සම්මුතිය, සහජීවනය, යහපාලනය අවසන් රට අරාජිකත්වයට…

සොදුරු සල්පිල් මැද – දෙව්ලොව නැති සැප විකුණන්නේ
February 13, 2018
_99566625_8eff760e-1c6b-4fed-ab7d-e9c54a07b4e0
වෙළඳපොළේ පුපුරා යන සෞදියේ ෆුට්බෝල්
February 13, 2018
Show all

සම්මුතිය, සහජීවනය, යහපාලනය අවසන් රට අරාජිකත්වයට…

yahapalanaya

මෙවර පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය ජනතා බලය උරගා බලන ‘ගල උඩ සටනක් බවට පත්වෙලා.’ රටේ දේශපාලනය කෙරෙහි ජනතාව කලකිරී සිටිය දී කවුරු කවුරුත් උත්සාහ දරන්නේ තම තමන්ගේ පක්ෂ ඉහළින්ම ජයග්‍රහණය කරවන්නයි. කවුරු මොන විදියට විග්‍රහ කළත්, මෙවර ජන්දය පාවිව්චි කිරීමේ ප්‍රතිශතය අඩුවෙන බව නම් පැහැදිලියි. එජාපයේ, ශ්‍රීලනිපයේ අය වගේම මහින්දලා ජීවය දෙන්නට දඟලන පොහොට්ටු පක්ෂයේ අයත් ඉච්ඡාභංගත්වයට පත්වෙලා. ජනපති මෛත්‍රී තමන්ගේ පිල ශක්තිමත් කරලා යහපාලන ආණ්ඩුවේ ශක්තිය තමන්ටයි කියලා පෙන්වන්න විශාල වෙහෙසක් දරනවා.
බැඳුම්කර කොමිසම පිළිබඳව ‘බෝම්බයෙන්’ සසලවී සිටියත්, එජාප නායක රනිල් අගමැතිත් රට වටා යමින්, පක්ෂය දිනවන්න, මෛත්‍රී ජනාධිපතිට අභියෝගයක් වෙන්න සැරසෙනවා.
බොහෝ ප්‍රදේශවල එජාප ක්‍රියාකාරීන් පක්ෂයේ ඇතැම් නායකයන් සමඟ අමනාප වී ජනතා විමුක්ති පෙරමුණ හා එක් වී සිටීම දකින්නට පුළුවනි. විශේෂයෙන් දැදිගම ආසනය එජාප බලකොටුවේ පවා මේ ප්‍රවණතාවය තිබෙනවා. රටේ ප්‍රධාන පක්ෂ දෙකටම වැඩියෙන් පොහොට්ටුවේ සැඟවුණ නායකයන් මුදල් වියදම් කරන බවක් පෙනෙනවා. ෆෝකලර් අත්පත්‍රිකා, පෝස්ටර් ආදිය වැඩියෙන්ම මුද්‍රණය කරවන්නේ ඒ අය. තැනින් තැන මත්පැන් සාද පවා පැවැත්වෙනවා. පුදුම වෙන්න දෙයක් නෑ. ඒ යුගයේ හොරකම් කර ගත් ධනස්කන්ධය දැන් මේවාට වියදම් කරනවා වගේ. අනෙක් අතට ඒ පක්ෂෙ අපේක්ෂකයො බොහොම දෙනෙක් මහින්දගේ කාලේ විවිධ තනතුරු දරපු, හොඳට හම්බ කරපු අයයි. මුදල්, දේපළ, යාන – වාහන හොඳට තියෙනවා. රටේ ජනාධිපති නායකත්වය දරන ශ්‍රීලනිප අපේක්ෂකයන් වැඩි පිරිසක් අලුත් අය.
අවුරුදු තුනක් මතවාද, මතබේද අස්සෙම ඉදිරියට ආ යහපාලනය, සම්මුතිවාදය, ලිච්ජවි කතන්දර ඉවරයි. ජනපති මෛත්‍රී වගේම අගමැති රනිල් ඉදිරි දේශපාලන බල අරගලයෙන් දිනීමට කටයුතු කරමින් සිටින බවයි පෙනෙන්නේ.
මෛත්‍රී ජනපති තම පාලන කාලය අනුව සියලු සැලසුම් සුදානම් කරගෙන තනිවම යැපෙන්නයි අදහස. නමුත් පළාත් පාලන ජන්දෙදි වැටීමක් සිදු වුණත්, ජනපතිගේ බලයට විවිධ අභියෝග එල්ල වීම නවත්වන්නම බැහැ. විධායක බලයේ පිහිටෙන් මැති, ඇමති වෙනස්කම් කළ හැකියි. අමාත්‍යාංශ තමන් යටතට පවරා ගත හැකියි. එහෙම කළත්, පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නැතිව බලාපොරොත්තු වන ගමන යෑම අසීරුයි. දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අනුවත්, යුක්ති ධර්මය අනුවත් ජනාධිපතිවරයාට තියෙන්නෙ වසර 5ක බලයක්. 