ජන මතය තේරුම් නොගත් රනිල් හා මෛත්‍රී…

cabinetDision
ඇමති මාරු කොමඩියට හිනා විය යුතුද?
March 5, 2018
Attack-on-Muslims-in-Ampara
ජාතිවාදයේ බර අඩි තබා ගිය අම්පාර
March 5, 2018
Show all

ජන මතය තේරුම් නොගත් රනිල් හා මෛත්‍රී…

ශ්‍රී්ැටඩ්ු

අලුත් හොරෙක් ඕනෑ යැයි නාට්‍යයක ප්‍රචාරක පෝස්ටරයක් පසුගියදා දකින්නට ලැබුණා. අපේ රටේ ජනතාවගෙන් සමහරුන්ටත් හොරු නැතුවම බැරි බව පසුගියදා පැවති පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලයෙන් පැහැදිලිව පෙනුණා. මහින්දගේ නාමයෙන් ඉදිරිපත් කරන පොල් ලෙල්ලකටත් ඡන්දය දෙන්න තරම් තම පාක්ෂිකයන් පහත් බව බන්දුල අවංකව ප්‍රකාශ කළා. අවාසනාව වුණේ ඔවුන් සිය පක්ෂයෙන් පොල් ලෙලි වෙනුවට ලෝක හොරුන්, දූෂිතයන් රැසක් ඉදිරිපත් කර තිබුණු එකයි.
පසුගිය කාලය මුළුල්ලේම මේ රට හොරුන්ගේ දේශයක් වී තිබුණු බව නොරහසක්. විධායක ජනාධිපති ධුරය හෙබ වූ මහින්ද රාජපක්ෂගේ පවුල් පාලනය තුළ හොරකම හා දූෂණය රටේ නීතිගත වන තත්ත්වයට පත් වුණා. මහා භාණ්ඩාගාරයේ සිට පහළටම මේ හොරකම ව්‍යාප්ත වී තිබුණේ ජනාධිපති කාර්යාලය හරහා බවත් නොරහසක්. සංවර්ධනයේ නාමයෙන් විදේශවලින් ලබා ගත් ණයවලින් හොරා කෑ බව කවුරුත් දන්නා කාරණයක්. සෑම අමාත්‍යාංශයකම ලොකු පොඩි මට්ටමින් දූෂණ සිදු වුණා. ඉහළ පරිපාලන නිලධාරීන් කවරදාටත් වඩා හොරකම්වලට, වංචාවලට සහ දූෂණවලට පෙළඹුණා. රට පුරා නිධන් වස්තු කොල්ලකෑවේ සොළීන්ගේ කාලයේ වුණාටත් වඩා වැඩියෙනුයි. කොටින්ම රටේ කෞතුකාගාරයත් කඩා හොරකම් කළා. මැති ඇමතිවරුන් මත්කුඩු, එතනෝල් හා විවිධ නීති විරෝධී ජාවාරම්වල නිරත වුණා. ඒ විතරක් නෙවෙයි ඒ ජාවාරම්වලින් මුදල් හම්බ කර ගත් පිරිසක් දේශපාලනයේ බලවත් තැන්වලට පත් වුණා. නීතිය හා අධිකරණය මේ තරම් සරදමට ලක් වුණු යුගයක් තවත් නැති තරම්. චෞරයන්ගේ දේශයක් ලෙස මේ රට එදා කාටත් පිළිකුල් සහගත තත්ත්වයට පත් වෙමින් තිබුණා.
