වෙඩි තියන්න තුවක්කුවක් ඕන නැහැ වාගේම රඟපාන්න කකුලක් ඕනත් නැහැ…

motor cross
පහත් තැනින් යයි ගලා ජලේ…
February 13, 2018
Untitled-2
සිතෙහි පවතින රිද්මය
February 14, 2018
Show all

වෙඩි තියන්න තුවක්කුවක් ඕන නැහැ වාගේම රඟපාන්න කකුලක් ඕනත් නැහැ…

Untitled-1

ගිය සතියට කලින් සතියෙ මගේ ජීවිතේ මට සිද්ධ වුණු කතාවක හරි අඩක් මම ඔබට කිව්වා. මේ සතියෙ කියන්න යන්නෙ ඒ කතාවෙ ඉතුරු කොටස.  වෙඩි තියන්න තුවක්කුවක්ම ඕන නැති වුණාට රඟපාන්න කකුලක් ඕනමයි කතාව තමයි මම ඔබට’මගේ ජීවිතේ’කතාවෙන් ගිය සතියට කලින් සතියෙ කිව්වෙ.
ඉතින් ජයන්ත අයියා ‘ඔත්තුකාරයා’ නාට්‍යයේ මගේ දෙබස් අනෙකුත් අය දම්මලා පැත්තක පුහුණු කරනවා. දැන් මගේ ඇස්වලින් කදුළු වැක්කෙරෙනවා. මම මෙච්චර මාස ගාණක් පුහුණු වීම් කරපු දර්ශනය දැන් මට රඟපාගන්න බැහැ. මම ලූම්බිණි රඟහලේ දොරටුව අසලට ආවා. හවස පහ හමාර විතර වෙනකොට මම දැක්කා විශාල සෙනඟක් ශාලාව කරා ඇදී එන ආකාරය. මම දරා ගන්න බැරි වේදනාවෙන් ආපහු නේපත්‍යාගාරය පැත්තට ඇවිදගෙන ගියා. ලූම්බිණියට ඇවිත් හිටපු සෙනඟ දැක්කා විතරයි මගේ ඇඟට මොකක්දෝ අමුතු ජවයක්, ශක්තියක් දැනෙන්න පටන් ගත්තා. මම මෙච්චර පුරුදු වෙච්ච චරිතය. ඒක මට රඟපාන්න බැරි ද? කියලා මට කියවෙන්න පටන් ගත්තා.
මා හෙමින් හෙමින් මගේ ඇදුම් කට්ටලය අසලට ගියා. කිසීම සද්දයක් නැතිව සීරුවෙන් රඟපාන්නට අවශ්‍ය කරන චරිතයට අදාළ ඇදුම් ඇඳ ගත්තා. කලිසමත් ඇඳගත්තා. දැන් දර්ශනය ළං වෙන්න ඔන්න මෙන්න. මම තුවාලය නැති කකුලේ සපත්තුව ඉක්මනින්ම දා ගත්තා. තුවාලය තිබුණු කකුලට සපත්තුව දාගනිද්දි ඉබේටම මගේ ඇස් පියවුණා. ඒත් ඔබ විශ්වාස කරන්න මට කිසිම වේදනාවක් දැනුණෙ නැහැ. ඇදුම් සහ සපත්තු ඇඳ  පැළඳ  ගෙන මම වේශ නිරූපණය කරන කාමරයට ගියා.
ඒ යනකොට වසන්ත විට්ටච්චි නළු නිළියන්ගේ වේශ නිරූපණය කරමින් සිටියා. මම ඔහු අසලට ගිහින් කිව්වා අයියෙ මට මේකප් දාන්න කියලා.
‘උඹට රඟපාන්න පුළුවන් ද ඔය තුවාලෙත් තියාගෙන’  ඔහු මගෙන් ඇහුවා.
‘පුළුවන් අයියෙ. මට පුළුවන්.’ මම කිව්වා.
