විදුලි බලය ඉන්දියාවට දීමේ තවත් සැලසුමක්

gasat
මරණ වන්දියත් අහිමි කළ හතරවරං ගැසට් එක
February 13, 2018
labor_market_in_saudi_arabia1
රටේ තරුණයන් රැකියා පෝලිම්වල ගාල්කර විදේශ ශ්‍රමිකයන් ලක්ෂ තුනකට රැකියා
February 13, 2018
Show all

විදුලි බලය ඉන්දියාවට දීමේ තවත් සැලසුමක්

ලුxsdfvg

අපේ රටේ ආණ්ඩුවලට ඇහේ කටු අනින්නාක් මෙන් වූ විශේෂ ක්ෂේත්‍රයක් තිබේ. ඒ රටේ බලශක්ති ස්වාධීනත්වයයි. එදා ජේ.ආර්. ජයවර්ධනගේ සිට මහින්ද රාජපක්ෂ දක්වාද දැන් වර්තමාන රනිල් – මෛත්‍රී හවුල් පාලනය දක්වාද එය එසේම වලංගු වී පවතින්නක්ය. ජේ.ආර්. එදා 1978 පමණ කාලයේ් ප්‍රකාශ කළේ කඩිනමින් මහවැලියේ නිෂ්පාදනය කරන ජලවිදුලිය ඉන්දියාවටත් ලබාදෙන බවය. නමුත් එය අනික් පැත්ත කැරකී ලංකාවට විදුලි බලය පිළිබඳ බරපතළම ප්‍රශ්නයක් ඇති වූයේය. මහින්ද රාජපක්ෂගේ පාලන කාලයේ යෝජනා කර තිබුණේ ඉන්දියාව සමඟ ඒකාබද්ධ වී මුහුදු පතුළෙන් එළන කේබල් මගින් විදුලිය හුවමාරු කර ගන්නා බවය. දහවල් කාලයේ ලංකාවෙන් ඉන්දියාවට දී මෙරට වැඩිම විදුලි ඉල්ලුමක් තිඛෙන රාත්‍රී කාලයේ ඉන්දියාවෙන් ලබා ගන්නා බවය.
විදුලිය සම්බන්ධයෙන් පමණක් නොව ඛනිජ තෙල් සම්බන්ධයෙන්ද පවතින්නේ තවත් රටකට පාවාදීමේ සූදානමක්ය. ඉන්දියන් ඔයිල් සමාගමට ලංකාවේ ඉන්ධන පිරවුම්හල් එකසිය ගණනක් දී තිඛෙන්නේ ඛනිජ තෙල් ස්වාධීනත්වය ඉන්දියාවට නතු කර දීමේ පියවරක් වශයෙන්ය. එයින් නතර නොවී ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ඉන්දීය ඔයිල් සමාගමට විකුණා දැමීමට ආණ්ඩුවට ඇත්තේ අතිශය බරපතළ වුවමනාවක්ය. ලංකාවේ උතුරු මුහුදේ කාවේරී ද්‍රෝණියේ ඛනිජ තෙල් තිඛෙන්නේ යැයි සොයාගෙන කැණීම් කටයුතු කිිරීමට ඉන්දීය කෙයාන්ස් සමාගමට බාර දී අවසන්ය. රාජපක්ෂ පාලන සමයේ 2011 ඔක්තෝබර් මස පවත්වන ලද පළාත් පාලන ආයතන කීපයක කෑලි මැතිවරණ වේදිකාවේදී මහින්ද රාජපක්ෂ දළඳා හාමුදුරුවන් ඉදිරිපිටදී ප්‍රකාශ කළේ කාවේරි ද්‍රෝණියේ කැණීම්වලින් ස්වභාවික වායු සොයා ගත් බවය. ඛනිජ තෙල් සොයා ගැනීමට ඉතාම ආසන්න වී සිටින බවය.
