මොරගහකන්ද පාමුල වියළෙන හුරුලු වැව

image_1502221127-80944ad63b
පළාත් පාලන ආයතනවලට මුදල් ලැඛෙන්නේ මෙහෙමයි
March 2, 2018
වැව් බැඳි රටේ දියපොදට හඩන මිනිසුන්ට
March 3, 2018
Show all

මොරගහකන්ද පාමුල වියළෙන හුරුලු වැව

00

නිල් පැහැ වෙමින් තිබෙන ගොයම හමා යන මඳනලින් සරැලි නගමින් තිබිණ. ඒ කොතෙක් කලකට ද යන්න පැවසීමට තවමත් කල් වැඩිය. මන්ද, ජල හිඟය හේතුවෙන් පසුගිය කන්න කීපයකදීම මෙවන් කෙත් යායවල් කීයක් නම්, විනාශයට පත් වී ද යන්න අදට ද නිවැරදිව ගණන් බලා ඇත් ද යන්න නොදන්නා බැවිනි.
ජනපති මෛත්‍රී විසින් මෙයට මාස කීපයකට පෙර වප් මගුල සැමරූ කෙත් යාය මේ වන විටද අස්වැන්න නෙළා අවසන්ය. ප්‍රදේශයේ ගොවි ජනතාව විසින් එයට මාසයක් හමාරක් පමා වී වපුරන ලද ගොයම මා ඉහත සඳහන් කළ පරිදිය.
මේ රජරටය. මාතලේ දිස්ත්‍රික්කයේ සිට අනුරාධපුර දිස්ත්‍රික්කයට පිවිසෙන මායිම ආසන්නයේ මම ඒ වන විට රැඳී සිටියෙමි. මුල දී මහවැලි ‘එච්’ කලාපය ලෙස හඳුන්වන ලද කොට්ඨාස අටකින් යුතු කලාපයෙහි මහනුවර සිට පැමිණෙන විට මුලින්ම හමු වන කොට්ඨාසය වන මඩාටුගම කාර්යාලයට අයත් ප්‍රදේශයන්හි සංචාරය අප මෙවර ‘සංචාරක සටහන’ සඳහා යොදා ගනු ලැබුවේ එම ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ඉල්ලීම අනුවය. හැවැන්තැන්නේගම, කිතුල්හිටියාව, නිදිගම, මුරුංගහිටිකන්ද, හෝරාපොළ, මැදගම, තිබ්බටුවැව, කුඹුක්වැව, කොරොසගල්ල මහවැලි ‘එච්’ කලාපයට අයත් මඩාටුගම කොට්ඨාස කාර්යාලයට අයත් බලසීමාවය.
වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන විසින් එකල මහින්ද රාජපක්ෂ පාලන සමයෙහි මහවැලි ඇමතිව සිටිය දී හුරුලුවැව කලාපය ලෙස නම් කිරීමෙන් අනතුරුව ගල්කිරියාගම, මඩාටුගම, පළුගස්වැව, කළුන්දෑව, හුරුලුවැව යන ගම්මාන එක් කර නිර්මාණය කරන ලද කලාපය අද වන විට හුරුලුවැව කලාපය ලෙස හැඳින්වෙන අතර, පරිපාලන කාර්යාලය පිහිටා ඇත්තේ, ඉනාමළුව ප්‍රදේශයේය. මෙම නව කලාපය නිර්මාණය කිරීමේ දී මාතලේ දිස්ත්‍රික්කයට අයත් කළුන්දෑවත්, අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් පළුගස්වැවත් අතිරේකව එක් කර තිබේ.
