දැරියක් කෙලෙසූ ඇමති සජිත්ගේ ගෝලයෝ

VVVVVVVVVV
තාජුඩීන්ගේ ඝාතනය සහ නාමල්ගේ ‘තල්ලුව’
February 13, 2018
gasat
මරණ වන්දියත් අහිමි කළ හතරවරං ගැසට් එක
February 13, 2018
Show all

දැරියක් කෙලෙසූ ඇමති සජිත්ගේ ගෝලයෝ

26733497_567038346986291_8036190117827233504_n

පසුගියදා හම්බන්තොට, වීරවිල, ගෝනගමුව ප්‍රදේශයේ කෝන්වැලෑන ග්‍රාමනිලධාරී වසමේ දී තරුණයන් තිදෙනෙකු විසින් සමූහ දූෂණයට ලක් කරන ලද 14 හැවිරිදි පාසල් දැරිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර සිටියදී මිය ගොස් ඇත. තම පෙම්වතා හා ඔහුගේ මිතුරන් දෙදෙනෙකු විසින් තමන් දූෂණය කළේ යයි ලිපියක් ගියා තබා නිවස පිටුපස ගසක ගෙල වැලලාගෙන මිය යාමට උත්සාහ දරද්දී නිවැසියන් විසින් ඇය බේරාගෙන රෝහල් ගත කර තිබුණි.
මේ වන විටත් අදාළ තරුණයන් තිදෙනා පොලිසීය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී. අදාළ සමූහ දූෂණය සම්බන්ධයෙන් චෝදනා එල්ලවන්නේ ඇගේ පෙම්වතාට සහ ඔහුගේ මිතුරන් දෙදෙනෙකුටයි. පසුගිය 9 වැනිදා රාත්‍රියේ දැරිය සමූහ දූෂණයට ලක්වන්නට ඇති බවට පොලිසිය සැකකරන අතර අදාළ තරුණයන් දැරියගේ නිවස ආසන්න ස්ථානයක මත්පැන් පානය කර, ඉන් පසුව දැරිය දූෂණයට ලක් කරන්නට ඇති බව හෙළි වී ඇති තොරතුරු වල සඳහන්ය.
සිය දිවි හානි කර ගැනීමට ප්‍රථම දැරිය විසින් ලියූ ලිපියක් ද හමුවී ඇති අතර, එහි මෙම තරුණයන් තුන්දෙනා සම්බන්ධයෙන් කරුණු සඳහන් කර ඇත. පසුව මෙම තරුණයන් තුන්දෙනා යාල රක්ෂිත ප්‍රදේශයේ සැඟව සිටියදී ප්‍රදේශවාසීන් විසින් 11 වනදා අලුයම අල්ලා ගෙන පොලිසියට භාර දී තිබේ.
ප්‍රදේශවාසීන්ගේ පහරකෑමට ලක්වූ මෙම තරුණයන් තිදෙනා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ දෙබරවැව මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ. සැකකාර පෙම්වතා 23 හැවිරිදි වියේ පසුවන අතර අනෙක් තරුණයන් 18 හැවිරිදි සහ 20 හැවිරිදි වියේ පසුවෙයි.
මෙය බැලු බැල්මට තවත් එක්තරා සිදුවීමකි. 2017 වසර තුළ ළමා අපයෝජන අට දහස් පන්සිය හතළිස් අටක් වාර්තා වී ඇත. එසේම සෑම විනාඩි අනූවකටම වරක් ස්ත්‍රී දූෂණයක් සිදු වන රටක මෙවැනි දෑ සිදු වීම පිළිබඳ පුදුම විය යුතු නැත. එහෙත් සාමාන්‍ය ජනතාවට අනුව මේවා අහස පොළොව නුහුලන අපරාධයන්ය. අපරාධකරුවන්ට දැඩි දඩුවම් පමුණුවන ලෙස ඔවුහු ඉල්ලා සිටිති. අපරාධකරුවන් ද පෙනෙන්නට සිටියි. ඒ නිසා අවශ්‍ය වන්නේ නීතිය ක්‍රියාත්මක වීම පමණක් බව කෙනෙක්ට සිතිය හැකිය.
