රටේ තරුණයන් රැකියා පෝලිම්වල ගාල්කර විදේශ ශ්‍රමිකයන් ලක්ෂ තුනකට රැකියා

ලුxsdfvg
විදුලි බලය ඉන්දියාවට දීමේ තවත් සැලසුමක්
February 13, 2018
න්ත්‍රිseghae
සුරාසල් ගැන මෛත්‍රීගේ දෙබිඩි රංගනය
February 13, 2018
Show all

රටේ තරුණයන් රැකියා පෝලිම්වල ගාල්කර විදේශ ශ්‍රමිකයන් ලක්ෂ තුනකට රැකියා

labor_market_in_saudi_arabia1

ශ්‍රී ලංකාවේ පුහුණු කිරීම් ශ්‍රමිකයන්ගේ හිඟය සම්බන්ධයෙන් කර්මාන්තයේ නියැලි සංවිධාන විසින් ආණ්ඩුවලින් වරින් වර ඉල්ලීම් ඉදිරිපත් කරන ලදී. මේ දක්වා අදාළ ප්‍රශ්නයට ආණ්ඩුවලට පිළිතුරු ලබාදීමට හැකියාවක් ලැබී නැත. අපොස සාපෙළ විභාගයෙන් පසුව සහ අපොස උපෙළ විභාගයෙන් පසුව රැකියා වෙළඳපොළට වර්ෂයෙන් වර්ෂය එකතුවන තරුණයන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් වර්ධනය වී ඇත. මේ ප්‍රශ්නයට කිසිදු ආණ්ඩුවක් උත්තර සැපයීමට මෙතෙක් අසමත් වී ඇත. අපේ රට කිසි විටෙක නිෂ්පාදන ආර්ථීකයකට යොමු වීමට අදහස් කර ඇති බවක් නොපෙනේ. එසේ නිෂ්පාදන ආර්ථීකයකට යොමුවීම සඳහා කිසිදු වැඩපිළිවෙළක් ද මෙතෙක් ඉදිරිපත් කර නැත. අපේ රටේ මෙතෙක් සිටි පාලකයන් රටේ ආර්ථීකය හසුරුවා ඇත්තේ ජාවාරම්කාර ආර්ථීකයක් රට තුළ ස්ථාපිත කරමිනි. මෑත කාලයේ පැවති රාජපක්ෂ ආණ්ඩුව හෝ යහපාලන ආණ්ඩුව මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා කටයුතු කරනවා වෙනුවට කර ඇත්තේ තව තවත් ජාවාරම්කාර ආර්ථීකයක් වෙත රට තල්ලු කිරීමය.
ලංකාවේ ශ්‍රමික අර්බුදය බරපතළ ගැටලුවකි. විශේෂයෙන්ම අපේ රටේ තරුණයන් දැඩි ඉච්ජාභංගත්වයකට පත්ව ඇත. වෘත්තීය පුහුණුවකට යොමුවීමට පවා අපේ රටේ තරුණයන් මැලිකමක් දක්වයි. ලංකාවේ මේ වන විට පවතින කාර්මික විද්‍යාල විශේෂයෙන්ම අක්‍රිය මට්ටමට පත්වෙමින් ඇත. එම විද්‍යාල සඳහා රජයේ අනුග්‍රහය ගිලිහෙමින් ඇත. වෘත්තීය පුහුණු අධිකාරිය සහ වෘත්තීය පුහුණු අධිකාරිය යටතේ පවතින ආයතනවලට පුහුණුව සඳහා පැමිණෙන තරුණයන්ගේ සංඛ්‍යාව සීඝ්‍ර ලෙස පහළ බසිමින් පවතී. මේ තත්ත්වයට විසඳුම් සොයා අදාළ ප්‍රශ්නයට පිළිතුරු සොයනවා වෙනුවට ආණ්ඩුව පවසන්නේ පුහුණුව සඳහා තරුණයන් යොමු නොවන නිසා විදෙස් ශ්‍රමිකයන් මෙරටට ගෙන්වීම කෙරෙහි අවධානය යොමුකර ඇති බවකි.
