වැව් බැඳි රටේ දියපොදට හඩන මිනිසුන්ට

00
මොරගහකන්ද පාමුල වියළෙන හුරුලු වැව
March 2, 2018
_99904898_c8d9ca38-1f0c-41c9-a94b-7ae9cdce315c
මාලදිවයිනේ දේශපාලන කුණාටුවේ ඇත්ත කතාව
March 3, 2018
Show all

වැව් බැඳි රටේ දියපොදට හඩන මිනිසුන්ට

පෘථීවිය මත ජීවයේ පැවැත්ම රඳා පවතින ප්‍රධාන සාධකය ජලයයි. මෙම ජල සම්පත නැති වුවහොත්, එදින සියලුම ජීවීන් විනාශ වනු ඇත. මුහුදේ වසන ජීවීන්ට අවශ්‍ය වන කරදියෙන් සියලුම සමුද්‍ර පිරී ඇති අතර, එය ලොව ඇති ජලයෙන් සියයට 97 ක් පමණ වේ. මිරිදිය ඇත්තේ මුළු ජල ප්‍රමාණයෙන් සියයට 3 ක් පමණකි. මෙම මිරිදිය ප්‍රමාණයෙන් ද තුනෙන් දෙකක් පමණ ඇත්තේ මිදුණු ස්වභාවයෙන් ග්ලැසියර් (Glaciers) සහ ධ්‍රැවවල පිහිටි අයිස් ආවරණය ලෙසය. මුළු මිරිදිය ප්‍රමාණයෙන් සියයට 69 ක් පමණ ග්ලැසියර් සහ අයිස් ආවරණය ලෙස ඇති අතර, සියයට 30 ක් පමණ පවතින්නේ භූගත ජලය ලෙසය. සියලුම විල්, ගංගා, ඇළ, දොළ ආදියෙහි අඩංගු වන්නේ පෘථීවියේ පවතින මුළු මිරිදිය ප්‍රමාණයෙන් ඉතා කුඩා ප්‍රමාණයක් වන සියයට දශම තුනක් (0.3%) පමණි.
ස්වභාවයේ මෙම ජල ප්‍රමාණය තුලිතව පවතින්නේ ජලචක්‍රය (Water Cycle) නිසාය. එම චක්‍රයේ දී ප්‍රධාන වශයෙන් සිදු වන්නේ සූර්යයාගේ තාපය නිසා මුහුදුවල ජලය වාෂ්ප වී ඉහළ අහසේ දී එම වාෂ්ප ඝනීභවනය වීමෙන් සෑදෙන කුඩා ජල බින්දුවලින් වලාකුළු ඇති වී, එම වලාකුළු ගොඩබිම ප්‍රදේශයේ දී සිසිල් වී විශාල ජල බින්දු සෑදී වර්ෂාව ලෙස පතිත වීමය.
වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ ලෙඩ රෝග පාලනය කළ හැකි වීම නිසාත්, බොහෝ මාරාන්තික රෝග ලොවින් තුරන් කළ හැකි වීම නිසාත් මරණ සංබ්‍යාව අඩු වී මිනිස් ජනගහනය ශීඝ්‍ර ලෙස වැඩි වූ අතර මේ නිසා මිනිසාගේ පරිභෝජනයට පමණක් නොව මිනිසා විසින් ඇති කරන ලද විවිධ කර්මාන්ත සඳහා ද විශාල බලශක්ති අවශ්‍යතා සඳහා ද, කෘෂිකාර්මික ආහාර නිෂ්පාදනය සඳහා ද විශාල ලෙස ජලය අවශ්‍ය විය. ඒ සමඟම විවිධ මිනිස් ක්‍රියාකාරකම් නිසා පරිසරය මෙන්ම ජලය ද දූෂණය විය. මේ නිසා අනාගතයේ දී පරිභෝජනයට සුදුසු ජලය ලබා ගැනීමේ ගැටලුවට මිනිසාට මුහුණ දීමට සිදු වනු ඇතැයි විද්‍යාඥයන් අනතුරු අඟවා ඇත.
