පහත් තැනින් යයි ගලා ජලේ…

ipl
අයි.පී.එල්. වෙන්දේසියෙන් ලංකාව විසිවෙයි
February 13, 2018
Untitled-1
වෙඩි තියන්න තුවක්කුවක් ඕන නැහැ වාගේම රඟපාන්න කකුලක් ඕනත් නැහැ…
February 14, 2018
Show all

පහත් තැනින් යයි ගලා ජලේ…

motor cross

මෙරට සුපිරි යතුරුපැදි ධාවන ශූරයකු වූ ආනන්ද වෙඩිසිංහ මියගොස් වසරකට ආසන්න වේ. 2017 අප්‍රේල් 24 දා නුවරඑළිය යතුරුපැදි ධාවන පථයේ දී පැවති තරගයක් අතරතුර දී සිදු වූ අනතුරකින් ඔහු ජීවිතයෙන් සමුගත්තේය. එම අනතුර සිදුවූයේ ඔහු සහ තවත් ක්‍රීඩකයකු තරගයේ පෙරමුණ ගැනීම සදහා යාමේ දී දෙදෙනා එකිනෙකා ගැටීමෙනි.
ආනන්දගේ මෙම මරණය සම්බන්ධව ඒ දිනවල නොයෙකුත් මත ඉදිරිපත් විය. ඔහුගේ ප්‍රතිවාදී ක්‍රීඩකයා විසින් සිතාමතාම ඔහු අනතුරට පත්කළේ යැයි මතයක් කරළිියට පැමිණීමත් සමග මෙම මරණය පිළිබඳව සමාජය තුළ මහත් ආන්දෝලනයක් ඇති විය. මේ නිසාම මෙම මරණය පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා පියවර ගත්තේය. එම කමිටුව ක්‍රීඩා අමාත්‍ය උපදේශක මිල්ටන් අමරසිංහ, ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලක්ෂ්මන් එදිරිසිංහ සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එච්. එම්. බී. පී. හේරත් යන අයගෙන් සමන් විත විය. ඔවුන්ගේ කමිටුව විසින් මෙම අනතුර පිළිබඳව සිදු කරන ලද පරීක්ෂණ වාර්තාව මේ වන විට නිකුත් කර දී ඇත.
එම කමිටුවේ නිගමනය වී ඇත්තේ පෙරමුණ ගැනීමට යාමේ දී වේගය පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා මෙම අනතුර සිදු වී ඇති බවය. එමෙන්ම මාර්ග ධාවන තරගයේ දී අනතුරු සිදු වීමේ වැඩි ප්‍රවණතාවයක් පවතින නිසා ඔවුන් මෙය අවබෝධ කරගෙන වේග සීමාවන් අදාළ ස්ථානවල දී පාලනය කරගැනීම තමුන්ගේ පෞද්ගලිකව ඔවුන්ගේ වගකීම වන බැවින් මෙම අනතුර සිදුවීම පිළිබඳව වගකීම අදාළ ක්‍රීඩකයන් දෙදෙනාම භාර ගතයුතු බව ඔවුන් වැඩි දුරටත් පවසයි.
ලංකාවේ සිටින සුපිරි ධාවන ශූරයන් දෙදෙනකු වන ඩිලන්ත මාලගමුව සහ ගයාන් සදරුවන් පවසන පරිදි නුවරඑළිය ධාවන පථය බොහෝ අනතුරු සහිත ධාවන පථයකි. මේ නිසා එවැනි ධාවන පථයක මෙවැනි තරගයක් පැවැත්වෙන විට ප්‍රථමාධාර, ගිලන්රථ සේවා සහ සන්නිවේදන හැකියාවද ඉතා හොඳින් තිබිය යුතුය. ඔවුන් දෙදෙනා පවසන පරිදි මෙම තරගයේ දී ඉහත සදහන් කරන ලද පහසුකම් සැපයීමට තරග සංවිධායකයන් අපොහොසත් වී ඇත. ආනන්ද අනතුරට ලක් වී බොහෝ වේලාවක් ගතවන තුරුත් ගිලන්රථ පැමිණ නැත. තවද මෙම අනතුර සිදුවීමෙන් පසුව හෝ තරග නතර කිරීමට සංවිධායකයන් කටයුතු කර නැත. එපමණක්ද නොව මෙම අනතුර සිදු වී දින කිහිපයකට පසු ක්‍රීඩා අමාත්‍යවරයා මාධ්‍යට පැවසූ පරිදි මෙය ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද තරගාවලියක්ද නොවේ. එසේ නම් මෙම අනතුරට වගකිය යුත්තේ ධාවකයන් දෙදෙනා පමණක්ද? මෙය අපේ රටේ හැටිය. නුසුදුසු දේශපාලකයන් පාර්ලිමේන්තුවට යැවීම පිළිබඳ සියලු දෙනාම චෝදනා කරන්නේ රටේ ජනතාවටය. එවැනි දේශපාලකයන්ට මැතිවරණවලට තරග කිරීමට නාමයෝජනා ලබාදෙන පක්ෂවලට හෝ එහි නායකයන් කිසිවකුත් චෝදනා කරන්නේ නැත. මෙතනදීත් සිදු වී ඇත්තේ එයමය.
කමිටුවේ නිගමනය අනුව මෙතනදීද වරද සිදු කර ඇත්තේ ක්‍රීඩකයන් දෙදෙනාය. ඔවුන්ව පවසන පරිදි අනතුරු සිදු වීමේ වැඩි ඉඩකඩක් පවතින ක්‍රීඩාවක්, අනතුරු සහිත ධාවන පථයක සංවිධානය කළ මෙවැනි තරගයකදී තිබිය යුතු අත්‍යවශ්‍යම පහසුකම් පවා සැපයීමට අපොහොසත් වූ සංවිධායකයන් වරදකරුවන් නොවේ. මෙය අපේ ගම්බද ව්‍යවහාරයේ පවතින ‘පහත් තැනින් යයි ගලා ජලේ’ යන කියමන යළි සනාත කිරීමකි.
ධාවන තරග අතරතුරදී ක්‍රීඩකයන්ට තම ජීවිත අහිමි වූ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. මීට පෙරද ඩිල්ෂාන් බණ්ඩාරනායක, රංජිත් ධනපාල වැනි ක්‍රීඩකයන්ටද තම දිවි අහිමි වූයේ මෙවැනි තරග අතරතුරදීය. මේ නිසා මින් ඉදිරියට හෝ මෙවැනි තරග පැවැත්වීමේ දී ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව පිළිබඳව මීට වඩා සැලකිලිමත් විය යුතුය. එසේ නොවුණ හොත් ඉදිරියේ දී තවත් වටිනා ජීවිත රටට අහිමිවනවා නිසැකය.


සමන් රණවක ආරච්චි