ජාතිවාදයේ බර අඩි තබා ගිය අම්පාර

ශ්‍රී්ැටඩ්ු
ජන මතය තේරුම් නොගත් රනිල් හා මෛත්‍රී…
March 5, 2018
ෙෙෙෙෙෙෙෙ
වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ විදුලි සේවකයන්ගේ සහායට එයි
March 5, 2018
Show all

ජාතිවාදයේ බර අඩි තබා ගිය අම්පාර

Attack-on-Muslims-in-Ampara

නැගෙනහිර පළාතට අයත් අම්පාර දිස්ත්‍රික්කය සිංහල, මුස්ලිම්, දමිළ ජනතාව සැලකිය යුතු ඝනත්වයකින් දිවි ගෙවන දිස්ත්‍රික්කයක්. අම්පාර නගරය බහුතරයක් සිංහල වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ ආධිපත්‍යයට අයත් වූ නගරයක් වශයෙන් හඳුන්වන්න පුළුවන් වුණත්, වෙනත් ජාතිකත්වයන්ට අයත් වෙළෙඳ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු ද නැතුවාම නොවෙයි. අම්පාර නගරයේ කාසිම් හෝටලය එයට එක් නිදසුනක්.
වෙනදා වාගේම පසුගිය 27 වැනිදාත් නැගෙනහිර පළාතට වේලාසනින්ම හිරු පෑයුවා. රාත්‍රී පුරාවට කලබලයක් නැතිව තිබූ නගරය අලුයම වෙද්දී ක්‍රියාශීලී වෙන්න පටන් ගන්නේ අම්පාර නැගෙනහිරට අයත් ප්‍රධාන නගරයක් වන නිසාමයි.
ගල උඩ පන්සලත්, නගරය තුළ වන මුස්ලිම් පල්ලියත් රාත්‍රියේ දී සඳ එළියෙන් නැහැවෙමින් තිබෙනවා වාගේම උදෑසන හිරු එළියෙනුත් නැහැවෙන්න පටන් ගත්තා. මේ පුංචි කොදෙව්වේ එකම ඉර හඳ යට අසල්වැසියා මුසල්මානුවෙකු, දමිළයෙකු, සිංහලයෙකු වුණත්, එකකුගේ ගත දැවටී හමන සුළඟ අපි අපේ සිරුරු තුළට ඇද ගන්නවා. ඒ සුළෙඟහි අප නොදන්නා දමිළයකුගේ, මුසල්මානුවකුගේ දහදිය සුවඳ තැවරිලා නොතිබෙන්න පුළුවන්ද?
කාසිම් හෝටලය දිනපතා ම රාත්‍රී 12.00 පහුවෙලා තව පැයක් දෙකක් විවෘතව තිබෙන හෝටලයක්. නගරයේ සැරිසරන කෙනෙකු තේ එකක් බොන්න, කෑම වේලක් කන්න එන තැනක්. ඒ වාගේම දිවා කාලයේ නගරයට පැමිණෙන අසල්වැසි ගම්මානවල ජනතාවත් මෙම හෝටලයට පැමිණීම සාමාන්‍ය දෙයක්. ඇතැම් විට රාත්‍රී මුර සංචාරයේ යෙදෙන ආරක්ෂක නිලධාරීන්ගේ වෙහෙස නිවන තේ උගුරක් පානය කිරීම සඳහා මඳකට නවතින විවේක ස්ථානයක්.
කාසිම් හෝටලය හිමිකරුත්, එහි සේවකයනුත් 27 වැනිදා උදෑසන වෙනදා වාගේම තවත් දවසක් වෙනුවෙන් සූදානම් වෙමින් සිටියා.
බහුතර සිංහල ප්‍රජාවක් ව්‍යාපාරික කටයුතු කරන නගරයක තිබෙන මුස්ලිම් ව්‍යාපාර ජාතිවාදීන්ගේ ඇසේ ඇනුණු කටුවක් විදියට දැනෙමින් තිබුණා වෙන්න පුළුවන්. හිට්ලර් යුදෙව්වන්ගෙන් තොර ලෝකයක් දකින්න හීන මැව්වා වාගේම අම්පාර නගරය මුසල්මානුවන්ගෙන් තොර නගරයක් විදියට දකින්න වුවමනා පිරිසක් වාගේම ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න අවස්ථාව සොයමින් සිටින පිරිසකුත් ඔය අතරේ තමන්ගේ අවස්ථාව සොයමින් සිටියා.
අවුරුදු තිහක් දමිළයා සමඟ ජාතිවාදී යුද්ධයක පැටළුණු සිංහලයා දැන් මුසල්මානුවන් සමඟ ගැටුමකට අරඅඳිමින් සිටිනවා. සිංහල බලය තිබෙන අම්පාර නගරය වාගේම මුස්ලිම් බලය තියෙන අකුරණ නගරය තුළ මුස්ලිම් ජාතිවාදය ක්‍රියාත්මක වෙනවා. අකුරණ නගරයේ සිංහල වෙළෙඳ සල් නැති තරම්. අවට ගම්මාන හැම එකකම ජනතාව තම ආහාර, ඇඳුම් පැළඳුම් ඇතුළු වුවමනාවන් සපයා ගන්නේ මුස්ලිම් වෙළෙඳුන්ගේ කඩවලින්.