මේ අවාසනාවන්ත හා අශීලාචාර යුගය අවසන් කිරීමට 2015 ජනවාරි 8 මේ රටේ ජනතාව හැට දෙලක්ෂයක් පෙළ ගැහෙද්දී, හොර කප්පිත්තා වූ මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ලක්ෂ 58ක ජනතාවක් පෙනී සිටිය බව අප අමතක කළ යුතු නැහැ. ඒ වගේම හිරිකිතයකින් තොරව පස්සෙ කාලෙක ජනපති මෛත්‍රී තනතුරු දීලා තමුන් ළගට ගත්ත සුසිල්, අනුර, ජෝන් වගේ බොහෝ දෙනෙක් මහින්දගේ පාලනයක් යළි යළිත් ප්‍රාර්ථනා කළා. රට ණය උගුලක සිර වී, ආර්ථීකව අබලන් අඩියක හිටියත් ඒ බව රටේ ජනතාවට දැනගන්නට ලැබුණේ නැහැ. මහින්ද රාජපක්ෂලා වෙස්සන්තරලා වගේ රජයේ මුදල් ජනතාවට බෙදා දෙන බව පෙන්වමින් හොරාකෑවා. රටේ ආර්ථීකය කළමනාකරණය කර ගන්න නොහැකිම තැන ජනාධිපතිවරණය කලින් කැද වූ බව ජනතාවට රහසක් වුණා. ජාත්‍යන්තරය මේ උද්ධච්ඡ පාලකයාට එරෙහිව එක් වෙමින් සිටියා. මහාචාර්යකමක් දරනවා කියන ජී. එල්. පීරිස්, දේශපාලනයේ පරිණත බවක් ඇතැයි කියන දිනේෂ්, මහින්දට කේවට්ට උපදෙස් දුන් ඩලස්, වමේ දේශපාලනය හිසේ කෙස් පැහෙන තුරු කළ වාසුදේව, ඊනියා මහා දේශප්‍රේමී ජාතික වීරයා වන විමල් වගේ අයත් මේ ඇත්ත දැන දැන පවුල් පාලනයේ වහලූන් වීමට ආසාවෙන් යථාර්ථය නොදුටුවා සේ සිටින විට අර සාමාන්‍ය ජනතාව ගැන කවර කතාද?
එයට පිළියමක් ලෙස ලංකාවේ හැට දෙලක්ෂයකට අධික බහුතර ජනතාවක් විසින් මහින්ද රාජපක්ෂව පරාජය කර පළවා හරිනු ලැබුවා. පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේනව ජනපති තනතුරට පත් කළ ජනතාව ඉන් පසු මැතිවරණයේ දී එජාපයට සුළුතර ජයග්‍රහණයක් ලබා දුන්නා. ඒ අතර පැවති දින සියයේ ආණ්ඩුව තුළ දී නැවත වරක් මහා පරිමාණ සොරකමක් සිදු වුණා. බැදුම්කර මහා දූෂණය මගින් රටට විශාල මුදලක් අහිමි කරනු ලැබූ අතර, එයට ඍජුව චෝදනා එල්ල වූයේ අගමැතිවරයා වෙතටයි. හොරකම හා දූෂණයට එරෙහිව ජනතාව අලුත් හොරෙකුට ඡන්දය ලබා දී තිබුණු බව එයින් පැහැදිලි වුණා. ජනවාරි 8 විප්ලවයක් ගැන කියමින්, ‘උඩින් මිතුරු යටින් හතුරු’ දේශපාලනයේ යෙදෙමින් ජනපති හා අගමැති රනිල් ඇතුළු කණ්ඩායම ‘ලිච්ඡවි යහපාලනය’ කියමින් ලිච්ඡවි රජවරුන්ටත් නිගාදෙන පාලනයක් ගෙන ගියාට හැට දෙලක්ෂයක් ජනතාව තමන්ට පැවරූ වගකීම හරියට ඉටු කළේ නැහැ. මහින්දලා ණය අරගෙන රටට, ලෝකෙට පේන්න කරපු අධිවේගී මාර්ග, නෙළුම් කුලුණු, විනාශකාරී වරාය නගරය වගේ දේවල් මේ හැට දෙලක්ෂයක ජනතාවට කිසිසේත් වැදගත් වුණේ නැහැ. ඒ දේවල්වලින් ඇස් අන්ධ වුණා නම්, ඔවුන් මහින්දට ඡන්දය නොදී මෛත්‍රීට දෙන්නේ නැහැ. මහින්දලාගේ පුහු සංවර්ධන මායාවෙන් නොරැවටුණු ඒ ජනතාවට ආයෝජකයන් ආවා ය කියමින් කර්මාන්ත ශාලා කිහිපයක් විවෘත කිරීමෙන් කොකා පෙන්වන්නට මෛත්‍රී – රනිල් පාලනයට පුළුවන් වුණේ නැහැ. රජයේ ආයතන කිහිපයක රැකියා දෙමින්, ලක්ෂ ගණන් රැකියා බිහි කළ බව කිව්වාට ඒ ජනතාව රවටන්න බැහැ. එහෙම කරන්න උත්සාහ කළ එකේ ප්‍රතිඵලය මේ මැතිවරණ ප්‍රතිඵලවලින් පැහැදිලියි.
