වෙළඳපොළේ පුපුරා යන සෞදියේ ෆුට්බෝල්

yahapalanaya
සම්මුතිය, සහජීවනය, යහපාලනය අවසන් රට අරාජිකත්වයට…
February 13, 2018
ipl
අයි.පී.එල්. වෙන්දේසියෙන් ලංකාව විසිවෙයි
February 13, 2018
Show all

වෙළඳපොළේ පුපුරා යන සෞදියේ ෆුට්බෝල්

_99566625_8eff760e-1c6b-4fed-ab7d-e9c54a07b4e0

සෞදි අරාබිය පසුගිය දින වල මාතෘකාව බවට පත් වී තිබුණේ ඉරානය සමඟ ඇති කර ගත් ප්‍රතිවිරෝධතාවය හේතුවෙනි. ඒ ප්‍රතිවිරෝධය පසුපස සෞදි අරාබිය නියෝජනය කරන ලද්දේ ඇමෙරිකා එක්සත් ජනපදය බව පැහැදිලිවම දකින්නට ලැබුණි. එහෙත් මේ දින වල සෞදි අරාබියේ සිදු වෙමින් තිඛෙන ඇතැම් වෙනස්කම් ලෝකයේ අවධානයට යොමු වී ඇත්තේ සාපේක්ෂව ප්‍රගතිශීලී පියවරයන් වශයෙනි. ඒ අතරින් ආසන්නතම උත්කර්ෂය වන්නේ 2017 වසරේ දී රියාද් නුවර පිහිටි ජාතික ක්‍රීඩාංගණය පළමු වතාවට කාන්තාවන් සඳහා විවෘත වීමය. ගතානුගතික සමාජයක ලිංගිකත්වය මත පදනම් වූ දැඩි නීති ලිහිල් කිරීමේ එක් අදියරක් වශයෙන් සිය රටේ කාන්තාවන්ට පාපන්දු තරගයක් නැරඹීම සඳහා සෞදි අරාබිය පළමු වරට අවසර ලබා දී තිබෙන බව මේ සම්බන්ධයෙන් වාර්තා පළ කරන ඇතැම් මාධ්‍ය පවසා තිබේ.
කෙසේ වෙතත් සෞදි අරාබිය නවීකරණය කිරීමේ අරමුණින් සමාජීය ප්‍රතිසංස්කරණ ගණනාවක් ක්‍රියාත්මක වෙමින් පවතී. ඒවා අන් කිසිවක් නොව වෙළඳපොළ සහ දේශපාලන බල අධිකාරිය ඉලක්ක කර ගත් සැලසුම් සහගත අත්පත් කර ගැනීම්ය.
පාපන්දු තරගයට පෙර දින උදෑසන තවත් වෙනසක් පිළිබඳ සුළු සංඥාවක් ලැබිණි. සෞදි අරාබියේ කාන්තා පාරිභෝගිකයන් සඳහාම වෙන් වූ මෝටර් රථ ප්‍රදර්ශනාගාරයක් විවෘත කෙරිණි. ප්‍රදර්ශනාගාරය තුළ වූ මෝටර් රථ කාන්තා පාරිභෝගිකයන්ගේ පරීක්ෂාවට ලක් වූ අතර කාන්තා රියදුරු තහනම ඉවත් වූ වහාම ඔවුන්ට එම මෝටර් රථ පරිහරණය කිරීම සඳහා අවසර හිමිවනු ඇත.
කාන්තාවන් රිය පැදවීම සම්බන්ධයෙන් තිබූ තහනම ඉවත් කරන බවට නිවේදනයක් නිකුත් වූයේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදීය. කාන්තාවන්ට රිය පැදවීම සඳහා අවසර දීමට සෞදි රජතුමා තීරණය කිරීමෙන් අනතුරුව ලොව ඉහළම පෙළේ මෝටර් රථ නිෂ්පාදන සමාගම් සවුදි කාන්තාවන් අරමුණු කරගනිමින් සිය නිෂ්පාදන පිළිබඳ වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කිරීම ආරම්භ කර තිබේ.
මෝටර් රථ නිෂ්පාදන සමාගම් සිය දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරය දියත් කළේ, මේ වසරේ ජුනි මාසයේ සිට කාන්තාවන්ට රිය පැදවීමට අවසර දෙන බවට සල්මන් රජතුමා සැප්තැම්බර් 27 වන දින නිවේදනය කිරීමෙන් පැය 24 ක් ගතවීමටත් පෙරාතුවය. රජතුමා එම නිවේදනය නිකුත් කළ මොහොතේම මිලියන ගණනක සුඛෝපභෝගී මෝටර් රථ වෙළඳපොළක් නිර්මාණය කෙරුණි. ඒ සමගම වොක්ස්වැගන්, ෆෝර්ඩ් සහ නිසාන් ඇතුළු මෝටර් රථ සමාගම් ට්විටර් ජාලය යොදාගනිමින් ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කරනු ලැබීය. සිනමා ශාලා යළි විවෘත කිරීමට සෞදි අරාබියේ අනුමැතිය ලබා දීම ද මෙහිම තවත් දිගුවකි. වසර තිහකට අධික කාලයක් තහනම් කර තිබුණු වාණිජ සිනමා ශාලා යළි විවෘත කිරීම සඳහා සෞදි අරාබියේ අවසරය හිමිව තිබේ. එරට සංස්කෘතික සහ තොරතුරු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සිනමා ශාලා බලපත්‍ර නිකුත් කිරීම වහා ආරම්භ වනු ඇති බවය. ඒ අනුව 2018 මාර්තු මාසය වනවිට සිනමා ශාලා විවෘත කිරීමට හැකි වනු ඇති බවට එම අමාත්‍යාංශය බලාපොරොත්තු පළ කරයි.
