ජනාධිපතිට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

02
මහපොළ කැපීම උග්‍ර වෙයි
February 14, 2018
05
කඩාවැටීම් රැසක් ගැන කතානායක අනතුරු අඟවයි
February 14, 2018
Show all

ජනාධිපතිට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

03

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට, නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්නට, මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපතිවරයාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි කරන බව බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි. එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනයේ මෙසේ සඳහන් වේ.
‘රජය ජනතාවට පොරොන්දු වූ යහපාලනය ක්‍රියාත්මක කළ යුත්තේ විනිවිදභාවයකින් යුක්තවය. රට තුළ යහපාලනය ක්‍රියාත්මක කිරීම පමණක් නොව ක්‍රියාත්මක වන බව පෙනෙන්නට ද තිබිය යුතු වුවත්, අප රට තුළ යහපාලනය ක්‍රියාත්මක වන බව පෙනෙන්නට නැත. ඉහළම පාලකයා ද, පහළම නිලධාරියා ද යහපාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකරයි. යහපාලනය ආරම්භ කළ යුත්තේ රටේ පාලකයාගෙන්ය. එහෙත්, අප ජනාධිපතිවරයා යහපාලනය තුට්ටුවකටවත් මායිම් කරන බවක් පෙනෙන්නට නැත. එසේ චෝදනා කිරීමට සිදුව ඇත්තේ ජනාධිපතිවරයා විසින් යහපාලන පොරොන්දු මහ දවල් කඩ කර ඇති නිසාය. ජනතාව හැටියට අපට කළ හැක්කේ ඒ පිළිබඳව අදාළ ආයතනවලට පැමිණිලි කිරීමය. නීතියෙන් ජනාධිපතිවරයාට ලැබී ඇති මුක්තියට මුවා වී සිටීමට ඔහුට හැකි වුවත්, සිය හෘද සාක්ෂියට මුවා වී සිටීමට හැකි ද යන්න තීරණය කළ යුත්තේ ඔහුම ය.
‘මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව පිළිබඳව සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව පදනම් කරගෙන ජනාධිපතිවරයා විසින් කරන ලද ප්‍රකාශයට අනුව රටට වූ පාඩුව රුපියල් බිලියන 11 කි. රටට මෙම පාඩුව සිදු කිරීම සඳහා වූ සැලැස්මේ මහ මොළකරු අර්ජුන් මහේන්ද්‍රන් නම්, ඔහු මහ බැංකුවේ අධිපති හැටියට පත් කරන ලද්දේ අගමැතිවරයාගේ නිර්දේශයට අනුව වුවත් ජනාධිපතිවරයාය. මෙරට පුරවැසියෙකු නොවන කෙනෙකු මහ බැංකුවේ අධිපති කළේ ඇයි ද යන්න ජනතාව ප්‍රශ්න කිරීම සාධාරණය. මක් නිසා ද යත්, පොලිසියට කොස්තාපල් කෙනෙකු බඳවා ගන්නේ ද ඔහු පිළිබඳ නිශ්කාෂණ වාර්තාවක් ලබා ගත් පසුවය. එම නිසා මහ බැංකුවේ අධිපතිවරයා පත් කිරීමේ වගකීම ජනාධිතිවරයා විසින් දැරිය යුතුය.’
එසේම මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා හැටියට එම අමාත්‍යාංශවල සිදු වන වංචා හා දූෂණ සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා වගකිව යුතු බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.


චතුර දිසානායක