අනෙක් අතට මහින්දගේ පවුලේ අයට හා හෙංචයියන්ට නඩු කිහිපයක් දාගෙන, අවුරුදු ගණනක් දින දෙමින්, කල්මැරුවාට රාජපක්ෂලා හා මේ ආණ්ඩුවේ නායකයන් අතර ඩීල් ඇති බව රටටම පෙනුණා. මෛත්‍රී ජනපති අන් සියලු දේට වඩා ප්‍රමුඛතාව දුන්නේ ශ්‍රීලනිපයේ බලය තහවුරු කර ගනිමින්, ඔවුන් සියලු දෙනා තමා ළගට ගැනීමටයි. හොරුන්, දූෂිතයන්, අපරාධ චෝදනා ලැබූවන් ඒ චෝදනා නොසලකා තමා ළගට අරන් ආරක්ෂා කරන්න කටයුතු කළේ ඒකයි. අවසාන මොහොතේ පවා ඔහු ආසන සංවිධායකකම් දුන්නේ හොරුන්ට. බැදුම්කර සිදුවීම එක සිද්ධියක් පමණක් වුණත්, එය අල්ලාගෙන විවිධ ප්‍රකාශ කරමින් මෛත්‍රී ජනපති හැසිරුණේ ලෝකේ ඉන්න ශුද්ධවන්තම කෙනා විදිහටයි. මේ වැඩෙන් රාජපක්ෂලාගේ දූෂණ, වංචා වැසී ගියා. ඔවුන්ට අවශ්‍ය විදිහටම බැදුම්කරය විශාල ලෙස මතු වෙද්දී, ඔවුන්ට විරුද්ධ චෝදනා දේශපාලන පළිගැනීම් ලෙස අර්ථකථනය වුණා. මහින්දට සාපේක්ෂව මෛත්‍රී දූෂණයෙන්, වංචාවෙන් අඩු, බලය පාව්ච්චි නොකරන, චාම්, ප්‍රජාතන්ත්‍රවාදය වඩා සෞම්‍ය ආකාරයට ගෙන යන පුද්ගලයෙක් වුවත්, ජනතාව ඔහු කරකවා අත හැරියා. දැන් එජාපෙ ඔහුට තිබුණු ගෞරවයත් සහායත් නැහැ. ජනපති බලතල නිසා හීලෑ වී සිටියත් අවස්ථාව ලැබුණොත්, ඔවුන් මෛත්‍රී ජනපතිට පිටුපාන බව නිසැකයි.
මේ යන ක්‍රමයට ජනපති මෛත්‍රීට සිය ජීවිත කාලයටම ශ්‍රීලනිපය එක ධජයක් යටතට ගැනීමට බැරි වන බව දැන් පැහැදිලි සත්‍යයක්. ක්‍රමයෙන් අඩුවෙමින් වුවත් මහින්දට ලක්ෂ 50ක පමණ පිරිසක් සිටින බව මැතිවරණයෙන් පැහැදිලි වුණා.
