පාලකයන්ගේ වරදින් බැටකන සූරියවැව…

Operation-RESCUE-Warm-Shelter-Flag-2 (1)
කතාව සහ ක්‍රියාව
February 13, 2018
සොදුරු සල්පිල් මැද – දෙව්ලොව නැති සැප විකුණන්නේ
February 13, 2018
Show all

පාලකයන්ගේ වරදින් බැටකන සූරියවැව…

kesel ken

සූරියවැව නගරය දකුණු පළාතේ හම්බන්තොට දිස්ති්‍රක්කයේ පිහිටි ප්‍රමුඛ නගරයකි. අප සූරියවැව නගරයට පිවිසෙන විට නගරය පාළු ස්වභාවයක් ගෙන තිබුණි. ඒ වන අලින් ගම් වැදීම හේතුවෙනි. රාජපක්ෂ පාලනය විසින් රටපුරාම නිර්මාණය කළ භීෂණයේ දෝංකාරය තවමත් සූරියවැව ජනතාව තුළ පවතී. යහපාලන පාලකයන්ද ඒ බිය තවත් වැඩි කරනවා විනා එය අඩු කිරීමට හෝ අවසන් කිරීමට පිළියම් යොදා නැත. අද සූරියවැව යනු තවත් එක් නගරයක් පමණක්ම නොවේ.
සූරියවැව ජනතාවගේ ප්‍රධාන ආදායම් මාර්ගය පවට පත්වී ඇත්තේ ගොවිතැනයි. වී ගොවිතැන ජනතාවගේ ප්‍රධාන කෘෂි වගාවයි. ඊට අමතරව ප්‍රධාන ගොඩ වගාව වන්නේ කෙසෙල් වගාවයි. කෙසෙල් වගාව හරහා ජනතාව එදිනෙදා ජීවත්වීම සඳහා මුදලක් සොයා ගනී. එයද දහසකුත් පීඩාවන් මධ්‍යයේ කරගෙන යන බව අප ඇස ගැටුණි. එක් පැත්තකින් වන අලි තර්ජනය බරපතළ ගැටලුවක් බවට පත්ව ඇත. අනෙක් පැත්තෙන් සිය භෝගයන්ට නිසි මිලක් නොලැබීම ගැටලුවක්ව පවතී. ඊට අමතරව ගොඩ භෝග ලෙස වම්බටු, තක්කාලි, වැටකොළු, වට්ටක්කා ආදී භෝගයන් විශාල වශයෙන් වගාකර ඇත. කොතරම් ගැටලු පැවතියද ජනතාව වගාවන්ගෙන් ඉවත් නොවී සිටීම අගය කළ යුත්තකි.
සූරියවැව ප්‍රදේශයේ පාරවල් සම්බන්දයෙන්ද අපේ අවධානය යොමුවිය. ප්‍රධාන පාරවල් සියල්ල කාපට් කර තිබුණද ජනතාව එදිනෙදා භාවිතා කරන අතුරු මාර්ගයන් සංවර්ධනය වී ඇති බවක් නොපෙනේ. නගරයට සමීප පාරවල් කිහිපයක් හැරෙන්නට අනෙක් පාරවල් සියල්ල පවතින්නේ සංවර්ධනය කළ යුතු මට්ටමකය. විශේෂයෙන්ම ග්‍රාමීය කෘෂි නිෂ්පාදන නගරයට රැගෙන එන පාරවල් සියල්ල අබලන් තත්ත්වයේ පවතී.
සූරියවැව පිළිබදව ඉඳ හිට රටතුළ කතාවන්නේ මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය හේතුවෙනි. මෙම ක්‍රීඩාංගණය සම්බන්ධයෙන් ප්‍රදේශයේ ජනතාව දක්වන්නේ යහපත් ප්‍රතිචාරයක් නොවේ. පසුගිය ආණ්ඩුව ජනතාව මත තැබූ තවත් සුදු අලියෙකු ලෙසින් ජනතාව මෙම ක්‍රීඩාංගණය හඳුන්වා දීමද පුදුම විය යුත්තක් නොවේ. මෙම ක්‍රීඩාංගණය හරහා ජනතාවට සිදුව ඇති කිසිදු යහපතක් නැත. හිටපු ජනාධිපතිවරයා රටපුරා පාසල්, ක්‍රීඩාපිටි, පාලම්, බෝක්කු ආදියට තමන්ගේ නම යොදා ගැනීමට දැක්වූ කැමැත්ත නිසාම සූරියවැව ක්‍රීඩාංගණයක් ඉදිකර එයට තමාගේ නම යොදාගත් බව ප්‍රදේශයේ ජනතාව පවසන්නේ අප්‍රසාදයෙනි.
