අපි උපන් බිමට වැඩක් කරන්න ඕනෑ… (එම්.එස්.එච්. මොහොමඩ් ‘ෆයිට් කැන්සර්’ කණ්ඩායම් නායක)

graduate protests - 15
දහසක් දුක් විඳ ලැබූ උපාධිය අතැතිව මහමග සටන් වදින්නෝ
March 20, 2018
රරරරරරරරරර
නීතියට උඩින් රමිතගෙන් තවත් හයේ පාරක්
March 20, 2018
Show all

අපි උපන් බිමට වැඩක් කරන්න ඕනෑ… (එම්.එස්.එච්. මොහොමඩ් ‘ෆයිට් කැන්සර්’ කණ්ඩායම් නායක)

ජජජජජජජජ

පිළිකා රෝගයක් වැළඳීමෙන් අප අතරින් වෙන්වූ මොහොමඩ් හුමෙයින් නම් සිය පුතුගේ අවසන් ඉල්ලීමක් ඉටුකිරීමක් වශයෙන් මහරගම අපේක්ෂා රෝහලට පෙට්ස්කෑන් යන්ත්‍රයක් ලබා දීම ඔහුගේ පියාණන්වන එම්.එස්.එච්. මොහොමඩ් මහතාගේ මූලිකත්වයෙන් අප්‍රේල් 01 වනදා සිදුකිරීමට නියමිතය. මෙම සංවාද සටහන ඒ වෙනුවෙනි…

ඔබ මුස්ලිම් ජාතිකයෙක්. ඉස්ලාම් භක්තිකයෙක්. නමුත්, චතුරව සිංහල භාෂාව හසුරුවනවා. ඔබ සම්බන්ධව විස්තරයක් කළොත්:

මම ඉගෙන ගත්තේ කළුතර ඥානෝදය විද්‍යාලයේ. ඒක මුළුමනින්ම බෞද්ධ පාසලක්. මුස්ලිම් ළමයි හිටියේ හතර පස් දෙනයි. සිංහලෙන් ඉගෙන ගත්තා. උම්මග්ග ජාතකය, ගුත්තිල කාව්‍යය, සැළලිහිණි සන්දේශය, බුදුගුණඅලංකාරය, සද්ධර්මරතනාවලිය අපේ විෂය මාලාව තුළ තිබුණා. මම ඒවා ඉගෙන ගත්තා. මම මුස්ලිම් කියන එක හෝ ඉස්ලාම් ආගමිකයෙක් කියන එක ඒවා ඉගෙන ගන්න මට බාධාවක් වුණේ නැහැ.
ඒ පාසලේ වෙනත් ආගමක් ඉගෙන ගන්න ඉඩක් තිබුණේ නැහැ. ඉගැන්නුවේ බුද්ධාගම විතරයි. ඒ නිසා මම බුද්ධාගම ඉගෙන ගත්තා. මට බුද්ධාගම විෂයයට විශිෂ්ට සාමාර්ථයක් තියෙනවා. මම මුළු පාසලේම පැසසුමට හා ගෞරවයට ලක් වුණා. මම මුස්ලිම් වීම නිසා හෝ ඉස්ලාම් ආගම අදහන කෙනෙක් නිසා හෝ ඒ ගෞරවයට මට දෙන්න කවුරුවත් මැලි වුණේ නැහැ. අදටත් ඒ අධ්‍යාපනය මගේ ජීවිතයට මග පෙන්වනවා. මට සිංහල අයත් එක්ක කතා කරන්න, ඒ සිතුවිලි හඳුනා ගන්න එදා මම ලබපු ඒ අධ්‍යාපනය අදටත් මට පිටිවහලක් වෙලා තියෙනවා.

ඔබ ‘ෆයිට් කැන්සර් ටීම්’ එකේ කණ්ඩායම් නායක. මෙවැනි කණ්ඩායමක් පිහිටුවා ගන්න හේතු වුණු කාරණාව මොකක්ද?