එහෙම වුණත්, දමිළ ජාතිවාදයේ ගිනි පුපුරු තවමත් තියෙන්න ඇරලා තියෙනවා වාගේම මුස්ලිම් ජාතිවාදයේ ගිනි පුපුරුත් පැතිරෙමින් තිබෙනවා. ඒ මේ රටේ දේශපාලනඥයන් විසින් ඔවුන්ට අවශ්‍ය වේලාවට අළු ඉවත් කරලා ගින්දර දල්වා ගැනීමේ අරමුණෙන්. එතන දී සිංහල හෝ දමිළ හෝ මුස්ලිම් භේදයක් ඇත්තේ නැහැ.
අවුරුදු 450ක කාලයක් යටත් ජාතියක් විදියට සිටි ජාතියක් නිදහස කියන ඊනියා සංකල්පය සමරන්න අරන් තවම යාන්තම් අවුරුදු හැත්තෑවයි. අවුරුදු 450ක් පුරා විදේශිකයන් ආගම, කුලය, ජාතිය ආදී සංකල්ප මත ලාංකීය ජාතිය විරසක කර බෙදුවා. වෙන වෙනම කොටස් කළා.
අවශ්‍ය වේලාවට දමිළ ගොනයි, සිංහල ගොනයි වියගහට බැන්දා. නැත් නම්, මුස්ලිම් ගොනායි, සිංහල ගොනායි බැන්දා. බැඳලා ඔවුන් කුඹුර හා ගත්තා. මඩවා ගත්තා. ගොන්නුත් එකිනෙකාට ඔරවා ගනිමින්, කෙත සී සාලා දුන්නා. ඔවුන් විසින්ම ඉහළට ඔසවා තබා ප්‍රභූත්වයක් ආරෝපණය කළ පිරිසක් අතට වියගහයි, නගුලයි දීලා ඔවුන් අස්වැන්න අරගෙන ගියා. විදේශිකයන්ට වාගේම මේ පිරිසටත් ජනතාව එම වියගහෙන් මුදන්න වුවමනාවක් තිබුණේ නැහැ. ඔවුන්ටත් සී සා ගන්න කෙතක් තිබුණා. ඔවුන් විදේශිකයන් පරිද්දෙන්ම අවශ්‍ය වේලාවට එක් එක් ගොනුන් වියගහට බැඳලා, තමන්ගේ කෙත සී සා ගන්නවා. අස්වැන්න නෙළා ගන්නවා.
ඔවුන් විසින් නඩත්තු කරනු ලබන මෙම බෙදීම් ජාතිවාදී හෝ ආගම්වාදී ගින්නක් දක්වා වර්ධනය කිරීමට වුවත්, මේ පාලකයන් පසුබට වෙන්නේ නැහැ. අවුරුදු තිහක උතුරේ යුද්ධය අපට ඒ තත්ත්වය පසක් කර දෙනවා වාගේම එම සත්‍යය වෙනුවෙන් සාක්ෂි දරනවා.
ඔවුන් ඒ සඳහා භාවිත කරන විවිධ උත්තේජනයන් තිබෙනවා. ‘සිංහ ලේ’ ඒ වාගේ ඉන්ජෙක්ෂන් එකක්. ඒක එන්නත් කර ගත්තාම අවුරුදු 450ක් යටත් ජාතියක් විදියට හිටිය සත්ත්වයාට පොඩි මොරාල් එකක් එනවා. සුද්දා එළවා ගන්න බැරි වුණු හීනමානයටත් එක්ක තමන් ළඟ ඉන්න සුළු ජාතිකත්වයන්ට වැඩ පෙන්වන්න සුද්දා දීපු සිගරට් එකයි, සුද්දා දීපු අරක්කු බාගෙයි ගහගෙන පාරට බහිනවා. මුලින් සඳහන් කළ පාලකයන් විසින් එවැනි කාර්යයන් සඳහා මෙවැනි පිරිසක් නඩත්තු කරමින් සිිටිනවා.
සිංහල ජාතිය වඳ කරන්න මුසල්මානුවන් කටයුතු කරනවා කියන එකත් මේ අයට දෙන ඉන්ජෙක්ෂන් එකක්. කතාව පරණ වුණාට කොතනකවත් මේ නවීන ලෝකයේ ඔය කාරණාව විද්‍යාත්මකව සනාථ කරපු අවස්ථා එකක්වත් ඇත්තේ නැහැ.
පසුගිය 27 වැනි දින අම්පාරේ සිදුවීමට මුලපුරන්නේ එවැනි කරුණක්. ජාතිකත්වයන් අතර වෛරය වැපිරීම පාලකයන්ගේ බලය පවත්වා ගෙන යාම කියන ව්‍යාපෘතියේම කොටසක් කියලා වියගහට බැඳලා ඉන්න අයට තේරෙන්නේ නැහැ.
මානසිකවත්, කායිකවත් දිනෙන් දිනම උග්‍ර පීඩනයකට හසු වෙමින් සිටින උග්‍ර සූරාකෑමකට ලක් වෙමින් සිටින පිරිසකට තමන් පීඩනයට හසු කරන බලවේග නිවැරදිව හඳුනා ගැනීමේ නිරවුල් මනසක් ඇත්තේ නැහැ. තමන් මත එල්ල වන පීඩනය ආසන්නතම අනෙකා මත මුදාහරිනවා මිස එහෙම කරලා කාලකණ්ණි සතුටක් ලබනවා ඇරුණාම අනෙකාගේ සිතුවිලි, සිත් වේදනාව හඳුනා ගන්න සංවේදී බවක් ඇත්තේ නැහැ. පුද්ගල වශයෙන් වාගේම සමාජයක් විදියටත් අපි අද ඒ සත්‍යය අත්විඳිමින් සිටිනවා.
