මරණ වන්දියත් අහිමි කළ හතරවරං ගැසට් එක

26733497_567038346986291_8036190117827233504_n
දැරියක් කෙලෙසූ ඇමති සජිත්ගේ ගෝලයෝ
February 13, 2018
ලුxsdfvg
විදුලි බලය ඉන්දියාවට දීමේ තවත් සැලසුමක්
February 13, 2018
Show all

මරණ වන්දියත් අහිමි කළ හතරවරං ගැසට් එක

gasat

වන අලි ප්‍රශ්නය ලංකාවට අලුත් ප්‍රශ්නයක් නොවේ. වන අලි පහරදීම් නිසා සිදු වූ හානියක් පිළිබඳ පුවත් නිරන්තරයෙන්ම මාධ්‍ය මගින් වාර්තා වන නිසා එය මෙරට ජනතාවට සාමාන්‍ය ප්‍රශ්නයක් බවට පත් වී අවසන්ය. එහෙත් එය කොතරම් ජන ජීවිතය අර්බුදයට පත් කරන්නේ ද යන්න දෛනිකව එම ප්‍රශ්නය යට මුහුණදෙන ජනතාව හොඳින්ම දනිති. මේ කියන්නට යන්නේ ද එවැනිම ප්‍රශ්නයකි. වනඅලි උවදුර හමුවේ ගස් යට ආහාර අනුභව කර ගස් උඩ නිදාගැනීමට සිදුව ඇතිවා පමණක් නොව මේ ජනතාවට ඒ නිසා සිදු වන හානි වලට වන්දි ලබා ගැනීමේදී ද දුෂ්කරතාවයන් රැසකට මුහුණ දීමට සිදුව තිබේ. එක් පසෙකින් වන අලින්ගෙන් ද තවත් පසෙකින් වනජීවී ගැසට් පත්‍රයකින් ද බැටකන තමන්ට සහනයක් ඇත්තේම නැද්දැයි විමසන මේ ජනතාව පදිංචිව සිටින්නේ සේරුවිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් අටක ප්‍රදේශයකය.
1953 – 1962 කාලය තුළ එවකට පැවති රජයන් විසින් තමන් ඉහත කී ප්‍රදේශ තුළ පදිංචි කරවන ලද බව සෙල්වනගර්, සුමේධංකරපුර, සේරුවිල, කාවන්තිස්සපුර, මහින්දපුර, මහවැලිගම, සේරුනුවර, සිරිමංගලපුර යන ග්‍රාම නිලධාරී වසම්වලට අයත් ජනතාව පවසති. නමුත් 1971 වසරේ දී සිය ගම් වනජීවී කලාප තුනකට අයත් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති බැවින් වනඅලි හානි සම්බන්ධයෙන් වන්දි ලබා ගත නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බව ඔවුහු කියා සිටිති.
ගැසට්පත්‍රය අනුව දැන් මේ ජනතාව පදිංචිව සිටින්නේ වන සතුන් සඳහා වෙන් කළ ප්‍රදේශ වලය. ‘වනසතුන්ට අයිති ඉඩම්වල පදිංචි වූණාට අපට කරන්න දෙයක් නැහැ’ යි දැන් වනජීවී නිලධාරීන් මොවුන්ට චෝදනා කරති. ඒ නිසා දැන් මෙතැන ඇත්තේ අවනඩුවකි. වනජීවී නිලධාරීන්ට අනුව මොවුන් රක්ෂිත වන කලාපයක පදිංචි වී සිටිති. එහෙත් එසේ ගැසට් කිරීමට පෙර මොවුන් මෙම ප්‍රදේශ වල පදිංචි කරනු ලැබූයේ ද ආණ්ඩුවෙනි.
සේරුවිල ප්‍රාදේශීය ලේකම්වරයාද මෙතැන ගැටළුවක් ඇති බව පිළි ගනියි. සෙල්වනගර්, සුමේධංකරපුර, සේරුවිල, කාවන්තිස්සපුර යන වසම් සම්පූර්ණ වශයෙන් ද මහින්දපුර, මහවැලිගම, සේරුනුවර, සිරිමංගලපුර යන වසම් අර්ධ වශයෙන් ද වනජීවී කලාපවලට අයත් වේ. එහෙත් මෙම කලාපයේ පදිංචි ඇතැමුන්ට ජයභූමී හෝ ස්වර්ණ භූමි ඔප්පු පවා ලබා දී තිබේ.
‘සේරුවිල මහ පන්සල අයත් වන්නෙත් අල්ල අභය භූමියට. ඔය සෑම වසමකම ස්ථීර නිවාස, විදුලිය, පාසල්, මංමාවත්, පන්සල්, මාර්ග පද්ධති තිබෙනවා. යටිතල පහසුකම් සඳහා තවමත් රජයෙන් මුදල් වෙන් කරනවා. මේක ගැසට් නිවේදනය පිළිබඳ ප්‍රශ්නයක්. පාර්ලිමේන්තුවෙන් තමයි තීරණයක් ගතයුත්තේ’ යයි සේරුවිල ප්‍රාදේශීය ලේකම්වරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබිණි.
