පළාත් පාලන ආයතනවලට මුදල් ලැඛෙන්නේ මෙහෙමයි

බැඳුම්කරේ
බැඳුම්කර මහා කොල්ලයේ අලුත්ම තතු කෙසේ ද යත්¦
March 2, 2018
00
මොරගහකන්ද පාමුල වියළෙන හුරුලු වැව
March 2, 2018
Show all

පළාත් පාලන ආයතනවලට මුදල් ලැඛෙන්නේ මෙහෙමයි

image_1502221127-80944ad63b

මේ ගෙවෙමින් පවතින්නේ මැතිවරණ සමයකි. මේ මැතිවරණය පළාත් පාලන මැතිවරණයකට වඩා ජාතික මැතිවරණයකට සමාන විය. මේ මැතිවරණය නිමා වීමත් සමඟ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නියමිතය. කෙසේ වුවත් පසුගිය දිනවල දේශපාලන වේදිකාවේ විවිධ කතා පැතිරිණ. එක් කතාවක් වූයේ පෙබරවාරි 10 න් පසුව නව අගමැතිවරයෙකු පත් කරන බවකි. තවත් පැත්තකින් තවත් අගමැතිවරයෙකු පත් කරන බවට රාවයක් පැතිරිණ. අවසානයේදී ජනතාව අන්ද මන්ද විය. ජනතාව කල්පනා කළේ පෙබරවාරි 10 න් පසුව කාගේ අගමැති තනතුර යටතේ පවතින ආණ්ඩුවක සිටිය යුතුද යන්නයි. මේ ජනතාව රැවැට්ටීමට දේශපාලන නායකයන් යොදාගත් උපක්‍රමයන්ය.
අගමැතිවරයෙකු පත්කළ යුත්තේ මහා මැතිවරණයකින් මිසක පළාත් පාලන මැතිවරණයකින් නොවේ. එහෙත් ජනතාවගේ ඡන්ද අයිතිය මංකොල්ලකෑම සඳහා පසුගිය දිනවල පරිණත යැයි කියාගත් දේශපාලනඥයන් මේ බොරුව සමාජගත කළේය. මේ බොරුවටත් වඩා බරපතළ බොරුවක් එම මැතිවරණ වේදිකාවේදීම කීමට ආණ්ඩුවේ නායකයන් ක්‍රියාකර තිබුණේය. මෙය ජනතාව රවටා ජනතාවගේ ඡන්ද බලය මංකොල්ල කෑමකි. මැතිවරණ කොමිසමට මේ බොරුව නිවැරදි කිරීමේ හැකියාවක් නොවීය. කෙසේ වෙතත් මේ බොරුව සම්බන්ධයෙන් ප්‍රමාණවත් කතිකාවක් සමාජය තුළ ගොඩ නොනැගීම මේ බොරුකාරයන්ට තවත් පහසුවක් විය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඔහුගේ පක්ෂයේ නායකයන් රට වටේ පැවති මැතිවරණ වේදිකා වලදී ප්‍රකාශ කළේ රට පාලනය කරන්නේ රටේ ජනාධිපතිවරයා බැවින් ඔහුගේ පක්ෂයට පළාත් පාලන ආයතනයන්හි බලය දිය යුතු බවකි. එසේ බලය දීමෙන් අදාළ ආයතන වඩාත් හොඳින් සංවර්ධනය කළ හැකි බවත් එසේ නොවුවහොත් මුදල් නොලැබෙන බවත් පුන පුනා කීවේය. අගමැති වික්‍රමසිංහ ප්‍රකාශ කළේද තමන්ගේ පක්ෂයට බලය දිය යුතු බවයි. ආණ්ඩුව කරන පක්ෂයට බලය දීමෙන් මිසක මේවා ගොඩනැගීමේ හැකියාවක් නොමැති බව ඔහු ප්‍රකාශ කළේය. එම ප්‍රකාශයන්ටත් වඩා බරපතළම ප්‍රකාශය කළේ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලය. ඔහු කීවේ තම පක්ෂයට බලය නොලැබුණහොත් පළාත් පාලන ආයතනවලට තමන් මූල්‍ය ප්‍රතිපාදන වෙන් නොකරන බවකි. මෙය රටත් ජනතාවත් රවටන ප්‍රකාශයන්ය. මොවුන්ගේ ප්‍රකාශයන් සත්‍යය යැයි මොහොතකට කල්පනා කළහොත් වසර 70 ක් තිස්සේ මෙම ආයතන පාලනය කර ඇත්තේ මොවුන්ය. එසේ නම් මෙතෙක් මෙම ආයතන හරහා සිදුකළ යුතු සංවර්ධන කටයුතු කිරීමට මොවුන් අසමත් වී ඇත. එමෙන්ම පැහැදිලි වන අනෙක් කරුණ වන්නේ මෙතෙක් තමන්ට