‘සයිටම්’ අළුයට ගිනි

bigstock-Thief-109511021-2-583x389
අන්ධ ජනාධිපති නොදන්නා හෙන ගහන සංවර්ධන අපරාධ
February 13, 2018
Operation-RESCUE-Warm-Shelter-Flag-2 (1)
කතාව සහ ක්‍රියාව
February 13, 2018
Show all

‘සයිටම්’ අළුයට ගිනි

saim iii

කුප්‍රකට ව්‍යාපාරික දොස්තර නෙවිල් ප්‍රනාන්දු විසින් කළමනාකරණ උපාධි ප්‍රධාන ආයතනයක් ලෙසින් අරඹා (South Asian Institute Of Tecnology and Management)හි Management යන්න පසුව Medicene ලෙසින් වෙනස් කර පිහිටුවනු ලැබූ ආයතනය සයිටම්ය.
ඒ වන විට රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිවරුන් වූ රාජිත, එස්.බී. යන නිදහස් අධ්‍යාපනයට පින් සිදුවෙන්නට හිස ඔසවා ගත්තවුන්ගේ ආශිර්වාදය හා අනුබලය එම පෞද්ගලක උපාධි ආයතනයට නොඅඩුවම ලැබිණි.
මුලදී එම ඊනියා වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් කර ගත් සිසුන් අතර රාජ්‍ය විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයට ඇතුළත්වීමේ මූලික සුදුසුකම් හෝ සපුරා නොතිබූ උසස් පෙළ කලා අංශයෙන් හැදෑරූ අය පවා ඇතුළත් කර ගත් බවට හෙළිදරවු විය. ආරම්භයේදී රුපියල ලක්ෂ 60ක් වැනි අධ්‍යන ගාස්තුවක් අය කළද පසුව එම මුදල රුපියල් ලක්ෂ 120 දක්වා වැඩි කරනු ලැබූවේ එම ආයතනයෙහි නීත්‍යානුකූලභාවය තහවුුරුවීමෙන් හෝ එමගින් උපාධිය ලබන වෛද්‍යවරුන් හට සුවිශේෂී පුහුණුවක් ආයතනයෙන් ලබාදීම හේතුවෙන් නොවේ. සිය ගේ දොර ඉඩකඩම් පවා විකුණා හෝ උකස් කර තම දරුවා වෛද්‍යවරයෙකු හෝ වෛද්‍යවරියක කිරීමේ බලාපොරොත්්තුවෙන් කටයුතු කළ මාපියන්ගේ සිට මැති ඇමතිවරුන් ඇතුළු විවිධ ජාවාරම් හරහා කෝටිපතියන් වූ අයවලුන්ගේ දරුවන් මෙම ඊනියා වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් කිරීමට ඇති වූ ඉල්ලුමත් සමඟය.
නිසි අධ්‍යාපන සුදුසුකම් සපුරා නොමැති අයගෙන් මෙන්ම නිසි පරිදි ශික්ෂණ රෝහලකින් පුහුණුවක් නොලැබ මුළුමනින්ම ලාබය පමණක් පදනම් කර ගත් ආයතනයකින් පරිපූර්ණ දැනුම ඇති වෛද්‍යවරයෙකු බිහිවීමට නොහැකි වීම මෙන්ම මෙම ආයතනය නීතිවිරෝධී භාවය හේතුවෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සයිටම් උපාධිය පිළිගැනීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කරනු ලැබීය. වෛද්‍ය ශිෂ්‍යයන් මෙන්ම සමස්ථ විශ්වවිද්‍යාල පද්ධතියත් ඇතුළුව විශේෂයෙන්ම වෛද්‍යපීඨ ශිෂ්‍යයන් මෙන්ම නොකඩවා මාස අටක් වැනි කාලයක් පන්ති වර්ජනය කරමින් මෙම ආයතනය අහෝසි කර රජයට පවරා ගන්නා ලෙස දිගින් දිගටම අරගල කරනු ලැබීය.
