මිනිසෙකු නොමළ ගෙයකින් අබ සොයන ජනපති කොමිෂන් සභා..?

udayanga
උදයංග අපේ පුරවැසියෙක් – යුක්‍රේනය ඩුබායි බලධාරීන්ට දන්වයි
February 8, 2018
යළි ඉපදීම
February 13, 2018
Show all

මිනිසෙකු නොමළ ගෙයකින් අබ සොයන ජනපති කොමිෂන් සභා..?

elect2

දූෂිත බැදුම්කර ගනුුදෙනුව පිළිබද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව ජනපති මෛත්‍රී පසුගියදා ජනගත කළා. එදා – මෙදා සිටි සියලුම ජනාධිපතිවරු මේ වගේම විවිධ කරුණු කාරණාවලට ජනාධිපති කොමිෂන් සභා පත්කළ බව කවුරුත් දන්න දෙයක්. අපගේ මතකය නිවැරදි නම් චන්ද්‍රිකා ජනපතිවරිය තමයි වැඩියෙන්ම කොමිෂන් පත් කළේ. හැබැයි මේ කිසිම කොමිසමක් දුන්නු වාර්තා හා නිර්දේශ ගැන ජනතාව දැනුම්වත් කළේ නැහැ. ඒ වගේම ඒ කිසිම නිර්දේශයක් ක්‍රියාවට නැංවුණෙත් නැහැ. රාජ්‍ය ආයතන කීපයක සිදු වූ දූෂණ, වංචා පිළිබදව චන්ද්‍රිකා පත් කළ කොමිසමෙන් වැරදිකාරයෙක් ලෙස ඔප්පු වී, ප්‍රජා අයිතිය අශක්නුතාවට ලක් කිරීමට නිර්දේශ කළ ආර්. පාස්කරලිංගම් අද ඉන්නේ රනිල් අගමැති ළගයි. ඒ ආකාරයටම වැරදිකාරයෙක්වූ විජේපාල මෙන්ඩිස් ආණ්ඩුවට එක්වෙලා බේරුණා. චන්ද්‍රා බණ්ඩාරලා ඉඩම් හොරකම් කළත්, ඒවා ඔප්පු වී තිබුණත් දඩුවම් දුන්නේ නැහැ. බටලන්ද කොමිසමේ නිර්දේශත් ක්‍රියාවට නැගුනේ් නැහැ. ඒවා ගැන හරියට වැඩ සිදු වුණා නම් අද රනිල් නැහැ. සුදත් චන්ද්‍රසේකරලා, දෙල්ගොඩලා, හිරේ. ලලිත් ඇතුලත්මුදලි ඝාතනය හා ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ඝාතනය පිළිබද අවසන් නිර්දේශත් ක්‍රියාවට නැගුනේ නැහැ. කොටින්ම කොබ්බෑකඩුවගේ ඝාතනය සම්බන්ධයෙන් කිසියම් මට්ටමකට ආර්. ප්‍රේමදාස ජනාධිපති වැරදිකරුවෙක්. කොබ්බෑකඩුව හා ලලිත්ගේ ක්‍රියාකාරකම්වලින් හානි වුණේ ප්‍රේමදාසටයි. කොමිසමේ ඒකමතික තීරණය ප්‍රකාශ කර ඇත්තේ ඇතුලත්මුදලි ඝාතනය සදහා ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණය ජනපති ප්‍රේමදාස ඍජු ලෙසම සම්බන්ධ බව කොමිසමේ විශ්වාසයයි යනුවෙනි. (පි. අංක 236 – 237) ජෙනරාල් කොබ්බෑකඩුව ඝාතනය පිළිබද වාර්තාවේ මෙසේ සදහන් වෙනවා.