‘ඔච්චර අමාරු වෙලා ?  ඔහු නැවත විස්මිතව මගේ දිහා බලමින් ඇහුවා.
‘පුළුවන් අයියෙ කියලා මම කියපු නිසා වසන්ත විට්ටච්චි මට මේකප් දාන්න පටන් ගත්තා.
ඒ මොහොතේ නේපත්‍යාගාරයට ජයන්ත චන්ද්‍රසිරි දුවගෙන ආවා.
‘ආ කුමාර. මොක ද උඹට දැන් පුළුවන් ද රඟපාන්න ?.
‘පුළුවන් අයියෙ. මම හිතනවා මට අද රඟපාන්න පුළුවන් කියලා. මම ඔහුට කිව්වා.
‘හරි එහෙනම් කිසි ප්‍රශ්නයක් නෑ.’
ජයන්ත අයියා මට සුබ පතලා නාට්‍ය කණ්ඩායම ට මම රඟපාන බව ඔහු දැනුම් දුන්නා. ඔන්න දැන් ‘ඔත්තුකාරයා’ නාට්‍යය ආරම්භ වුණා. විශාල ප්‍රේක්ෂකාගාරයක් තිබුණා. නාට්‍යය දැන් දුවනවා. ඔන්න දැන් මගේ කොටස සඳ හා මම වේදිකාව මතට යන්නයි සූදානම් වෙන්නෙ. මම වේදිකාවට ප්‍රවිෂ්ට වුණා. ඇත්තම කියනවා නම් කකුලක් තියා මෙලෝ දෙයක් මට මතක තිබුණේ නැහැ.
ජයන්ත චන්ද්‍රසිරිගේ නාට්‍යවල පැත්තකට වී තපස් රකින නාට්‍ය දර්ශන නැහැ. එහි තිඛෙන්නේ උඩ පනිමින්, ගී ගයමින්, වැටෙමින්, බිම පෙරළෙමින් කරන්නට ඕනෑ චරිත. ජයන්ත චන්ද්‍රසිරිගේ ‘ඔත්තුකාරයා’ නාට්‍ය කණ්ඩායම හරියට ෆුට්බෝල් ටීම් එකක් වගේ. ජවසම්පන්න කණ්ඩායමක් තමයි මේ ඉන්නෙ. ඉතින් ‘ඔත්තුකාරයා’නාට්‍යය රංගනයේ යෙදෙන කොට ඔබ විශ්වාස කරන්න කිසිදු වේදනාවක්, ශාරීරික වේදනාවක් මට දැනුණෙ නැහැ.
දැන් නාට්‍ය දර්ශනය අවසන් වුණා. නාට්‍යය අවසන් වෙලා මුළු නාට්‍යය කණ්ඩායම විසින්ම ප්‍රේක්ෂකාගාරයට ආචාර කළා. ප්‍රේක්ෂකාගාරයට ආචාර කිරීමෙන් පස්සෙ ප්‍රධාන තිරය වසා දැම්මා. ඉන් අනතුරුව මා හෙමින් හෙමින් වේදිකාවෙන් ඉවත්ව නේපත්‍යාගාරය පැත්තට ඇවිදගෙන ආවා. වේදිකාවෙන් ඉවත් වනවාත් සමඟම පෙර තිබූ කකුලේ වේදනාව නැවතත් උග්‍ර අතට හැරුණා. මම බිත්තියට වාරු වෙමින් කෙදිරි ගාමින් ඉතා වේදනාවෙන් නේපත්‍යාගාරය වෙතට පැමිණියා. ඇත්තම කියනවා නම් අමාරුවෙන් ඇවිල්ලා එතන තිබුණු පුටුවක මම ඉඳ  ගන්නවා විතරයි මට මතක. ‘ඔත්තුකාරයා’ නාට්‍යයේ මම මුහුණ දීපු ඒ සිද්ධියෙන් පස්සෙ, මට කියන්න තියෙන්නෙ වෙඩි තියන්න තුවක්කුවක් ඕන නෑ වාගේ ම රඟපාන්න කකුලක් ඕනත් නැහැ කියල තමයි.