මේවා සංවර්ධනය කිරීමට හැකියාවක් ලැබී නැති බව මොවුන් පිළිගැනීමයි. එසේ නම් නැවත බලය ලැබුණද ඊට වඩා යමක් කළ නොහැකි බව මොවුන්ගේ ප්‍රකාශයන්ගෙන්ම පැහැදිලි වේ. අනෙක් ප්‍රධානම කරුණ වන්නේ මෙම ආයතන පාලනය වන්නේ අගමැතිවරයාගේ හෝ ජනාධිපතිවරයාගේ හෝ ලක්ෂමන් කිරිඇල්ලලාගේ හෝ පෞද්ගලික බූදලයකින් නොවේ. මේවා පාලනය වන්නේ ජනතා බදු මුදල් වලිනි. වරිපනම් බදු, පොළ බදු, කඩ බදු ආදී විවිධ බදු වර්ග හා අදාළ ආයතන බල ප්‍රදේශයන්හි පවත්නා සම්පත්වලින් ලබන මුදල් වලින් එම ආයතන නඩත්තු වේ. මේ ජනතාවගේ බදු මුදල් නිසි කළමනාකරණයකින් යුතුව පරිහරණය කරන්නේ නම් මේ ආයතන වඩාත් හොඳින් සහ ක්‍රමවත්ව සංවර්ධනය කළ හැකිය.
අනෙක් කරුණ වන්නේ බලය හොබවන දේශපාලන පක්ෂය අනුව අදාළ ආයතනයට වෙන්කරන ප්‍රතිපාදන ප්‍රමාණය තීරණය කිරීමේ හැකියාවක් ආණ්ඩුවට ඇත්තේ නැත. ඒ අනුව ආණ්ඩුවේ නායකයන් දැන දැනම ජනතාව රවටමින් කටයුතු කර ඇත. ආණ්ඩු පක්ෂයට බලය ලැබුණද, විපක්ෂයට බලය ලැබුණද, ස්වාධීන කණ්ඩායමකට බලය ලැබුණද මේවා පාලනය කිරීමේ කිසිදු අර්බුදයක් නැත.
මේ ප්‍රධාන කරුණට අමතරව මේ වන විට රට තුළ සංවාදයක් ගොඩනැගී ඇත්තේ නව මැතිවරණ ක්‍රමය සහ ඒ හරහා වැඩිවන මන්ත්‍රීවරුන්ගේ වැය බර ජනතාවට දැරීමට සිදුවීම සම්බන්ධවයි. මෙය බැලූ බැල්මට සත්‍යයක් සේ පෙනෙන්නේ අප මෙතෙක් දැක ඇති දේශපාලනඥයන්ගේ ක්‍රියාවන් හේතුවෙනි. මේ මැතිවරණ ක්‍රමය සකස් වන්නේ පසුගිය රාජපක්ෂ රජය සමයේය. මේ මැතිවරණ ක්‍රමය බැසිල් රාජපක්ෂගේ මැදිහත්වීමෙන් සකස් කරන ලද්දේ බලයේ සිටින පක්ෂයට වාසි ගෙන දෙන ආකාරයටය. එසේ කරමින් බැසිල්ලා උත්සාහ කළේ දිගින් දිගටම බලයේ රැදී සිටින්නටය. මේ පිළිබඳව රටතුළ ඕනෑවටත් වඩා සාකච්ජා වී ඇත. කෙසේ වුවත් බැසිල්ගේ උත්සාහය පරාජය කරන්නට හැකි වන්නේ ඔවුන්ගෙන් බලය ගිලිහී යාම හේතුවෙනි. මෙම මැතිවරණ ක්‍රමය අදාළ කරගෙන නව රජය යටතේ මැතිවරණයක් පවත්වන්නට ද දැඩි වෙහෙසක් ගැනීමට සිදුවිය. ආණ්ඩුව කල්පනා කළේ තමන්ට වාසිදායක මොහොතක් එනතුරු බලා සිටින්නටය. ඒ සඳහා විවිධ උපක්‍රම භාවිතා කළේය. සීමා නිර්ණය කටයුතු පමා කළේය. මේ ආදී වශයෙන් විවිධ උපාය මාර්ග ගනිමින් ඡන්දය මගහැර යාමට උත්සාහ කළේය. කෙසේ වුවත් මේ මට්ටමින් හෝ මැතිවරණය පවත්වා ගැනීමට හැකිවීම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියේ ජයග්‍රහණයකි.
මේ මැතිවරණ ක්‍රමය අනුව සෑම පළාත් පාලන ආයතනයකටම සභිකයන් ප්‍රමාණයක් වැඩිවීම සිදුවී ඇත. මෙය ජනතාවගේ පැත්තෙන් ගත් කල්හි බරපතළ ගැටලුවකි. පසුගිය කාලය පුරාම ජනතාවට සිදු වූයේ තම බදු මුදල් වලින් රටට බරක් වී ඇති කණ්ඩායමක් නඩත්තු කිරීමටය. විශේෂයෙන්ම අදාළ ආයතනයන් සම්බන්ධයෙන් ජනතාවට ඇත්තේ යහපත් දැක්මක් නොවේ. ඒ නිසාම ජනතාව කල්පනා කරන්නේ මේ ආයතනවලට