුම පවසන පරිදි ඕනෑම රගර් තරගයක දී මෙවැනි සිදුවීම් සිදු විය හැකිය. ඔහු විසින් ප්‍රකාශ කරනු ලබන මෙම වදන් අනුව සිතා බලන විට හිටපු සුපිරි රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ සිද්ධියත් එම යුගයේ දී රගර් තරගයකින් අනතුරුව සිදු වූ සිද්ධියක ප්‍රතිඵලයක් දැයි යමෙකු තුළ සැකයක් ඇති වුවහොත්, එහි වරදක් නොමැත.
වසීම් තාජුඩීන්ගේ ඝාතනය ගැන සොයා ඝාතකයන්ට දඩුවම් දෙනවා යැයි පවසමින්, බලයට පැමිණි වත්මන් යහපාලන ආණ්ඩුව මේ වන තුරුත් ඝාතකයන්ට දඩුවම් ලබා දී නොමැත. අසන සෑම විටම ආණ්ඩුව පවසන්නේ ඒ ගැන විමර්ශන කරනවා, ළඟදීම දඩුවම් දෙනවා යැයි කියාය. එහෙත්, මේ යන විදියට නම්, අපට පෙනී යන්නේ මීළඟ මහා මැතිවරණය හෝ ජනාධිපතිවරණය වන තුරුත් එය ආණ්ඩුවේ තවත් කඩවුණු පොරොන්දුවක් පමණක් වන බවය.
රාජපක්ෂ පවුලේ සාමාජිකයකු නොවන අයකු විසින් මෙම පහර දීම සිදු කළේ නම්, ‘මෙන්න අපේ වීරෝදාර රණවිරුවන්ට පහර දෙනවා, ඔවුන්ව බිල්ලට දෙන්න හදනවා, විදුලි පුටුවට ගෙන යන්න හදනවා, මේවා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ, මේවා කෙරෙන්නේ දෙමළ ඩයස්පෝරාවේ ඕනෑකමට’ යැයි පරසක්වළ ගසා පවසමින්, සටන් පාඨ කියමින්, තමන් මහා දේශප්‍රේමීන් යැයි කියා ගන්නා බංකොලොත්, අනාථ දේශපාලකයන් පිරිස මෙන්ම චීවරධාරීන් පිරිස ද මේ වන විටත් මාධ්‍යවල මෙන්ම මහ පාරේ දී සංදර්ශන සියයකටත් වඩා පවත්වා අවසන්ය. එහෙත්, තමන්ගේ ඉටු දෙවියා ලෙස සලකනු ලබන හිටපු ජනාධිපතිවරයාගේ පවුලේ අය හෝ ගජමිතුරන් විසින් ඔවුන්ම හඳුන්වන රණවිරුවන්ට කරනු ලබන මෙවැනි කි්‍රයාවල දී ඊට විරුද්ධව කතා කිරීමට මේ එකදු ඊනියා දේශප්‍රේමියෙකුගේවත් කටවල් ඇරෙන්නේ නැත. ඒ බව මීට පෙර බැසිල් රාජපක්ෂගේ නිවසේ ඔහුගේ සුරතල් බල්ලන්ගේ වැඩ කිරීම සඳහා හමුදා නිලධාරීන් යොදවන ලද අවස්ථාවේ දී හිටපු එල්.ටී.ටී.ඊ. නායකයන් වන කරුණා අම්මාන් සහ පිල්ලෙයන්ලාගේ ආරක්ෂාව සඳහා හමුදා නිලධාරීන් යෙද වූ අවස්ථාවේ දී ද මනාව ඔප්පු කර ඇත. ඒ අනුව මෙම බොරු දේශප්‍රේමී නඩයේ සිටින දේශප්‍රේමියකුගේම වචනයෙන්ම පැවසුවහොත්, ඔවුන්ගේ බොරු දේශප්‍රේමය දැන් රෙද්දපල්ලෙන් බේරී අවසන්ය.


සමන් රණවක ආරච්චි