සිහින ලොවක තිත්ත රසය

9020_1183607722369_5118525_n
සමහර වෛද්‍යවරුන් පවා අන්ධ භාවයේ ගිලී ඉන්නේ… (විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ)
March 12, 2018
001-long-trip-mariusz-warsinski
අනන්තයේ සිට…
March 12, 2018
Show all

සිහින ලොවක තිත්ත රසය

භාවනාව ගැන අද කාලයේ බොහෝ බෞද්ධයන්ගේ අවධානය පවතී. ගිහි ජීවිතයෙන් ඉවත්ව වෙනම ජීවිතයක් ගත කරන භික‍ෂුන් කවර ආගමික ක්‍රියාකාරීත්වයන් හි නිරත වුවද, ඒවායින් සිදු වන ප්‍රතිඵල ගැන විනිශ්චය කර නිගමන ලබා ගැනීම භික්ෂුන්ගේ කාර්යයකි. එහෙත්, සමබර පෞරුෂයකින් යුත් පුරවැසියන් බිහි කිරීමේ අරමුණින් ගිහි සමාජයේ පිහිටුවා ඇති පාසල්වල සිසු සිසුවියන් සඳහා ‘භාවනාව’ විවිධ මාතෘකා ඔස්සේ හඳුන්වාදී එහි නිරත කරවීමට සමහර සංවිධාන ගෙන යන වැඩපිළිවෙළ නිසා විකෘති මනසකින් යුතු පුද්ගලයන් බිහි වීමට ඇති අනතුර ගැන මහජනයා දැනුම්වත් විය යුතු යැයි සිතමි. පාසල් ගණනාවකම ‘සිහිකල්පනාවෙන් යුත් භාවනාව’ (Mindful Meditation) ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත. මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය අනුමැතිය දී ඇත් දැයි නොදනිමු.
විවිධ භාවනා හඳුන්වා දෙන අය ඒවායින් ලැබෙන ගුණ සහ ප්‍රයෝජන ගැන ප්‍රචාරය කරන නමුත්, ඒවායින් සිදු වූ අගුණ ගැන ප්‍රචාරයක් නොකරති. ප්‍රථමයෙන් කිව යුතු කරුණ නම්, මේ භාවනාව ප්‍රචාරය කරන අය ඉන් ඒ අයට ලැබුණු හොඳ ප්‍රතිඵල ප්‍රදර්ශනය නොකරන අතර, ඔවුන්ගේ චර්යාවලින් ද ඒවා පිළිබිඹු නොවන බවයි. මොවුන් විසින් කරන උපායක් නම්, එය ආගමික පිළිවෙතක් නොවන බව දක්වමින්, ක්‍රිස්තියානි, මුස්ලිම් සහ හින්දු දරුවන් ලවා ද ක්‍රියාත්මක කරවීමයි.
භාවනාවල නිරත වූ පුද්ගලයන්ට ඉන් සිදු වූ අනිසි ඵල විපාක ගැන ඇමෙරිකාවේද, බි්‍රතාන්‍යයේද පර්යේෂණ කර ඇත. මේ ගැන අන්තර්ජාලයේ පළ කර ඇත. ආරොන් ඇලෙක්සිස් (Aaron Alexis) නමැති පුද්ගලයෙක් ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර පිහිටි බෞද්ධ විහාරයකට ගොස් භාවනා කිරීම ආරම්භ කර ඇත. තමා බෞද්ධ භික්ෂුවක් වීමට කැමති බව තම මිතුරන්ට ඔහු පවසා ඇත. මිතුරන් ඔහුට අවවාද කර ඇත්තේ, දිගටම අධ්‍යාපන කටයුතු සිදු කරන ලෙසය. ටික කලකට පසු 2013 සැප්තැම්බර් මස 16 වැනි දින වොෂින්ටන් නුවර නාවික කඳවුර තුළට තම මෝටර් රථයෙන් ඇතුළු වීමට පැමිණි විට ඔහු එහි සේවය කරන අයකු වීම නිසා මුර භටයා එයට ඉඩ දී ඇත. විනාඩි කිහිපයකට පසු ඔහු අහඹු ලෙස පුද්ගලයන් දොළොස් දෙනෙකු තම තුවක්කුවෙන් වෙඩි තබා මරා දමා ඇත. ආරක්ෂක කැමරාවල මෙම සිදුවීම සටහන් වීම නිසා කි්‍රයාත්මක වූ ආරක්ෂක භටයෝ ඔහු මරා දැමූහ.