දැන් එජාපෙ කඩිනම් සැලසුම් හදන බව පෙනෙනවා. ජනතාවට ඇගට, බඩට, කටට දැනෙන වෙනසක් කරන බව ඔවුන් කියනවා. මේ වෙනස්කම් කරමින් ‘අත් ඇරෙන දීගේ හෙවණැල්ලත් ඇදයි’ කීවා සේ ජනපති මෛත්‍රීගේ පාලනයෙන් මිඳී නිදහස් වන්නට ඔවුන්ට අවශ්‍ය වී තිබෙනවා. ජනපති මෛත්‍රී තවම පරණ උපදේශක රැළ සමගම ලගිමින්, පුරුදු විදිහට දේශන පවත්වමින් සිටිනවා. රටේ දේශපාලනය හා පාලනය සුළිසුළගට හසු වී රටම ගිලගෙන තිබිය දී මතට තිත දේශන පවත්වනවා. ඔහු ශ්‍රීලනිප නායකයා ලෙස තමාගේ පක්ෂය තුළ තමා ළග සිටින දෙපිටකාට්ටුවන් ඉවත් කර නොදමන්නේ ඇයි? මේ අවස්ථාවාදී හොරුන් බලාගෙන ඉන්නේ මහින්දට කුමන අන්දමේ බලයක් හෝ ලබා දී ඔහු ළගට යාමටයි. එසේම පක්ෂය දෙකට කඩා වෙනත් පක්ෂයක් හැදූ මහින්ද රාජපක්ෂ හා ඔහුගේ නඩය දැන්වත් පක්ෂයෙන් ඉවත් නොකරන්නේ ඇයි ? පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරවලින් ඉවත් නොකරන්නේ ඇයි ? අද සිදු වන දේවලින් ජනතාවට වැටහෙන්නේ එක්කෝ ජනපතිවරයා මහින්දලාට බය බවයි. නැතිනම් කෙදින හෝ මහින්ද ඇතුළු හොරු රැළ හා එක් වී ශ්‍රීලනිපයට බලය ලබා ගැනීමට ජනපතිවරයාට අභිලාෂයක් ඇති බවයි.
පසුගියදා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය ලංකාව දූෂණ, වංචා පිළිබදව මහින්දගේ කාලයේ තිබුණාට වඩා ඉලක්කම් කිහිපයකින් ඉදිරියට පැමිණ ඇති බව හෙළිදරවු කළා. අංක එකට වැටෙන්නේ සෝමාලියාව. හැබැයි ඒ අතින් නම් අපි සෝමාලියාවට දෙවැනි නැති බවයි අපට නම් හිතෙන්නේ. මොකද රටේ ලක්ෂ 50කට ආසන්න ජනතාවක් යන්නේ හිටපු හොරුන් පස්සේ. තවත් ලක්ෂ 40ක් විතර දැන් ඉන්න හොරු පස්සේ යනවා. ඉතින් සංඛ්‍යාලේඛන මොනවා වුණත්, ඇත්ත කතාව නම් ජනතාව හොරකමට පක්ෂපාතී බව අතින් අපි අනික් සියලු රටවල් පරදවන්න සමත් බව.
‘කන්දක් විලි ලා මී පැටියකු වැදූ’ කතාවක් අපි අසා තිඛෙනවා. පසුගියදා සිදු කෙරුණු කැබිනට් සංශෝධනයත් ඒ වගේ. තිබුණු තනතුරු ඔළුගෙඩි මාරු කරලා දුන්නම රට අපේක්ෂා කරන වෙනස සිදු වෙයිද? නීතිය හා සාමය සාගල ළග තිබුණාට ඇමත කම කළේ රනිල් බව නොදන්නා අය මේ රටේ නම් නැහැ. හොදටම දූෂණ සිදු වෙන බව පෙනුණ මහාමාර්ග සංවර්ධන ඇමතිකම වෙනස් වීම විතරයි වැඩකට තියෙන්නෙ. තව සති දෙක තුනකින් ශ්‍රීලනිපයේ ඉන්න ඇමති කුට්ටමත් අනන කතාවක් කියවෙනවා. ඒකත් මේකට දෙවැනි වෙන එකක් නම් නැහැ. මෙහෙම ඇමතිලා මාරු කළා කියලා මේ ආණ්ඩුව යන ක්‍රමය වෙනස් වෙන්නෙ නම් නැහැ. අතීසාරයට අමුඩ ගහලා හරියන්නෙ නැහැ වගේ මේ ආණ්ඩුවේ කඩාවැටීම මේ වගේ සරල ජිමික්වලින් වහන්න බැහැ. ජනතා විරෝධය වළක්වන්න බැහැ.
