කෝටි 30,000කට ගේම දුන්නේ මෙහෙමයි

‘පහත් තැනින් යයි ගලා ජලේ’ යන න්‍යාය සමාජයේ බොහෝ දෙනෙකු කවර තරමින් හෝ අත්දැක තිබේ. දරුවා පාසලට ඇතුළත් කිරීම, රෝගී වී චැනල් කර හෝ බෙහෙත් ගැනීමට යාම, මහා පරිමාණ කුඩු ජාවාරමුන් බේරා තේ හැඳි භාගයක් පමණ ළඟ තිබීම නිසා දඟගෙයි දැමීම, කසිප්පු බැරල් සිය ගණන් පෙරනු ලබන අය සිටිය දී බෝතල් කාලක්, භාගයක් ළඟ තබා ගත් අයට නීතිය ඉහළින්ම ක්‍රියාත්මක කිරීම ආදී නොකී දහසක් දේ ඒ අතර වේ. තව පැත්තකින් පරම්පරාවෙන් උරුම වූ හෝ සින්නක්කරව මිල දී ගෙන තිබූ ඉඩම්කඩම් කොල්ලකමින් සංවර්ධන ව්‍යාපෘති යැයි කියන ඒවාට යට කිරීමයි. එකම ජීවනෝපාය වූ එම ඉඩම්කඩම්වලට අවුරුදු හතරක්, පහක් ගත වී හෝ වන්දි නොගෙවා, රස්තියාදු කිරීම වැනි දේ තවත් පැත්තකය. උමාඔය බහුවිනාශකාරී ඉඩම්කඩම් කොල්ලකා තුට්ටු දෙකේ වන්දිය හෝ නොදීම එක් නිදසුනකි.
මෙවැනි දහසකුත් විවිධ කරුණුවලදී ‘පහත් තැනින් යයි ගලා ජලේ’ අත්දැක තිබේ. පෞද්ගලිකව එකිනෙකා අත්දකින මෙවැනි දේට අමතරව සමාජයක් ලෙස පොදුවේ ‘පහත් තැනින් යයි ගලා ජලේ’ න්‍යාය ක්‍රියාත්මක වන එක් ආකාරයක් විගණකාධිපතිවරයා හෙළි කර තිබේ. ඒ, ජනතාව මත බදු බර පටවා තිබීම සම්බන්ධයෙනි. මේ වන විට ජනතාව මත පටවා තිඛෙන්නේ අසීමිත බදු බරකි. මෙම වසරේ දී එය රුපියල් කෝටි 2,03,400ක් වී ඇත. එනම්, එක් පුරවැසියකු මත ඔහු හෝ ඇය එදිනෙදා පරිහරණය කරන බඩුමුට්ටු හෝ විදුලිය, ජලය, ප්‍රවාහනය, සෞඛ්‍යය වැනි සේවාවන් මත පටවා තිබෙන වක්‍ර බදුවල ප්‍රමාණයයි. හිඟන්නාගේ පිඟානට හෙනහුරා කඩා පාත් වුණා සේ පොදු ජනතාව මත මේ මහා බදු බර පටවා තිබේ. මේ වසරේ සිට එක් පුද්ගලයකු මත පටවා ඇති වාර්ෂික බදු බර රුපියල් 95,943.00කි.
වර්තමාන හවුල් ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ විසින් 2015 අප්‍රේල් මාසයේ දී පමණ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කරන ලද්දේ මේ බදු බර ඉතා ම අසාධාරණ බවයි. රජයේ මුළු බදු ආදායමෙන් සියයට 80ක් පමණ වක්‍ර බදුවලින් එක්රැස් කර ගන්නා බවයි. එය මුළු බදු ආදායමෙන් සියයට 60ක් පමණ දක්වා අඩු කර ඇති හැකි අයගෙන් අය කර ගනු ලබන බදු ආදායම සියයට 20ක් පමණ වූ අගයේ සිට සියයට 40ක් දක්වා ඉහළ දමන බවද ප්‍රකාශ කරනු ලැබීය. එයින් නොනැවතී පොරොන්දු ඉටු කිරීමට අමුඩ ගසන බව පෙන්වීමට මෙන් අය-වැය මඟින් ද විවිධ යෝජනා ඉදිරිපත් කර තිබිණි. 2015දී එවැනි යෝජනා හැඳින්වූයේ ‘සරදියෙල්ගේ අය-වැය යෝජනා’ වශයෙන්ය. එහි තරම කොතරම් දැයි ‘විගණකාධිපති වාර්තාව – 2016’ මගින් හෙළි කර තිබේ.