මෙම සිද්ධියෙන් පැය 24කට පමණ පසු පුවත්පත් වාර්තාකරුවකු දැනගෙන ඇති කරුණ නම්, ඔහු බුද්ධාගම වැළඳගෙන සිටි අයකු බවයි. එවිට එම වාර්තාකරු නගා ඇති ප්‍රශ්නය නම්, භාවනාවට සෘණාත්මක පැත්තක් තිබේද යන්නය. මේ ගැන ක්ෂණිකව ප්‍රතිචාර දැක් වූ බටහිර බෞද්ධයන් පවසා ඇත්තේ, 2011 සැප්තැම්බර් 11 වැනිදා මහත් විනාශයක් සිදු කළ ඉස්ලාම් ජාතිකයා ඉස්ලාම් ධර්මය පිළිබිඹු නොකරන ලෙස මොහුද ධර්මයේ ඉගැන්වීම් පිළිබිඹු නොකරන බවය.
යෝග අභ්‍යාස කළ ලුවී නමැති කාන්තාව ඉන් පසු විවිධ මධ්‍යස්ථානවල භාවනාවල යෙදී ඇත. ඉන් ඇගේ පෞරුෂය වෙනස් වන බව ඇයට මුල දී හැඟී ඇති නමුත්, ඇය සිතා ඇත්තේ එය භාවනාවේම හොඳ අවස්ථාවක් ලෙසය. ඇයට සිතෙහි අවුල්සහගත (anxious) තත්ත්වයක් ඇති වූ බව ඇගේ භාවනා උපදේශකට දැන් වූ විට ඔහු පවසා ඇත්තේ, තවදුරටත් භාවනාවේ යෙදෙන ලෙසත්, එවිට එය පහව යනු ඇති බවත්ය. භාවනා පාඨමාලාව අවසන් කර නිවෙසට ගිය ඇයට පසුවදා අැදෙන් නැගිටීමට ද නොහැකි වී ඇත. ඇගේ සැමියා විසින් ඇය වහාම වෛද්‍යවරයකු මගින් මානසික වෛද්‍යවරයකුට පෙන්වා ඇත. එතැන් සිට ප්‍රතිකාර ලබා ගත් ඇය ප්‍රකෘති තත්ත්වයට පත්ව ඇත්තේ අවුරුදු 15කට පසුවය. මෙම කාලය තුළ ඇය විද්‍යුත් චිකිත්සා ප්‍රතිකාර ක්‍රමවලට ද භාජනය වී ඇත.
භාවනා ගැන බ්‍රිතාන්‍ය ජාතික මනෝ වෛද්‍යවරයකු විසින් 2011දී පළ කර ඇති වාර්තාවක සඳහන් සිද්ධියක් මෙසේය: විසිපස් හැවිරිදි කාන්තාවක් භාවනා වැඩසටහන් ගණනාවකට සහභාගී වීමෙන් පසු මානසික රෝගියකු වී ඇත. මුලින්ම ඇය රෝහල්ගත කරන විට ඇයගේ මනස ව්‍යාකූලව තිබී ඇත. ඇය සිතා ඇත්තේ, ඇයට මේ ලෝකයට විශේෂ කාර්යභාරයක් කිරීමට පැවරී ඇති බවත්, එය නම්, සෑම දෙනා වෙතම අමරණීය කොන්දේසි විරහිත මෛත්‍රිය පැතිරවීම බවත්ය. ඇගේ මානසික ආබාධය හඳුනාගෙන ඇත්තේ උන්මාදය (mania) ලෙසය. සති තුනක් පමණ ප්‍රතිකාර කළ පසු ඇයට සුවය ලැබී ඇත. ඉන් පසු අවුරුදු දෙකක් පමණ සතියකට දෙවරක් මනෝ චිකිත්සක ප්‍රතිකාර ගෙන ඇත. සුව වූ පසු ඇය නැවත භාවනා මධ්‍යස්ථානයකට ගිය විට නැවතත් රෝගීව ආරෝග්‍ය ශාලාවකට ඇතුළු කර ඇත.
