රාජාංගනේ දියවර තව කොතෙක් කලකටද?

බෙsdvgDr
අදුරේ අතපත ගාන ජනපති හා අගමැති
March 12, 2018
wakugadu
විල්ගමුව රෝහලේ වකුගඩු ඒකකය අක්‍රීයයි
March 12, 2018
Show all

රාජාංගනේ දියවර තව කොතෙක් කලකටද?

52866596

රාජාංගන ජලාශය දැයට බත සපයන සාර්ථක කෘෂි ව්‍යාපාරයකට උපකාරී වන ජලාශයක් වශයෙන් හැඳින්විය හැකිය. අක්කර 1,89,934ක් පුරා පැතිර පවතින මෙම ජලාශය කලා ඔය හරස් කොට ඉදි කරලා තියෙන්නේ 1950දී. ආරම්භයේ දී රාජාංගනට දියවරින් හෙක්ටයාර් 17,00ක් පමණ යල, මහ දෙකන්නය වගා කළ හැකි අයුරින් දියවර නිකුත් කර ඇති අතර, පසුව ජනපද ඇති වීමත් සමඟ එම ජනතාව විසින් මෙම භූමි ප්‍රමාණය අක්කර 22,500ක් දක්වා පුළුල් කර ගැනීමට කටයුතු කරනවා.
දකුණු ඉවුර සහ වම් ඉවුර වශයෙන් එම ජලාශයෙන් නිකුත් කරනු ලබන ජලය පළාත් දෙකක ප්‍රධාන වශයෙන් දිස්ත්‍රික්ක දෙකක සිය ජීවනෝපාය මාර්ග සලසා දීම වෙනුවෙන් දායකත්වය දෙනවා. 1954 වර්ෂයේ දී රාජාංගනය ගොවි ජනපද බිහි වීම ආරම්භ වීමත් සමඟ ජනාවාසකරණය වූ මෙම භූමිය අද වන විට ඉසුරින් පිරුණු බිමක් ලෙස හැඳින්වුවහොත්, එය අතිශයෝක්තියක් නොවේ. කුරුණෑගල දිස්ත්‍රික්කය, අනුරාධපුර හා පුත්තලම් දිස්ත්‍රික්ක යන දිස්ත්‍රික්කවලට මායිම්ව ඇති රාජාංගනය ජලාශයෙන් වී ගොවිතැනට අමතරව අක්කර 4,500ක් පමණ ගොඩ ගොවිතැන් සඳහා ද ජලය සපයා ගනු ලබනවා. වම් ඉවුර සහ දකුණු ඉවුර වශයෙන් රාජාංගන ව්‍යාපාරය තුළ දිවි ගෙවන පවුල් සංඛ්‍යාව 35,000 ඉක්මවා යනවා.
පසුගිය කාලය පුරාවට මෙරට තුළ පොල් අස්වැන්න දැවැන්ත ලෙස පහළ යාමට හේතු වූයේ එක් අතෙකින් එම වගාව විනාශයට ලක් කිරීම වාගේම වර්ෂාව නොමැති වීම කියන කාරණාත් සමඟමයි. එහෙත්, රාජාංගනය ප්‍රදේශයේ ජනතාවට සිය පොල් අස්වැන්න අහිමි වන්නේ නැහැ. එකක්, තමන්ගේ ආර්ථීකයට ඉමහත් ශක්තියක් වුණු මෙම කල්ප වෘක්ෂයට හානි කරන්න ඔවුන් පෙළඹෙන්නේ නැහැ වාගේම රාජාංගනය ජලාශයෙන් ලැබුණු ජලය පොල් වගාවන්වල වර්ධනයට ඉමහත් දායකත්වයක් දක්වලා තිබුණා. වර්තමානය වන විටද, ලක්ෂ දෙකක් ඉක්ම වූ පොල් ගස් සංඛ්‍යාවක් එම ප්‍රදේශයේ ජනතාවටත්, රටටත් ප්‍රතිලාභ ලබා දෙමින් තිබෙනවා.
එයට අමතරව, වාර්ෂික භෝග විශාල ප්‍රමාණයක් ප්‍රදේශයේ ජනතාවගේ පෝෂණ අවශ්‍යතාවයන් සපුරමින්, ආර්ථීකයට ද ශක්තියක් ලබා දෙමින් තිඛෙනවා. එළවළු සහ පලතුරු වගාවන් ඒ අතර විශේෂයි.
රාජාංගන ව්‍යාපාරය යටතේ ‘උස්සාන’ ගොවි ව්‍යාපාරයත්, ‘ගුරුත්ත’ ගොවි ව්‍යාපාරයත් යනුවෙන් ව්‍යාපාර දෙකක් දකින්නට ලැබෙනවා. ඒ යටතේ සංවිධාන 63ක ගොවි ජනතාව සංවිධානාත්මකව කෘෂිකර්මාන්තයෙහි යෙදෙනවා.
ඉහතින් සඳහන් කළ ආකාරයෙන්ම රාජාංගනය ප්‍රදේශයේ ජනතාවගේ ජීවනාළිය වනුයේ, කිලෝ මීටර් 60කට ආසන්න දුරක් ජලය ගෙන යන ප්‍රධාන ඇළ මාර්ග දෙක සහ අතුරු ඇළ මාර්ග කිලෝ මීටර් 900ක් පුරා ජලය ගෙන යාමට දායක වන රාජාංගනය ජලාශය කියලා කියන්න පුළුවන්. අවම වශයෙන් දින දහයකට වරක් මෙම ඇළ මාර්ග හරහා ජලය මුදාහැරීම සිදු වෙනවා.
රාජාංගන ව්‍යාපාරය යනු අප රට තුළ කිසිදු අවහිරයකින් තොරව මෙයට වසර දෙක තුනකට පෙර කාලසීමාව දක්වා යල, මහ දෙකන්නය නොකඩවා වගා කළ සාර්ථක ව්‍යාපාරයක් ලෙස හඳුන්වන්න පුළුවන්.