‘මේ සිද්ධියේදී දස දෙනෙක් මරුමුවට පත් වූහ. මෙම ඝාතන සිදුකිරීමත්, කෝප්‍රල් උපාලිට බරපතළ තුවාල වීමත් සම්බන්ධයෙන් ජනාධිපති ආර්. ප්‍රේමදාස කෙළින්ම වගකිවයුතු බවට කිසිදු සැකයක් නොමැති බව සාක්ෂිවලින් තහවුරු වී තිබෙනවා.’ එහි අරුත නම් මේ පරීක්ෂණ ක්‍රියාවලිය තුළ හෙළි වූ කරුණු මගින් මෙය අදත් පවසන පරිදි එල්ටීටීඊයේ ඝාතනයක් නොවන බවයි. ඒ යුගයේ එල්ටීටීඊය හා ජවිපෙ ගිණුමට බැරවන පරිදි සිදුකළ දේශපාලන ඝාතන රැසක් මේ ආකාරයෙන් වුවමනාවෙන්ම සගවනු ලබලා. බටලන්ද වගේ මිනිස්කමට නිගාකළ වධකාගාරයක් පවත්වාගෙන යාමට වගකිව යුත්තන්ට කිසිදු දඩුවමක් අදටත් ලැබී නැහැ.
සිරිසේන කුරේලා වගේ ඒ කාලයේ පාතාල ළමයින් හදාවඩා ගත්තවුන් මේවාට සම්බන්ධයි. වාර්තා එන විට සමහරු මැරිලා. කොටින්ම විජයගේ බිරිද වූ චන්ද්‍රිකා විජය ඝාතනයේ ජනාධිපති කොමිසමේ අවසන් නිර්දේශයවත් ක්‍රියාත්මක කළේ නැහැ. එහෙම වුණා නම් ගාමිණී ලොකුගේලා හිරේ. මෙහෙම පත්කළ කොමිෂන් සභාවල වාර්තා ක්‍රියාවට නැංවුණා නම් රට මේ තරම් විනාශයකට ලක්වෙන්නේත් නැහැ. බොහෝ දේශපාලඥයන්ට ලගින්නට වෙන්නෙත් හිරේ. අතුරුදහන් වූවන් පිළිබද කොමිසමේ වාර්තාවත් ගගට ඉනි කැපුවා වගේ වුණා. ඒ ඒ කාලවලදී ජනතාවගේ දැඩි අවධානය යොමු වුණු ප්‍රශ්න පිළිබදව මේ කොමිෂන් සභා පත් කළත් ඒවායින් සිදුවී ඇත්තේ ප්‍රශ්න යටපත් කරමින් කාලය කා දැමීමක් හා ආණ්ඩුවේ මුදල් නාස්තියක් විතරයි. ඇත්තටම ජනාධිපති කොමිසමක අරමුණ වියයුත්තේ අදාළ ප්‍රශ්නය ගැන ගැඹුරින් සෙවීමත්, එම ගැටලුවට හේතුවුණු කාරණා හා වැරදිකරුවන් හදුනාගෙන නැවත එවැන්නක් නොවීම සදහා ගතයුතු ක්‍රියාමාර්ග හදුනාගැනීමත්ය. අරමුණ එය වුවත් අද වන තෙක් අපේ ජනාධිපතිවරු මෙය පාවිච්චි කර ඇත්තේ තමුන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් විතරයි.