රටේ ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාරවල හා සංවිධානවල සහයෝගයද මෙම අරගලය සඳහා ලැබුණු අතර, සයිටම් ආයතනයට පක්ෂව වත්මන් ආණ්ඩුවේද, අමාත්‍යවරුන් වන ඇමති ලක්ෂමන් කිරිඇල්ල, රාජිත සේනාරත්න වැන්නවුන්ගේ ප්‍රයෝගකාරී ප්‍රකාශ හා ක්‍රියාත්මකවීම් වලද අඩුවක් දක්නට නොවිණි.
සයිටම් ආයතනයට එරෙහි විරෝධය තීව්‍ර වෙමින් ශිෂ්‍ය ව්‍යාපාරය විසින් දිගින් දිගටම සිදු කළ විරෝධතා හේතුවෙන් පොලිසියේ සහ ආරක්ෂක අංශවල නිරන්තර කඳුළු ගෑස් සහ බැටන් ප්‍රහාර වලට ලක්වීමට එම ශිෂ්‍ය ප්‍රජාවට සිදුවිය. මේ අතර සයිටම් විරෝධී පෙරමුණක් ලෙස එක්වීමට වෛද්‍ය පීඨ ශිෂ්‍යන්ගේ දෙමාපියන්ද කටයුතු කරනු ලැබීය.
ඒ අනුව දෙමාපියන්ගේ සහයෝගයද සිසු සටනට එක් කරමින් තීරණාත්මක සංධිස්ථානයකට සයිටම් විරෝධී සටන පැමිණි අතර, එහිදී සයිටම් විරෝධී වෛද්‍ය සිසුන්ගේ දෙමාපියන් විසින් මාරාන්තික උපවාසයකට අවතීර්ණ විණි. දින කිහිපයක ඇවෑමෙන් ආණ්ඩුව පියවරක් පසුපසට ගනු ලැබීය. ඒ අනුව ශිෂ්‍ය ප්‍රජාවගේ සහ බහුජන සංවිධානවලත් ප්‍රධාන ඉල්ලීම වූ සයිටම් අහෝසි කළ බවට ආණ්ඩුව විසින් ප්‍රකාශ කරනු ලැබිණි.
එපමණකි. එම තීන්දුව ලබා ගැනීම වෙනුවෙන් කැපකිරීම් කළ ශිෂ්‍ය ව්‍යාපාරයට සහ එයට සහය දුන් ප්‍රගතිශීලී ව්‍යාපාරවල කැපකිිරීම මෙන්ම, එම අරගලය විසින් සයිටම් විරෝධය පිළිබඳව රට තුළ ගොඩනගා තිබූ මතයට සාපේක්ෂව සයිටම් අහෝසිය පිළිබඳව සයිටම් විරෝධී අරගලවල නිරත වූ පාර්ශ්වයෙන් ප්‍රතිචාරයක් ඇති වූයේ නැත. ඇතිවූයේ නිහඩතාවයක් පමණි. ගිනිපුපුරු අළුයට සැඟවිනි.
අලුයට සැඟවුණු ගිනි පුපුරු වලට ආණ්ඩුව විසින් නැවත ගිනි පිඹිමින් තිබේ. වත්මන් පාලකයන් සෑම දිනකම මෙරට ජනතාව ගොනාට ඇන්දවීමට පසුබට නොවුණා සේම සයිටම් විරෝධී අරගලයේ නිරත වූවන්ද, සයිටම් සිසුන් ඇතුළු දෙමාපියන්ද ඇන්දවීමට කටයුතු කරමින් සිටියි.
‘ලංකා’ පුවත්පත මුලින්ම හෙළිදරවු කළ පරිද්දෙන්ම සයිටම් වෛද්‍ය පීඨය SLITT ආයතනයට අනුබද්ධ කිරීමේ උත්සාහයක් පිළිබඳව මේ වන විට තොරතුරු හෙළිදරවු වෙමින් තිබේ.
සයිටම් අහෝසියේදී ආණ්ඩුව විසින් සයිටම් දෙමාපියන්ට ලබාදී ඇති පොරොන්දුව නම් සිය දරුවන් වෙනුවෙන් වෛද්‍ය පීඨවල හා ප්‍රාමාණික දැනීමක් ඇති වෛද්‍ය පීඨවල හා විද්වතුන්ගෙන් සැදි කණ්ඩායමක් මගින් ඔවුන්ගේ සුදුසුකම් පරීක්ෂා කර සායනික පුහුණුවට අදාළව ඇති අඩුපාඩු සම්පූර්ණ කර ගැනීමට ඉඩ සැලසීමෙන් අනතුරුව සුදුසු වෛද්‍ය පීඨයකින් වෛද්‍ය උපාධිය ලබා ගැනීමට කටයුතු සලසා දෙන බවය.