නමුත් මේ දක්වා සොයා ගන්නා ලද ගෑස් නොමැත. ඛනිජ තෙල් නොමැත. කයිවාරු ගැහුවා පමණය. රනිල් – මෛත්‍රී හවුල් ආණ්ඩුවට රටේ බලශක්තිි ස්වාධීනත්වය පාවාදීමේ අවශ්‍යතාව එන්නේ මහින්ද රාජපක්ෂගේ ආභාසයෙන්ය. ලංකාවේ විදුලිය සහ ඛනිජ තෙල් ස්වාධීනත්වය විශේෂයෙන්ම ඉන්දියාවට පාවාදීමේ තද වුවමනාවක් පැවතියේ මහින්ද රාජපක්ෂ පවුල් පාලනයටය. දැන් ඒ මහත් වූ වුවමනාව හවුල් ආණ්ඩුවට ඒ ආකාරයෙන්ම පවතී. ඛනිජ තෙල් මෙන්ම විදුලිය සැපයුමද ඉන්දියාවට පාවාදීමේ විවිධ සැලසුම් ක්‍රියාත්මක කිරීමට දරන්නේ නොපසුබට උත්සාහයක්ය. 2017 අප්‍රේල් 26 වෙනි දින අගමැති රනිල් ඉන්දියාව සමඟ අත්සන් කළ අවබෝධතා ගිවිසුමකට අනුව ලංකාවේ තාප විදුලි බලාගාර කීපයක් ඉන්දීය සහ වෙනත් විදේශ ඒකාබද්ධ හවුල් ව්‍යාපාරයකට ලබාදීමේ බරපතළ සූදානමක් පවතී.
මේ තුළින් ලංකාවේ තාප විදුලි බල නිෂ්පාදනයේ මෙගාවොට් 900ක පමණ ධාරිතාවයක් සම්බන්ධයෙන් පෞද්ගලික විදේශ සමාගමකට පැවරීමේ සූදානමක් පවතී. කෙරවලපිටිය තාප බලාගාරය, කැලණිතිස්ස තාප බලාගාරය
සහ ඒ ආසන්නයේ පවතින ඒ.ඊ.එස්. බලාගාරය යන නිෂ්පාදනාගාර තුනක් විදේශීය පෞද්ගලික සමාගමකට ලබාදීමේ බරපතළ උත්සාහයක ආණ්ඩුව සිටී. රාජ්‍ය හා පෞද්ගලික ඒ්කාබද්ධ ව්‍යාපෘතියක ස්වරූපයෙන් මෙය ආරම්භ කිරීමට නියමිතය. යෝජිත සමාගමේ කොටස් අයිතිය බෙදී යන්නේ ඉන්්දියාවට කොටස්වලින් සියයට 47.5ක්, ජපානයට සියයට 37.5ක් සහ ශ්‍රී ලංකාවට සියයට 15ක් වන සේය. තනි අයිතියේ ලොකුම පංගුව හිමි කර දෙන්නේ ඉන්දියාවටය. ඉන්දියාවට ලබා දෙන අයිතියෙන් තුනෙන් පංගුවකටත් අඩු ප්‍රමාණයක් ලංකාවට තබා ගැනීමට සැලසුම් කර තිබේ.