වර්ෂ 1804 දී ලොව මුළු ජනගහනය බිලියන එකක් විය. අද වන විට ලෝක ජනගහනය බිලියන 7.5 ක් පමණ වේ. 2050 දී ලෝක ජනගහනය බිලියන 9 ක් වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. එවැනි ජනගහනයකට අවශ්‍ය ආහාර සඳහා කෘෂි නිෂ්පාදනය සියයට 15 කින් වැඩි වනු ඇත. ජල අවශ්‍යතාව සියයට 60 කින් වැඩි වනු ඇත. අදට ද ස්වාභාවික ජල සම්පත්වලින් සියයට 70 ක් වැය වන්නේ කෘෂිකාර්මික නිෂ්පාදන සඳහාය. අවශ්‍ය ජලය ලබා ගැනීම ගැටලුවක් වනු ඇත.
අද පවතින තත්ත්වය අනුව ද ලොව ජනගහනයෙන් මිලියන 748 කට පමණ පානය සඳහා පිරිසිදු ජලය නැත. බිලියන 2.5 කට පමණ දියුණු සනීපාරක්ෂණ ක්‍රම නැත. බිලියන එකකට පමණ වැසිකිළි පහසුකම් නැත. එම නිසා මේ ප්‍රශ්න අනාගතයේ දී කොතරම් වේද?
ලොව භූගත ජලය පවතින්නේ විශාල භූගත ජලධර (Aquifer) වශයෙනි. මිලියන සිය ගණනක් මිනිසුන් තම ජල අවශ්‍යතා සපුරා ගන්නේ භූගත ජලය භාවිතයෙනි. මෙම ජලධර ද ඉතා වේගයෙන් වැය වෙමින් පවතින බව චන්ද්‍රිකා ආධාරයෙන් නාසා ආයතනය මගින් ලබා ගත් දත්තවලින් අනාවරණය වී ඇත. ඉන්දියාව, චීනය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ ප්‍රංශය යන රටවල තිබෙන ජලධරවලින් ඒවාට ලැඛෙන ජල ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ඉවතට ගෙන ඇති බව අනාවරණය වී ඇත.
මෙය ඉතා අවදානම් තත්ත්වයක් බව නාසාහි විද්‍යාඥයකු වන ජේ. ෆැමිග්ලියට්ටි :න‍්හ ත‍්පසටකසැඑඑස- විසින් ප්‍රකාශ කර ඇත. ලොව මිනිස් ජනගහනයේ මුළු ජල අවශ්‍යතාවෙන් සියයට 35ක් ම සැපයෙන්නේ භූගත ජලධරවලිනි. අරාබිය ප්‍රදේශයේ පවතින භූගත ජලධරයෙන් මිලියන 60 ක් පමණ ජනතාව තම ජල අවශ්‍යතා ඉටු කර ගන්නා නිසා එය ද ඉතා අවදානමකට පත්ව ඇත. එම නිසා ලොව ජලධර ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙළක් සඳහා ලොවේම අවධානය යොමු වී ඇත.
ලංකාව ආදි කාලයේ සිටම කෘෂිකාර්මික රටක් වන අතර, වාරිමාර්ග තාක්ෂණය අතින් ලොවේම ප්‍රසිද්ධ වී ඇත. ලංකාවේ වැව් බැඳීම කි්‍රස්තු පූර්ව 300 දී පමණ රජකම් කළ පණ්ඩුකාභය රජුගේ කාලයේ දී පමණ ආරම්භ වී ඇතැයි සැලකේ. ඉන් වසර දාහක් පමණ කාලයේ දී ලොව පැවති ඉතාමත් සංකීර්ණ වාරිමාර්ග පද්ධතියකට ලංකාව හිමිකම් කියා ඇත. භූගත ඇළ මාර්ග මෙන්ම ජලය රඳවා ගැනීමට වැව් තැනු ලොව ප්‍රථම ජාතිය සිංහලයෝ වූහ. මෙම වාරිමාර්ග පරාක්‍රමබාහු රජුගේ කාලයේ දී (ක්‍රිස්තු වර්ෂ 1153 – 1186) බොහෝ සේ දියුණු වී ඇත. මුළු වැව් සංඛ්‍යාව 30,000 ක් පමණ වී ඇත. ලංකාවේ වියළි කලාපයේ මුළු භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 40,000 ක් පමණ වන නිසා එක වර්ග කිලෝ මීටරයකට එක වැවක් පමණ තිබී ඇත.