ලංකාවේ තරුණයන් සඳහා වෘත්තීය පුහුනුවක් දී පුහුණු සහතිකයක්ද ලබා දී එළියට දමනවා හැර ඔවුන්ගේ අනාගතයට ඉලක්ක ලබා දී රට නිෂ්පාදන ආර්ථීකයකට යොමු කරන බවක් නොපෙනේ. නිෂ්පාදන ආර්ථීකයක් නිර්මාණය නොකරන තත්ත්වයක් තුළ තරුණයන් පුහුණුවෙන් පසුව සමාජයට එකතුවනවා විනා අන් යමක් සිදුනොවේ. ඇතැම් තරුණයන්ට පුහුණුවෙන් පසුව යම් යම් රැකියා අවස්ථා ලැබුණද ලැබෙන රැකියාවේ සුරක්ෂිත තාවය සම්බන්ධයෙන්ද ගැටලු පැන නැගී ඇත. විශේෂයෙන්ම ලංකාවේ පුහුණු ශ්‍රමිකයන්ට රැකියාව තුළ වෘත්තීය ගරුත්වයක් හිමි නොවීම නිසා දැඩි මානසික කම්පනයකට ලක්ව ඇත. ඒ නිසාම ඔවුන් ඒ කෙරෙහි දක්වන උනන්දුව අවම වී ඇත. විශේෂයෙන්ම අපේ රටේ ආර්ථීකය ජාවාරම්කාර ආර්ථීකයක් බවට පත් වී ඇති වටපිටාවක් තුළ රටේ තරුණයන් එකී ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත්වී ඇත. ඇතැම් තරුණයන් කුඩු ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත්වී ඇත. ඇතමුන් පාතාල කණ්ඩායම්හි ගොදුරු බවට පත් වී අපරාධකාරයන් බවට පරිවර්ථනය වී ඇත. ඇතමුන් දේශපාලන ගොදුරු බවට පත්වී දේශපාලනඥයන්ගේ අතකොලු බවට පත්වී විවිධ සමාජ අපචාර කි්‍රයාවන්ට යොමු වී ඇත. සමස්තයක් වශයෙන් තරුණයන් කලකිරීමෙන් සහ මානසික කම්පනයෙන් යුතුව විවිධ අපචාර ක්‍රියාවන්හි නිතර වී ඇත. ඇතැම් තරුණයන්ගේ සිහින බවට පත් වී ඇත්තේ විදේශ රැකියාවකට යොමුවී වැඩි ආර්ථීක ශක්තියක් නිර්මාණය කර ගැනීමයි. ඇතමුන් කොරියානු රැකියා සිහිනයක සිටී. තවත් සමහරුන් බෝට්ටු මගින් වෙනත් රාජ්‍යයන්ට පැන යාමට උත්සාහ දරයි. ඇතමුන් ඉතාලි රැකියා, ඕස්ට්‍රේලියානු රටට පැනයාම වැනි ක්‍රියාවන්හි නිරත වී බරපතළ පීඩාවන්ට පත්ව ඇත. අපේ තරුණයන් පත්කර ඇති තත්ත්වය වන්නේ එයයි.
අපේ රටේ මේ වන විට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා රැසක් නිර්මාණය වී ඇත. විශේෂයෙන්ම ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ශ්‍රමිකයන්ගේ හිඟකම මේ වන විට රටේ බරපතළ ප්‍රශ්නයක් බවට පත්ව ඇත. තරුණයන් ඉදිකිරීම් ක්ෂේත්‍රයට යොමුවීමේ අඩුවක්ද දක්නට ලැබේ. විශේෂයෙන්ම මේ තත්ත්වයට හේතුවී ඇත්තේ වෘත්තීය ගරුත්වයක් එම ක්ෂේත්‍රයේ නියුතු තරුණයන්ට නොතිබීම හා රැකියාවේ අනාරක්ෂිත බවයි. අනෙක් අතින් ආර්ථීකමය වශයෙන් ගත් කල්හි අනාගත සුරක්ෂිතතාවයක් බොහෝ ඉදිකිරීම් රැකියාවන්හි නොලැබීම තරුණයන් ඉච්ජාභංගත්වයට පත්කර ඇත. පවතින ඉදිකිරීම් ක්ෂේත්‍රයේ හිඟයට ආණ්ඩුව අපූරු පිළිතුරක් මේ වන විට ලබා දී ඇත. රටේ තරුණයන්ගේ රැකියා ප්‍රශ්නයට නිශ්චිත උත්තරයක් සොයනවා වෙනුවට ලාභ ශ්‍රමයට විදෙස් ශ්‍රමිකයන් ලක්ෂ තුනක් පමණ මේ වන විට අපේ රටට ගෙන්වා ඇත. රජය විසින් මේ වන විට ලංකාවට ගෙන්වා ඇති ශ්‍රමිකයන් අතර චීනය, ඉන්දියාව පමණක් නොව බංග්ලාදේශය, නේපාලය, මියන්මාරය වැනි අපේ රටේ තරුණයන්ට වඩා ශිල්ප කෞෂල්‍ය නොලත් රටවලින්ද පිරිස් ගෙන්වා ඇත. මේ ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව ලක්ෂ තුනක් සේ ගණනය කළද ඊටත් වැඩිවිය හැකි බවට විවිධ තොරතුරු වාර්තා වේ.