රාජ්‍ය හා පෞද්ගලික අංශවල සහභාගීත්වයෙන් පිිහිටුවන මෙවැනි සමාගම්වල අයිතියෙන් සියයට 50කට වැඩි ප්‍රමාණය රාජ්‍ය සතු කර ගත යුතුය. බලශක්ති ස්වාධීනත්වය ආරක්ෂා කර තහවුරු කර ගැනීමට එසේ කළ යුතුව තිබේ. නමුත් විදුලිබල සැපයුමේ අයිතිය විදේශයන්ට නතුකර දීමේ ක්‍රියාවලියට මේ තුළින් මුල පිරීමට නියමිතය. මේ සඳහා යෝජිත ව්‍යාපෘතියක්ද තිබේ. එය නම් තාප විදුලි බලාගාර මෙගාවොට් 900ක විදුලි ජනනය ස්වභාවික ද්‍රව වායු වලට මාරු කිරීමේ ව්‍යාපෘතියක්ය. දැනට දැවි තෙල් ඇතුළු ඉන්ධන දහනයෙන් නිෂ්පාදනය කරන තාප විදුලි බලය මෙගාවොට් 900 මෙසේ මාරු කිරීමට යෝජිතය. ලෝකයේ සංවර්ධිත දියුණු රටවල් තාප බලාගාරවලින් ස්වභාවික ද්‍රව වායු යොදා ගන්නා විදුලි නිෂ්පාදන ව්‍යාපෘතිවලට මාරුවීම සිදු කෙරේ. තාප බලාගාරවලින් කිලෝවොට් පැයක් නිෂ්පාදනය කිරීමට වැය වන්නේ රුපියල් 5.00 වැනි මුදලක්ය. නමුත් ස්වභාවික ද්‍රව වායු යොදා නිෂ්පාදනය කරන කිලෝවොට් පැයක් සඳහා රුපියල් 13.00ක් හෝ රුපියල් 14.00ක් වැනි ඉහළ මිලක්ද වැය කිරීමට සිදු වී තිබේ. මේ අනුව පැහැදිලි වන්නේ විදුලිබල ස්වාධීනත්වය රටට අහිමි කිරීමට අමතරව විදුලිබිල ඉහළ යාමද අනිවාර්යෙන්ම සිදුවන බවය.
ඒ එක පැත්තක්ය. හෙළිවන තොරතුරුවලට අනුව තවත් බරපතළ මූල්‍ය මංකොල්ලයන් සඳහාද මෙම ව්‍යාපෘතිය යොදා ගැනීමට සැලසුම් කර අවසන්ය. මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යානයක් මේ දක්වා කර නැත. මුලදීම විදුලිබිල වැඩිවන සේ විදුලි ඒකකයක නිෂ්පාදන පිරිවැය රුපියල් 5.00 සිට රුපියල් 13.00 හෝ 14.00ක් දක්වා ඉහළ යාම පාරිභෝගිකයා පිට සෘජුවම පටවන්නක්ය. එයට අමතරව රට මත විශාල ණය බර පැටවීමද මෙම යෝජිත ව්‍යාපෘතියෙන් සිදු කෙරේ. ව්‍යාපෘතියේ වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක් බව කියවේ. එසේ් වුවත් ඕස්ට්‍රේලියානු රජයේ ණය ව්‍යාපෘතියක් මත මෙය ක්‍රියාත්මක කිරීමට වැයවන්නේ ඩොලර් මිලියන 150ක් බව අනාවරණය වේ. ඩොලර් මිලියන 300ක ව්‍යාපෘතියක් යනු රුපිියල් මිලියන 46,500ක් පමණය. එය රුපියල් මිලියන 23,250කින් පමණ නිම කිරීමේ හැකියාව ඇතැයි අනාවරණය වී ඇත. මේ සම්බන්ධ තවත් තොරතුරකින් හෙළිවන්නේ කොරියානු රජයේ ආධාර මත ව්‍යාපෘතිය නොමිලේ ලබාදීමට සූදානම් බවය. එය වෙනුවෙන් තිබෙන එකම කොන්දේසිය වන්නේ වසර 25ක් යන තුරු ස්වභාවික ද්‍රව වායු කොරියාවෙන්ම ලබාගත යුතු වීමය.
හෙළි වී තිබෙනමූලික වියදම් දෙක අනුව ලැබුවද පැහැදිලි වන්නේ අඩුම තරමින් රුපියල් මිලියන 23,250ක් වූ මහා මූල්‍ය කොල්ලයක් සඳහා ව්‍යාපෘතිය සැලසුම් කර තිබෙන බවයි. තවත් පැත්තකින් බරපතළ තත්ත්වයක් වන්නේ අදාළ සමාගම පිහිටවීමේ කොටස්කරුවන් වී සිටින ඉන්දියාවට හෝ ජපානයට ස්වභාවික ද්‍රව වායු ඉන්ධන නොතිබීමය. ඔවුන් මිලදී ගත යුත්තේ ලෝක වෙළඳපොළෙන්ය. වර්ෂයකට මෙට්‍රික්ටොන් ලක්ෂ පහක් පමණ අවශ්‍ය වී තිබේ. ඕස්ට්‍රේස්ලියාව මැදිහත් කර ගන්නේ නම් එම රටවල් සතුව ස්වභාවික ද්‍රව ඉන්ධන වායු පවතී. නමුත් මේ කිිසිදු සාධකයක් කෙරෙහි අවධානය මේ දක්වා යොමු කර නැත. දැනට යෝජිත ව්‍යාපෘතිය අනුව ලෝක වෙළඳපොළේ මේ ඉන්ධන මිල කෙතරම් පහත වැටී ගියද ලබාගත නොහැකිය. ඉන්දියාව හෝ ජපානය හරහා ලබා ගත යුතුය. වසරකට අවශ්‍යතාවය ද්‍රව වායු මෙටි්‍රක්ටොන් 10ක් ඉක්මවන්නේ නම් පමණක් වැඩිපුර අවශ්‍යතාව ලෝක වෙළඳපොළෙන් ලබාගත හැකිය.
