සමහර වෛද්‍යවරුන් පවා අන්ධ භාවයේ ගිලී ඉන්නේ… (විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ)

1_IvrdzSIa8nGN1DPRBxcSfQ
මනුෂ්‍යත්වය හඳුනන මිනිසුන් වෙත….
March 12, 2018
සිහින ලොවක තිත්ත රසය
March 12, 2018
Show all

සමහර වෛද්‍යවරුන් පවා අන්ධ භාවයේ ගිලී ඉන්නේ… (විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ)

9020_1183607722369_5118525_n

විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ වසර තිහ හතළිහක සිට මේ රටේ විද්‍යාත්මක චින්තනය තහවුරු කිරීමට සුවිසල් මෙහෙයක් කළ  විද්වතෙකි. එම කටයුත්ත තමාගෙන් සමාජය නොපිරිහෙළා ඉටු කළ යුතු පරම යුතුකමක් සේ සලකා ඔහු ක්‍රියා කරමින් සිටී. මේ මොහොතේද එය නිහඩව ඉටු කරමින් සිටී. රෝගී තත්ත්වයේ සිටින අතර, ‘ලංකා’ වෙත හඩ අවදි කළේ තීරණාත්මක මොහොතකදී මෙරට සියලුම ජනතාව වෙනුවෙන් කිව යුතු දේ කීමටය.

ලාංකික සමාජයේ ආර්ථීක, දේශපාලනික ගැටලු ගැන බොහෝ දුරට සාකච්ඡා කරනවා. නමුත්, සෞඛ්‍යය සම්බන්ධයෙන් ඒ තරම් සංවාදයක් නෑ නේද?

ඔය ප්‍රශ්නයට උත්තර දෙන්න මට තියෙන සුදුසුකම් ගැන පැහැදිලි කළොත් හොඳයි කියලා හිතනවා. මම විශේෂඥ වෛද්‍යවරයෙක්. විශේෂඥතාවය තියෙන්නේ ප්‍රජා වෛද්‍ය විද්‍යාව ගැන. එහෙම නම්, ප්‍රජා වෛද්‍ය විද්‍යාව කියන්නේ මොකක්ද? යම් කිසි සමාජයක් සෞඛ්‍යසම්පන්න කරන්න සැලසුම් සහ ක්‍රියාමාර්ග ගැනීමයි. සමාජයක් සෞඛ්‍යසම්පන්න කරන්න ගන්න ක්‍රියාමාර්ගවලදී ඉතාමත් වැදගත් වෙන්නේ රටක ජනතාවගේ සමාජ, ආර්ථීක, සංස්කෘතික සහ අධ්‍යාපන තත්ත්වය කියන සාධක. මේ අතුරින් විශේෂයෙන්ම අධ්‍යාපනය සහ දැනුම මූලික වෙනවා. අද දැනුම නොයෙකුත් මතවාදයන් නිසා අන්ධ වෙලයි තියෙන්නේ. ඉතාම කනගාටුවෙන් වුණත් පැහැදිලිවම කියන්න ඕනෑ. ප්‍රජා වෛද්‍යවරයෙක් හැටියට අපි දන්න දෙයක් තමයි, ජනගහනය සෞඛ්‍යසම්පන්නව ඉන්න නම්, මාතෘ සෞඛ්‍යය කියන දේ ඉතාම වැදගත්.

මාතෘ මූලික සමාජයක් කියන දේද?

පටලවා ගන්න එපා. මේ කියන්නේ ජීව විද්‍යාත්මක පදනම මත ඉඳන්. සියලුම මිනිසුන්ට සමබල ආහාර වේලක් ලැඛෙන්න ඕනෑ. නමුත්, මවගේ ආහාර වේල මූලිකම වෙනවා. මව සෞඛ්‍යසම්පන්න වුණොත් තමයි, දරුවාගේ සෞඛ්‍යසම්පන්නකමේ පදනම වැටෙන්නේ. මව් කිරි නිසියාකාරව දීමේ ඉඳලා බලපාන්නේ ඒ පදනම. පටන් ගන්නේ අම්මාගෙන්. දරුවා ගැහැනු ළමයෙක් නම්, එතකොට ඇයගේ උපතේ ඉඳලාම බලපානවා. ‘මාතෘ හා ළමා සෞඛ්‍යය’ කියලා විශේෂයෙන් හඳුනා ගන්නේ මේ තත්ත්වය. මෙයට අත්‍යවශ්‍යයෙන්ම කියන්න ඕනෑ දෙයක් තමයි, දරුවන් අතර පරතරය. මාතෘ සෞඛ්‍යය වාගේම දරුවන්ගේ සෞඛ්‍යය සම්බන්ධයෙන් මේ පරතරය හරිම වැදගත්. අම්මාගේ සෞඛ්‍යසම්පන්න බව වාගේම දරුවාගේ සෞඛ්‍යසම්පන්න බව කියන දෙපැත්තට බලපාන මූලික පදනම දරුවන් අතර පරතරය හා වයසට නියමිත පෝෂණීය ආහාර ලබා දීම. මම අර ගැහැනු දරුවෙක් උපන් දවසේ ඉඳලාම සෞඛ්‍යසම්පන්න වෙන්න ඕනෑ කීවේ, එතකොට තමයි, ඒ දරුවා වැඩිහිටි කාන්තාවක් වෙලා බිහි කරන දරුවන් සෞඛ්‍යසම්පන්න වෙන්නේ.

