සුරාසල් ගැන මෛත්‍රීගේ දෙබිඩි රංගනය

labor_market_in_saudi_arabia1
රටේ තරුණයන් රැකියා පෝලිම්වල ගාල්කර විදේශ ශ්‍රමිකයන් ලක්ෂ තුනකට රැකියා
February 13, 2018
bigstock-Thief-109511021-2-583x389
අන්ධ ජනාධිපති නොදන්නා හෙන ගහන සංවර්ධන අපරාධ
February 13, 2018
Show all

සුරාසල් ගැන මෛත්‍රීගේ දෙබිඩි රංගනය

න්ත්‍රිseghae

විවෘත ආර්ථීකය දැන් මහ දවල් සළුපිළි උනා දමා නග්න සිරුරේ අජූව ප්‍රදර්ශනය කරමින් සිටී. සිරුර පුරාම හොරි, දද, කුෂ්ට හැදී වන වී ඔජස් ගලන්නේය. විවෘත ආර්ථීකයේ ඇඳි වත උණා දමන්නේ ශරීර සොබාව පෙන්නීමේ රූප සුන්දරී තරගයකට නොවේය. ඕජස් ගැලීම හමුවේ එම පංචස්කන්ධයේ ආවරණයට කිසිම ඉඩක් නොමැති නිසාය. අවුරුදු හතළිහක් පුරා මේ ආර්ථීකය විසින් රට ගෙනවිත් තිඛෙන්නේ ඕජස් ගලනා ගඳ ගහනා අන්තයටය. ජනාධිපතිවරයා කරන්නේ මේ ඕජස් ගලන වනයට පුයර දමා වන වී ඔද්දල්   තැන් වූ වසා සුවඳ විලවුන් ගැල්වීමට මාන බැලීමය.

‘ජේත්තු කාරලියන් ගත විලවුන් මුහුණ සිඹින්නා
සාටක දුහුල ඉරන් නාරිලතා මල් පූදින්නා’

තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍යයේ තේමා ගීතයේ සඳහන් වන්නේ එලෙසය. දැන් සාටක දුහුල ඉරන් නාරිලතා මල් පූදින්නේ නැත. වසර හතළිහක් තිස්සේ වෙසඟනක් බවට පත් කළ ආර්ථීක ශරීර කූඩුව දැන් ඕජස් ගලන බවෙන් මුදවා ගැනීමට සමත් කිසිදු ජගතෙකු නැත. ජනාධිපතිට කළ හැක්කේ පියර දමා විලවුන් කැවීමය. එසේ නැතිව ඕජස් ගලා වෑස්සීම නතර කිරීමට නම් නොවේ.
පසුගිය අය – වැය ඉදිරිපත් කරමින් මංගල සමරවීර මුදල් ඇමතිවරයා ඉතා පැහැදිලිව කළ ප්‍රකාශයක් තිබේ. එය නම් ආර්ථීක ලිහිල්කිරීම වේගවත් කරන බවය. ගෙවී ගිය හතළිස් වසර පුරා විවෘත ආර්ථීකය ජනතාවට භෞතික වශයෙන් අත්පත් කර දුන්නේ යැයි කියන ආර්ථීක දියුණුව දැන් සංඛ්‍යාලේඛන වලින් ප්‍රකාශ නොකරන තරම්ය. නිදර්ශනයක් ලෙස මේ දක්වා පාරම්බාන ලද්දේ ඒකපුද්ගල දළ ජාතික ආදායම ඉහළ දැමීම ගැනය. ආසියාවේ ආශ්චර්යය ගෙන එන බව කිියමින් ඒක පුද්ගල ආදායම ඩොලර් 4000 දක්වා ඉහළ දමන බව කීවේ මහින්ද රාජපක්ෂ මුදල් ඇමති නොවේය. ඒ වන විට සිංගප්පූරුවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 70,000ක් පමණ ඉක්මවා, ජපානයේ 80,000ද, කොරියාවේ ඒ හා සමාන ඒක පුද්ගල ආදායමක් තිබියදී ලංකාවේ ඩොලර් 4000 සීමාව ඉක්මවා ආසියාවේ ආශ්චර්යය ගෙන එන බව කී අන්දම කවුරුත් අමතක නොකළ යුතුය.
ඒක පුද්ගල ජාතික ආදායම සම්බන්ධයෙන් වචනයක්වත් ඇසූ කාලයක් සිහියට නගා ගත නොහැකිය. දැන් ඒ පිළිබඳව කිසිවක්ම කතා නොකෙරේ. කතා කරන්නේ රටේ ණය කන්ද ගැන පමණය. එයද රාජපක්ෂ පාලන සමයේ ලබා ගන්නා ලද මහා ණය කන්දක් ගැනය. දැන් ණය ගන්නේ රාජපක්ෂ ණය ගෙවීමට බව විශේෂයෙන් අගමැති නිතර නිතර කියන දෙයක්ය. මහින්ද දැන් ආර්ථීක ඔස්තාර් කෙනෙක් වී සිටී. තමන්ගේ ආණ්ඩුව සමයේ විදේශ ණය ගෙවීම පිළිබඳ සංඛ්‍යාලේඛනද හවුල් ආණ්ඩුව යටතේ ගෙවීමට සිදු වී තිබෙන ණය කන්ද පිළිබඳව සංඛ්‍යාලේඛනද ඉදිරිපත් කරමින් සිටියි. ඒ හැර ඒකපුද්ගල ජාතික ආදායමක් ගැන කිසිම දෙයක් නොකියයි. අඩුම තරමින් මහින්ද හෝ තමන්ගේ පාලන කාලයේ ඒක පුද්ගල ජාතික ආදායම ඉහළ දැමූ ආකාරය ප්‍රකාශ කර හවුල් ආණ්ඩුුව යටතේ එය බිඳ වැටෙමින් තිබෙන බව හෝ කීමට තරම්වත් උත්සාහයක් නොගනී.
එසේ නම් මෙතන ඇත්තටම සිදුවන්නේ කුමක්ද? මංගල සමරවීර ප්‍රමුඛව එක්සත් ජාතික පක්ෂයේ ආර්ථීක ආශ්චර්යයට යන ගමනක් තිබේද? මෛත්‍රී එම ගමනට කකුල් මාට්ටු දමමින් සිටින්නේද?
රනිල් – මලික් ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය විසින් පවත්වාගෙන යන ආර්ථීක කළමනාකරණ කමිටුවක් තිබේ. මේ රටට අහිතකර ආර්ථීක තීන්දු තීරණ සියල්ල ගත්තේ, කොටින්ම රටේ සම්පත් සියල්ල විදේශිකයන්ට විකුණා දැමීම සහ රටේ සංස්කෘතියට, සභ්‍යත්වයට හානිකර අන්දමේ ආර්ථීක ප්‍රතිසංස්කරණ තීරණ ගන්නේ එම කමිටුවෙන් බවට මතයක් ප්‍රචලිත කෙරී තිබිණි. එම හානිකර තීරණ වැළැක්වීමට ජනාධිපති මූලික වී ජාතික ආර්ථීක සභාව පිහිටුවාගෙන තිබේ. රනිල්ගේ කණ්ඩායම ගන්නා ආර්ථීක ආශ්චර්යයට අදාළ තීරණවලට අකුල් හෙළන්නේ මෛත්‍රීගේ ජාතික ආර්ථීක සභාව බවට දැන් මතයක් සමාජ ගත කිරීමට උත්සාහ කරමින් තිබේ.
