කලාව පෙළා දේශපාලනය සෙවීම

Untitled-2
සිතෙහි පවතින රිද්මය
February 14, 2018
01
විදේශ විනිමය ආදායම 7.3% කින් පහළට
February 14, 2018
Show all

කලාව පෙළා දේශපාලනය සෙවීම

කලාව

කලාව සහ දේශපාලනය නිරතුරුව ම සංයෝග වියෝග සහිතව පරායත්ත ලක‍්ෂණ ද සමඟ එකට යන විෂයයන් දෙකක්. වරෙක දේශපාලනය කලාවක් ලෙස වරදවා විග්‍රහ කරන අතර, තවත් වරෙක කලාවත් දේශපාලනිකයි කියන විග්‍රහ ද තියෙනවා. දේශපාලනයෙන් කලාව කෙරෙහි දැඩි බලපෑම් එල්ල වන අතර, කලාවෙන් දේශපාලනය කළ හැකියි කියලත් ලොව පුරා විවිධ අවස්ථාවල තර්ක ගොඩනැෙඟනවා.
පුංචි වුණත් මේ රටේ තීරණාත්මක ඡන්දයක දැඩි උණුසුම සහිත උච්චතම අවස්ථාවේ ලියැවෙන මේ අකුරු ටික හුදෙක් ම කලාවට නෑකම් කියන පත්තර අතිරේකයක ගොනු වෙන හින්දා මේ කියපු විෂය පථයන් දෙක ඇතුළෙ සංවාදයක් ගොඩනඟන්ඩ හිතුණා.
කවුරු කිව්වත් නැතත්, මොනයම් ම විදියකට හරි කවුරුත් මොකක් හෝ දේශපාලනයකට අහු වෙනවා. ඒක හුදු පක‍්ෂයක සාමාජිකත්වය ගන්න ක්‍රියාවට ලඝු කරලා කියන එක ඒ තරම් හොඳ ලක‍්ෂණයක් නෙමෙයි. ඡන්දයක දී කාටවත් ඡන්දෙ නොදී සිටියා කියන කාරණය හරියට විග්‍රහ කර ගත්තොත්, සමහර විට තමන්වත් නොහිතන, තමන් අතිශය විරුද්ධ කණ්ඩායමක් වෙනුවෙන් තමයි, ඒ වැළැකී සිටීම කරල තියෙන්නෙ කියල දුක් වෙන්ඩ වෙනවා. තවත් පැහැදිලිව කිව්වොත්, ඒ මොහොතේ ඒ පරිසරයේ, ඒ ඒ තත්ත්වයන් යටතේ අප විසින් නිශ්ශබ්දව සිටීමට ගන්නා තීරණය ඒ ඒ පරිසරයට සාපේක‍ෂව මහා ශබ්දයක් නඟනවා. ඒ මොහොතේ එක් අයෙකුගේ ඡන්දයකින් වුණත් විනාශකාරී බලවේගයක් ඔළුව උස්සන්ඩ පුළුවන්. එහෙම වෙන එක වළක්වන්ඩ අර කියපු පාවිච්චි නොකරපු ඡන්දය පාවිච්චි වුණා නම්, තත්ත්වය කොයි තරම් වෙනස් වෙන්නට පුළුවන් ද කියන එක තමයි, අපේ තර්කය වෙන්නෙ.
කොහො ම වුණත්, අපේ ප්‍රස්තූතයට ආපහු හැරුණොත්, කලාව කියන විෂයය තීරණය වෙන්ඩත් දේශපාලනය දැඩි බලපෑමක් කරනවා කියන තැන ඉඳගෙන තමයි, ඉස්සරහට යන්ඩ වෙන්නෙ. කලාව මොන දේශපාලකයාටවත් මොන ජනාධිපතියටවත් පාලනය කළ නොහැකි අපූරු බලවේගයක් කියලා අප ආවේගයෙන් කිව්වට ඒක ඒ තරම් ප්‍රායෝගික නැහැ. කලාව ඉබේ පිට වෙන සුන්දර දෙයක් තමයි. ඒක කාටවත් නවත්වන්ඩත් ලේසි නැහැ තමයි. ඒත්, කලාව කියන්නෙ කවුරු හරි මවන දෙයක් සහෘදයාට රැගෙන යාමේ ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලිය ම තමයි, කලාව ඔසවා තබන්නෙ.