ඒ එදාය. එදා මහවැලි අමාත්‍යවරයා වූයේ මෛත්‍රීපාල සිරිසේනය. වර්තමානයේ ජනාධිපතිවරයා වන්නේ ද ඔහුමය. එදා මෙන්ම අදත් මහවැලි අමාත්‍යවරයා ද ඔහුමය. එතෙක් තමන්ට ඉටු කර ගත නොහැකිව තිබූ ඔහුගේ සිහිනයක් ලෙසින් හඳුන්වන මොරගහකන්ද ජලාශය ඉදි කිරීමේ සිහිනය බලයට පත් සැණින් ඔහු විසින් සැබෑ කර ගනු ලැබිණි. ආරම්භයේ දී මෙම ජලාශය සම්බන්ධයෙන් විවිධාකාරයේ කරුණු වර්ණනාත්මකව ප්‍රකාශයට පත් කළ ද, මේ වන විට එම ව්‍යාපෘතිය මෙරට ජනතාවගේ මුදල් කාබාසිනියා කරන ආයෝජනයට සාපේක්ෂව ප්‍රතිඵල අත් කර නොදෙන අසාර්ථක ව්‍යාපෘතියක් බවට කරුණු හෙළිදරවු වෙමින් තිබේ.
මොරගහකන්ද ජලාශය හේතුවෙන්ම මෙවර මහ කන්නය අස්වැද්දූ ඉහත සඳහන් හුරුලුවැව කලාපයට අයත් ගොවීන් මේ වන විට පත්ව ඇත්තේ, අවිනිශ්චිත තත්ත්වයකට බව අප එම ප්‍රදේශයේ කළ සංචාරයේ දී අවබෝධ කර ගත හැකි විය. මොරගහකන්ද ජලාශයේ පරීක්ෂණ කටයුතු හා විදුලි උත්පාදන ටර්බයින් පරීක්ෂා කිරීම වෙනුවෙන් එතෙක් ඔවුනගේ ගොවිතැනට ජලය ලැබුණු ඇළ මාර්ග වසා දමා තිබිණ. එතෙක් පොල්ගොල්ලෙන් මුදාහරින ජලය බෝවතැන්නටත්, ඉන් අනතුරුව අඹන් ගඟ හරහා කණ්ඩලම වැවටත්, ඉබ්බන්කටුව වැවටත් ගමන් කළ ක්‍රමවේදය ඒ හේතුවෙන් අවහිර වී තිබේ.
පොල්ගොල්ලෙන් මුදාහැරෙන සමස්ත ජල ප්‍රමාණයත්, අඹන් ගෙඟහි ජල ප්‍රමාණයත් සෑම බිඳුවක්ම පසුගිය කාලය පුරාවට මොරගහකන්ද ජලාශයට රැස් කර ඇති අතර, ඒ හේතුවෙන්ම ඉහත සඳහන් කළ කලාපයේ ගොවීනට කණ්ඩලම වැව මගින් සපයන දියවර සීමා කර තිබේ.
රට ස්වයංපෝෂිත කරන්නට වේදිකා මත මොර දෙන නායකයන්ගේ වදන් පිළිබඳව මෙතෙක් විශ්වාසය තැබූ එක පිට කන්න තුනක් වගාවන් නිසි ලෙස කර ගැනීමේ අවස්ථාව අහිමි වූ ප්‍රදේශයේ ජනතාව මෙවර සියයට සියයක් වශයෙන් තම කුඹුරු අක්කර දෙකහමාරම ගොවිතැන් කර ඇත්තේ, ඉහත සඳහන් කළ මොරගහකන්ද ජලාශය සම්බන්ධ අවදානම පිළිබඳ අවබෝධයකින් නොවේ.
මෙරට ආයතන තීන්දු තීරණ ගනු ලබනුයේ, ජනතා වුවමනාවන් සලකමින් නොවන අතර, ගොවිතැනට ජලය නිකුත් කිරීමේ දී ද එම ආයතන කිසිදු ගොවි සංවිධානයක හෝ අදහස් නොවිමසා කටයුතු කරන බවට මෙම ජනතාව මුහුණ දී ඇති අර්බුදයෙන් තේරුම් ගත හැකිය. එයට හේතුව වනුයේ, වී ගොවිතැන සඳහා ජලය නිකුත් කිරීමේ තීරණ ගැනීමේ ඒකාධිකාරී