සොදුරු සල්පිල් මැද – දෙව්ලොව නැති සැප විකුණන්නේ

kesel ken
පාලකයන්ගේ වරදින් බැටකන සූරියවැව…
February 13, 2018
yahapalanaya
සම්මුතිය, සහජීවනය, යහපාලනය අවසන් රට අරාජිකත්වයට…
February 13, 2018
Show all

සොදුරු සල්පිල් මැද – දෙව්ලොව නැති සැප විකුණන්නේ

ජනගහනය අධික නාගරික ප්‍රදේශවල ජීවත්වන ජනයාගේ ජීවිතයට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් බඩු බාහිරාදිය එකම ස්ථානයකදී ලබාදීම සඳහා ප්‍රාදේශීය පාලනය බාර වූ ආයතන මගින් කලකට පෙර සිටම පොදු වෙළඳපොළ හෙවත් ‘මාර්කට්’ පිහිටුවා ඇත. මුලදී පාරිභෝගිකයන්ට හොඳ සේවාවක් ඉටු කළ මෙම වෙළඳපොළවල් බොහෝ නගරවල ඉතා කනගාටුදායක තත්ත්වයකට පත්ව ඇත.
බොහෝ විට නගරසභා මගින් මේවා පාලනය වන නමුත් අද ඒවායේ ගොඩනැගිලි අලුත්වැඩියාවකට භාජනය නොවීම නිසා අබලන් වී ඇත. අභ්‍යන්තරය අපිරිසිදුය. අඳුරුය. අවට පරිසරය ජලය පල් වූ, මදුරුවන් ගහණ විවෘත දුගඳ හමන කාණු වලින් සමන්විතය. වෙළඳාම සඳහා ඇති ආහාර ද්‍රව්‍යවලද, භාණ්ඩවලද බොහෝ විට මිල සඳහන් නැත. විමසා මිල දැන ගත යුතු වේ. බඩු කිරන තරාදි අබලන්ය. නියම බර තිබේදැයි අවිනිශ්චිතය. මාළු වෙළදාමට තබා ඇති ස්ථානද අපිරිසිදුය. මස් කඩය මිනිසාගේ දඩයම් යුගය සිහිගන්වයි.
වාහනවලින් පැමිණෙන පාරිභෝගිකයන්ට වෙළඳපොළ අසල ඉඩ නැත. තිබෙන කුඩා ඉඩ ප්‍රමාණයේද ත්‍රීවිල සඳහා වෙන් කර ඇත. වෙළඳපොළට මඳක් ඈතින් ඇති ඉඩකඩද සීමා සහිත නිසා වාහන නැවැත්වීම අපහසුය. නැවැත්වූ විටද රුපියල් පනහක් පමණ අය කෙරේ.
වෙළඳපොළ ඇතුළෙ ඉඩකඩ සීමාවීම නිසා සති අන්තවල පිට ප්‍රදේශවලින් එළවළු හා ධාන්‍ය වර්ගද, පලතුරුද රැගෙන එන වෙළෙඳුන් පාරවල් දෙපැත්තේ එම ද්‍රව්‍ය තබා වෙළදාමේ නිරත වෙති.
පාරිභෝගිකයන්ට මිල දී ගැනීමට ඇති ආහාරපාන යෝග්‍යතාව ගැන සොයා බැලීමට සෞඛ්‍ය නිලධාරීන් පත් කර ඇති බවට ආරංචි ඇතත් වෙළඳපොළවල් ගැන සොයන අය සිටින බවක් නොපෙනේ. සෞඛ්‍ය පරීක්ෂණ නිලධාරියාගේ මුද්‍රාව නම් මස් කඩ මුදලාලි ළඟ තිඛෙන බව සමහරු කියති.
වෙළඳපොළවල්වල පවතින මේ තත්ත්වයට හොඳ නිදසුනක් නම් නගර සභාවෙන් පාලනය වන පානදුරේ මාර්කට් එකය.
පාරිභෝගිකයා වැටී ඇති තත්ත්වය ප්‍රයෝජනයට ගෙන මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් අද නගරාසන්න ප්‍රදේශවල ‘සුපර් මාකට් හෙවත් සුුපිරි වෙළඳසල් බිහි වී ඇත. ඒවා පිහිටුවා ඇති ස්ථානද, ගොඩනැගිලිද, අවට ඇති ඉඩකඩ පහසුකම්ද, ආහාර ද්‍රව්‍යවල පිරිසිදුකමද සේවක සේවිකාවන්ගේ ස්වභාවය සහ විනීතකමද, සිසිලද, මෘදු සංගීතයද, බඩු බාහිරාදිය රැගෙන යාමට සපයා ඇති පහසුකම්ද ආදී විවිධ ලක්ෂණ පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගැනීමට උපකාරී වී ඇත.