සූරියවැව ජනතාවගේ ප්‍රධාන ගැටලුවක් බවට පත්ව ඇත්තේ පානීය ජල ගැටලුවයි. අනෙක් පැත්තෙන් වගාවන් සඳහා ජලය නොමැතිකමද එම ජනතාවට ඇති තවත් ගැටලුවකි. මේ වන විට රුහුණු ජල ව්‍යාපෘතිය මගින් ජල ව්‍යාපෘතියක්ද, ප්‍රජා ජල ව්‍යාපෘති රැසක්ද දක්නට ලැබේ. රජය මගින් පවත්වාගෙන යනු ලබන රුහුණු ජල ව්‍යාපෘතිය යම් ප්‍රදේශයක් ආවරණය කළද ප්‍රදේශයේ ජනතාවගේ සමස්ත ජල ගැටුවට එය සාධාරණ විසඳුමක් වී නැත. විශේෂයෙන්ම ජනතාවට ඇති ප්‍රධානම ප්‍රශ්නය වී ඇත්තේ පානීය ජල ගැටලුවයි. පාලකයන් විසින් මෙතෙක් කලක් නොසලකා හැර ඇත්තේද එම ගැටලුවයි.
සූරියවැව ජනතාව මුහුණ දෙන තවත් ප්‍රබල ප්‍රශ්නයක් වී ඇත්තේ මාතෘ සායන නිසි ප්‍රමිතියක නොතිබීමයි. සූරියවැව ප්‍රාදේශීය සභාව පුරා මාතෘ සායන 21ක් පවතින බව වාර්තා විය. එම මාතෘ සායනවලින් එකක් හැරුණු විට අනෙක් 20ම පවතින්නේ හදිසි ප්‍රතිසංස්කරණයකට ලක් කළ යුතු තත්ත්වයකි. ඇතැම් මාතෘ සායනවල වහලවල් දිරාපත්වී ඇත. ඇතැම් ඒවායේ මව්වරුන්ට වාඩිවීමට ඇත්තේ එක් පුටුවක් හෝ දෙකක් පමණි. ප්‍රාදේශීය සභාව විසින් නඩත්තු කළ යුතු මෙම සායන වසර කිහිපයකින් නඩත්තුකර නැතිබව පැහැදිලිව පෙනේ. ජනතාවගේ සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් පසුගිය වසර කිහිපයේම වෛද්‍ය සායන නොපවත්වා ඇත. ඒ නිසාම ජනතාවට අධික දුරක් ගෙවා සෞඛ්‍ය සායනවලට යා යුතු තත්ත්වයක් උද්ගත වී ඇත.
මේ වන විට සූරියවැව ප්‍රාදේශීය සභාව මගින් පාලනය කරනු ලබන්නේ එක් ළදරු පාසලක් පමණි. එයද අදාළ ගුරුවරුන් පවත්වාගෙන යන්නේ ජනතාව ගැන සිතා මිසක කැමැත්තකින් නොවේ. ළදරුවන්ට කිසිදු ආරක්ෂාවක් නොමැති ආකාරයක් බැලු බැල්මට පෙනේ. අනාරක්ෂිත බවට අමතරව දරුවන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කරගැනීම සඳහා කිසිදු පහසුකමක් එම ආයතනය තුළ දක්නට නොමැත. අනෙක් පැත්තෙන් සූරියවැව සභාව තුළ පෞද්ගලික ළදරු පාසල් අධික්ෂණයට නිසි වැඩපිළිවෙළක් නොමැතිකම නිසා ඒවා පවත්වාගෙන යන්නේ ඒ ඒ ආයතනවල හිතුමතයටය.
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ සූරියවැව ප්‍රාදේශීය සභාව පාලනය කරන ලද්දේ රාජපක්ෂ ගෝලබාලයන්ය. ඒ අය සභාව පාලනය කළේ තමන්ගේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගැනීමට මිසක ජනතා සුභ සිද්ධිය සඳහා නොවේ. නගරයේ පොදු වැසිකිළි කැසිකිළි පද්ධතිය සම්පූර්ණයෙන්ම අක්‍රිය වී ඇත. නගරය අලංකාර කරන සූරියවැවට නගරයේ කානු පද්ධතිය හරවා තිබීම බරපතළ අර්බුදයකි. විශේෂයෙන්ම නගරයේ කානු පද්ධතිය නිසි ප්‍රමිතියකින් ඉදිකර නොමැත.
සූරියවැව පොළ පහසුකම් සම්බන්ධයෙන් ඇත්තේ ඛේදජනක තත්ත්වයකි. තොග වෙළඳාම සිදුවන තොගපොළේ ගොවියන්ට සහ වෙළෙඳුන්ට කිසිදු පහසුකමක් ලබා දී නොමැත. විශේෂයෙන්ම ගොවියන්ගෙන් අයකරන පොළ බදු නිසා ගොවි ජනතාව පත්ව ඇත්තේ බරපතළ පීඩනයකටය. නගර සංවර්ධනය පැත්තෙන් ගත්තද ඇත්තේ නිසි ප්‍රමිතියකින් විද්‍යාත්මක ඇගයීමකින් කරන ලද නගර සංවර්ධනයක් නොවේ. පාලකයන්ගේ වුවමනාවන් වෙනුවෙන් කරන ලද ක්‍රියා මාර්ගයන් විනා ඒවා සංවර්ධනයන් ලෙස අර්ථකථනය කළ නොහැකිය. කසළ ප්‍රශ්නයටද මෙතෙක් විසදුමක් ලබාදීමට සූරියවැව සභාව පාලනය කළ කිසිදු පාලකයෙකුට හැකියාවක් ලැබී නැත. කසළ බැහැරකොට ඇත්තේ සුප්‍රසිද්ධ මදුනාගල වනාන්තරයටය. කසළ පමණක් නොව ගලි බවුසර් පවා ගෙන ගොස් දමන්නේ මෙම වනාන්තරයටය. ඒ අනුව ප්‍රදේශයේ පරිසර පද්ධතිය විනාශ වී ඇති අතර බරපතළ සෞඛ්‍ය ගැටලුද නිර්මාණය වී ඇත. අනෙක් බරපතළම ඛේදවාචකය වන්නේ වන අලින් මේ කැළිකසළ භාවිතයට හුරුවීම නිසා එම සත්ත්වයන් බරපතළ අනතුරුවලට ගොදුරු වී ඇති බවය.
සූරියවැව ජනතාවගේ ප්‍රධානතම හා බරපතළම ගැටලුව බවට පත්ව ඇත්තේ වන අලි ගම්වැදීමයි. ප්‍රදේශයේ ජනතාව පවසන්නේ මේ ප්‍රශ්නය නිර්මාණය කළේ රට පාලනය කළ අදූරදර්ශී පාලකයන් බවය. අලිවැට නිසි පරිදි නඩත්තු නොකිරීම සහ නව විද්‍යාත්මක වැඩපිළිවෙළක් මගින් වන අලි ගම් වැදීම වැළැක්වීමට පියවර නොගැනීම පාලකයන්ගේ දුර්වලතාවක් බව ජනතාව පවසති. වන අලි ගම්වැදීම සිදුවූයේ රාජපක්ෂ පාලනය විසින් කැලෑ හෙළි පෙහෙලි කොට නිසි පරිසර ඇගයීමකින් තොරව පාරවල් ඉදි කිරීම හේතුවෙනි. වසරකට ආසන්න වශයෙන් සූරියවැව ප්‍රදේශයේ ජනතාව 10 දෙනෙකු පමණ වන අලි ප්‍රහාරයන් නිසා ජීවිතක්ෂයට පත්වේ. මේ වන විට අධිවේගී මාර්ගයක් ඉදිකරමින් පැවතීම නිසා වනය තුළ සිටි අලි ඇතුන් පාරවල් මගින් කොටු වී ඇත. ඒ නිසාම අලි ගම්වැදීම බහුල ලෙස සිදුවේ. වෙනදා රාත්‍රියේ ඉඳහිට ගම් වදින අලි ඇතුන් දැන් දිනපතා කාලයක් නියමයක් නැතිව ගම් වැදීමට පටන්ගෙන ඇත. ඇතැම් ප්‍රදේශවල ජනතාව සවස 3.00 පමණ වන විට ගෙවල්වලටම වී සිටීමට පුරුදුව සිටී.
මේ සියලු ගැටලු මේ අයුරින්ම පවතින තත්ත්වයක් තුළ සූරියවැව ජනතාව අභියසටද මේ වන විට පළාත් පාලන මැතිවරණයේ උණුසුම දැනෙමින් පවතී. රාජපක්ෂ ආණ්ඩුව සමයේ පැවති රාජපක්ෂ ගැති ප්‍රාදේශීය සභාව ජනතා අවශ්‍යතාවයන් වෙනුවෙන් පෙනී සිට නැත. වසරකට ආසන්න වශයෙන් කෝටි තුනකට ආසන්න ආදායමක් ලබන සූරියවැව ප්‍රාදේශීය සභාව විසින් ජනතාවට කරන ලද කිසිදු සේවයක් නොමැති බව පවසන්නේ එම ප්‍රදේශයේ ජනතාවය. රාජපක්ෂ ගැත්තෝ මෙවර පොහොට්ටුවෙන් පැමිණ නැවත බලය ඉල්ලන්නේ වසර ගණනාවක් පාලනය කොට කරන්නට බැරි වූ ආණ්ඩුබලයද තිබී කරන්නට බැරි වූ දෙය කරන්නටය. එය බඩ අල්ලාගෙන හිනාවිය යුතු කරුණක් බව තරුණයෙකු අප සමග පැවසීය. ජනතාව පවසන්නේ මෙතෙක් කල් තට්ටු මාරු ක්‍රමයට එජාපයත් ශ්‍රීලනිපය ප්‍රමුඛ එජනිස පාලනයත් පාලනය කළ සූරියවැව සභාව තවදුරටත් ඔවුන්ට පැවරීමෙන් පළක් නොවන බවයි. ඔවුන් පවසන්නේ ජනතාවාදී, ජනතාව වෙනුවෙන් කැපවන, ජනතාවගේ හද ගැස්ම හඳුනන, අවංකව වැඩ කරන පිරිසකට මෙවර ප්‍රාදේශීය සභාවේ බලය හිමි විය යුතුබවකි. මේ පිළිබඳව ප්‍රදේශයේ විවිධ තරාතිරම්වල පුද්ගලයන්ගෙන් කරුණු විමසා සිටි අප ඔවුන්ගේ හඩටද සවන් දිය යුතුය. ඉඩ කඩ සීමිත බැවින් කිහිප දෙනෙකුගේ හඩ අවධි කිරීමට ඉඩ විවර කරමු.