රජයට ආදායම් රැස් කර දෙන ප්‍රධානම ආයතන තුන ශ්‍රී ලංකා රේගුව, දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුවයි. මේ අතුරින් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කළ යුතු පොහොසතුන්ගෙන් බදු අය කර ගන්නා යෝජනා 18ක් 2016දී ඉදිරිපත් කර ඇත. නමුත්, එයින් ක්‍රියාත්මක කර ඇත්තේ, හතරක් පමණි. ‘වාර්ෂිකව ඉදිරිපත් කරනු ලබන අය-වැය යෝජනා සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුවේ මැදිහත් වීම ප්‍රමාණවත් මට්ටමක නොතිබිණි’ යනුවෙන් එම වාර්තාවේ ඉතා පැහැදිලිව සඳහන් කර තිබේ. එයට වඩා බරපතළ තත්ත්වයක් හෙළි කර තිබුණේ ‘2015 අංක 10 දරන මුදල් පනත ප්‍රකාරව කැසිනෝ ව්‍යාපාරය මඟින් අය විය යුතුව පැවති රුපියල් මිලියන 3,490ක බදු ආදායමක් නොලැබී තිබූ අතර, විධිවිධාන ප්‍රකාරව අය කළ යුතු මන්දිර බද්ද සඳහා අවශ්‍ය නීති සකසා නොතිබිණි’ යනුවෙනි.
මෙන්න බොලේ වැඩේ ! දුප්පතාගේ කහට කෝප්පයට, ලුණු කැටේට, පරිප්පු ඇටේට බදු පිට බදු ගහන ආණ්ඩුව මේ රටේ කැසිනෝ මහා සූදුවට ගසා තිබෙන බදුවලින් රුපියල් මිලියන 3,490ක් අය කරගෙන නැත. කැසිනෝ ගුබ්බෑයම්වලට ගමේ ගොඩේ සිරිපිනාලා, ඒබරන්ලා යන්නේ නැත. යන්නේ මේ රටේ හොඳහැටි අතේ මිටේ තිබෙන උදවිය වේ. ගමේ ගොඩේ අස්සක මුල්ලක පොලිසියට හොරෙන් බූරුවා ගහන ඒබරන්ලා, සිරිපිනාලා මාට්ටු වුණොත්, කුදලාගෙන යාම පහත් තැනින් ජලය ගලා යාමයි. නමුත්, කැසිනෝ රජාලාට නම්, රුපියල් මිලියන දහස් ගණනක් පොලු තබා කිසිම අතුරු ආන්තරාවක් නැතිව යහතින් සිටිය හැකිය.
එම වාර්තාවෙන් හෙළි කර තිබෙන තවත් ඉතා වැදගත් දෙයක් වන්නේ මහා පරිමාණ බදු ගෙවිය යුතු බව හඳුනාගෙන සිටින පුද්ගලයන් බදු නොගෙවා නීතියෙන් රිංගා යන ආකාරයයි. 2012 සිට 2015 දක්වා වසර තුනක් සම්බන්ධ නියැදි පරීක්ෂණයකදී මේ සම්බන්ධ වැදගත් කරුණු හෙළි කර ඇත.
එම වසරවලට අදාළව අය කර ගත යුතු රුපියල් මිලියන 53,854ක් වූ බදු ප්‍රමාණයක් ගෙවිය යුතු පුද්ගලයන් අභියාචන ඉදිරිපත් කර ඇත. අභියාචන සංඛ්‍යාව 594කි. වසර තුනක් තුළ මෙයින් විස‍‍දා ඇත්තේ, පැමිණිලි 09ක් පමණි. එයින් අය කරගෙන ඇති බදු මුදල රුපියල් මිලියන 67කි. රුපියල් මිලියන 53,737ක් අය කර ගත යුතුව තිබේ. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් මහා පරිමාණ බදු ගෙවිය යුතු සිටුවරුන් ආරක්ෂා කිරීමේ ක්‍රියාමාර්ග අනුගමනය කරනු ලබන්නේ මේ වැනි උපක්‍රම හරහාය.
‘දෙපාර්තමේන්තුව වෙත ලැබෙන බදු අභියාචන සම්බන්ධයෙන් කඩිනම් පියවර නොගැනීම නිසා රජයට ලැබිය යුතු බදු ආදායම් කාලීනව නොලැබෙන බව නිරීක්ෂණය විය’ යනුවෙන් විගණකාධිපති සටහනක් තබා තිබේ.