සුපර්මාකට් සකස් කර ඇත්තේ පාරිභෝගිකයන් ලවා විශාල මුදලක් වියදම් කරවීම සඳහාය. ඒ සඳහා මිනිස්සු හැසිරීම අධ්‍යනය කර ඇති මනෝවිද්‍යාඥයන්ගේ උපදෙස් පිළිපැද ඇත. මෙම උපක්‍රම ගැන ඔබ අවධානයෙන් සිටියහොත් එම තත්ත්වයෙන් බේරීමට හැකිවනු ඇත. ඉන් ප්‍රධාන උපක්‍රම මෙසේය.
01. සුපර්මාකට් වලට ඇතුල් වූ විට ඉන් පහසුවෙන් පිටවීමට නොහැකි වන සේ දොරවල් සකස් කර ඇත. පිටවන ස්ථානය සොයා ගැනීමට එහි සෑහෙන දුරක් යාමට සලස්වා ඇත. ඒ මගින් එහි වෙළඳ භාණ්ඩ ගැන ඔබේ අවධානය ඇති කර ඇත. ඇතුළත සංවිධානය කර ඇත්තේද වැඩි කාලයක් පාරිභෝගිකයන් එතුළ රඳවා ගනිමින් විවිධ ද්‍රව්‍ය වෙත අවධානය යොමුු කරවීමටය. විවිධ ද්‍රව්‍ය අසල වැඩි කාලයක් රැඳීම නිසා ඉන් සමහර දේ මිලට ගැනීමට පාරිභෝගිකයන් යොමු වේ. අභ්‍යන්තරය වායු සමීකරණය කර තිබීම නිසාත්, මෘදු සංගීතය නිසාත්, විශාල ඉඩ ප්‍රමාණයක ඇවිදීමට සලස්වා ඇති නිසාත් පාරිභෝගිකයන් එතුළ රැදෙන කාලය වැඩි වේ. විශාල ද්‍රව්‍ය ප්‍රමාණයක් දැකීමට සැලැස්වීමෙන්ද ඒවාට අවධානය වැඩි කර ඇත.
02. සුපර්මාකට් එක තුළ පාරිභෝගිකයන් සංචරණය කරවීමට හැකිවන සේ රාක්ක සහ ඉඩකඩද, මාර්ගද සකස් කර ඇත. පාරිභෝගිකයන් වෙළඳසලකට ඇතුල් වූ විගස දකුණට හැරී දකුණු පැත්තේ තිබෙන භාණ්ඩ හෝ වෙනත් ද්‍රව්‍ය මිලදී ගැනීමට නැඹුරු වන බව ඒ ගැන අධ්‍යනය කළ මනෝවිද්‍යාඥයන් විසින් සොයාගෙන ඇත. මේ නිසා බොහෝ සුපර්මාකට් වල වම් පැත්තේ ඇතුලු වන දොරටුව තබා, ඉන් ඇතුළුවන පාරිභෝගිකයන්ට දකුණු අතට හැරී ගමන් කිරීමට සලස්සා ඇත. එම මාර්ගය කෙළවරදී වමට හැරෙන පාරිභෝගිකයා වාමාවෘතව එය තුළ ඇවිද්දවීමට සලස්වා ඇත. මෙම ගමන් මාර්ගයේදී මුලින්ම පාරිභෝගිකයාට දකින්නට සලස්වා ඇත්තේ පලතුරු සහ එළවළු වර්ග වේ. වර්ණවත් පලතුරු විශාල ප්‍රමාණයක් පෙන්වා ඔබට ඒවා පරිභෝජනය කිරීමට ආශාවක් ඇති කරවයි. මේවා කිට්ටුවෙන් සමහර විට කුඩා ආපන ශාලාවක් සකස් කර පාන්, බනිස් වැනි ආහාරද එය කිට්ටුවම තබා ඇත. එළවලු වර්ගද නිතරම තෙතමනය සපයා ඒවා අලුත් බව අඟවා පාරිභෝගිකයා ඒවාට ආකර්ෂණය කරවා ගනී. බටර්, කිරි වැනි ආහාර ලබා ගත් පාරිභෝගිකයාට ඒ අසලම බිත්තර සොයා ගැනීමට නොහැකි වේ. ඒවා තබා ඇත්තේ දුරිනි. පාරිභෝගිකයාට බිත්තර සොයා තව දුර ගමන් කරවීමට සලස්වා ඇත.
රාක්ක වල ද්‍රව්‍ය තබා ඇත්තේද සැලැස්මක් අනුවය. වැඩි ලාබදායක භාණ්ඩ කාන්තාවන්ගේ ඇස් මට්ටමේ තබා ඇත. අඩු ඉල්ලුමක් ඇති භාණ්ඩ පහළින් තබා ඇත. ගමන් මාර්ගයක කෙළවරද පාරිභෝගිකයන් රැදෙන නිසා විකුණා ගත යුතු බොහෝ ද්‍රව්‍ය එතන තබා ඇත. එකිනෙකට සම්බන්ධ වන තේ සහ කෝපි, දත් බුරුසු සහ දත් බෙහෙත් වැනි දේ ළඟ ළඟම තබා ඇත. එක් ද්‍රව්‍යයක් මිලට ගැනීමට පැමිණි පාරිභෝගිකයන් එයට සම්බන්ධ අනික් ද්‍රව්‍යයද ගැනීමට නැඹුරු වේ.