2014 වර්ෂයේදී මගේ එකම පුතාට ‘ඔස්ටියෝ සාකෝමා’ කියන පිළිකාව වැළඳුණා. මම එයාව ඉන්දියාවට අරගෙන ගියා. කෝටි ගණනක් මුදල් වියදම් කළා. නමුත්, සුවයක් ලැබුණේ නැහැ. ඊට පස්සේ එයාව ලංකාවට ගෙනාවා. ලංකාවේ පෞද්ගලික රෝහලක මාස හයක් පමණ ප්‍රතිකාර කළා. මෙහිදීත් කෝටි ගණනක් වියදම් කළා. ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ. ආර්ථීක, මානසික හා කායික අතින් අපේ මුළු පවුලම කඩාවැටුණා. කරකියා ගන්න නැති තැනට ඇදවැටුණා. පිළිකාවේ දරුණුකම, ඒකෙ කෘෘරත්වය අත්වින්දා.
පිළිකාව හැදුණු අයෙක් ඉන්න ගෙයක් හැමදාම මළගෙයක්. ඒ හැම දෙයක්ම අත්විඳලා ආර්ථීක දුෂ්කරතා නිසාම මහරගම අපේක්ෂා රෝහලට පුතාව එක්කගෙන ගියා. පිළිකාව සඳහා ප්‍රතිකාර කරන ලංකාවේ තියෙන එකම රෝහල ඒක. වෛද්‍යවරු, හෙදියො, සාත්තු සේවිකාවෝ, රෝහල් පරිශ්‍රය සියලු දේ හොඳයි. නමුත්, අවශ්‍ය කරන තාක්ෂණික උපකරණ නැහැ. එම රෝහලේ තත්ත්වය දෑහින් දැක්කාම මට පුදුම හිතුණා. ඒ වාගේම දුක හිතුණා. මම එතනට ගියාම තමයි, මේ තත්ත්වය තේරුම් ගත්තේ. අවුරුදු තුනක් අපේක්ෂා රෝහලෙන් ප්‍රතිකාර කළාට අපට වියදමක් ගියේ නැහැ. අපිට අපේ දේ අගය තේරෙන්න ගත්තා. පිළිකා රෝහලකට ‘පෙට් ස්කෑනර්’ යන්ත්‍රයක් කියන්නේ, ඩිස්පෙන්සරියකට ඉන්ජෙක්ෂන් කටුවක් වගේ අත්‍යවශ්‍ය දෙයක්. නමුත්. මහරගම අපේක්ෂා රෝහලේ පෙට් ස්කෑනර් යන්ත්‍රයක් නැහැ. මම මගේ පුතා වෙනුවෙන් වරකට එක්ලක්ෂ පනස්දාහක් වියදම් කරලා පෞද්ගලික රෝහල්වලින් ඒ කටයුතු කර ගත්තා. නමුත්, නැති බැරි දුප්පත් මිනිස්සු මේ වියදම දරන්නෙ කොහොමද කියන ප්‍රශ්නය මටත් කලින් ඇති වුණේ මගෙ පුතාට.
මගෙ පුතා යෝජනා කළා, මහරගම අපේක්ෂා රෝහලට එම යන්ත්‍රයක් අරන් දෙමු කියලා. අවශ්‍ය අවම මුදල මිලියන දෙසීයක්. අපි ඒ අභියෝගය භාර ගන්න තීරණය කළා. ඒ අනුව 2016 මාර්තු 04 වැනි දින අපි ෆයිට් කැන්සර් ටීම් එක ගොඩනැගුවා.

මේ සඳහා ලැබුණු දායකත්වය මොන වගේද?

මමත් මුලින් මේ දේට පොඩි පැකිලීමක් තිබුණා. නමුත්, මගේ පුතා මට කිව්වා, ‘තාත්තේ, ඔයාට තියෙන සම්බන්ධකම් එක්ක ඔයාට මේ දේ කරන්න පුළුවන්’ කියලා. මුල දී සාමාජිකයන් එකසිය පනස් දෙනෙක් මේ ටීම් එකට සම්බන්ධ වුණා. ඉංජිනේරුවරු, වෛද්‍යවරු, ව්‍යාපාරිකයෝ, මගේ පවුලේ අය ඒ වාගේම රටේ සෑම තරාතිරමකම අය අපේ අරමුදලට දායක වෙලා තිබුණා. රුපියල් පනහේ ඉඳලා ලක්ෂ ගණනක් දක්වා අරමුදලට මිනිස්සු සල්ලි දීලා තිබුණා. මේ එකමුතුවේ බාගෙට බාගයක් ඉන්නේ මුස්ලිම් නොවන අය. අපේ ඉලක්කය වුණේ මාස නවයකින් මිලියන දෙසීයක් එකතු කර ගන්න එක. නමුත්, මාස තුනකින් මිලියන දෙසිය පනස් දෙකක් එකතු කර ගන්න අපට හැකි වුණා.
නමුත්, අපේ රටේ ටෙන්ඩර් පටිපාටියේ තිබෙන දුර්වලකම් නිසා වාගේම සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා මෙම යන්ත්‍රය ගෙන්වන්න සිදු වීම කියන කාරණයත් එක්ක මේ සඳහා දීර්ඝ කාලයක් ගත වුණා.