දූෂිතයන්ට එරෙහි කොඩිය ජනපති වැනුවාට මඳි. මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයේ තරුණ මන්ත්‍රී සමුළුවට යන්නේ මන්ත්‍රී, නාමල් රාජපක්ෂයි. උසාවියේ තිබුණ විදේශ ගමන් බලපත්‍රය ඔහුට ආපසු ලැබෙනවා. අධිකරණයේ අවසරයත් සමගම. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ වගේ දූෂිත මන්ත්‍රීවරුන් හැර වෙනත් සුදුසු අය නැද්ද? මේ වගේ දේවල්වලින් පෙනෙන්නේ මහින්ද රාජපක්ෂලා රට අරාජික කරමින් මේ නටන නාඩගම ජනපති මෛත්‍රීත් අනුමත කරන බව නොවේද?
‘කුඹුර පෝරු ගෑමෙන් කරදර සිද්ධ වෙන්නේ කක්කුට්ටන්ට’ වගේ මේ විකාරරූපී වෙනස්කම්වලින් අමාරුවේ වැටෙන්නේ රටේ ජනතාවයි. රටේ මිනිස්සුන්ට තමන් අපේක්ෂා කරන වෙනස්කම් වෙනුවට වෙනත් දෑ කිරීමෙන් සිද්ධ වෙන්නේ හිරිහැරයක් පමණයි. දූෂණ විරෝධී කොඩිය ලෙළව ලෙළවා හිටියාට කිසිවක් සිද්ධ වෙන්නේ නැතිනම්, ජනතාවට පලක් නැහැ. එම දූෂිතයන්ට දඩුවම් නොදී දේශන පැවැත්වූවාට වැඩක් නැහැ. මේ තියෙන ජනතා කැමැත්තත් ඉදිරියේ දී නැති වේවි. මේ සියල්ල රටේ ජනතාව සලකන්නේ මෛත්‍රී ජනපතිගේ නොහැකියාව ලෙසටයි. මෙහෙම ගියොත්, ශ්‍රීලනිපය මහපොළොවට සමතලා වන දිනය වැඩි ඈතක නැහැ. පක්ෂය විනාශ වෙයි, බෙදෙයි කියලා මහින්ද පාර්ශ්වයේ හැමදේම ඉවසන එකේ ප්‍රතිඵලය ශ්‍රීලනිපය විනාශ වෙන එක නම්, ඒකේ වගකීම භාර ගන්න වෙන්නේ ජනපතිවරයාටයි. එජාපෙත් නිසි ප්‍රතිශෝධනවලට නොගොස් පැලැස්තර ඇලවීමෙන් සිදු වන්නේ එජාපයට හානියක් පමණයි. මේ දෙපිරිස මේ ආකාරයට දේශපාලන වශයෙන් අසාර්ථක වීමේ ප්‍රතිඵලය මහින්ද කල්ලිය යළි ජනතාව අතර බලය තහවුරු කර ගැනීම පමණයි.
ඒ නිසා දැන්මම හොදට හොරකම් දන්න හොර නායකයෙක් හා හොරු රැළක් රටේ පාලනයට හොයන බව ප්‍රසිද්ධ කිරීම වැදගත්. ‘කරතොත් කරපං හරියට – බැරිනං පලයං අහකට’ කීවා වගේ රට කරන්න බැරිනං නම්බු පිටින් මේ යහපාලනයේ නායකයන් ඉවත් වුණොත් තමා වඩා හොද.


ඩී. බී. ඇල්කඩුව