03. පාරිභෝගිකයාට පහසුකම් සපයා ඇත. ඇතුලු වූ විටම ද්‍රව්‍ය අඩංගු කර ගැනීමට හා ගෙන යාමට ට්‍රොලියක් සැපයේ. විශාල ට්‍රොලියක් සපයන්නේ විශාල ට්‍රොලියකට ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ගැනීමට පාරිභෝගිකයන් නැඹුරු වන බව පර්යේෂණවලින් සොයාගෙන ඇති නිසාය. තමන් කැමති ද්‍රව්‍ය හෝ ආහාර වර්ග හෝ තමාටම තෝරා ගත හැකි කර ඇත. ආහාර ද්‍රව්‍ය එකතු කර ගැනීමට පිරිසිිදු බෑග් සපයා ඇත. විඩාව මඟ හැරවීමට වායු සමනය කර ඇත. සරල ආහාර වේලක් ගැනීමටද, මඳක් වාඩි වී සිටීමටද පහසුකම් සපයා ඇත. හිතට සුවදායක මෘදු සංගීතයක් පසුබිමින් සපයා ඇත. සංගීතය සැපයූ සුපර්මාකට්වල අනික් සුපර්මාකට්වලට වඩා සියයට 34ක තරම් කාලයක් පාරිභෝගිකයන් රැදෙන බව පර්යේෂණ මගින් සොයාගෙන ඇත. මුදල් ගෙවීමද ක්‍රෙඩිට්කාඩ් මගින් ගෙවීමට පහසුකම් ඇත. මේ පහසුකම් දී ඇත්තේ වැඩි ද්‍රව්‍ය හා භාණ්ඩ ප්‍රමාණයක් මිලදී ගැනීමට පාරිභෝගිකයා නැඹුරු කිිරීමටය.
04. නැවත නැවත එම සුපර්මාකට් එකට ඒම නැඹුරු කිරීමට විශේෂ කාඩ්පතක් සැපයේ. භාණ්ඩ හා ගෙවූ මුදලින් කුඩා ප්‍රතිශතයක් එහි තැන්පත් වේ. මෙම කාඩ්පතෙහි සටහන් වන ලකුණු යම් කාලයකින් භාණ්ඩ සඳහා වියදම් කළ හැකි වේ. එයින්ද පාරිභෝගිකයන් රැවටේ.
මෙම උපක්‍රමවලින් බේරීමට පහත සඳහන් ක්‍රියාමාර්ග ඔබට ගත හැකිය.
01. සුපර්මාකට් එකට යාමට පෙර ඔබට අවශ්‍ය ද්‍රව්‍ය හා ඒවායේ ප්‍රමාණයන් කොළයක ලියා ගන්න. කිසිම හේතුවක් නිසා එහි ලියා නැති දේ මිලදී නොගන්න.
02. කුසගින්නේ සිටින විට සුපර්මාකට්වලට නොයන්න. කුසගින්නෙන් සිටින විට සෑම දෙයක්ම සුදුසු ද්‍රව්‍ය බව හැගෙන බවද විචාර බුද්ධියෙන් අවශ්‍ය ද්‍රව්‍ය තේරීමට නොහැකි වන බවද සොයාගෙන ඇත.
03. කලින් පිසූ ආහාර මිලදී ගැනීමෙන් වළකින්න. තමන්ම පිසීමෙන් මුදල් ඉතිරි කර ගත හැකි වේ.
04. කලින් පැකට් කර ඇති එළවළු වර්ග මිලදී නොගන්න. ඒවා මිල අධිකය.
05. වෙළඳනාමයට නොරැවටී මිල අඩු දේ ගන්න.
06. ක්‍රෙඩිට් කාඩ් භාවිතයෙන් ඈත් වන්න.
ජනතාවගේ අවශ්‍යතාවලට සංවේදී වන නගර සභා ඇති වන තුරු පාරිභෝගිකයන්ට පහසුමිලට හා පිරිසිදුවට පහසුවෙන් ආහාර ද්‍රව්‍ය හා වෙනත් ද්‍රව්‍ය ලබා ගත හැකි වෙළඳපොළවල් ඇති නොවනු ඇත. සුදුසු පුද්ගලයන් ඒවාට පත්කිරීම මගින් එය කළ හැකි වේ. විසඳුම ඔබ අතේ්ය.


ඒ. ඩී. ගුණසේකර
හිටපු අධ්‍යක්ෂ
පශ්චාත් උපාධි ගුරු අධ්‍යාපන
දෙපාර්තමේන්තුව
ජාතික අධ්‍යාපන ආයතනය