කෙසේ වෙතත් අද වන විට කටයුතු සිදු වෙමින් පවතිනුයේ පොරොන්දු ප්‍රකාරව නොවේ. සයිටම් සිසුන් SLITT ආයතනයෙහි පිහිටුවන වෛද්‍ය පීඨය වැනි ආයතනයකට අනුබද්ධව බඳවා ගැනීමට මේ වන විට ආණ්ඩුව විසින් කටයුතු කරමින් තිබේ. ඒ අනුව 2019 වසරේදීද එම පීඨයට වෛද්‍යවරුන් ලෙස පුහුණුකරවීම වෙනුවෙන් සිසුන් බඳවා ගැනීමටද මේ වන විට සූදානමක් පවතින බවත් තොරතුරු වාර්තා වේ. සයිටම් තරමට හෝ සුදුසුකම් නොලත් තොරතුරු තාක්ෂණ උපාධි පිරිනමන ආයතනයක් පමණක් වන SLITT මගින් පෞද්ගලික වෛද්‍ය පීඨයක් පවත්වාගෙන යාමට බලධාරීන් කටයුතු කරමින් සිටිති.
අර්ධ රාජ්‍ය ආයතනයක් වශයෙන් පැවති මෙම කළමනාකරණ ආයතනය මේ වන විට පූර්ණ වශයෙන්ම පාලනය වනුයේ පෞද්ගලික අංශයෙන් වන අතර, එම ආයතනය තොරතුරු තාක්ෂණ උපාධිය පිරිනමන ආයතනයක් හැරුණු කොට වෛද්‍ය උපාධිය පිරිනමන ආයතනයක් නොවන බැවින් සයිටම් සිසුන්ගේ දෙමාපියන් විසින් මේ වන විට එම තීරණයට එරෙහිව විරෝධය ප්‍රකාශ කරමින් සිටිති.
ඒ අනුව මේ වන විට නැවත වටයක් වෙනස් ආකාරයකින් තම ව්‍යාපාරය පවත්වාගෙන යාමට පාලක පන්තිය හා අත්වැල් බැඳගත් ව්‍යාපාරික නඩය කටයුතු කරමින් සිටින අතර, එම උත්සාහය පරාජය කිරීම වෙනුවෙන් මේ වන විට ශිෂ්‍යයන් හා බහුජන සංවිධාන ඒකරාශී වෙමින් සිටිති.
සයිටම් ඊනියා වෛද්‍ය උපාධි ආයතනය විසින් වෛද්‍යවරයෙකු වීමේ සිහිනයක ගිල්වා අතරමං කළ සිසුන්ට සාධාරණයක් ඉටු විය යුතුවා මෙන්ම මෙරට වෛද්‍ය සේවාවෙහි පවතින අවම හෝ ගුණයට හානි සිදුවීමට ඉඩ නොහැරිය යුතුය.
රජය මුලින් යෝජනා කළ පරිදි කටයුතු කරනවා වෙනුවට සුදුසුකම් නොලත් ආයතනයක වෛද්‍ය පීඨයක් ඇති කර වෛද්‍ය උපාධිය පිරිනැමීමට කටයුතු කිරීම කටුස්සාගේ පාට වෙනස් කිරීමට හැරුණු කොට වෙනත් ක්‍රියාවකට සමාන වන්නේ නැත.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවද මේ වන විට සයිටම් සිසුන් වෙනුවෙන් සහනශීලී ක්‍රමවේදයක් අනුගමනය කිරීමට කටයුතු කරමින් සරල විභාගයක් පැවැත්වීම මගින් සයිටම් සිසුන් වෛද්‍ය සේවයට බඳවා ගැනීමට කටයුතු කරමින් සිිටින බවටද තොරතුරු වාර්තා වේ.
කෙසේ වුවද ලාබ අපේක්ෂා කරගත් ව්‍යාපාරිකයෝ තම ප්‍රාග්ධනය නිකරුණේ බිලිදීමට සූදානම් වන්නේ නැත. ලාබ අහිමිවීමේ අවස්ථා මඟ හරවා ගැනීම වෙනුවෙන් නව උපක්‍රම තෝරනවා කරනවා හැරුණු කොට පොදු ජනතා උවමනාවන් වෙනුවෙන් ලාබය පාවාදීමට සූදානම් වන්නේ නැත. එහෙයින්ම නව වටයකින් සටනට පිවිසීමට ඉඩකඩ සැකසෙමින් තිඛෙන බව පමණක් දැනට සඳහන් කළ හැකිය.


කිත්සිරි කොඩිතුවක්කු