ආණ්ඩුව කළ යුතුව ඇත්තේ ලාභ ශ්‍රමයට විදෙස් ශ්‍රමිකයන් විදේශයන්ගෙන් රැගෙන එනවා වෙනුවට අපේ රටේ තරුණයන්ගේ රැකියා හිඟයට පිළිතුරු සෙවීමය. එය රටේ හදිසි අවශ්‍යතාවයක් සේ සලකා කටයුතු කළ යුතුය. රට නිෂ්පාදන ආර්ථීකයට හැරවිය යුතුය. නමුත් ආණ්ඩුව එසේ කිසිවක් කරන්නට උනන්දුවන බවක් නොපෙනේ. විශේෂයෙන්ම මේ වන විට රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා රැසක් නිර්මාණය වී ඇති බැවින් ඊට අදාළ වැඩපිළිවෙළක් සකස් කළ යුතුය. ඉදිකිරීම් ශිල්ප වෘත්තිය පුහුණුවීම සඳහා අඩු උනන්දුවක් තිබීමට හේතුවන අදාළ වෘත්තියට සමාජයේ නිසි ප්‍රතිරූපයක් සහ සමාජ පිළිගැනීමක් ඇති කිරීමට කටයුතු කළ යුතුය. නිසි වෘත්තීය ආරක්ෂණයක් ඉදිකිරීම් නිපුණ ශීල්පීන් වැඩි දෙනෙකු වෙත නොමැතිවීම යථාර්ථය වී ඇති අතර ඒ නිසාම අදාළ තරුණයන් එම වෘත්තියෙහි නොකඩවා නොයෙදෙන අතර වෘත්තියෙහි රැකෙන්නේද නැත. ඒ නිසා ආණ්ඩුව ඒ සඳහා ආරක්ෂණයක් ඇතිකළ යුතුය. අදාළ රැකියාවන් වෙත යොමුවෙන තරුණයන්ට ඊපීඑෆ්, ඊටීඑෆ් ප්‍රතිලාභ හිමිකම ලැබීම සඳහා ප්‍රායෝගික පරිපාලන ක්‍රමවේදයක් නොමැති අතර ආණ්ඩුව කළ යුත්තේ ඒ වැඩපිළිවෙළ නිසි පරිදි සකස් කිරීමයි. රැකියාවෙන් විශ්‍රාම යන කල්හි ඔවුනට හිමිවන විශ්‍රාම වැටුපක්, රක්ෂණ ක්‍රමයක්, සෞඛ්‍ය ආවරණයක් නිර්මාණය කොට වඩාත් සුරක්ෂිත සහ මානසික තෘප්තියකින් යුතු රැකියාවක් බවට පත් කිරීම ආණ්ඩුවේ වගකීමකි. ආණ්ඩුව ඒ යුතුකම ඉටු කරනවා වෙනුවට ජාවාරම්කාර, නරුම ආර්ථීකයකට රට යොමු කරමින් රටේ තරුණයන් උපන්බිමේ වහලුන් බවට පත්කර ඇත.
විදෙස් ශ්‍රමිකයන් ලක්ෂ තුනක් රට තුළට ගෙන්වනවා වෙනුවට ආණ්ඩුව කළ යුත්තේ එවන් ශ්‍රමිකයන් රට තුළ නිර්මාණය කිරීමය. රටේ පවතින රැකියා අර්බුදයටද නිසි පිළිතුරක් නොදී ආණ්ඩුව ලාභ ශ්‍රමයට විදෙස් ශ්‍රමිකයන් ගෙන්වා ආණ්ඩුවේ නොහැකියාව ප්‍රදර්ශනය කර ඇත. තවදුරටත් මේ ක්‍රමය නිර්මාණය වර්ධනය කිරීම තුළින් සිදුවනුයේ අපේ රටේ තරුණයන් අපරාධකාරයන්, අපචාර ක්‍රියාවන්හි නිරතවූවන් බවට පත්වීම හැර අන්යමක් නොවේ. අපේ ධනපති පාලකයන්ගෙන් මීට වඩා අන් යමක් බලාපොරොත්තුවීමද මෝඩකමකි.


එස්. කේ. ගමගේ