බලය ඇත්තේ, ජල ලේකම් කාර්යාලයටය. ප්‍රදේශයේ ගොවීන් සියයට සියයක් එනම්, තම අක්කර දෙකහමාරම මේ වන විට වපුරා ඇති නමුත්, ඉහත සඳහන් ජල ලේකම් කාර්යාලයෙන් දියවර සපයනුයේ, එක් එක් ප්‍රදේශයට දින දෙකක් පමණක් වන අතර, අක්කර දෙකහමාර සඳහාම ජලය සැපයීමට ඒ අනුව ගොවීන්ට ලැබෙන කාලය වනුයේ. එක් ගොවියෙකුට පැය දෙකහමාරක් පමණක් බව ගැටලුවට මුහුණ දී සිටින ගොවීහු ප්‍රකාශ කර සිටියහ.
ගොවිතැන හා බැඳුණු සංස්කෘතික ජීවිතයක් හිමි ජනතාවක් එයින් වියුක්ත කර කුලීකරුවන් බවට පත් කිරීමේ වෑයම මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව ප්‍රදේශවාසී ගොවි ජනතාවගේ මතය වී තිබේ. පසුගිය කන්න කීපයකම වගා අහිමි වූ හේතුවෙන්ම මෙවර මහ කන්නයේ වගා කටයුතු සඳහා අවශ්‍ය බිත්තර වී පවා ඔවුන් සතුව නොමැති වීම ඉහත කරුණ තහවුරු කිරීමට සාක්ෂියක් වන්නේය.
මෙරට ක්‍රියාත්මක බහුජාතික සමාගම් මගින් අලෙවි කරන බිත්තර වී වැපිරීමට මෙවර ඔවුන්ට සිදු වී තිබුණු අතර, වත්මන් මිලට අනුව කිලෝ 20 ක බිත්තර වී ඇසුරුමක් රුපියල් 2,050.00 ක් වන බවද, අක්කරයක් සී සෑම වෙනුවෙන් රුපියල් 11,000.00 ක වියදමක් දැරීමට සිදු වන බවත්, පොහොර ඇතුළු අනෙකුත් වියදම් ද ඉහළ ගොස් ඇති තත්ත්වයක් තුළ දී කනකර උකස් කර ණය වී කළ ගොවිතැන අහිමි වීම පිළිබඳව ඔවුන් මේ වන විට සිටිනුයේ, අපේක්ෂා භංගත්වයට පත්වය.
ජලාශයක් හේතුවෙන් ගොවිතැනකට ජලය අහිමි වීම හාස්‍යය දනවන කරුණක් වන නමුදු, මේ වන විට හුරුලු කලාපයේ ගොවීන් මුහුණ දී ඇත්තේ ද එම යථාර්ථයටමය. අතීතයේ සිට පවතින විවිධ පරිමාණයේ වැව් 16,000 ක් ඉක්මවන ප්‍රමාණයක් පිහිටි රජරටට අයත් බිමක ජනතාවකට මධ්‍ය කඳුකරයේ ඉදි කරන ලද ජලාශ මත යැපෙන්නට සිදු වීමේ අභාග්‍යසම්පන්න තත්ත්වයට ඇද දැමීමේ වගකීම පැවරෙනුයේ, නිසි නඩත්තු කිරීමකින් තොරව ඉහත වැව් සංඛ්‍යාවෙන් බහුතරයක් පුරන්ව යාමට සැලැස් වූ පාලකයන්ම බව ප්‍රදේශයේ ගොවි ජනතාව මේ වන විට අවබෝධ කර ගනිමින් සිටින බව ඔවුන් හා කළ කතාබහේ දී අපට අවබෝධ කර ගත හැකි විය. කෙසේ වුවද, තවම සිදු වී ඇත්තේ, අර්බුදකාරී තත්ත්වයක මුවවිටට පැමිණීම පමණි. විසඳුමක් සොයා ගැනීමට අවස්ථාව තවමත් ඉතිරිව තිබේ.