දම්වැලක පුරුක් වගේ යන මේ අඛණ්ඩතාවය සම්බන්ධයෙන් රජයකට තියෙන වගකීම මොන වගේද?

මාතෘ සායන, ළමා සායන සහ මේ දෙපිරිසම මූලික කර ගත් ප්‍රතිශක්තිකරණ සායන, පවුල් සෞඛ්‍ය කාර්යාංශය, මහජන සෞඛ්‍ය නිලධාරීන් පත් කිරීම වාගේ කටයුතු කරගෙන යාම රජයක මූලික වගකීමක්. කොටින්ම ‘ප්‍රාථමික සෞඛ්‍ය සුරක්ෂිතතාව’ කියන්නේ මේකට.

ලෝකයේ ඉහළම මට්ටමක සාක්ෂරතාවය තියෙන රටක් අපේ රට. සෞඛ්‍ය ආරක්ෂාවේදී මෙය ඉවහල් වෙලා තියෙනවාද?

සාක්ෂරතාව ඉහළයි කියලා අපි උදම් ඇනුවාට අඩුම තරමෙන් පාරේ යන කොට පදිකයන්ගෙන් වාගේම රියදුරන්ගෙනුත් ඒ බවක් දකින්න බෑ නේ. අන්ධ භාවයේ වෙළී විවිධ අදහස් උදහස්වලින් සම්පූර්ණයෙන් වැහිලා ගිහිල්ලා ඉන්නේ. ඉතාම ආවේගශීලීව, අවිචාරවත්ව හැසිරෙන පිරිසක් ඉන්නේ. සෞඛ්‍ය ආරක්ෂණයේදී විතරක් නොවෙයි වෙන කිසිම දේක දීවත් ඉහළයි කියන සාක්ෂරතාවයේ ප්‍රතිඵල පේන්නේ නෑ. කනගාටුවෙන් වුණත් කියන්න තියෙන්නේ, සමහර වෛද්‍යවරුන් පවා අන්ධ භාවයේ ගිලී ගිය අන්තවාදී අදහස් දරන්නේ. මගේ ‘ෆේස්බුක්’ ගිණුමේ පන්දාහක් විතර ඉන්නවා. ඔවුන් අතුරින් සමහර අය දකින්නේ මම මේ කතා කරන දේවල් සිංහල ජාතියට විරුද්ධ බව. මුස්ලිම් හෝ අනෙක් ජාතියකට පක්ෂයි කියලා. ඔවුන් අතර ඇතැම් වෛද්‍යවරුන් පවා සිටීමෙන් රටේ තිඛෙන අතිශය බරපතළ ප්‍රශ්නය තේරුම් ගන්න පුළුවන්. වෛද්‍යවරුන් කියන්නේ පර්යේෂණවලින්, නිරීක්ෂණවලින් ලබා ගන්නා නිගමන මතම පදනම් වන පිරිසක්. අලුතින් විවිධ පර්යේෂණ කරමින්, තිබෙන නමුත්, ඒ දැනුම ලබා ගන්නත්, ඒ තුළ තිබෙන සත්‍යය පිළිගන්න බොහෝ දෙනෙකු කැමති නෑ. ඇත්ත පැහැදිලි කරන අයට අන්ධානුකරණයෙන් බැණ වදිනවා.

මේ වාගේ වෙන්නේ මනෝ විද්‍යාත්මක හේතු නිසාද? නැත්නම්, වෙනත් හේතු තිබෙනවාද?

එක පැත්තකින් මනෝ විද්‍යාත්මක කාරණයක් තමයි. අද රටක් විදියට බැලුවාම යමක් දිහා යථාර්ථවාදීව බලන්න පෙළඹෙන මිනිසුන් හරිම අඩුයි. උගත්කම් පැත්තකින් තියලා අන්ධානුකරණයට යට වෙනවා. තේරුම් ගන්නත් බැරි තත්ත්වයක් තියෙන්නේ.