පැවති පාලනය ගැන තියෙන්නෙ කලකිරීමක්

වැවේගම මහා විද්‍යාලයේ හිටපු විදුහල්පති සූරියවැව වෙළඳ සංගමයේ ලේකම් ඩබ්.ඒ. රත්නසිරි මහතා 

සූරියවැව ප්‍රාදේශීය සභාව මුලින්ම නිර්මාණය වෙන්නේ 2006 වර්ෂයේදී. ඊට කලින් මේ ප්‍රාදේශීය සභාව පැවතියේ හම්බන්තොට ප්‍රාදේශීය සභාවට අනුබද්ධිතව. දැනට අවුරුදු 12ක් පමණ වෙනව මේ ප්‍රාදේශීය සභාවේ පරිපාලනය අරගෙන. මේ සභාවට සාමාන්‍යයෙන් පොළ බදුවලින් කෝටි දෙකක පමණ ආදායමක් ලැබෙනවා. ලංකාවේ පවතින විශාලතම පොළක් වශයෙන් තමයි සූරියවැව පොළ පවතින්නේ. මේ ආදායම පසුගිය කාලයේදී ප්‍රදේශයේ සංවර්ධනයට යොදාගෙන නැහැ. මේ ආයතනය පාලනය කළ අයගේ දුර්වලතාවයන් නිසා පාරවල් ටික පවා මේ වන විට පවතින්නේ සංවර්ධනය කළ යුතු මට්ටමක. නගරයේ විදිමත් කානු පද්ධතියක් සකස් කිරීමටවත් පැවති පාලනයන් අසමත් වෙලා තියෙනවා. ප්‍රධාන ජල මූලාශ්‍රයක් වූ සූරියවැව කානු පද්ධතිය වැවට හැරවීම නිසා දූෂණයට ලක්වෙලා. මේ වගේ සියලු ප්‍රශ්න ගැන ඇත්තේ අපිට නම් කළකිරීමක්. ඒ නිසා එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී තෝරා ගන්නා නව කණ්ඩායම නිර්මාණශීලී, වංචාවෙන් දූෂණයෙන් තොර අවංක පාලනයක් ගෙන යන වැඩක් කරන්න හැකි පාලනයක් අපි නිර්මාණය කරගත යුතුයි. වැඩපිළිවෙළක් සහිත විනයක් ඇති පක්ෂයක පිරිසක් තෝරාගැනීමට මෙවර සූරියවැව ජනතාව බුද්ධිමත් විය යුතු බවයි මගේ හැඟීම.