මේ පාලකයන්ට ප්‍රතිපත්තියක් නෑ
සිදත් චාමර බණ්ඩාර

101 ඩී 7 ගොවි සංවිධානයේ ලේකම්, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ විධායක සභික, මඩාටුගම ගොවිජන එකමුතුවේ සභාපති. රජරට වැව් සකස් කරලා තියෙන්නේ, වතුර රැස් කරගෙන ගොවිතැන් කරන්න වුණාට වත්මන් පාලකයන් කටයුතු කරමින් සිටින්නේ වහින කොට ඉහළ ජලාශවලින් මුදාහරින අතිරික්ත ජලයත්, විදුලිය නිෂ්පාදනයේ දී මුදාහැරෙන ජලයත් ගොවිතැනට සපයන්න කටයුතු කරන එක විතරයි.
වැව් දහස් ගණනක් තියෙන රජරට ගොවීන් මධ්‍ය කඳුකරයේ ජලාශ මත යැපුණ අතීතයක් ගැන අපි අහලා තිබුණේ නැති වුණාට දැන් නිර්මාණය වෙලා තියෙන්නේ එහෙම තත්ත්වයක්. වර්ෂාවේ යම් කිසි අඩුවක් තියෙනවා කිව්වාට, පසුගිය කාලයේ කාලගුණ වාර්තා සංසන්දනය කරලා බලන කොට ප්‍රදේශයට ලැබෙන වර්ෂාපතනයේ බරපතළ අඩු වීමක් සිද්ධ වෙලා නැහැ. නමුත්, වර්ෂාව ලැබෙන කාලරාමුවේ වෙනසක් වෙලා තියෙනවා. ගොවීන් පුරුදු වෙලා ඉන්නේ මෙතෙක් තමන් ගොවිතැන් කළ කාලරාමුව තුළම ඒ කටයුතු සිද්ධ කරන්න. නමුත්, මහවැලිය කරන්නේ වහින කොට වතුර දෙන එක. දැන් එක්කෝ මේ පරිපාලන ව්‍යුහය වෙනස් වෙන්න ඕනෑ. නැත්නම්, ජනතාවක් විදියට අපි වෙනස් වෙන්න ඕනෑ.
අනෙක් කාරණාව තමයි, හැම දේකම මිල ඉහළ ගිහින් තියෙද්දී අමාරුවෙන් හරි කර ගන්න ගොවිතැනෙන් ලැඛෙන අස්වැන්නට සාධාරණ මිලක් නැති එක. කෘෂිකර්මාන්තයෙන් ගොවීන් ඉබේම දුරස් වෙන තැනට මේ වන විටත් වැඩකටයුතු සැලසිලා ඉවරයි. කෘෂිකර්ම ඇමතිවරයා වාගේම මහවැලි ඇමතිවරයාත්, විධායක ජනාධිපතිවරයාත් රජරට වුණාට මේ පාලකයන්ට රටේ පාලනයට වාගේම කෘෂිකර්මය සම්බන්ධයෙනුත් ජාතික ප්‍රතිපත්තියක් නැහැ. මේ ජලාශ ඉදි කිරීමේ ප්‍රධාන අරමුණ ගොවිතැන නගාසිටුවීම නොවෙයි. පළමුවැනි එක විදුලි බලය උත්පාදනය. ඊළඟට සංචාරක කර්මාන්තය, තුන්වැනියට පානීය ජලය. හතරවැනි තැන තමයි, ගොවිතැනට තියෙන්නේ. මේක ඇත්තටම ඛේදනීය තත්ත්වයක්. මේක වෙනස් වෙන්න ඕනෑ.

ගොවියා අතෑරියොත් රට අතරමං වෙනවා
එම්. ඩබ්ලිව්. සමරකෝන් බණ්ඩා
101 බෙදුම් ඇළ ඩී 5 ගොවි සංවිධානයේ සභාපති