උතුරේ විද්‍යා නම් පාසල් ශිෂ්‍යාව මුහුණ දුන්නේ ද මෙවැනිම ඛේදවාචකයකටය. ඒ පිළිබඳ චෝදනා ලැබූ ස්විස් කුමාර් ඇතුළු පිරිසට මරණ දඩුවම නියම විය. එසේනම් රටේ නීතිය ද ක්‍රියාත්මක වේ. ඒ ගැන විස්සෝප විය යුත්තේද නැත. එහෙත් මෙවැනි දෑ නිරන්තරයෙන් අසන්නට ලැබේ. නීතියත් ක්‍රියාත්මක වේනම්, වැරදි කරුවන්ට දැඩි දඩුවම් නියම වේනම් මෙහි ඇති ගැටළුව කුමක්ද?
යාපනයේ විද්‍යාගේ මරණය සම්බන්ධ සිදු වීමත් සමග මේ ගැන වැදගත් තොරතුරු රැසක් එළියට ආවේය. ඒ එම ඝාතකයන්ට රැකවරණය ලබා දුන් පුද්ගලයන් පිළිබඳවය. විජය කලා මහේෂ්වරන් සහ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහගේ නම් ද ඒ සමග ඈඳී තිබුණි.
මේ කියන හම්බන්තොට සිදුවීමද එසේමය. මේ සමූහ දූෂණයට සම්බන්ධ තරුණයන් තිදෙනා එක්සත් ජාතික පක්ෂයෙන් තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවට ඉදිරිපත්වන එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයන් විසින් සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා සෘජුවම දායකකරගත් තිදෙනෙකි. තේරෙන භාෂාවෙන් කියනවානම් ඇමති සජිත් ප්‍රේමදාසගේ ගෝලයන් පිරිසකි.
මෙහි නම් සඳහන් ජී.ජී. ලහිරු ප්‍රසන්න නම් තරුණයාගේ පියා ජයසිරි වන අතර ඔවුන් ප්‍රබල එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවෝ වෙති. එක්සත් ජාතික පක්ෂයට මාගම කොට්ඨාසයෙන් ඉදිරිපත්ව සිටින සූරසේන ජාලියගොඩ නම් අපේක්ෂකයාගේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලය දමා ඇත්තේද මෙම ජී.ජී. ලහිරු ප්‍රසන්නගේ නිවසේ වන අතර නව යොවුන් වියේ පසුවන මෙම තරුණයන් තිදෙනාට මත්පැන් ලැබී ඇත්තේද එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාගෙන්ම බවද පැවසේ. ඔහු නිතර සිය ආධාරකරුවන්ට මත්පැන් සංග්‍රහයන් ලබා දෙන බවත් පැවසේ. ඔහුගේ මිතුරන් වන අනෙක් පුද්ගලයන් දෙදෙනා ද හම්බන්තොට එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකරුවන්ය. ජී.ජී. ලහිරු ප්‍රසන්නගේ පියා වන ජයසිරි නැමැති අය සූරසේන ජාලියගොඩගේ සහ සජිත් ප්‍රේමදාසගේ සමීප හිතවතෙකි.
යාපනයේදී සිදු වූවාක් මෙන්ම මේ සිදුවීමේදී ද දේශපාලකයන් විසින් සැකකරුවන් ආරක්ෂා කිරීමට උත්සාහ කර ඇති බව දැනටමත් හෙළි වී තිබේ. සැකකරුවන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවන බවත් ඔවුන් ආරක්ෂා කිරීමට පොලිසිය මැදිහත් වන බවත් ගම්වැසියන් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරන්නේ ඒ නිසාය. සැකකරුවන්ව ගම්වැසියන් විසින් අල්ලා දෙන තුරු පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගැනීම හිතාමතාම මගහැරිය බවට ගම්වැසියෝ චෝදනා කරති. විශේෂයෙන් කිරින්ද පොලිසිය රාජකාරි කටයුතු සඳහා පැමිණෙන්නේ සැකකරුවන්ගේම වාහන වලින් බවත් පැවසේ. ගම්වැසියන් විසින් අල්ලා ගත් සැකකරුවන් වීරවිල විශේෂ පොලිස් මෙහෙයුම් ඒකකයට භාර දෙන්නේ ඒ වන විටත් ගම්වැසියන් තුළ පොලිසිය සම්බන්ධයෙන් තිබුණු සැකය නිසාය.