නමුත්, දැන් එම තත්ත්වය අතීතයට එක් වෙමින් තිබෙන මතක සටහනක් බවට පත් වෙමින් තිබෙනවා ද යන සැකය මෙවර අප එම ප්‍රදේශයේ කළ සංචාරයක දී සිතට නැගුණු සිතුවිල්ලක් වශයෙන් මෙහි සටහන් තබන්නට පුළුවන්. ඒ මෙයට වසර තුනක් පමණ කාලයකට පෙර සිට රට පුරාම ජලාශ යටතේ ගොවිතැන් කරන ගොවීන්ට වාගේම රාජාංගනය ගොවීන්ට ද තම කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් නිසි පරිදි ජලය නොලැබීම කියන හේතුව නිසා.
බලධාරීන් විසින් ගොවීනට පවසනුයේ, ජලාශයෙහි ජල මට්ටම පහළ ගොස් ඇති බැවින්, සියයට සියයක් කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් විශේෂයෙන් වී ගොවිතැන වෙනුවෙන් ජලය මුදාහැරීමේ හැකියාවක් නොමැති බවය. වර්තමානය වන විට රාජාංගන ජලාශයෙහි ධාරිතාවය අක්කර අඩි 86,000ක් පමණ වන බවට ගණන් බලා තිබේ. ‘විකිපීඩියා’ වෙබ් අඩවියට අනුව රාජාංගන ජලාශයෙහි ගබඩා කළ හැකි ජල ධාරිතාවය ඝන මීටර් මිලියන 100.37ක් ලෙස සඳහන්ය. එසේ වුවද, එදාට සාපේක්ෂව අද වන විට ජලාශයේ ධාරිතාව පහළ බැස ඇත්තේ කෙසේ ද යන්න ද විමසා බැලිය යුතුය. මේ සඳහා දිගින් දිගටම ජලාශයෙහි පෝෂක ප්‍රදේශයන් තුළ සිදු කරනු ලබන වගා කටයුතු හේතුවෙන් මහ කන්නයේ දී ඇදහැලෙන දැවැන්ත වර්ෂාවත් සමඟ සෝදාපාළුවට ලක් වන භූමිය රාජාංගනය ජලාශය ගොඩ කිරීම වෙනුවෙන් ඉමහත් දායකත්වයක් සපයා ඇති බව ප්‍රදේශවාසීන් විසින් හෙළිදරවු කරනු ලබන කරුණු අනුව පැහැදිලි වෙයි. එමෙන්ම දීර්ඝ කාලයක් පුරා කලා ඔය මගින් ගෙන එන අවාසාදිත තැන්පත් වීම ද රාජාංගනය ජලාශයේ ධාරිතාවය පහත දැමීමට දායක වී ඇතුවාට සැක නැත. එම තත්ත්වය යටතේ වුවද, ආසන්න කාලසීමාව දක්වා මෙම ජලාශය ප්‍රදේශවාසී ගොවීනට දෙකන්නය වැඩ කිරීම සඳහා ජලය මුදාහැර තිබේ.
මේ වන විට ප්‍රධාන වශයෙන් වී වගාව සඳහා ජලය ලබා නොදීමට පාලකයන් විසින් කටයුතු කරනු ලැබුවද, චීන සමාගමක් යටතේ ඉදි කරනු ලබන පානීය ජල ව්‍යාපෘතියකට රාජාගංනය ජලාශයෙහි ජලය ලබා ගැනීමට කටයුතු සකස් වෙමින් තිබේ. මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ප්‍රදේශයේ ගොවි ජනතාවගේ විරෝධය පසුගිය 28 වැනිදා තඹුත්තේගමදී පුපුරා ගියේය.
කෙසේ වුවද, මෙම පානීය ජල ව්‍යාපෘතිය සඳහා පිඹුරු පත් සැකසෙනුයේ, 2008 වර්ෂයේ දී පමණ වන අතර, 2011 වර්ෂයේ දී මේ සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බවට ප්‍රදේශවාසීහු ප්‍රකාශ කර සිටිති. ප්‍රදේශයේ ගොවි සංවිධාන 64ක සාමාජිකයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ගොවි සංවිධානයේ විරෝධතාවය ද නොතකා සිදු කරනු ලබන මෙම ව්‍යාපෘතිය හේතුවෙන් තමන්ගේ ජීවනෝපාය මාර්ගයන් තර්ජනයට ලක් වීම වළක්වා ගැනීම මෙම විරෝධතාවයෙහි අරමුණ වී තිබේ.
ගොවි සංවිධාන නියෝජිතයන්ගේ අදහස්වලට අනුව මෙම ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත්තේ, මොරගහකන්ද ජලාශයෙන් මුදාහරින ජලය කලා වැව හරහා රාජාංගනය ජලාශයට එක් වන අයුරින් සිදු කරනු ලබන ව්‍යාපෘතියකට පසුව වුවද, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකර පානීය ජලයට මූලිකත්වය දෙමින් කටයුතු කිරීම මෙරට කෘෂිකර්මාන්තයට පාලකයන් විසින් දක්වනු ලබන සැලකිල්ල පැහැදිලි කරනු ලබන කරුණක් බව ප්‍රදේශවාසී ගොවි ජනතාවගේ අදහස වී තිබේ.
රාජාංගන ජලාශය නිහඩව නිසොල්මනේ සියල්ල දෙස බලා සිටිනවා වැනි හැඟීමක් වැව් බැම්ම මතින් සැන්දෑ අඳුරේ ආපසු එමින් සිටින විට සිතට නැගුණා. ඒ එක්කම වැව් ජලය සිප එන සුළෙඟහි සිසිලසක් වාගේම උණුසුමකුත් රැඳිලා තිබෙන බව ඒ අතරේම මට දැනුණා. මෝටර් සයිකලයේ ප්‍රධාන විදුලි පහන විහිද වූ ආලෝකය ඉදිරි මඟ එළි කරමින් තිබුණා.