ඒ නිසාම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වදින මිනිසුන්ට පහර දෙන්න බැටන් එක උස්සන පොලිසිය ජාතිවාදීන් මුස්ලිම් පල්ලියට පහර දෙන කොට ධර්ම චක්‍රය උරහිසෙහි ගහගෙන ධ්‍යානයට සමවදිනවා.
අවුරුදු 2,600ක් අවිහිංසාවාදය මත පදනම් වූ බෞද්ධ දර්ශනයෙන් පෝෂණය වුණා යැයි කියන ජාතියක්, දහවලේ හිනා වෙලා කතා කරපු දමිළයාට, කාපු බීපු හෝටලයේ මුසල්මානුවාට රාත්‍රියේ දී පහර දෙනවා. අම්පාරේ කාසිම් හෝටලයටත්, තවත් හෝටල කීපයකටත් මුහුණ දෙන්න සිදු වුණු කටුක අත්දැකීම ඒක. පහර දීමෙන් නොනවතින ජාතිවාදීන් සල්ලි ලාච්චුව මංකොල්ල කනවා. ගෑස් සිලින්ඩරය පවා අරන් යනවා.
අම්පාරේ සිදු වුණු මේ සිදුවීම් පිටුපස මහා ජාති ආලයකින් පපුවට බොග් බොග් ගාලා ගහ ගන්නා, මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ජය ගත්තා යැයි කියන ‘පොහොට්ටු’ පක්ෂයේ මහින්දගේ ගෝලයෙකු වන වැලිගම චමින්ද, ඔහුගේ සොහොයුරා සමීර වාගේම ගල උඩ පන්සලේ හාමුදුරුවෝ ඉන්නවා කියලා ප්‍රදේශයේ කළ සංචාරයක දී ජනතාව අපත් සමඟ ප්‍රකාශ කර සිටියා.
නිර්මල බුදු දහම රැඳී ඇතැයි කියන අතීතයේ දී බුදුන් වැඩි දේශය නමින් හඳුන්වනු ලබන මෙම කොදෙව්වට උන් වහන්සේ දෙවතාවක්ම වැඩම කර ඇත්තේ, කලහයන් සංසිඳුවන්න වුණාට වර්තමානයේ දී කලහයන් ඇති කරන තැන්වල ප්‍රමුඛයන් වන්නේ චීවරධාරීන් වීම කනගාටුවට කරුණක්. දේශපාලකයන් සී සාන කෙතෙහි නියර මත හිඳ ඔවුන්ට උපදෙස් දෙන්නේ මේ චීවරධාරීන් මඩ බිඳක් නොගෑවී දේශපාලකයන් වපුරන අස්වැන්න ඵල භුක්ති විඳිනවා. මේ අය බුදුන් දෙසූ පරිදි ම ශාසනය තුළින්ම ශාසනය විනාශ කරන්න පැනනැගුණු වල් පැළෑටි වාගේ අවිදු අඳුරෙන් ජන මනස වසනවා. අම්පාර මුස්ලිම් පල්ලියේ කැඩුණු වීදුරු කටුත් ගිනි තබා විනාශ කළ මුසල්මානුවන්ගේ ගොඩනැගිලි ඒ සත්‍යය අප දෑස් ඉදිරියේ කියාපානවා.
අපි ඉතිහාසයෙන් පාඩම් උගෙන නොගන්නා ජාතියක් බව නැවත නැවතත් පසක් කරමින් සිටිනවා. දමිළයන් දමිළ ජාතිවාදයත්, සිංහලයන් සිංහල ජාතිවාදයත්, මුසල්මානුවන් ඔවුනගේ ජාතිවාදයත් පෝෂණය කරමින්, දතට දත න්‍යාය
අනුගමනය කරමින්, නියවමින්, වියගහ අදිමින් සිටිනවා.
ගැටුමට සහභාගී වූවන් අත්අඩංගුවට ගැනීම වළක්වන්න විරෝධතාවන් ක්‍රියාත්මක කරන තරමට මේ ජාතිවාදී කල්ලි බලවත් වීම පිටුපස තියෙන්නේ දේශපාලකයන්ගේ බලය කියන එක පැහැදිලියි. ඒ බලය තමන්ගේ බව නොදන්නා ජනතාව ඒ බව අවබෝධ කර ගන්නා තෙක් අඳුරේ ගැලීම දිගින් දිගටම සිදු වේවි. එකම ඉර හඳ යට සැනසීම දේශනා කරන ලද ශාස්තෘෘවරයකුගේ මඟ යන බව කියන පිරිසකගේ මෙහෙයවීමෙන් එවැනිම ශාස්තෘෘන් කෙනෙකු අදහන පිරිසකගේ පූජ්‍යස්ථානයක් සුනුවිසුණු වීම හිතට දනවන්නේ අමිහිරි හැඟීමක්. හෙට පිළිබඳව අවිනිශ්චිත හැඟීමක්¦ අවුල්සහගත බවක්.