මාධ්‍යයෙන් කෙසේ වසන් කරන්නට හැදුවත් මේ සියල්ල පසුපස ඇමති සජිත් සහ ගෝලබාලයන් සිටින බව තව දුරටත් වසන් කිරීමට නොහැකි විය. සම්බන්ධතා එක පිට එක එළියට එන්නට පටන් ගත්තේය. එල්ල වන අපවාදයන්ගෙන් බේරිල්ලක් නැති බව දැන ගත් ඇමති සජිත් ප්‍රේමදාස ඔහුගේ අපේක්ෂකයාත් සමග මෙම දැරියගේ නිවසට පසුගිය 16 වන දින එන්නේ වැඩේ ගොඩින් බේරා ගැනීමටය. එසේ පැමිණ, අපරාධයට තමන් සම්බන්ධ නැතැයි පවසමින් රුපියල් 25,000ක මුදලක් එම දැරියගේ ඥාතීන් වෙත ලබාදී ඇත. සජිත් සිතන්නට ඇත්තේ මුදල් දුන් පසු සියල්ල අවසන් වනු ඇති කියාය. එහෙත් එසේ වූයේ නැත. මේ වනවිට ප්‍රදේශය පුරා කළු කොඩි ඔසවා ඇති අතර එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාගේ ප්‍රචාරක කාර්යාලයද ගලවා ඉවත් කර තිබේ. එම අපේක්ෂකයාට ප්‍රදේශයෙන් එල්ලවන දැඩි විරෝධය හමුවේ ඔහු දැන් සැඟවී සිටින බවද වැඩිදුරටත් වාර්තා වේ.
ඇමති සජිත් දැරිය දූෂණය කළේ නැති බව අමුතුවෙන් කියන්නට දෙයක් නොවේ. දූෂණයට සම්බන්ධ වී ඇත්තේ ඔහුගේ ගෝලයන්ය. ඇමති සහ ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයන් කරන්නේ ඔවුන් ආරක්ෂා කිරීමය. ඒ වෙනුවෙන් පොලිසියට බලපෑම් කිරීමය. පොලිසියද කරන්නේ ඒ වරදාන වරප්‍රසාදයන්ට යට වී නීතිය වෙනුවට අවනීතිය ක්‍රියාවට නැගීමයි. ඒ ගැන කියන්නට තවත් සාක්ෂි උවමනා වන්නේ නැත.
සජිත් ප්‍රේමදාස විසින් හම්බන්තොට ප්‍රදේශයේ මැතිවරණ නීති කඩමින් දේශපාලන බලය ප්‍රදේශය පුරා පතුරුවන අයුතු මැතිවරණය ප්‍රකාශයට පත් වූ දා සිටම අසන්නට ලැබුණි. ඒ සඳහා මෙවැනි මතට ලොල් වූ, ඕනෑම මැර ක්‍රියාවක් කිරීමට පසුබට නොවන ගෝලබාලයන් පිරිසක් ද අවශ්‍යය. ප්‍රසිද්ධියේ ‘සසුනට අරුණක්’ ගෙන එන බව පෙන්වමින් පන්සල් ගානේ ගියත් තමන්ගේ දේශපාලන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ ඔවුන් මතය. එහෙත් තම පටු දේශපාලන අරමුණු ඉටු කරගැනීම සඳහා මෙවැනි පිරිස් නිර්මාණය කිරීමේ ඛේදවාචකයට මුහුණ දීමට සිදු වී තිඛෙන්නේ සාමාන්‍ය ජනතාවටය. මෙවැනි දේශපාලකයන් නිසා ජනතාව අනාරක්ෂිත වී තිබේ. ඒ නිසා මෙවැන්නන් හම්බන්තොටින් පමණක් නොව සමස්ත දේශපාලනයෙන්ම පළවා හැරීම ජනතාව සතු වගකීමකි.


චතුර දිසානායක