1992දී ඩේවිඩ් ෂැපිරෝ (David Shapiro) නමැති මහාචාර්යවරයකු විසින් භාවනා මධ්‍යස්ථානවලට ගොස් භාවනාවල යෙදී ඇති පුද්ගලයන් ගැන පර්යේෂණ කර ඇත. භාවනාවල විවිධ මට්ටම්වල අත්දැකීම් ලබා ඇති පුද්ගලයන් 27 දෙනෙකු අතුරෙන් සියයට 63කට සෘණ ප්‍රතිඵල එකක් හෝ ලැබී ඇත. සියයට 27කට ප්‍රබල සෘණ ප්‍රතිඵල ලැබී ඇත. සෘණ ප්‍රතිඵල අතර කාංසාව (anxiety), හදිසි බිය (panic), විෂාදය (depression), වේදනාව (pain), ව්‍යාකූලත්වය (confusion), මංමුළා බව (disorientation) යන මානසික ආබාධ විය. භාවනා ගැන වැඩි පළපුරුද්දක් ඇති අය සහ අඩු පළපුරුද්දක් ඇති අය අතරද මේ මානසික ආබාධ සම ප්‍රමාණයෙන් පැවත ඇත.
අප රටේ ද භාවනා කිරීමට ගොස් විවිධ මානසික ආබාධවලට ගොදුරු වූ අය සිටිතත්, බෞද්ධයන් වන නිසා ඔවුහු ඒ ගැන ප්‍රසිද්ධ නොකරති. බෞද්ධ මානසික වෛද්‍යවරුද මේ ගැන නිහඩව සිටිති.
භාවනා මධ්‍යස්ථානවලට ගොස් දින 10, 20, 30, මාස 3, මාස 6, අවුරුද්ද ආදී කාලවල භාවනාවේ යෙදෙන අය සිටිති. මේ අයට තම බිරිඳ ගැන හෝ දරුවන් ගැන හෝ අවධානයක් නැත. බොහෝ අය ඊළඟ භවයේ ලැබෙන මනඃකල්පිත ලෝකයක් ගැන හෝ නිවන ගැන හෝ සිතමින්, පවුල් අවුල් කරගෙන ඇත. කාන්තාවන් විසින් සැමියන් සමඟ ලිංගික ක්‍රියා නවතා ඇත. සමහරුන් පැවිදි වී ඇත.
වැඩිහිටි අය විචාර බුද්ධියෙන් තොරව කවර ක්‍රියා සිදු කළත්, ඒවායේ විපාක විඳින්නේ ඔවුන්ය. එහෙත්, පාසල් දරුවන් සලකන්නේ පාසලින් කෙරෙන කටයුතු ඔවුන්ගේ අභිවෘද්ධිය සඳහාම සිදු කරන බවයි. එම නිසා භාවනා වැඩසටහන්වලට දරුවන් යොමු කිරීමෙන් සිදු විය හැකි අනිසි විපාක ගැන දෙමව්පියන්ගේ සහ ගුරුවරුන්ගේ අවධානය යොමු කිරීම යුතුකමක් යැයි සිතමි.


ඒ. ඩී. ගුණසේකර
හිටපු අධ්‍යක්ෂ
පශ්චාත් උපාධි ගුරු අධ්‍යාපන
දෙපාර්තමේන්තුව
ජාතික අධ්‍යාපන ආයතනය