හරි. අපට කෙළින්ම පැහැදිලි කර ගන්න දෙයක් මේ අවස්ථාවේ තිබෙනවා. ‘වඳ පෙති’ කියලා දෙයක් තියෙනවාද?

මේක දැන් රට ගිනි තියන ප්‍රශ්නයක් කරගෙන නේ. බටහිර වෛද්‍ය විද්‍යාවේ මෙහෙම පෙත්තක් තවමත් හොයාගෙන නෑ. මම විතරක් නොවෙයි, ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙක්, විශේෂඥ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යවරයෙක් සහ තවත් වෛද්‍යවරයෙක් ඇතුළු පිරිසක් ඉතා පැහැදිලිව ජාතික රූපවාහිනියෙන් ඒ බව කියා තිබුණා. තවමත් ලෝකයේ හොයාගෙනවත් නැති ‘වඳ පෙත්තක්’ ගැනයි මේ කියන්නේ. මිනිස්සු මේ තරම් අන්ධ විශ්වාසවල ගිලෙන්නේ ඇයි කියලා මට නම් හිතා ගන්න බෑ. ඔය කතාව ඔතනින් නතර වෙන්නෙත් නෑ. ‘ගැට අන්නාසි කෑවාම වඳ වෙනවා’ කියලා තව කොටසක් කියනවා. ‘ගැට පැපොල් කෑවාම වඳ වෙනවා’ කියලා තවත් කෙනෙක් කියනවා. ‘මේ ගැන කොහෙද ඔප්පු කරලා තියෙන්නේ ?’ කියලා ඇහුවොත්, ‘ඇයි ඒක දන්නේ නැද්ද? හැමෝම ඔය කියන්නේ’, ‘අපේ වැඩිහිටි පරම්පරාවල අයත් මේක කියනවා නේ.’ වගේ උත්තර තමයි තියෙන්නේ. ‘ඇත්තක් නැත්නම්, පරම්පරාවෙන් පරම්පරාවට මේ වගේ දේවල් එන්නේ නෑ’ කියලත් කියනවා. ඔය මිථ්‍යා මතවලට විරුද්ධව ඇත්ත පැහැදිලි කළාම ‘ඔය ආරියසේන යූ. ගමගේ කියන මිනිහා මොනවාද මේ කියන්නේ’ කියලා අහනවා. සාමාන්‍ය මිනිසුන් නොවෙයි, එහෙම කතා කරන වෛද්‍යවරුත් ඉන්නවා කීවාම බරපතළකම තේරුම් ගන්නකෝ. මිථ්‍යා මත මේ තරම් අන්ධානුකරණයෙන් පිළිගැනීම හරිම ගැටලුවක්. මට නම් පේන්නේ තව ඉස්සරහටත් මෙහෙම ගියොත්, ගොඩ ගන්න බැරි තරම් රට අගාධයට වැටීමක් වෙන්නේ.

එතකොට ඔය සිංහල මිනිසුන් වඳ කරනවා කියන කතාව ගැන කොහොමද දකින්නේ ?