පාලකයන් ජනතාවට කන් දිය යුතුයි
එච්. එම්. පුංචිබණ්ඩා (යාය 17 ගොවි සංවිධානය, දකුණු ඉවුර)

‘අපි මේ සම්බන්ධව කෘෂිකර්ම ඇමතිතුමා හමු වෙලා කතා කළා. ඒ වෙලාවේ එතුමා කිව්වේ, මෙවැනි ව්‍යාපෘතියක් පිළිබඳව දන්නේ නැහැ කියලා. නමුත්, එවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ සූදානමක් තිබෙන බව අපි දන්නවා. අපි මේ සඳහා යෝජනා කරන්නේ රාජාංගනය ජලාශයේ වාන් වතුර සහ වෙල්පහු වතුර ගලා යන කලා ඔයෙන් නීලබැම්ම ව්‍යාපාරයෙන් පසුව අවශ්‍ය ප්‍රමාණයේ වේල්ලක් ඉදි කරලා එතනින් මෙම ජල ව්‍යාපෘතියට අවශ්‍ය වතුර ගන්න කියලා. නමුත්, පාලකයන් අපට ඇහුම්කන් දෙන්නේ නැහැ. නමුත්, ගොවි ජනතාවට පාලකයන් ඇහුම්කන් දෙන්න ඕනෑ කියන එක තමයි, අපි විශ්වාස කරන්නේ.’

