විශ්වාස භංගයෙන් රනිල් දිනුම්!

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට එරෙහිව එක්සත් ජාතික පක්ෂය තුළින් වඩාත් ප්‍රබල විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට ක්‍රියාකරමින් සිටිය දී ඊට මැදිහත් වූ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පිරිස එය ගෙන ඒමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අතට ගෙන මේ වන විට මුළුමනින්ම අත්හැර දමා ඇති බව අනාවරණය වේ.
මේ පිළිබඳව මහින්ද රාජපක්ෂ පිලේ බරපතළ ප්‍රතිවිරෝධයක් ඇති වී තිබෙන බව ද, කෙසේ වෙතත්, අගමැති ධුරය ස්ථාවර වී ආරක්ෂා වී අවසන් බවද අනාවරණය වේ. පසුගිය 07 වෙනිදා මහින්ද පිලෙන් විශ්වාස භංග යෝජනාව භාර දීමට නියමිත බව ප්‍රචාරය කර තිබිණි. නමුත්, පසුව විවිධ අවස්ථාවල ප්‍රකාශ කර තිබුණේ එය ජයග්‍රහණය කිරීමට අවශ්‍ය මන්ත්‍රීවරුන් 113ක් වූ බහුතරයේම අත්සන් සහිතව පමණක් විශ්වාස භංග යෝජනාව කථානායකවරයාට භාර දෙන බවයි.
මේ පිළිබඳව අදහස් දක්වන මහින්ද පිලේ ඇතැම් අය කියා තිබුණේ අගමැතිවරයාට විරුද්ධව විශ්වාස භංග යෝජනාව එම පක්ෂය තුළින්ම ගෙනැවිත් පරාජය වුව ද, තමන්ගේ දේශපාලනයට හානියක් නොවන බවය. එහෙත්, විශ්වාස භංගයක් ගෙන එන බවට ප්‍රකාශ කර අත්හැර දැමීමෙන් සිදු වන දේශපාලන පරාජය වඩාත් බරපතළ බව කියැවේ. රනිල් වික්‍රමසිංහ ආරක්ෂා කිරීමේ උපක්‍රමයක් මහින්ද රාජපක්ෂ පිලෙන් දියත් කළ බවට එල්ල වී තිබෙන චෝදනාවලින් කිසිසේත්ම තම පිලට ගැලවී යා නොහැකි බව ද මේ පිරිසේ අදහස වී තිබේ.


ගයාන් රූපසිංහ