මම මෙහෙම පැත්තක් කියන්නම්. කවුද වැඩිපුරම මැදපෙරදිග රැකියාවලට යන්නේ? සිංහල කාන්තාවන් නේ. ඔවුන් විදේශ රටවලට යවන්න ආර්ථීක පසුබිම හැදුවේ කවුද? මේ රට පාලනය කළ අය නේ. අපේ කාන්තාවන් විවාහ වෙන සාමාන්‍ය වයසේ දී විදේශ රැකියා කරන්න ගියාම දරුවන් හදන්න පුළුවන්ද? මේ පවතින ආර්ථීක ක්‍රමය මේ විදියටම පවත්වාගෙන සිංහල කාන්තාවන් විදේශ රැකියාවලට යැව්වොත් නම්, වඳ වෙන එක කෙසේ වෙතත්, අඩු වෙන්න බලපානවා. එතකොට වැරදිකාරයෝ අපිද? ඒ මිනිස්සුද? හැබැයි, ඔය කතා පතුරුවන කිසි කෙනෙක් මැදපෙරදිග රැකියාවලට යවන එකට විරුද්ධව කිසි දෙයක් කියන්නේ නෑ. ‘ආ… ඒකට නම් කමක් නෑ. ගෙයක්, දොරක් හදා ගන්න කීයක් හරි හොයා ගන්න. ඒකට කමක් නෑ’ කියලයි කියන්නේ. සල්ලි ගේන්න මැදපෙරදිග ගිහිල්ලා ළමයි හදන එක පරක්කු වුණාට කමක් නෑ. කියන එකයි මතය. කිසිම පදනමක් නැති විනාශකාරී කතා ගොතනවා. අනික ඊළඟ පරපුර බිහි කිරීමට කාන්තාවන්ට අවුරුදු විස්සක් ඇති. ඒ කාලයේදී අඩුම ගාණේ දරුවන් දෙතුන් දෙනෙක් බිහි කරන්න පුළුවන්. මම මේ කියන්නේ ජීව විද්‍යාත්මකව. ඉතින්, වඳ වෙන්න නම්, මිනිසුන්ගේ ලිංගික කටයුතු එහෙම පිටින්ම නතර කරන්න ඕනෑ නේ. තව පැත්තකින් මේ තියෙන සමාජ, ආර්ථීක ක්‍රමය ඇතුළේ තරුණියක් විවාහ වෙන්නේම අවුරුදු කීයේදීද? ඉගෙනගෙන, රස්සාවක් කරලා, දෑවැද්දත් හොයාගෙනයි. එතකොට අවුරුදු තිහක් විතර වෙනවා. ඉතින්, වැරැද්ද කාගේද? අඩුම ගාණේ දරු සැප විඳින්න කාලයක්වත් ඉතිරි වෙලා නෑ. ප්‍රශ්නය තියෙන්නේ එතන.

මුස්ලිම් අය ආර්ථීක බලය පතුරුවන බවට තියෙන මතය ගැන දකින්නේ කොහොමද?

ආර්ථීක බලය පැතිර වීම නම් මම දන්නේ නෑ. කළමනාකරණය නම්, පදනමක් සහිත දෙයක්. රාමසාන් කාලයේ උපවාසයේ යෙදී ඉඳලා සියයට දෙකහමාරක් පල්ලියට පරිත්‍යාග කරන්න ඕනෑ. එකතු වෙන ඒ සල්ලිවලින් ආර්ථීක ප්‍රශ්න තියෙන අයට ණයක් දෙනවා. ඔවුන්ගේ සංස්කෘතිය ගොඩනැගිලා තියෙන්නේම මූලික වශයෙන් වෙළෙදාම මත. අර ණය යොදාගෙන විවිධ ව්‍යාපාරවල යොදවලා ණය ආපසු ගෙවන්න ඕනෑ. මේ නිසා ආර්ථීක සංවිධානයක් තියෙනවා. හැබැයි, රටේ ඉහළම කෝටිපතියන් දහ දොළොස් දෙනා අතර මුස්ලිම් අය නෑ. එහෙම තියෙද්දී ඔවුන් අන්තිම දුප්පත් මනුස්සයාත් අරගෙනමයි ඉස්සරහට යන්නේ. හරි නම්, අපේ රාජ්‍ය පාලකයොත් ආදර්ශයට ගන්න ඕනෑ මේ කළමනාකරණ න්‍යාය. අකුරක් ලියන්නයි, කියවන්නයි පුළුවන් වුණාට අපේ අයියලාට ඕවා තේරුම් ගන්න පුළුවන්ද? අපේ අයියලාට ඕවා තේරුම් ගන්න බෑ. මම ගාල්ල, හිනිදුම ආසනයේ ගඟබඩපත්තුවේ ඉපදිලා රිච්මන්ඩ් එකට ගිහිල්ලා, ලෝකය දැකලා සිහිබුද්ධියෙන් විමසා බලලා කටයුතු කරන්නේ. මාවනැල්ලේ ඉන්න හින්දා මට මුස්ලිම් ජනතාව තේරුම් ගන්න පුළුවන් වුණා. වෙනස්ව අධ්‍යයනය කරන්න මට හැකියාවක් ලැබුණා. මුස්ලිම් අන්තවාදයක් ගැන විතරක් නොවෙයි, සිංහල, දෙමළ කොයි සමාජයේත් අන්තවාදීන් ඉන්නවා. අන්තවාදීන් පෝෂණය නොකිරීමයි කළ යුත්තේ. පෝෂණය වීමට හේතු වන කරුණු ඉවත් කළ යුතුයි.

තවදුරටත් මට පැහැදිලි කර ගන්න දෙයක් තියෙනවා. උපත් පාලනය කියන එකට ඖෂධ තියෙනවා නේ. ඒ වාගේම වඳ භාවයටත් නිෂ්පාදනය කළ ඖෂධ රහසේ තියෙන්න බැරිද?