ඒ ක්‍රියාවලිය දේශපාලන ප්‍රතිපත්ති, තීන්දු, තීරණ මත රඳාපවතිනවා. කොච්චර තනියෙන් හිතුවක්කාරව නොයෙක් කලාවන් මැව්වත්, ඒවා ඉදිරිපත් කරන්ඩ වෙනවා. එතකොටයි ඒක කලාවට වැටෙන්නෙ. එහෙ ම ඉදිරිපත් කරන්ඩ කිසියම් ක්‍රමයක් (මුද්‍රිත, සජීවී, ප්‍රසංග හෝ ඉලෙක්ට්‍රොනික ආදී) තිබිය යුතු වෙනවා. ඒ ක්‍රමවල පාලනය තියෙන්නෙ දේශපාලකයා අතේ. එතකොට එක තැනක දී කලාකාරයා හෝ ශිල්පියා හිර වෙනවා. එක්කෝ ඔහුට දේශපාලනයට නැවිලා, ආයාචනා කරලා හෝ පක‍්ෂයට සහාය ප්‍රකාශ කරලා තම නිර්මාණය ඉදිරිපත් කර ගන්ඩ වෙනවා. නැත්නම්, දේශපාලනයට ඕනෑ විදියට කලාව කියලා මොකක් හරි ජරාවක් හදලා, ලියල ඉදිරිපත් කරන්ඩ වෙනවා. මේ දෙක ම නැත්නං කරපු, කියපු කලාවක් ගෙදර තියාගෙන බඩවියත රැක ගන්න මොකක් හරි කරගෙන ජීවත් වෙන්ඩ වෙනවා.
බොහෝ විට පාලනයේ දැඩි බාධා මැද කලාව, සාහිත්‍යය කරපු අය ලෝකයේ ඉන්නවා. ඒවා ඉතා රහසිගතව, ජීවිත බිය ඇතිව පාතාල වැඩ වගේ වෙන ම තැනක ඉඳගෙන හැංගිලා කරලා තියෙන දේවල්. අහු වුණා ම ජීවිතවලින් වන්දි ගෙවපු කලාකාරයො ලෝකෙ ඕනෑ තරම් ඉන්නවා. ඒත්, අද කාලේ හැංගිලා කලාව කරන්ඩ පුළුවන් තත්ත්වයක් තියෙනව ද කියල හිතන්ඩ වෙනවා. මේ දියුණු සන්නිවේදනය හා තාක‍ෂණය එක්ක.
ප්‍රංශය, රුසියාව වගේ රටවල මහා යුද ගිනි ඇවිළෙද්දිත් මහා කලාකාරයො තමන්ගේ කලාව කරගෙන ගිය ආකාරය ඉතිහාසය පිරික්සන විට අපට හොයා ගන්ඩ පුළුවන්. ඒත් බොහෝ විට තිබුණ අභාග්‍යසම්පන්න තත්ත්වයන් එක්ක පාලනයේ දුර්දාන්ත බවට එරෙහිව ගහපු කැරැල්ලක් විදියටයි ඒ සාහිත්‍යකාරයෝ තම සාහිත්‍ය කලාව පාවිච්චි කරලා තියෙන්නෙ. එතකොට කලාව ඒ දේශපාලනය සමඟ විරුද්ධවාදී බව ප්‍රකාශ කරන්ඩ පාවිච්චි කරලා තියෙනවා කියලා පේනවා. හැබැයි, එහෙ ම බැලූවහ ම දැන් නම්, කලාවේ අරමුණු මුළුමනින් ම පාහේ යට ගිහින්. පවතින ක්‍රමය වෙනස් කිරීමේ හෝ එයට විරුද්ධ වීමේ අරමුණ වෙනුවෙන් කලාව පාවිච්චි කළ බව තමයි, අපට දැනෙන්නෙ.