එහෙත් එකිනෙකා තවෙකෙක් වෙත ඇඟිල්ල දිගු කළ පමණින් ගැටළුව විසෙඳන්නේ නැත. ග්‍රාම නිලධාරීන්ගේ වාර්තාවලට අනුව 2017 වසරේදී සේරුවිල ප්‍රදේශය තුළ වනඅලි පහරදීම්වලින් සිදුව ඇති ජීවිත සහ දේපළ හානිය බරපතළය. ජීවිත හානි 06ක්, දේපළ හානි 41, වගා හානි 15 පසුගිය වසරේ වාර්තා වී තිබුණි.
මේ නිසා මේ ගම්වල ජනතාව රැය පහන් කරන්නේ ගස් උඩ තනා ගත් අට්ටාල වලය. ඇතැමුන්ගේ නිවාස වලට අවස්ථා දෙක තුනකදී වන අලින් පහර දී තිබේ.
‘අපට තිබුනේ පුංචි කටුමැටි ගෙදරක්. අට වතාවක්ම ඒක අලි කැඩුවා. කටු මැටි ගෙයක් නිසා නැවත නැවත හැදුවා. බැරිම තැන මිඳුලේ සියඹලා ගහ උඩ මැස්සක් බැඳගත්තා. සමහර දවස්වල මැස්සේ නිදාගන්නවා. නැතිනම් අම්මලාගේ ගෙදර යනවා. අලි කරදරේ නැත්නම් කුලී වැඩක් කරගෙන ජීවත් වෙන්න පුළුවන්. අපට අලිවෙඩි ටිකක්වත් හරියාකාරව ලැඛෙන්නේ නෑ. එක පවුලකට අවුරුද්දකටම දෙකයි දෙන්නේ’ යයි ගම්වැසියන් චෝදනා කරයි.
ත්‍රිකුණාමල දිස්ත්‍රික් වනජීවී සහකාර අධ්‍යක්ෂ නීතිඥ ඩබ්ලිව්.ඒ. ලලිත් කුමාර පෙන්වා දෙන්නේ සෝමාවතී වනරක්ෂිතය, අල්ල අභයභූමිය, ත්‍රිකෝණමඩු යන වනජීවී කලාපයන්හි සීමාමායිම් සලකුණු කර ඇත්තේ 1902 වසරේ බවය. එසේනම් 1953 දී ජනතාව පදිංචි කිරීමේ වගකීම භාර ගන්නේ කවුද?
මෙහි අනෙක් පාර්ශ්වයද එසේමය. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ලංකාවේ වසරකට මරණයට පත්වන අලිඇතුන් සංඛ්‍යාව 250ට අධිකය.
‘අපේ රට පාළනය කළ ඉංග්‍රීසි ජාතිකයෝ ඉතාම සැලසුම් සහගතව වැඩකළා. ලොකුම වැරද්ද නිදහස ලැබීමෙන් පසුව රට අයාලේ යාමයි. ගැසට් පත්‍රය වෙනස් කිරීම මේ ප්‍රශ්නයට විසඳුම නොවෙයි. වන සතුන්ගේ වාසභූමි විනාශ කරන්න ඉඩ දෙන්න බැහැ. අපි පසුගිය වසරේ සේරුවිලට අලිවෙඩි දෙදහකට වඩා දුන්නා. අළුත් අවුරුද්දට රතිඤ්ඤා පත්තු කරනවා වාගේ අලිවෙඩි පත්තු කළාට අපට කරන්න දෙයක් නෑ’යි නීතිඥ ලලිත් කුමාර අලි මිනිස් ගැටුම පිළිබඳ විස්තර කරයි.
කෙසේ වෙතත් නිල වාර්තාවලට අනුව අලි-මිනිස් ගැටුම හේතුවෙන් වසරකදී මරණයට පත්වන මිනිස් ජීවිත සංඛ්‍යාව 70 කි. වන අලි ප්‍රහාරයකින් මරණයට පත්වන පුද්ගලයෙකුට ආණ්ඩුව විසින් ලබා දෙනු ලබන වන්දි මුදල රුපියල් ලක්ෂ පහකි. අලි වෙඩි පවා අහිමි මිනිසුන්ට මේ ලක්ෂ පහ ලබා ගැනීම තවත් ගැටළුවකි.
ජනතාවගේ කර පිට ප්‍රශ්නය තබා ඇඟ බේරා ගැනීම ගැටළුවට විසඳුමක් නොවේ. වන සතුන්ට මෙන්ම මේ ජනතාවට ද මේ බිමේ අයිතියක් තිබේ. වන සතුන් සහ මිනිසුන් අතර ගැටුම් සිදු වන්නේනම් එය ඔවුන්ගේ ප්‍රශ්නයක් ද නොවේ. එහි වගකීම ආණ්ඩුව භාර ගත යුතුය. එහෙත් අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට මෙතෙක් බලයට පත්වූ කිසිදු රජයක් සමත්වී නොමැත.


සුධීර ඉද්දමල්ගොඩ