මේ ව්‍යාපෘති සැලසුම් කරන්නේ සහ ක්‍රියාත්මක කරන්නේ විශාල මූල්‍ය මංකොල්ලයකට අමතරව ගෙන්වන ද්‍රව වායු ගබඩා කිරීම සම්බන්ධයෙන්ද බරපතළ අවධානමක් පවතී. දැනට සැලසුුම් කර ඇත්තේ කොළඹ වරාය පරිශ්‍රයේම ගබඩා කිරීමටය. මේ වැයු තැන්පත් කර තැබිය යුත්තේ සෙල්සියස් අංශක සෘණ 60ක් පමණ ඉතා අඩුම උෂ්ණත්වයක් යටතේය. ඒ සඳහා විශේෂිත ආරක්ෂිත විධිවිධාන යටතේ ගබඩා පහසුකම් ඇති කළ යුතුය. යම් හෙයකින් ගබඩාව පුපුරා ගියහොත් සිදුවන්නේ මහත්ම විනාශයක්ය. ගොස්ගම සාලාව අවි ගබඩාව පුපුරා යාමටත් වඩා අතිශයින් බිහිසුණු තත්ත්වයක් ඇති වේ. එසේ තිබියදී වරාය ආශ්‍රිතව ගබඩා කිරීමට යාම නිසා ජාත්‍යන්තර රක්ෂණ ගාස්තුව ලෙස ඉහළම මුදලක් ගෙවීමට කොළඹ වරායට පැමිණෙන නැව්වලට සිදුවේ. මේ නිසා වරාය කටයුතු බිඳ වැටීමේ අවදානමක්ද පවතී.
මෙවැනි පැති ගණනාවක් කෙරෙහි ජනතාවගේ අවධානය යොමු කළ යුතුව තිබේ. මෙරට ඉන්ධන සහ ඛනිජ තෙල් යන බලශක්ති ස්වාධීනත්වය විදේශිකයන්ට පැවරීමේ ගෙරිහංකඩක් එළා ගැනීමට මෙම ව්‍යාපෘතියෙන් ඉඩ සැලසෙන බව දැන් ඕනෑ තරම් පැහැදිලිය. බලයේ සිටි සහ ඉන්න ආණ්ඩුවල ඇහේ කටු අනින්නාක් මෙන් වී තිබෙන මෙරට බලශක්ති ස්වාධීනත්වය අහිමි කිරීමේ මුල්ම පියවර මේ වූ සංකීර්ණ තත්ත්වයක් තුළ ක්‍රියාත්මක කිරීමට ගන්නා ප්‍රයත්නය අඩුම තරමින් පවතින මැතිවරණ වේදිකාවලට පවා මේ දක්වා මාතෘකාවක් වී නැත. බැඳුම්කර කොල්ලය පසුපස ඉන්නවා පමණය. නමුත් බැඳුම්කරය ඉදිරියට දමා තිරය පිටුපස සිට ක්‍රියාත්මක කරන මෙවැනි විනාශයන්ද අඩුවක් නැති බව තෙරුම්ගෙන ක්‍රියාකිරීම අතිශය වැදගත් නොවන්නේද?


ලංකා මාරසිංහ