යටි අරමුණ කුමක් වුණත් ජනපති මෛත්‍රී බැදුම්කර වාර්තාව එළිදැක්වීම වගේම ඒ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග – අණ පනත් ගැන කීමත් බොහොම වැදගත්. කොහොම වුණත් මේ ප්‍රකාශය කරන්නට කලින් රනිල් අගමැති සමග සාකච්ඡාකළ බවත් කියවෙනවා. අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ලෙස පත්කිරීම රනිල් අගමැති නොකළ යුතුව තිබූ දෙයක් ලෙස ප්‍රකාශ වුණා. රටේ පුරවැසිභාවය පවා නැති පුද්ගලයෙක් පත්කිරීම, මෙම සිද්ධිය හෙළිදරවු වූ පසු අගමැතිවරයා හොරාගේ අම්මාගෙන් පේන අහන්නාසේ කොමිටි පත්කර කරුණු සෙවීම, සිද්ධියෙන් පසු මහේන්ද්‍රන් ආරක්ෂා කිරීමට හා ඔහු දිගටම තනතුරේ තබාගැනීමට දිගින් දිගටම උත්සාහ දැරීම, ඒ වෙනුවෙන් තම අගමැතිකම පවා පරදුවට තැබීම, ජනපති විසින් ඔහු ඉවත් කළ පසු නොනිල තනතුරක තබාගෙන වැටුප් හා දීමනා ගෙවීම ආදි වශයෙන් වූ සිද්ධීන් රනිල් අගමැති නොකළ යුතුව තිබූ දේවල් බව සැකයක් නැහැ. මොනවා වුණත් මෛත්‍රී – රනිල් සම්මුතිය වගේම චන්ද්‍රිකා වගේ අයගේ අවශ්‍යතාවය නිසාත් රනිල් යම් තරමකට හෝ මේ අවුලෙන් ගලවා ගැනීම ඒ අයගේ අරමුණ ද විය හැකියි.
ජනපති මෛත්‍රී ඒ ඒ වෙලාවට හරියන බෝම්බ පත්තු කිරීමටත් දක්ෂයෙක් බව පැහැදිලියි. මහින්දට මහ මැතිවරණයේ අපේක්ෂකත්වය දෙනතුරු ඉදලා කළ කතාවත් හොද බෝම්බයක්. ඒ කතාවෙන් මහින්දට දැඩි පහරක් වැදුණා. දැන් මේ කතාවත් ඡන්දය අවස්ථාව බලලා කළේ යටි අරමුණක් නැතුව වෙන්නත් බැහැ. දැන් මෝදු වී ඇති එජාප, ශ්‍රීලනිප බල අරගලය, රනිල් අගමැති ඉදිරියේදී තනිවම ආණ්ඩුවක් හැදීමට ගන්නා උත්සාහය, එජාපෙ ඇතැම් මැති ඇමතිවරුන්ගේ හා පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් ජනපතිට එල්ල වෙන ප්‍රහාර ආදි සියල්ලම සැලකිල්ලට අරගෙන මේ ‘ජනතාවාදී’ ප්‍රකාශය කළා කියලයි අපට නම් හිතෙන්නේ.
මේ අතරම දූෂණ, වංචා ගැන සෙවීමට පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාවත් ජනපතිට භාරදී තිබෙනවා. 17 බැගින් වූ වාර්තා දෙවරකදී 34 ක් එසේ බාරදී ඇති බව ජනපති සිය කතාවේදී කියා සිටියා. දෙපක්ෂයේම අයගේ නම් ගෑවී ඇති බවක් කීවත් ඒ කවුරුන්දැයි ප්‍රකාශ කළේ නැහැ. බැදුම්කර සිද්ධිය වගේම මේ පරීක්ෂණ වාර්තාත් රටට අතිශය වැදගත්. මේ පැමිණිලි මහින්ද රාජපක්ෂ යුගයේ සිදුව ඇති දූෂණ, වංචා පිළිබදවයි. උදාහරණයක් ලෙස මේ ලියුම්කරුම මැදිහත් වී කරන ලද පැමිණිලි ගණනාවක් තිබෙනවා. පරීක්ෂණ අංක PIC/1073/2015 හා PIC/1065/1305/2015 හිමි පැමිණිලි පිළිබදව විමර්ශනය කර එම