ලංකාවේ පැවැති වාරිමාර්ග තාක්ෂණය කොතරම් දියුණු ද යන්න ගැන යෝධ ඇළ කදිම නිදසුනකි ක්‍රිස්තු වර්ෂ 459 – 477 කාලයේ රජකම් කළ ධාතුසේන රජුගේ කාලයේ සිිටි ජල ඉංජිනේරුවරුන් විසින් කලාවැව තිසාවැවට වඩා ඉහළ බිමක තිඛෙන බව දැනගෙන ඇත. එම නිසා ඔවුන් කලාවැවේ වැඩිපුර තිඛෙන ජලය තිසාවැවට ගෙන යෑම සඳහා කිලෝ මීටර් 87 ක් දිග යෝධ ඇළ තනා ඇත. මේ ඇළේ බෑවුම සැතපුමකට අඟල් 6ත් 12 ත් අතර තබා ඇත. එනම්, කිලෝ මීටරයකට සෙන්ටිමීටර් 10 සිට 20 පමණ වේ. පැරණි ඉංජිනේරුවන් එතරම් නිරවද්‍යතාවක් ලබා ගත්තේ කෙසේ ද යන්න අද ද ගැටලූවකි.
‘පෙරදිග ධාන්‍යාගාරය’ ලෙස ද අතීතයේ දී හඳුන්වා දුන් ලංකාව අද සහල් පිටරටින් ගෙන්වන තත්ත්වයට පහත වැටී ඇත. රටේ ආර්ථීකය පෘතුගීසීන් හා බ්‍රිතාන්‍ය පාලකයන් විසින් බිඳ දමනු ලැබූ නමුත්, නිදහස ලබා වසර හැත්තෑවක් ගත වූ පසුත් අපට අපගේ ආහාර නිපදවා ගැනීමට නොහැකි වී ඇත.
අපගේ පැරණි වැව් පද්ධතියවත් ප්‍රතිසංස්කරණය කර ගැනීමට නොහැකි වී ඇත. ගොවීන්ට නිසි කලට ජලය ද, පොහොර ද ලබා දීමට නොහැකිව ඇත. පරිසරවේදීන්ගේ උපදෙස් නොතකා කරන විවිධ ව්‍යාපෘති නිසා බොහෝ ප්‍රදේශවල ජලය සිඳී ගොස් ඇත.
ඉදිරියේ දී ලොවටම මුහුණ පෑමට සිදු වන ජල හිඟය ගැන අවධානයක් අප රටේ ඇත්ද? ජල සම්පත ආරක්ෂා කර ගනිමින් වැඩි වන ජනගහනයේ ආහාර පාන අවශ්‍යතා ද, රටේ බලශක්ති අවශ්‍යතා ද සැපිරීමට කවර වැඩපිළිවෙළක් ඇත්ද? පරිසර දූෂණය නිසා සිදු වන ජල දූෂණය මඟහැරීමට ද, සෑම දෙනාටම පිරිසිදු ජලය ලබා දීමට ද වැඩපිළිවෙළක් ඇත්ද?
රට ගැන හිතන, වහල් චින්තනයෙන් තොර විද්‍යාත්මකව ප්‍රශ්න විසඳිය හැකි දූෂණයෙන් තොර පිරිසක් රටේ පාලනයට එන තෙක් කිසිම ප්‍රශ්නයක් නොවිසෙඳනු ඇත.


ඒ. ඩී. ගුණසේකර
හිටපු අධ්‍යක්ෂ
පශ්චාත් උපාධි ගුරු අධ්‍යාපන
දෙපාර්තමේන්තුව
ජාතික අධ්‍යාපන ආයතනය