මේවා හුදෙක් ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණ සේ පෙනුනද මේ සියල්ල පසුපස ඇත්තේ මූල්‍යමය ඉලක්කයන්ය. තම ආදායම් ඉහළ නංවා ගැනීමට පළමුවෙන්ම සෞදි පාලකයන් සිදු කළේ බදු ක්‍රමයක් හඳුන්වා දීමයි. මේ වන විටත් සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල් තුළ පළමු වරට වැට් බදු හඳුන්වා දෙනු ලැබ ඇත. ඒ අනුව බහුතර භාණ්ඩ සහ සේවා සඳහා 5% බදු අය කර ගැනීමට නියමිතය.
බදු රහිත දිවි පෙවතක් ලබා දීම තුළින් ගල්ෆ් කලාපීය රටවල් දීර්ඝ කාලයක සිට විදෙස් සේවකයන් ආකර්ෂණය කර ගත්හ. එහෙත් 2018 ජනවාරි 01 වෙනිදා සිට ඉහත කී රටවල් දෙක තුළ වැට් බදු ක්‍රියාත්මක වේ.
වැට් බදු හඳුන්වා දීමෙන් පසු පළමු වසර තුළ ඩිරාම් කෝටි 1,200ක ආදායමක් ලැඛෙනු ඇතැයි එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇස්තමේන්තු කර තිබේ. පෙට්‍රල් සහ ඩීසල්, ආහාර, ඇඟලුම්, විදුලි සහ ජල බිල්පත්, හෝටල් කාමර සඳහා වැට් බදු අය කෙරෙයි.
ඛනිජ සංචිත හැර වෙනත් ආදායම් මාර්ග වෙත යොමු වන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන ගල්ෆ් රටවලින් ඉල්ලා සිටියේ දීර්ඝ කාලයක සිටය. එහි එක් පියවරක් වශයෙන් ස්වදේශිකයන් වෙත ලබා දී තිබු ඇතැම් සහනාධාර කප්පාදු කිරීම මෙන්ම දුම්කොළ නිෂ්පාදන සහ සිසිල් බීම සඳහා බදු පැනවීමට සෞදි අරාබිය කටයුතු කර ඇත.
සෞදි අරාබියේ ආදායමින් 90% වඩා වැඩි ප්‍රතිශතයක් ලැඛෙන්නේ ඛනිජ තෙල් කර්මාන්තයෙනි. එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ එම අගය දළ වශයෙන් 80% කි. එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ අධිවේගී මාර්ග ගාස්තු ඉහළ නංවා ඇති අතර සංචාරක කර්මාන්තය වෙත අලුතින් බද්දක් හඳුන්වා දී තිබේ.
කාන්තාව වෙළඳපොළට නිරාවරණය කර තිබෙන්නේ මෙවැනි තත්ත්වයක් යටතේදීය. මෙවැනි ක්‍රියාමාර්ග හරහා අලුත් වෙළඳපොළක් සෞදිය තුළ නිර්මාණය වනවා සේම සෞදි පාලනය සම්බන්ධයෙන් ඇති වන ප්‍රතිවිරෝධයන් ද යම් තාක් දුරකට සමනය කර ගත හැකිය.
එහෙත් පාපන්දු තරග හෝ සිනමා දර්ශන වැනි සංදර්ශන හමුවේ සෞදි අරාබිය මුහුණ දී තිබෙන ඇත්ත අර්බුදය වසන් කිරීමට නොහැකිය. එය අන් කිසිවක් නොව වේගයෙන් ඛනිජ තෙල් මිල පහළ වැටීමයි. ඒ නිසා බරපතළ ආර්ථීක අර්බුදයකට මුහුණ දී තිබෙන සෞදියට මෙතෙක් ලෝකයෙන් වසන් කර ගෙන සිටි කාන්තාව පවා වෙළඳ භාණ්ඩයක් බවට පත් කිරීම හැර වෙනත් විකල්පයක් ඉතිරි වී නොමැත. සෞදි අරාබියේ ඉහළම ආගමික බලධරයා වන මුෆ්ටි ෂේක් අබ්දුල් අසීස් අල් ෂේක් මෑත කාලයේ දී ද සිනමා සහ සංදර්ශන පැවැත්වීම සම්බන්ධයෙන් විරෝධය පළ කර තිබිණි. ඔහු විසින් සිනමා සහ සංදර්ශන හඳුන්වා තිබුණේ ‘යක්ෂයාට මග විවර කිරීමක්’ ලෙසය. එහෙත් තව දුරටත් ඒවාට කන් දීමට පාලකයන් මුහුණ දී තිබෙන අර්බුදය ඉඩ හසර ඉතිරි කර නොමැත.
කාන්තාවට අවස්ථාවන් අහිමි වීම ඕනෑම තත්ත්වයක් යටතේ පිළිගත හැක්කක් නොවේ. එහෙත් මෙතෙක් කල් ආගමික ස්වරූපයෙන් සූරාකෑමට ලක් වූ සෞදි කාන්තාව දැන් මුදල් ඉලක්ක වෙනුවෙන් වෙන්දේසි කිරීම ද ප්‍රගතිශීලී පියවරක් නොවන බව තේරුම් ගත යුතුය.


චතුර දිසානායක