2020 දී මෛත්‍රී යළි ජනාධිපතිවරණයට යා යුතු වෙනවා. ඒ කියන්නෙ ජනාධිපතිවරණයට පසුවයි පාර්ලිමේන්තු මැතිවරණය තියෙන්නෙ. මෙය ජනපති මෛත්‍රී අපේක්ෂා නොකළ දෙයක්. නමුත් අද පැනනැගී ඇති බරපතළ විසංවාදය තුළ ජනපති මෛත්‍රී වසර හතරකින් යහපාලන ආණ්ඩුව විසුරුවා හැර මහ මැතිවරණයකට ද යා හැකියි. එජාපෙ හැර අනෙත් සියලු පක්ෂ මෙයට සහාය දක්වන්නටත් ඉඩ තිබෙනවා. කොහොමටත් මේ වසර තීරණත්මක වසරක්.
ජනපති මෛත්‍රී තමන්ගේ විධායක බලතල යොදා තම කාලය පිළිබඳ තීරණය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා ගැනීමට බලපෑම් කළ බව කාටවත්ම කියන්න බැහැ. සිරිසඟබෝ හිස දන් දීලා නැවත ඉල්ලුවා කියලා අහන්න නැහැ.
ජනපති මෛත්‍රී, අගමැති රනිල් රටට, ජනතාවට, ලෝකයාට පෙන්නන්නට ඇති කර ගත් මිතුරුදම හෙට අනිද්දාම වෛරය වපුරන, ප්‍රශ්න රැසකට මුලපිරෙන සිදුවීම් දාමවලින් කෙළවර වන බව නම් පැහැදිලියි.
එදා 2015 ජනවාරි 8 මෛත්‍රීට, රනිල්ට ජනතාව වරම් දුන්නෙ මහින්ද රාජපක්ෂ යුගයේ සිදු වූ සියලූ දූෂණ, වංචා, බලය අයුතු ලෙස යෙදවීම් හොයලා වැරදිකරුවන්ට දඩුවම් දෙන්න. ජනාධිපති ධුරය නැති කරන්න, නීතිය නිවැරදිව ස්ථාපනය කරන්න. මංකොල්ලකාරී ආර්ථීකය හරිමඟට ගන්න. ප්‍රජාතන්ත්‍රවාදය කෙළින් හිටුවන්න.
දැන් රාජපක්ෂ යුගයේ දූෂිතයන්ට නිසි දඩුවම් නොදීමේ විපාකය මෛත්‍රී ජනාධිපතිට හොඳටම තේරිලා. එදා මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ රටේ ඇති කළ කතිකාව අනුව ප්‍රතිඵලය කොහේවත් පාලමක් ඒ හිමියන්ගේ නමින් නම් කළා ම සියල්ල විසඳේ ද? ඒ හිමියන් අපේක්ෂා කළේ, සමාජයේ අවධානයට ලක් කළේ පාලම්, බෝක්කු දේශපාලනය ද?
මෛත්‍රී ජනපතිත්, රනිල් අගමැතිත් මේ සමාජීය විප්ලවය නිසි පරිදි වටහාගෙන නැහැ. හැම දෙයක්ම වෙලා තියෙන්නේ බාගෙට. එහෙම වුණා නම් අද රාජපක්ෂලා එක්ක පරණ හොරු ආයේ නැඟිටින්නේ නැහැ. දැන් වෙලා තියෙන්නේ රනිල්ගෙ හා මහින්දගෙ දේශපාලන බල අධිකාරියේ ඇතුළෙ ජනපති මෛත්‍රී හිරවෙලා. තවමත් රණවිරුවෝ කියලා හොරුන්, මිනීමරුවන් රකිනවා. පක‍ෂයේ කියලා අපරාධකාරයන්, දූෂිතයන් ආරක්ෂා කරනවා. ජාතිවාදී, ආගම්වාදී බලවේගවලට බියේ නීතිය නවනවා. සංහිදියාව පේන තෙක් මානෙක නැහැ. ජාතිවාදී බලවේග මේ ඡන්දයත් සමග යළි හිස ඔසවනවා. අඩු ගාණේ තමා පත් කළ දූෂණ වංචා සෙවීමේ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තා 34 හෝ ක්‍රියාවට නංවන්න, හෙළි කරන්න කටයුතු යොදන්නේ නැහැ. එදා හිරකරුවන් මරා දැමීමේ වාර්තාව සමාජගත කරන්නේ නැහැ. මේ කොයි නායකයටත් අවසානයට දණ නමන්න සිදුවන්නේ ජනතාව ළ`ගයි. ජනතා පරමාධිපත්‍යය ජනතාව ළඟ ඇති විත්තිය මේ නායකයන්ට