මෙයට හොඳම සාක්ෂිය පසුගිය සතියේ දක්නට ලැබිණි. විශේෂයෙන්ම රටේ ජන ජීවිතවලට බොරු සදාචාර වෙස් පැළඳවීමේ උත්සාහයක මෛත්‍රී නිරත වී සිටීමය. මේ ආර්ථීකයේ උපන්ගෙයි ලක්ෂණ ප්‍රකට කරමින් සියල්ල කෙලෙසා සල්ලි කීයක් හරි හොයා ගැනීමට මිනිසුන් දිගේලි කිරීම අනික් පැත්ත ක්‍රියාත්මක කරන බව පෙන්වීමට සැරසේ. මහින්ද රාජපක්ෂ මහරජු ලෝකප්‍රකට කැසිනෝ රජා ජෙම්ස් පැකර් ගෙන ආවේද රනිල් – මෛත්‍රී හවුලෙන් මූල්‍ය ජාවාරම්කරු ජෝර්ජ් සෝරෝස් ගෙනාවේද රට එතනට පත් කිරීමටය. එසේ තිබියදී සුරාසල් විවෘතව තබන වේලාව පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා විය. මෙම කාලය රාත්‍රී 10.00 දක්වා දීර්ඝ කිරීමට මුදල් ඇමතිවරයා නීතිය ලිහිල් කළේය. මෙයට අමතරව සුරාසල්වල කාන්තාවන් රැකියාවල යෙදවීමට අවසර ලබාදීමේ නීති සංශෝධනයක්ද කර චක්‍රලේඛ නිකුත් කර තිබිණි.
මංගල කර තිබුණේ කිසියම් අතිශය රහසිගත න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම නොවේ. පසුගිය අය – වැය ලෙඛනය ඉදිරිපත් කිරීමේදීද ප්‍රසිද්ධියේ වාචිකවත්, ලිඛිතවත් ප්‍රකාශයට පත් කරන ලද එක් දෙයක් ක්‍රියාත්මක කිරීමට මුල පිරීමය. එනම් ආර්ථීකය ලිහිල් කිරීම වේගවත් කිරීමේ එක් අවම දෙයක් කිරීමට චක්‍රලේඛ නිකුත් කිරීමය. ආර්ථීකය ලිහිල් කිරීමට අදාළව නීති විශාල ප්‍රමාණයක්ද සංශෝධනය කිරීමට නිශ්චිතව නම් කර යෝජනා කර තිබේ. රටේ සම්පත් කරදරයකින් තොරව විකුණා දැමීම හා ශ්‍රම සූරාකෑම තවත් අන්තයටම කිරීමට අදාළව නීති සංශෝධනය වේ. නිදර්ශනයක් ලෙස මහල් හතරට අඩු නිවාස විදේශිකයන්ට විකිණීමේ අවස්ථාව ලබා දීමට යෝජනා කිරීම ඉතාම බරපතළ දෙයක්ය. එනම් රටවැසියන් සතු දේපොළ විකුණා දැමීමට ඉඩ හදාදී අන්තිමට තමන්ගේ ගේ දොර පවා විකිණීමට ඉඩදීමය. පසුව එම සංශෝදනයට ඉඩ නොදීමට තීරණය කෙරී ඇත. එය වෙනම දෙයක්ය.
නමුත් හවුල් ආණ්ඩුවේ අරමුණ තිබෙන්නේ ඒ තරම්ම සරල ලෙස සියල්ල විකුණා දැමීමය. මෛත්‍රීගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම මේ ආර්ථීක ක්‍රමය අනුමත කර අය – වැය සම්මත කිරීමට පාර්ලිමේන්තුවේදී ඡන්දය දී අවසන්ය. දැන් විවිධ අංශ ඔස්සේ පියවරෙන් පියවර ක්‍රියාත්මක කරමින් සිටින්නේ සම්මත කරන ලද අය – වැය ලේඛනයේ ඇතුළත් සැලසුම්ය. රාත්‍රී 10.00 දක්වා සුරාසල් විවෘතව තැබීම ‘සුරාමේරය මජ්ජපමා දට්ඨානා’ පන්සිල් පදයට විරුද්ධව ඉතිහාසයේ දියත් කෙරෙන මහා ලොකු කුමන්ත්‍රණයක් නොවේය. සුපිරි වෙළඳසල් වලින් වේලාවේ සීමා කිරීමකින් තොරව මත්පැන් ලබා ගත හැකිය. එයම සුරාසැල් වලටත් වලංගු කිරීමේ එක් පියවරක්ය. අනිත් පැත්තෙන් මේ මේ තැන්වල කාන්තාවන් රැකියාවල යෙදවිය හැකි සේ් නීති ලිහිල් කිරීමේ චක්‍රලේඛනයද එසේමය. මේ මොහොත වන විටද රටේ ඉහළ සල්ලිකාරයන්ගේ සුරා සහ සූදු පොළවල්වල අනන්තවත් කාන්තාවන් රැකියාවල යොදවා සිටියි. එසේම සුරාසල්වලටත් වලංගු කිරීමට චක්‍රලේඛ නිකුත් කළා පමණය. මෛත්‍රීගේ කණ්ඩායම අය – වැයට පක්ෂව ඡන්දය දී අනුමත කර තිඛෙන දෙයක් ක්‍රියාත්මක කිරීමට මුල පිරුවා පමණය.