ආණ්ඩුව විසින් පොදු ජනතාව මත පටවන බදු අය කර ගන්නා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නීති අංශයේ ක්‍රියාකාරීත්වය වී තිබෙන්නේ බදු අය කර ගැනීම වැළැක්වීම බව වාර්තාවෙන් තහවුරු වේ. නීති අංශයේ කි්‍රයාකාරීත්වය ගැන ‘ප්‍රධාන කාර්යාලයේ හා ප්‍රාදේශීය කාර්යාලවල පවතින හිඟ බදුවලට අදාළ නඩු පිළිබඳව සම්බන්ධීකරණයක් සිදු කිරීම සඳහා ප්‍රමාණවත් පියවරක් නොගෙන තිබිණි’ යනුවෙන් සඳහන් කර ඇත. වැඩි දුරටත් හෙළි කර තිඛෙන්නේ, ‘මේ හේතුවෙන් පවරා ඇති ඇතැම් නඩු විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කර පවරා ඇති ඒවා දැයි තහවුරු කර ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි නීති අංශයේ නොතිබිණි’ යනුවෙන්ය. වැටත්, නියරත් ගොයම් කන්නේ මෙසේය. ඉහළ උන් වැජඹෙන්නේ හොරාගේ අම්මාගෙන් පේන අහනවා වැනි මේ ගේම්වලිනි.
දෙපාර්තමේන්තුවේ ගේම්වලින් බදු හොරුන්ට පැන යාමේ ඉඩදී තිඛෙන ආකාරය විගණකාධිපති වාර්තාවේ ක්‍රමානුකූලව දක්වා ඇත්තේ පහත පරිදිය:
නීති අංශයේ කටයුතු නිසා සිර වී තිබෙන බදු මුදල රුපියල් මිලියන 1,771කි.
බදු ගෙවීමට හිස් චෙක්පත්දී කර තිබෙන වංචාව රුපියල් මිලියන 1,976කි.
අධිකරණ තීන්දු මත හිඟ බදු වාරික වශයෙන් අත් කර ගැනීමට තිබෙන ප්‍රමාණය රුපියල් මිලියන 8,914කි.
දිරි දීමනා ලබාගෙන තිබුණද, ඊට අදාළව එක්රැස් කර ගත යුතුව තිබෙනමුත්, එකතු නොකළ මුදල රුපියල් මිලියන 4,652කි.
හිඟ බදු සහ ඒ මත පනවන ලද දඩ මුදල්වලින් ලබා ගත යුතු මුදල රුපියල් මිලියන 24,521කි.
බදු අභියාචන හෝ අධිකරණ කටයුතු නොමැතිව ඉක්මනින් අය කර ගත හැකිමුත්, අය කර නොගෙන තිබෙන මුදල රුපියල් මිලියන 85,708කි.
විවිධ ආකාරයේ ගෙවීම් පැහැර හැර තිබෙන අය කර ගත යුතු බදු මුදල රුපියල් මිලියන 2,95,296කි.
විගණකාධිපති වාර්තාවෙන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරීත්වය නිරුවත් කර ඇත්තේ මෙසේය. සරලව කිවහොත්, රුපියල් කෝටි තිස්දහසකට ආසන්න මුදලක් තෝරුන්, මොරුන් විසින් පොලු තබා තිබේ. 2016 දෙසැම්බර් මස 31 වැනි දිනට මෙම මුදල එකතු වී තිබී ඇත. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ පොලු තබන ලද මුළු බදු මුදල මෙය නොවීමයි. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් විගණකාධිපතිවරයාට ලබා දෙන ලද වාර්තාවලින් හෙළි කර ගන්නා ලද ප්‍රමාණය වේ. එම දෙපාර්තමේන්තුව විසින් ලබා නොදී තිබෙන තවත් බදු තොරතුරුද අති මහත්ය. විගණකාධිපතිවරයා කර තිබෙන්නේ නියැදි පරීක්ෂාවක් පමණි. මුළුමනින් ම පරීක්ෂාවක් නොවේ. හෙළි නොවූ තවත් විශාල නොගෙවූ බදු මුදල් ප්‍රමාණයක් තිඛෙන බව පැහැදිලිය.