වාර්තා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට යොමු කිරීම සදහා ජනාධිපති කාර්යාලයට බාර දී ඇතැයි ලිඛිතව දන්වා තිබෙනවා. දැන් මේ එක් පරීක්ෂණයක් පැවැත්වුණේ අනුර දිසානායක නම් අයට විරුද්ධවයි. මහින්දගේ කාලයේ ඔහු ළග සුරතල් වෙමින් කෝටි ගණනක් දේපළ අබිරහස් ලෙස උපයා ගෙන ඇති බවට ඔහුට චෝදනා එල්ල වී ඇත. ඒත් ඔහු දැන් මහවැලි හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් ලෙස ජනපති මෛත්‍රී ළගම සේවය කරනවා. අනික් පුද්ගලයා උජිත් අනුරාධ. ඔහු සීනෝර් ආයතනයේ කළ කෝටි ගණන් වංචා හා දූෂණ හා අයුතු ඉපයීම් කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. ඒ පිළිබද පරීක්ෂණ පැවැත්වෙද්දීම මාතලේ ශ්‍රීලනිප ආසන සංවිධායක ලෙස ඔහුව පත් කළේ ජනපති මෛත්‍රීමයි. ඒ නිසා මේ පරීක්ෂණ කොතරම් විනිවිදභාවයෙන් යුක්තව කෙරෙනවාද, ඒවාට වගකිවයුත්තන් එළිවෙයිද කියන එක ගැන වැඩි විශ්වාසයක් තියන්න බැහැ. ඒ වගේම පහුගිය දවස්වල එළිදක්වපු වැලිකඩ බන්ධනාගාරයේ ඝාතන සම්බන්ධ සිදුවීමට අදාළ කොමිසමේ වාර්තාවත් අදවන තුරු හෙළිදරව් කරලා නැහැ. ඒවාට සම්බන්ධ අය කවුද කියන එකත් ජනතාව දැනගත යුතුයි. රණවිරු ලේබලය අලවමින් ජනපති විසින් ආරක්ෂා කරන බව පෙනෙන ගෝඨාභයලා වගේ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවෙනවා නම් ඒකත් ගැටලුවක්. ඒ නිසා බැදුම්කර වාර්තා වගේම මේවාත් ජනතාවට හෙළිකර නීතිය හමුවට යොමු කරනවා නම් තමා හොද.
ඊළගට අපි කලින් කී බැදුම්කර නිර්දේශ ක්‍රියාවට නැංවීමේ සම්පූර්ණ කළයුතු අසීරු ගැටලු කිහිපයක් තිබෙනවා. මේ බැදුම්කර සිද්ධියෙන් රජයට හා ජනතාවට සිදු වූ බිලියන ගණනක පාඩුව හා කොමිසමේ කටයුතු වෙනුවෙන් වැය වූ මුදල් පර්පෙචුවල් ට්‍රෙෂරීස් ආයතනයෙන් අයකර ගැනීමට පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කරගත යුතු වෙනවා. අනෙක් ඒවා කොහොම වුණත් මේ ජනාධිපති කොමිෂන්වලට වැය වූ මහජන මුදල් ඒවා පත්කළ අයගෙන්ම අය කිරීම හොදයි කියලා අපි කියන්නේ ඒ වාර්තා කිසිදාක ක්‍රියාත්මක නොවුණු නිසා. ඒ වගේම නඩු පැවරීමට අල්ලස් හෝ දූෂණ පනතේ සංශෝධන කිහිපයක් පාර්ලිමේන්තුවේ සම්මත කරගතයුතු වෙනවා. මේ කාරණා ජනපති මෛත්‍රීට ඉටුකර ගැනීමට හැකි වෙයිද? පාර්ලිමේන්තුවේ බහුතර බලයක් තියෙන්නේ එජාපෙයි. ඒ අය මේ පනත්වලට පක්ෂව ඡන්දය දෙයිද? මහින්දගේ පිළේ අය ඡන්දය දෙයිද? බැලූ බැල්මට පහසු ලෙස පෙනුනත් මෙය අතිශය සංකීර්ණ ක්‍රියාදාමයක්. බොහෝ විට මේ ජනගත කළ වාර්තාවෙන් පමණක් සෑහීමකට පත් වෙන්නට ජනතාවට හා දූෂණ විරෝධී පිරිස්වලට සිදුවෙන බවයි අපේ අදහස.