ඒක නරක දෙයක් නෙමෙයි. ඒත්, එතැන කලාව තියෙනවා කියලා කියන්ඩ බැහැ. කලාව අනිවාර්යයෙන් ම රසවින්දනය උදෙසා තියෙන විෂයයක්. අනෙක් හැම කටයුත්තකට ම කිසියම් කාර්යයක්, දිශාවක් තියෙනවා. ඒ වාගේ ම කලාවටත් කාර්යයක්, දිශාවක් තියෙනවා. ඒක මූලිකව ම රසවින්දනය පදනම් කර ගත්තු එකක්. ඒ හින්ද තමයි, අපට හින්දි සින්දුවක්, ඉංගී්‍රසි සින්දුවක් අහල ඉතා හොඳ රසවින්දනයක් ලබන්ඩ පුළුවන්. ඒකෙ තේරුම දැනගෙන අප කවදාවත් අහන්ඩ පෙළැඹෙන්නෙ නැහැ. මූලිකව ම බැෙඳන්නෙ තනුව සහ සංගීතයට. ගායනයේ විලාසයට.
ඊ ළඟට යමෙකුට හිතෙන්ඩ පුළුවන් ගීතයකින් හරි මොනයම් ම කලාවකින් හරි පණිවිඩයක්, අර්ථයක්, බලපෑමක් දෙන්ඩ බැරි ද කියලා. උත්තරය වෙන්නේ ‘ඔව් පුළුවන්’ කියලා. ඒත් අර්ථ දෙන්ඩ ගියහ ම පොඩි අවුලක් වෙනවා. අර්ථය මොන විදියේ එකක් ද යන කරුණ මත එකී කලාංගය වෙනත් දිශානතියකට යනවා. දේශපාලන අරුතක් නම්, ගොරහැඩි දේශපාලනික ගැටුමක් හෝ වියවුලක් දෙසට ගලාගෙන ගියා ම කලාවේ අරමුණු ටික මුළුමනින් ම විනාශ වෙලා රසය අමතක වෙලා වෙන වෙන සංකීර්ණ අර්ථ එක්ක තර්ක විතර්කවලට යනවා.
අමාරුවෙන්, කරදරයෙන්, වෙහෙස වෙලා හොයා ගත්තු හරි ප්‍රශ්න උත්තර හරි ඇතුළෙ තියෙන්නෙ මොන මොනවා හෝ ආර්ථීක, දේශපාලනික වගේ කාරණා ටිකක් වෙන්ඩ පුළුවන්. ඒත් කෝ එතැන කලාව.
මේ විමසා බැලීම කෙරුවෙ අප ඇදලා ගත්තු කලාව හා දේශපාලනය කියන ප්‍රපංච දෙක පැහැදිලිව විග්‍රහ කර ගන්ඩයි.
මෙකී විමසුම අස්සෙ අපට ඉතා පැහැදිලිව පේනවා කලාකාරයා තම කලාව දේශපාලන ව්‍යාපෘතියකට යෙදැවීම කියන්නෙ කලාව නෙමෙයි කියලා. ඒ කටයුත්තෙන් ඉතා හොඳ දේවල් වෙන්ඩත් පුළුවන්. මිනිස්සු අවදි වෙන්ඩ, නැඟී සිට ඉදිරියට එන්ඩ, විප්ලව කරන්ඩ වගේ දේවල්වලට පොළඹවන්ඩ ඒක ඉවහල් වෙන්ඩ පුළුවන්. ඒත්, කලාවෙ අරමුණ ඒ වගේ දේවල් කරන එක නෙමෙයි. මේ කියපු දේවල් කරලා හොඳ සේවයක් වෙනවා. ඒක අගය කළ යුතු වෙනවා. ඒක රටට, දැයට ලොකු හයියක්. ඒකට ස්තුතිය සහ ගෞරවය දෙන එක ඉතාමත් හොඳයි. ඒත් ඒකට කලාව කියලා කියන එකයි වැරැද්ද.