ආගමික ස්ථානයකට පහරදීම වේදනාවක්…
මොහොමඩ් අන්සාර් – එරගම

අපේ නගරය තුළ සිදු වුුණු මේ පහර දීම හෙළා දකිනවා. මේ පිළිබඳව ආණ්ඩුව විසින් සොයා බලා සාධාරණය සඳහා කටයුතු කරන්න ඕනෑ. අපේ ආගමික මධ්‍යස්ථානයට පහර දීම සිත් වේදනා ඇති කරන දෙයක්. ඒ වාගේම
මේ සිදුවීම නිසා රට තුළ විවිධ සිදුවීම් සිදු විය හැකි බැවින්, ඒවා වැළැක්වීමට කටයුතු කරන්න ඕනෑ.

මේක සැලසුම්සහගතව සිදු කළ ක්‍රියාවක්…
එම්. එච්. අබ්දුල් මුනාෆ් – වරිපතන්චේන

අම්පාර නගරය තුළ සිදු වූ මේ සිදුවීම සැලසුම්සහගතව සිදු කළ ක්‍රියාවක්. මේ ක්‍රියාවෙන් ප්‍රකාශ වෙන්නේ සිංහල, මුස්ලිම් ජනතාව අතර අසමගිය ඇති කරන්න පිරිසකට ඕනෑ වෙලා තියෙනවා කියන එකයි. ඒ වාගේම පල්ලියට ගහපු එකෙන් ආගම් විරෝධයක් ප්‍රකාශ වෙනවා. මෙවැනි කරුණු අප අතර අසමගිය වර්ධනය වීමට බලපානවා. වැරදිකරුවන්ට දඩුවම් දෙන්න ආණ්ඩුව ක්‍රියාත්මක වෙන්න ඕනෑ.
වඳ බෙහෙත් කතාව විද්‍යාත්මකව තහවුරු කරලා නැහැ…

ඒ. එම්. කේ. බී. අත්තනායක
ආයුර්වේද වෛද්‍යාචාර්ය

ආණ්ඩුව මෙවැනි ප්‍රහාර පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමට කටයුතු කළ යුතුයි. තවමත් මේ වඳ බෙහෙත් කතාව විද්‍යාත්මකව තහවුරු කරලා නැහැ. ඒත්, ඒ ගැන සොයා බලා කටයුතු කිරීමත්, ජනතාවට නිවැරදි තොරතුරු ලබා දීමත් ආණ්ඩුව සතුයි. නැති නම්, මෙවැනි සිදුවීම් ඉදිරියේ දීත් සිදු වීම වළක්වන්න බැහැ.


සටහන
කිත්සිරි කොඩිතුවක්කු
සහය
සම්පත් චාමික