පසුගියදා කොළඹ දී පැවැත්වුණු එජාපෙ මහා සම්මේලනයේ දී අගමැති රනිල් මේ බැදුම්කර ප්‍රශ්නය පිළිබදව කතා කළා. ඔහු කීවේ මේ මිලියන දහදාහේ පාඩුව වගේම 2008 – 2013 දක්වා කාලය තුළ සිදුව ඇති පාඩුව බැදුම්කර වලින් රුපියල් බිලියන 4000 ක් ඉක්මවන බවයි. එහිදී කතා කළ ඇමති රාජිත, චම්පික රණවක ආණ්ඩුවේ මෙතෙක් ගමන් මග ගැනද කතා කළා. මේ අය මෛත්‍රී සමග මහින්දගේ ආණ්ඩුවෙන් ඉවත් වී මෛත්‍රීව ජනපති කරන්න වෙහෙස වුණු අය. දැන් ඔවුන් එජාපෙ සමග සිටින බව පැහැදිලියි. මේ දේශපාලන අර්බුදයේ දී ජනපති මෛත්‍රීට හිතන තරම් සහායක් නැති බවත් පැහැදිලියි.
මේ ක්‍රියාදාමයෙන් 2008 – 2014 යුගයේ සිදු වූ බැදුම්කර ගනුදෙනු ගැන සොයන්නටත් පසුබිම සැකසී තිබෙනවා. මහින්ද රාජපක්ෂගේ යුගයේ අජිත් නිවාඩ් කබ්රාල්ලා ඒ යුගයේ කරපු සමහර සෙල්ලම් අපි වරින් වර එළිකළා. එළිපිටම සමහර ලොකු ලොකු ගේම් ගහපු මේ අය කාගේවත් වැඩිය ඇස නොගැටෙන මේ ගනුදෙනු ඇතුළේ කොපමණ දූෂණ – වංචා කරන්නට ඇතිද? ඔවුන් විසින් මේ රටට අහිමිකළ, ජනතාවගෙන් සොරාගත් ධනස්කන්ධය සොයා ගැනීමත් අතිශය වැදගත් කරුණක්. මේ යහපාලනයේ බැදුම්කර මගඩිය පිළිබදව නීතිමය පියවර ගැනීම වගේම මහින්දලාගේ යුගයේ සිදුකෙරුණු ගනුදෙනු ගැන නීතිමය පියවර ගැනීමත් ඉක්මනින් සිදුවේ යැයි බලාපොරොත්තු විය නොහැකියි. අවස්ථාව අනුව වරින් වර එළියට විත් නැවත යටපත් වන මේ පරීක්ෂණවල ප්‍රතිඵල කවදා ඒවිදැයි සිතන්න අමාරුයි. ආවත් ඒවාට දඩුවම් දීම සදහා ශ්‍රීලනිපයේ බොහෝ දෙනෙක් සහයෝගය නොදෙන බව සිතිය හැකියි. තම පංතියේ හොරු තම තමන් විසින් රකින මේ ප්‍රතිපත්තිය නිසාම ජනපති මෛත්‍රී කොතරම් කඩුව වැනුවත් කැපෙන්නේ හාල්මැස්සන් පමණක් වන්නට ඉඩ තිබෙනවා. එසේ වන්නට ඉඩ නොදී ඉදිරි වසර දෙක තුළ කෙසේ හෝ මෙම පරීක්ෂණවල ප්‍රතිඵල පෙන්වීම ජනපති මෛත්‍රීට බාර කටයුත්තක්. ඒ හොරු මේ හොරු එකට ලගින මේ ක්‍රමය වෙනස් කරලා, ජනතාව හොරුන්ගෙන් ගලවා නොගත්තොත් ජනපති මෛත්‍රීටත් කටේ නරිවාදං රෙද්ද පල්ලෙන් බේරෙනවා බලා සිටින්නට පුළුවන් වේවි.


ඩී. බී. ඇල්කඩුව