යන ප්‍රමාණය වැඩිවීම හරහා ජනතාව තවත් පීඩාවට පත්වන බවකි. ජනතාවගේ පැත්තෙන් ගත් කල්හි එය නිවැරදිය. මන්ත්‍රී ප්‍රමාණයන් වැඩිවීම හරහා තව තවත් දූෂිතයන් මෙම ආයතන ආක්‍රමණය කරනු ඇතැයි ජනතාවට ඇති බිය සාධාරණය. යුක්ති සහගතය. ජනතාව පසුගිය කාලය පුරාම දැක ඇත්තේ පළාත් පාලන ආයතන යනු දූෂිත ආයතනයන්ගෙන් ප්‍රධානතම ආයතනයන් වන බවකි. දූෂණයට අත්පොත් තබන තැන හැටියටද ජනතාව මෙය දැක ඇත. ජනතාවගේ එම දැක්මෙහි කිසිදු වරදක් හෝ අසාධාරණයක් නැත. මෙම ආයතනවල සිටි බොහොමයක් සභාපතිවරුන් දූෂිතයන්ය. ඇතමුන් වංචාකාරයන්ය. තවත් සමහරුන් පාතාල නායකයන්ය. තවත් සමහරුන් ස්ත්‍රී දූෂකයන්ය. මෙවන් පිරිස් තවත් වැඩිවීමෙන් ජනතාව පීඩාවට පත්වනු ඇතැයි සිතීම සාධාරණය. දැන් ජනතාව හමුවේ ඇත්තේ එසේ නොවන්නට නම් ජනතාව කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව සිතා බැලීමය.
පළාත් පාලන ආයතන වලට පත් කර යවන්නේ ජනතා සේවකයන්ය. එම ජනතා සේවකයන්ගේ වගකීම වන්නේ ජනතාවගේ බදු මුදල් ඉතාමත් විනිවිදභාවයකින් යුතුව භාවිතා කිරීමය. ජනතාවගෙන් එකතු කරගන්නා බදු මුදල් ජනතාවගේම යහපත සඳහා පෙරළා භාවිතා කිරීමේදී මූල්‍ය විනයක් පෙන්නුම් කරමින් ඉතාමත් පරිස්සමින් ජනතා අවශ්‍යතා සඳහා වැය කළ යුතුය. ජනතාව තමන්ගේ නියෝජිතයෙකු අදාළ ආයතනයට යවන්නේ තමන් වෙනුවෙන් සාධාරණ සේවයක් ඉටු කරන්නටය. මේ මැතිවරණ ක්‍රමයේ සාධනීය ලක්ෂණයක් වන්නේ කොට්ඨාසයට වගකියන මන්ත්‍රීවරයෙකු පත්වීමයි. එසේ පත්වන මන්ත්‍රීවරයාට පැවරෙන වගකීම සුලුපටු නොවේ. ඔහු ජනතා මුදල් කාබාසිනියා කරන්නෙකු නොවී අදාළ ප්‍රදේශය ගොඩනැගීමට කැප විය යුතුය. එසේ නොවී තමන් හැදෙන්නට යාමෙන් සිදුවන්නේ ජනතා බලාපොරොත්තු කඩවීමකි. මැතිවරණ ක්‍රමය වෙනස් වුවද දේශපාලනයට පිවිසි පුද්ගලයන් වෙනස් වී නැත. එබැවින් පත්වී යන බොහොමයක් දෙනා ජනතා සේවකයන් වේයැයි කිසිසේත්ම විශ්වාස කළ නොහැකිය.
සැබවින්ම නව මැතිවරණ ක්‍රමය යටතේ පවත්වන පළමු මැතිවරණය වන්නේ මෙයයි. මේ මැතිවරණයට අදාළව ගත් කල්හි වෙනදාට වඩා සභික සංඛ්‍යාවක් ඒ ඒ ආයතනවලට යොමුවේ. ජනතාවට තවත් අතිරේක වැය බරක් වන්නේ මේ ආතන දූෂිතයන්ගෙන් පිරවීමෙනි. සැබෑ ජනතා සේවකයන්ගෙන් මෙම ආයතන පිරවීම කිසිසේත්ම ජනතාවට වැය බරක් වන්නේ නැත. ජනතා බදු මුදල් වගකීමකින්, විනිවිදභාවයකින්, අරපරිස්සමින් කළමනාකරණය කරමින් කටයුතු කරන පිරිසකට අදාළ ආයතන භාරවීමෙන් ජනතාවට කිසිසේත්ම බරක් නොවනු ඇත. ජනතාවට බරක් වන්නේම දූෂිතයන්, වංචාකාරයන් මේ ආයතනතුළට ඇතුල්වීමෙනි. වගකීම ඇත්තේ ජනතාව සතුවය. ජනතා තීන්දුව මත සියල්ල තීරණය වනු ඇත. ජනතාවගේ වගකීම වනු ඇත්තේ වඩාත් යෝග්‍ය පිරිසකට පාලනය භාර කිරීමය. එසේ වන්නේ නම් මෙම ආයතන කිසිසේත්ම ජනතාවට වැය බරක් නොවනු ඇත.


එස්. කේ. ගමගේ