අළුත් පිරිසකට වගකීම භාරදිය යුතුයි
සූරියවැව ජාතික පාසලේ ආචාර්ය ශාස්ත්‍රපති කින්චිගුණේ ධම්මින්ද හිමිපාණෝ

2018 කියන්නේ මේ රටේ ජනතාවට ඉතා වැදගත් අවුරුද්දක්. අපිට ලැඛෙන පළමු මැතිවරණය ලෙස මේ වසරේ අපිට ලැබී තිඛෙනවා පළාත් පාලන මැතිවරණයක්. සූරියවැව ජනතාවටත් ඒ අවස්ථාව උදාවෙලා තියෙනවා. සූරියවැව කියන්නේ රටට බත සපයන ආහාර භෝග සපයන ගොවි කම්කරු ජනතාවක් සිටින ප්‍රදේශයක්. 2006 හම්බන්තොටින් වෙන් කරල ගත්ත සූරියවැව ප්‍රාදේශීය සභාව හරහා ජනතාවගේ ප්‍රශ්න විසෙඳනවා වෙනුවට වෙලා තියෙන්නේ ප්‍රශ්න වැඩිවීමක්. අවම වශයෙන් පෙරපාසල් ටික එක ප්‍රමිතියකට ගේන්න පැවති පාලනයට නොහැකි වෙලා තියෙනවා. අනෙක තමයි සුසානභූමියවත් හරියට නඩත්තු කරන්න පැවති පාලනය අසමත් වුණා. මාතෘ සායන යථා අයුරින් පවත්වාගෙන යාම, කසළ ප්‍රතිචක්‍රීකරණයට යොමුවීම, කානු පද්ධතිය නඩත්තු කිරීම, ජනතා සහන වැඩපිළිවෙළක් සකස් කිරීම හිටපු පාලකයන් විසින් මග හරින ලද කාරණායි. සමස්තයක් වශයෙන් ගෙන කතා කළොත් මේ සභාව ජනතාවගේ සභාවක් වුණේ නැහැ. එක කණ්ඩායමක සභාවක් බවට පමණයි පත්වී තිබුණේ. දැන් තත්ත්වය වෙනස් කළ යුතු කාලය පැමිණිලා. ප්‍රදේශය පිළිබඳ අවබෝධයක් තිඛෙන, ප්‍රදේශය පිළිබඳ හැඟීමක් තිඛෙන, විශේෂයෙන්ම සභාව ගොඩ නැගීමට දැක්මක් වැඩපිළිවෙළක් තිඛෙන, අලූත් සංකල්ප තිඛෙන පිරිසකට මේ සභාව භාර දිය යුතුයි. එවන් පිරිසකට පමණයි මේ සභාව ජනතාවගේ සභාවක් බවට පත් කළ හැක්කේ. ජනතාවගේ හ~ බවට පත්වන ජනතාව වෙනුවෙන් කැපකිරීම් කරන පිරිසකට මෙවර මේ සභාව අනිවාර්යෙන්ම භාරදිය යුතුයි. ඒ සඳහා එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ජනතාව බුද්ධිමත් විය යුතුයි.


එස්.කේ.ගමගේ