මේ වෙන කොට මේ තාක් ගොවියෝ වී ගොවිතැනේ දී අනුගමනය කරපු රටාව වෙනස් කරන්න සිද්ධ වෙලා තියෙනවා. මහවැලියේ වතුර දෙන්නෙ එයාලට ඕනෑ වෙලාවට මිසක් ගොවිතැනට ඕනෑ වෙලාවට නොවෙයි. එතකොට තමන්ට පුරුදු කාලරාමුවට ගොවියා විසින් සිදු කරන ගොවිතැනට වෙන්න ඕනෑ හානිය වෙලා ඉවරයි. අපි මීට පස්සේ මහවැලිය දිහා බලා ඉන්නේ නැතිව ඔක්තෝබර් – නොවැම්බර්වල වැටෙන වැස්සට ගොවිතැන් කරන්න කටයුතු කරනවා. දැනටමත් අපි ඒ වෙනුවෙන් සංවිධානය වෙමින් ඉන්නවා. ජනාධිපති වප් මගුලට ඉහපු කුඹුරේ මේ වෙන කොට ගොයම් කපනවා. ඒ දිහා බලාගෙන හූල්ලන එක තමයි, අපට ඉතිරි වෙලා තියෙන්නේ.
කන්න තුනක් වගා හානි වුණු අපි මේ සැරේ බලාපොරොත්තු තියාගෙන හිටියා වුණාට දැනටමත් සියයට විස්සක් විතර වගාවට හානි වෙලා ඉවරයි. දැන් නිලධාරීන් ඇවිල්ලා වන්දිවලට ලියමින් ඉන්නවා. අපට ආව වතුර ටික රඳවාගෙන ඉඳලා ඒක කලට වේලාවට ප්‍රමාණවත්ව නොදී ඉඳලා වගා හානි වුණා ම වන්දි දෙන්න කටයුතු කරන එක මොන වැඩක් ද කියලා මට තේරෙන්නෙ නෑ.
දැන් අපේ ගමේ ගොඩක් දෙනෙක් කොළඹ වරාය හදන තැන ගල් අහුලන්නද මොනවාට දෝ යනවා. මේ අය ගොවියෝ. අක්කර දෙකහමාරක් කුඹුරු ඉඩම් තියෙන ගොවියෝ. දවසට එක්දහස් පන්සීයක් දෙනවා කියලා කොළඹ ගිහින් ගල් අහුලනවා. හෙක්ටයාර් එකකින් බුසල් දෙසියපණහක් බලාගෙන ඉන්න මිනිහට වී බුසල් හත අටක් ලැබිලා මොනවා කරන්න ද? ඉතින්, කුලී වැඩ හොයාගෙන යනවා. අක්කර දෙකහමාරක් තියාගෙන ඒකෙන් භාගයක් වැඩ කරලා මොකටද? නිලධාරීන් කියන්නේ ගොඩ බෝග වගා කරන්න කියලා. කෘෂිකාර්මික රටක ගොවියා අතෑරලා යන්න පුළුවන් ගමනක් තියෙනවාද?
ගොවිතැනට වතුර ටික ගන්න නිලධාරීන් එක්ක අරගල කරන කොට ඒ අය කියන්නේ ජල ලේකම් කාර්යාලයට බලපෑම් කරන්න කියලා. ඒ කියන්නේ වතුර තියෙනවා. තියාගෙන දෙන්නේ නැහැ කියන එක තමයි, අපට තේරෙන්නේ.

ප්‍රමාණවත් මුදලක් වෙන් කරන්නේ නෑ
ජේ. එච්. එම්. ජයවර්ධන,
ඩී. 4 ඇළ ගොවි සංවිධානයේ ප්‍රධාන සභාපති

මේ අවුරුද්දටම හුරුලු වැව කලාපයේ ගොවි කටයුතු හා සංවර්ධනය වෙනුවෙන් අවුරුද්දටම වෙන් කරලා තියෙන්නේ මිලියන 60 ක් ඒ කියන්නේ කෝටි හයයි කියලා කියනවා. මේ තරම් විශාල කලාපයකට කෝටි හයක් මොනවා කරන්නද? ඇළ වේලි ටිකවත් නඩත්තු කරන්න පුළුවන්ද? කලාපයක ගොවීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න යන නිලධාරීන්ගේ වාහන ටික නඩත්තු කරන්නවත් මේ මුදල ප්‍රමාණවත් නැහැ කියලා තමයි, මට හිතෙන්නේ. ඒක එක අතකට පාලකයෝ මේ රටේ ගොවියාට සලකන ප්‍රමාණය ගැන තේරුම් ගන්න පුළුවන් සාධකයක් කියලත් හිතෙනවා.
මහවැලිය වගේ ආයතන රටේ කෘෂිකර්මන්තය නගාසිටුවන්න මොන තරම් දායක කර ගන්න පුළුවන්ද? එක නායකයෙක්වත් ගොවියා ගැන කතා කරන්නේ නැහැ. කොටින්ම ගොවියොත් තමන්ගේ ගැටලු ගැන කතා කරන්නේ නැහැ. ඒක තමයි, ප්‍රධානම දුර්වලකම. නිලධාරීන්ගේ ප්‍රකාශවලිනුත් තේරෙන්නේ් ආණ්ඩුව හරියට ප්‍රතිපාදන වෙන් කරන්නේ නැහැ කියලා.


සටහන සහ ඡායාරූප
කිත්සිරි කොඩිතුවක්කු