දැන් අමතකයි. මේ දේශපාලන අඩව් අතරේ රටේ ආර්ථීක තත්ත්වයත් යහපත් නැහැ. දැන් මේ අස්සෙම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ වැටුප් වැඩි කරන්නත් යනවා. ඊට සාපේක්ෂව ජනපති, අගමැති, මැති, ඇමති, මන්තී්‍රවරුන්ගේ වැටුප් ලක්ෂ තුනකට ඉහළ මට්ටමකට පත් වෙනවා. අලූතෙන් පළාත් පාලන ආයතනවලට පත් වන මන්තී්‍රවරුන්ටත් පඩි ගෙවීමට විශාල මුදලක් අවශ්‍යයි. මේවා සඳහා ආදායම් උපදවන්න සැලැස්මක් ආණ්ඩුවට නැහැ. එකම ක්‍රමය ජනතාව පිට බදු පැටවීම පමණයි. පවතින ක්‍රමය තුළ දැන් එදිනෙදා වියදම් සඳහන් ආණ්ඩුවේ ඉඩම්, ආයතන කාට කාට හරි විකිණීමයි සිදු වන්නේ. ඒ අතරේ දේශපාලන විසංවාදය උග්‍ර වීමෙන් තවත් ප්‍රශ්න වැඩි වෙනවා. දීර්ඝ කාලයක් මහින්ද රාජපක්ෂ පසුපස යමින්, ලංකාවේ ම ධනවතකු වූ සබරගමු හිටපු මහ ඇමති, මහීපාල හේරත් පළාත් සභාව විසුරුවා හැරීමෙන් පසු ආණ්ඩුකාර තනතුරක් ඉල්ලලා, එය ලබා නොදීම නිසා ජනපති සමඟ අමනාප වී ආයෙත් මහින්දගේ පොහොට්ටුවට වැඩ. හොරෙක්, දූෂිතයෙක්, බලය අයුතු ලෙස යෙදවූවෙක්. ඒ කිසිත් නොබලා, ඔහුගේ පුතා මහින්ද සුළෙඟ් නැළවෙද්දී ජනපති මෛතී්‍ර මහීපාල විශ්වාස කළා. දැන් ඔහු මෛතී්‍ර ජනපතිට එරෙහිව වැඩ. තව ඉදිරියේ දී මධ්‍යම පළාත් මහ ඇමති, සරත් ඒකනායක කරන්නෙත් ඔය පාවාදීමමයි. මේ දෙපිටකාට්ටු හොරු ජනපති මෛතී්‍ර හරිහැටි හඳුනන්නේ නැහැ. බොහෝ පළාත් සභාවල මැති, ඇමතිවරුන් හොරෙන් ‘පොහොට්ටුවට’ වැඩ. ඔවුන් මෙය ජනාධිපතිවරණයක් කරගෙන. මහින්ද වෙනුවෙන් දෙන ඡන්දයක් ලෙසයි විග්‍රහ කරන්නේ. මේ ඡන්දය මහින්දට දෙන ඡන්දයක් වන්නේ කොහොමද? මහින්ද රාජපක්ෂ පක්ෂය බූදලයක් කරගෙන කළ විනාශය නිසා ශ්‍රීලනිපය හොරුන්ගෙන්, දූෂිතයන්ගෙන්, පාදඩයන්ගෙන්, පාතාලයන්ගෙන් පිරුණා. මෛත්‍රී ජනපති වුවත්, පක‍ෂයේ සභාපති ලෙස පක්ෂයේ විනය ආරක්ෂා කරන්නේ නැහැ. ඒ නිසයි, අද මහින්ද රාජපක්ෂ හා හොර නඩය දේශපාලන විකාරයක් රට තුළ මෙහෙයවන්නේ.
මේ මැතිවරණයෙන් පසු රටේ දේශපාලන ව්‍යාකූලත්වය නොසිතූ තරම් වැඩි වෙනවා. මෛත්‍රී තනිවම පක්ෂය ගොඩනඟාගෙන එජාප හා පොහොට්ටු පිලේ හවුලක් අටවාගෙන, ආණ්ඩුවක් හැදීමෙන් වෙන්නේ තව තවත් රට අරාජික වීම පමණයි. එදා 2015 ජනවාරි 08 වැනිදා ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස දිනා රටේ ජනතාව අපේක්ෂා කළ දේශපාලන ප්‍රතිසංස්කරණ නොකිරීම නිසා ජනතා පැතුම් සුන් කිරීම නිසා අද රටම වියවුල් ගොඩක පැටලිලා අවසානයි. බොරු සමඟිය, සම්මුතිය අවසානයි. ආයෙත් මජර, ඇන කොටා ගන්නා දේශපාලනය රට වැළඳ ගනියි. කෙසේ වුවත්, රටේ බුද්ධිමත් ඡන්දදායකයා මේ තත්ත්වය වටහාගෙන නිවැරදිව ඡන්දය පාවිච්චි කර පුංචි ඡන්දයේ ජය ජනතාවගේ දිශාවට යොමු කළොත්, රටට නිදහසේ හුස්ම ගන්න පුළුවන් වෙයි.


ඩී. බී. ඇල්කඩුව