දේශපාලකයන් වාගේම නිලධාරීනුත් වගකියන්න ඕනෑ
හැරිසන් හෙට්ටිආරච්චි (‘ජයමග’ ගොවි සංවිධානායේ සභාපති සහ ඒකාබද්ධ ගොවි සංවිධානයේ සම සභාපති)

‘මේ ව්‍යාපෘතිය හොඳයි. නමුත්, ගොවිතැනටත් වතුර මඳි වෙලා තියෙද්දී රාජාංගනය ජලාශයෙන් වතුර ගන්න එකට අපි විරුද්ධයි. නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉතාමත් දුෂ්කර ගම්මාන තියෙනවා. ඒ අයට වතුර දෙන්න ඕනෑ. නමුත්, ඒ සඳහා විකල්ප තියෙන නිසා එම විකල්ප මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් භාවිත කළාට අපට ප්‍රශ්නයක් නැහැ. ‘බලධාරීන් කියන විදියට ඒක වියදම් අධික වෙන්න පුළුවන්. නමුත්. දීර්ඝකාලීන ව්‍යාපෘතියක් නිසා වියදම නොසලකා කටයුතු කරන්න වගබලා ගන්න ඕනෑ. මේකට රාජ්‍ය නිලධාරීනුත් සම්බන්ධයි. මාස් කන්නයේදීත් කුඹුරුවලට වතුර දෙන්නේ නැත්තේ ජලාශයේ වතුර නැති නිසා කියන නිලධාරීන් මෙවැනි ව්‍යාපෘතියකට අනුමැතිය දෙන්නේ කොහොම ද කියන ප්‍රශ්නය අපට තියෙනවා.’

කවුරුවත් කන් දුන්නේ නැහැ
නිමල් විෙජ්සිංහ (ට්‍රැක් 14 ගොවි සංවිධානය)

‘අපි මේ ව්‍යාපෘතිය පිළිබඳව ජනාධිපතිතුමා, කෘෂිකර්ම ඇමතිතුමාට, වාරිමාර්ග ඇමතිතුමාට වාගේම දිස්ත්‍රික්ක තුනේම ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහ දැනුම් දිය යුතු සෑම කෙනෙකුටම දැනුම් දීලා තියෙනවා.
‘ඒ කිසිවකට සාධාරණව ඇහුම්කන් දීපු බවක් දකින්න නොතිබුණු නිසා තමයි. උද්ඝෝෂණය කරන්න තීරණය කළේ. ගැටුමක් ඇති කර ගැනීමේ වුවමනාවක් කාටවත් තිබුණේ නැහැ. නමුත්, මේක සිදු වුණේ කොහොමද කියන්න මටත් පැහැදිලි අවබෝධයක් නැහැ. පිරිස අතරේම සිටිය කවුරුන් හෝ එම විරෝධතාවය අවුල් කරන්න කටයුතු කළා ද කියන්න බැහැ. දැනට තාවකාලිකව මෙම ව්‍යාපෘතිය අත්හිටවුවත්, ආණ්ඩුව මෙය ක්‍රියාත්මක කිරීමේ උත්සාහය අත්හරින එකක් නැහැ කියලා විශ්වාසය අපට තියෙනවා.’

හුදෙකලා සටන් අත් කර දෙන්නේ පරාජය විතරයි
උපාලි ජයවීර (සමස්ත ලංකා ගොවිජන සම්මේලනය)

‘ආණ්ඩුව මේ ක්‍රියාත්මක කරන්න යෝජිත ව්‍යාපෘතිය අපේ ප්‍රදේශයේ ජනතාවට ඇති කරනු ලබන බලපෑම විනාශකාරී බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මේ ව්‍යාපෘතිය අදියර කීපයකින් ක්‍රියාත්මක වෙන්න නියමිතයි. මෙම ව්‍යාපෘතිය සඳහා දිනකට තඹුත්තේගම, රාජාගංනය, නොච්චියාගම, ගිරිබාව හා එප්පාවල ප්‍රදේශයන්ට ජලය ලබා දීම වෙනුවෙන් දිනකට ජලය ඝන මීටර් 69,300ක් ගන්නට නියමිත බව ආරංචියි. සත්‍යය අසත්‍යය කුමක් වුවත්, මෙම ව්‍යාපෘතිය මගින් ප්‍රදේශයේ කෘෂිකර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වීම වළක්වන්න බැහැ. මොකද? මෙම ඉවත් කළ ජලාශයට ලබා දීමේ ක්‍රමවේදයක් ඇති කිරීමට පාලකයන් මේ වන තෙක් කටයුතු කර නැති නිසා. මේ ගැටලුවේ දී සමස්ත ලංකා ගොවිජන සම්මේලනය විදියට ගොවීන් වෙනුවෙන් ඉදිරිපත් වෙලා කටයුතු කරනවා.’


සටහන
කිත්සිරි කොඩිතුවක්කු