නියම කලාකාරයා තම කලාව කරනවා, ඉබේ ම තමන්ට ලියැවෙන, මැවෙන දේවලින්. ඒ දේවල් අස්සේ ඕනෑ තරම් අර කියපු ජාතික, සංස්කෘතික, දේශපාලනික කරුණු තියෙන්ඩ පුළුවන්. ඒක කිසිසේත් ම කලාව දේශපාලනයේ හෝ වෙන යම් විෂයයකට යෙදැවීමක් නොවෙයි. එකී විෂය කරුණු එකී කලාව තුළින් එළියට වෙනම ම ඇදල අරගෙන අර විග්‍රහ මේ විග්‍රහ කළයුතුත් නැහැ. කරන ලද කලාව අස්සේ ඒවා තිබුණාවෙ. දැනුණු අරුත් දැනුණාවේ. ඒක ඉබේ පිටවෙන දේ. ඒ පිටවීම සහෘදයාට රසවිඳින්ඩ අවශ්‍ය ආකාරයට සිදු වුණොත්, ඒක තමයි, වටින්නෙ.
අවසන් වශයෙන් කලාව කරන කෙනාට දේශපාලනික මතයක් නැද්ද? එහෙ ම ප්‍රකාශ කරන්ඩ බැරි ද කියන ප්‍රශ්න දිහාවට අවධානය යොමු කිරීම වටිනවා. කලාව කරන්නෙත් මනුෂ්‍යයෙක්. ඔහුට හෝ ඇයට තම දේශයේ අනෙක් කටයුතු එක්ක බද්ධ වෙන්ඩ වෙනවා. මුළුමනින් ම අනෙක් විෂයයන්ගෙන් මිඳී ඒක කරන්ඩ බැහැ. දොස්තර තමාගේ විෂයය අනුව ලෙඩාට අදාළ ඛෙහෙත් වර්ග නියම කරනවා. ඒ අතරේ දේශපාලන මතය වෙන ම ප්‍රකාශ කරනවා. ඡන්දයත් දෙනවා. ඉංජිනේරුවත්, ගුරුවරයාත්, නීතිඥයාත් එහෙ මයි. කලාකාරයා තම නිර්මාණ විෂයය ලෙස කරන අතරේ දේශපාලනය වගේ දේවලූත් වෙන ම කරන්ඩ බැරිකමක් නැහැ.
කොහො ම කළත්, දේශපාලන බල අධිකාරියේ කාර්යභාරය පාලම්, බෝක්කු, පාරවල්, තට්ටු ගොඩනැඟිලි හදන එක වගේ ම විවිධ සේවාවල් කරන එකයි. ඒ සේවාවන් අතරේ අධ්‍යාපන, සෞඛ්‍යය, ප්‍රවාහණය වගේ විවිධ දේ තියෙනවා. ඒ සියලූ දේවල් අතරේ කලාව කියන සොඳුරු විෂයයට පවතින්ඩ සහ දියුණු වෙන්ඩ උපරිම පියවරයන් ගැනීම දේශපාලනයේ ප්‍රබල කාර්යයක් බව කිවයුතු වෙනවා. එහෙ ම හිතන පතන සහ කි්‍රයාකාරී වන දේශපාලන කණ්ඩායමක් වෙතොත්, ඒ අයවලූන් ඔසවා තැබීම කලාව ඔසවා තැබීමක් වෙනවා.


සුරංග ලක්මාල් සෙනෙවිරත්න