‘සවුදිය පුරන ලඳක්
රකුසු නෙතක් පාළු මකන්නේ’

යනුවෙන් තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍යයේ දක්වා තිබෙන විවෘත ආර්ථීකයේ ක්‍රියාමාර්ග දිගේලි කිරීමට නීතියෙන් තිබූ සීමා කිරීම් ක්‍රමවත් කිරීමට මංගල සමරවීර මුදල් ඇමතිවරයා උත්සාහ කළා පමණය. මේ නිසා නිර්මල බුදුදහමට මහා පහරක් දී විනාශයක් සිදු කිරීමට උත්සාහ කළා නොවේය. 2002 සිට 2004 දක්වා කාලයේ රනිල් වික්‍රමසිංහට අවශ්‍ය වී තිබුණේ තමන්ගේ ආර්ථීක ප්‍රතිපත්තියේ ඕජස් ගැලීම රටේ අස්සක් මුල්ලක් දක්වා පැතිරවීමටය. එයට මුල පුරමින් නොනිදන නගර නිර්මාණය කිරීමට ප්‍රයත්න දැරීය. සතොස වෙළඳසල් කිහිපයක් පැය විසිහතර පුරාම විවෘතව තැබීමෙන් රාජ්‍ය අතිශයෙන් එයට ආදර්ශ දීමට ක්‍රියා කර තිබිණි. එදාටත් වඩා අද ආර්ථීකය බරපතළ ලෙසට බිඳවැටී අවසන්ය. මිනිසුන්ට සිද්ධ වී තිබෙන්නේ විකිණීමට දෙයක් නැතිනම් දරුවාව ගණිකා වෘත්තියේ යොදවා හෝ විදේශයන්ට සින්නයටම විකුණා දමා කීයක් හෝ සොයා ගැනීමටය. රටේ තිබෙනවා යැයි කියන ආගමික නීතිරීති, සදාචාර, ගුණ සම්පන්න බව ආදිය මෙයට කිසිම බාධාවක් වී නැත. තිබෙන සීමාවන්ද වේගයෙන් වෙනස් කරන ලෙස බලකෙරෙන පසුබිම් පවතී.
මෛත්‍රීගේ දෙබිඩි රංගනය එළියට දමන්නේ මෙහිදී ජාතික ආර්ථීක සභාව නමින් ලොකු ප්‍රචාරයක් දී පිහිටුවන ලද සභාවෙන් කරන කෙන්ගෙඩියක් නැත. බොරු පූචානම් කතා පමණක්ය. දැන් රනිල්ගේ ආර්ථීක කළමනාකරණ කමිටු අතපය දිගහැර ක්‍රියාකරමින් සිටියි. පාර්ලිමේන්තුවේදී එයට මෛත්‍රීගේ කණ්ඩායමද අනුමැතිය ලබාදී අවසන්ය. ඒ අනුව දේවල් ක්‍රියාත්මක කරන විට නොයෙක් බාධා කරමින් තාවකාලික දේශපාලන වාසි ලබා ගැනීමේ සංදර්ශන මෛත්‍රී දියත් කර තිබේ. ඇත්ත අර්ථයෙන් ක්‍රියාත්මක කරන්නේ නම් කළ යුතුව තිබුණේ පාර්ලිමේන්තුවේදී අය – වැයට විරුද්ධව ඡන්දය දීමය. බොරු සදාචාරවාදී සළුපිළි පොරවා ගැනීම නොවේ. මෛත්‍රීද කොටස්කාරයෙක් වී සිටින ආර්ථීකයේ විවිධ ක්‍රියාමාර්ග නිසා ඕජස් ගැලීමෙන් ගඳ ගැහීම වළක්වා ගැනීමට ඔය පුයර හෝ විලවුන්වලට නොහැකිය. මැතිවරණය හමුවේ මෛත්‍රී කරන බොරු රඟපෑම සහ ඕජස් ගලන පංචස්කන්ධය ආවරණය කිරීමට දරන බොරු වැඩ සියල්ල හොඳින් තේරුම් ගැනීමේ වගකීම ජනතාවට තිඛෙන බව මතක් කළ යුතුය.


ඉන්ද්‍රසිරි ජයසුන්දර