රුපියල් කෝටි තිස් දහසක් යනු කජු ඇට කොස් ඇට නොවන බව දැනෙන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාවටය. නමුත්, ආණ්ඩු කළ සහ කරමින් සිටින කෙරුමන්ටත්, දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව තුළ සිටින සීමිත පිරිසක් වූ හොර තක්කඩියන්ටත් මේ ගැන කිසිදු වගක් නැත. මේ සා මුදලක් එක රැයකින් ගොඩ වූ ඒවා නොවේය. රාජපක්ෂ පාලන සමයේ අවසන් කාලයේ සිට එකතු වී තිබෙන ඒවාය. එසේ තිබිය දී ‘සරදියෙල් පන්නයේ අය-වැය’ ආදී නාමකරණයක් කළ හවුල් ආණ්ඩුවේ කෙරුමන් ද මේ සා වූ ධනස්කන්ධයක් අය කර ගැනීමට කිසිදු පියවරක් ගෙන නැත. එහි ප්‍රතිඵලය වී තිබෙන්නේ රජය ඇස්තමේන්තු කරන ආදායම පවා ලබා ගැනීමට නොහැකි වී ආදායම් බිඳවැටීමයි. එයින් පමණක් නතර නොවේ. රජයේ වියදම් ඇස්තමේන්තු ඉක්මවා ඉහළ යයි. මේ නිසා නිර්මාණය වන අය-වැය හිඟය වඩා බිහිසුණු තත්ත්වයට පත් වේ. එයද ආපසු පැටවෙන්නේ පොදු ජනතාව මතය.
මෙම තොරතුරු හෙළි කිරීම පැවති රාජපක්ෂ පාලනයේ කෙරුමන් ඉවසන්නේ නැත. වර්තමාන හවුල් ආණ්ඩුවේ සිටින කෙරුමන්ද ඉවසන්නේ නැත. එනිසා මේ දෙපැත්තෙන්ම කතා කරන්නේ විගණකාධිපතිවරයා එල්ලීමටයි. එය කොතරම් බරපතළද යන්න පැහැදිලි වන්නේ මෙරට කීර්තිමත් දේශපාලන විචාරකයකු ලෙස සිටි මොහාන් සමරනායක වැනි අය පවා හොර තක්කඩියන් වෙනුවෙන් පෙනී සිටිමින්, විගණකාධිපතිවරයා මාධ්‍ය ඉදිරියට පැමිණ කරන කතා නතර කළ යුතු බවට ප්‍රකාශයන් කිරීමය. මෙයින් පැහැදිලි වන්නේ අතීතය කෙබඳු වටිනාකම්වලින් යුක්ත වුවත්, වර්තමානයේ කරමින් සිටින අවස්ථාවාදී ජඩකමේ තරමයි. එසේ නොවේ නම්, මොහු වැනි පුද්ගලයකු කළ යුතු වන්නේ විගණකාධිපති වාර්තාවෙන් හෙළි කර තිබෙන කරුණු සහ ඒ සම්බන්ධයෙන් විගණකාධිපති හෙළි කළ කරුණු පිළිබඳව වහාම පරීක්ෂා කරන ලෙස ආණ්ඩුවට බලපෑම් කිරීමයි. එසේ නොකර විගණකාධිපති මාධ්‍ය හමුවට පැමිණීම ගැන දොස් තබන්නේ බොරු දේශප්‍රේමී සළුපිළි ඉවත දමා අමු නිරුවතින් හොරුන් ආරක්ෂා කිරීමට කැප වී සිටින නිසා බව පැහැදිලි වේ. රාජපක්ෂ පාලන සමයේදී බදු හොරුන් රැක්කා සේම හවුල් පාලනයද බදු හොරුන් රකිමින් සිටියි. ඔවුන් පොලු තබන මුදලද පොදු ජනතාවගේ හිස මත පටවා පහත් තැනින් ජලය ගලා යාමට ඉඩ සලස්වයි.
මේ රටේ සියලු පුරවැසියන් මත පටවා තිඛෙන වක්‍ර බදු ප්‍රමාණය සියයට 80 සිට සියයට 60 දක්වා අඩු කරන බවට බොරු කයිවාරු ගැසීමෙන් පමණක් ආණ්ඩුව නතර වි නැත. මේ වන විට වක්‍ර බදු ප්‍රමාණය මුළු බදු ආදායමෙන් සියයට 87ක් දක්වා ඉහළ දමා පෙර කියූ මහා බදු හොරුන් රකිමින් සිටී.
මෙරට ජනතාවගේ වගකීම වන්නේ ඔහේ ගොනුන් සේ බර ඇදීම නොවේ. සියලු පීඩනයන් ‘කරුමයට’, ‘ග්‍රහචාරයට’ භාර දී ‘බකන් නිලාගෙන’ සිටීමද නොවේ. ‘පහත් තැනින් යයි ගලා ජලේ’ කියා කරබා ගැනීමද නොවේ. පවත්නා සත්‍ය තත්ත්වයන් තේරුම්ගෙන මේ වියගසෙන් මිඳීමේ නිවැරදි ක්‍රියාමාර්ග වෙත එළඹීමය. එය ඇඟිල්ලෙන් ඇන පෙන්වීමට සිදුව තිබීම ඛේදජනකය.


ඉන්ද්‍රසිරි ජයසුන්දර