වඳ භාවයට ස්ත්‍රියක් පත් කරනවා නම්, තියෙන්නේ ‘එල්.ආර්.ටී.’ සැත්කම. පුරුෂයෙකුට ‘වාසෙක්තමී’ සැත්කම. ලංකා ආණ්ඩුවෙන් පිළිගත්ත ඒවා. මේ හැර ස්ථීරව දරුවන් ලැබීම නතර කරන්න පෙති වර්ග නෑ. පාලනය කරන්න, ඒ කියන්නේ කල් දා ගන්න පෙති වර්ග විතරයි තියෙන්නේ. අනික රහසේ මොනවා හරි තියාගෙන ඇති වැඩේ මොකක්ද? නිෂ්පාදනය කළා නම්, විකුණන්න එපැයි. විකුණන්න නම් දෙයක් නිෂ්පාදනය කරලා තියෙන්න එපැයි. තවත් විශේෂම දෙයක් කියන්න ඕනෑ. වඳ සැත්කම්වලට ඇදිලා යන්නේ ජාතිවාදී පදනමින් නොවෙයි. උගත් බවින් වැඩි අය. ලංකාවේ වැඩිම සාක්ෂරතාව තියෙන්නේ කතෝලිකයන්ගේ. ලංකාවේ ඔවුන්ගේ ප්‍රතිශතය වේගයෙන් අඩු වෙලා. විවිධ හේතු නිසා ඔවුන් දරුවන් හැදීම විශාල වශයෙන් සීමා කරලා තියෙන්නේ. කතෝලිකයන් එක්ක බලන කොට මුස්ලිම් අය වැඩි වෙලා තියෙන්නේ ඒනිසයි. මෙතන ජාතිවාදී ප්‍රශ්නයක් නොවෙයි ප්‍රධාන හේතුව.

ලංකාවේ ජනගහනයෙන් සැලකිය යුතු පිරිසක් ආතතියෙන් පෙළෙන බව හෙළි වී තිඛෙනවා. අර කියූ අන්ධානුකරණයටත් ආතතිය හේතුවක් වෙලාද?

ආතතියෙන් මිෙඳන්න කියලා රැල්ලක් වගේ භාවනා වැඩසටහන්වලට යනවා නේ. භාවනාවෙන් මිනිසුන්ගේ සියලු ප්‍රශ්න විසඳන්න පුළුවන්ද? බෑ. බෞද්ධයා නාළිකාවේ දරණාගම කුසලධම්ම හාමුදුරුවෝ අවුරුදු 54දී අපවත් වුණා. මට වාගේම පිළිකාව හැදිලා. මට අවුරුදු 66යි. ඒ හාමුදුරුවන්ට වඩා මම අවුරුදු දොළහක් ජීවත් වුණා. භාවනා කරලා, මෛත්‍රී කරලා පිළිකාව නැති කර ගන්න පුළුවන් නම්, වෙන දෙයක් ඕනෑ නෑ නේ. මිනිසුන්ගේ සමබර ජීවිතයක කොටසක් විදියට භාවනාව අවශ්‍යයි. මානසික, කායික, සමාජීය සහ ආධ්‍යාත්මික සමෘද්ධිමත් භාවය තුලනය කරගෙන යන්න පුළුවන් නම්, එච්චරයි. ඒක අපි තේරුම් ගන්න ඕනෑ. අනික ආතතිය පාලනය කර ගන්න පුළුවන් වුණා කියලා අපේ සියලු ප්‍රශ්න විසෙඳන්නේ නෑ. ඇත්තටම ගත්තොත්, බෞද්ධ දර්ශනයේ ජීවන ප්‍රතිපදාව හරියට ක්‍රියාත්මක වෙන්නේ ආර්ථීක ගැටලු විසඳුවොත් විතරයි. ආතතිය දුරු වෙන්නේ මූලික ආර්ථීක ප්‍රශ්න විසඳුණු සමාජවල. ඒ මිනිසුන්ට ලොකු ගැටලු නෑ. නිදහස් අධ්‍යාපනයෙන් මෙතනට ආපු කෙනෙක් විදියට මම මේ දකින ඇත්ත දේ කවුරු මොන අවලාද නැගුවත්, කියන්න ඕනෑ. අපි මේ දේවල් නොකීවොත්, අනාගත පරපුරට කරන වරදක් කියලයි මම කල්පනා කරන්නේ. අපිත් නිහඩ වුණොත්, සමාජය ඇදවැටන්නේ කොතනටද කියලා හිතා ගන්න බෑ. මම කරන්නේ මගේ යුතුකම ඉටු කරන එකයි.


සංවාද සටහන
ප්‍රියදර්ශන දයාරත්න