මේ කාර්යය කරගෙන යාමේ දී ඔබට මොනම ආකාරයකවත් බාධාවක්, අවහිරයක් ඇති වුණේ නැද්ද?

මේ කාර්යය පටන් ගන්න කොට කවුරුවත් මට උදවු කරන එකක් නැහැ. මට මේක කරගෙන යන්න බැරි වෙයි කියලා ගොඩක් අය කිව්වා. ඒකට හේතුව තමයි, මම මුස්ලිම් ජාතිකයෙක් වීම. මම ඉගෙන ගත්තේ බෞද්ධ පාසලක. මම ශ්‍රී ලාංකික බෞද්ධයන්ගේ සිතුවිලි දන්නවා. මම සිංහලෙන් ඉගෙන ගත්ත එක එයාලගේ හදවතට කතා කරන්න පහසුවක් වුණා. මගෙ අරමුණ ජය ගන්න මට හැමෝම උදවු කළා. බලාපොරොත්තු වුණාටත් වැඩියෙන් උදවු කළා. නමුත්, මම දේශපාලකයෙක් වුණා නම්, සමහර විට මේක අසාර්ථක වෙන්න ඉඩ තිබුණා.
මිනිස්සු මම මොහොමඩ් කියන එක බැලුවේ නැහැ. ඔවුන් බැලුවේ මගේ අරමුණ සහ මම කරන්න යන දේ මොකක්ද කියන එක විතරයි. ජාතිකත්වයන් අතර සමගිය, සමාදානය ගොඩනඟන්න මේ වගේ ව්‍යාපෘතීන් කොච්චර දායක වෙනවාද කියන එක මම දැක්කා. මොකද? පොදු කාරණය තමයි, අපි හැමෝම ලෙඩ වෙනවා¦ අපි හැමෝම මිනිස්සු. දැන් අපට උදවු කරන්න තවත් අය ඉදිරිපත් වෙලා ඉන්නවා. පෙට් ස්කෑනරයක් මගින් පෞද්ගලිකව ස්කෑන් කරන්න ලක්ෂ එකහමාරක් යනවා. ස්කෑන් එකට පෙර ලබා දෙන එන්නතට රුපියල් තිස්දාහක් අය කරනවා. අපේක්ෂා රෝහලේ ස්කෑනරය මගින් මාසයකට රෝගීන් සිය දෙනෙකු ස්කෑන් කරන්න පුළුවන්කම තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා, අර මුලින් සඳහන් කළ එන්නතත් රෝගීන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් රෝහලට පරිත්‍යාග කරන්න.
ඒ වාගේම එම රෝහලේ තියෙන ‘සී.ටී. ස්කෑනර්’ අවුරුදු පහළොවකට වඩා පරණයි. ඉදිරියේදී අපි එම යන්ත්‍රයක් රෝහලට පරිත්‍යාග කරනවා. මහරගම අපේක්ෂා රෝහලේ ‘එම්.ආර්.අයි. ස්කෑනර්’ නැහැ. එම පරීක්ෂණය බාහිරෙන් කරන්න රුපියල් හතළිස් දහසක් අය කරනවා. දුප්පත් මිනිසුන්ට මේ වියදම දරන්න පුළුවන්ද? පිළිකා රෝගියෙකුට ප්‍රතිකාර කරන්න අවශ්‍ය පෙට් සහ එම්.ආර්.අයි. කියන ස්කෑනර් යන්ත්‍ර නැති ලෝකයේ එක ම පිළිකා රෝහල මේක වෙන්න ඇති කියලා මට හිතෙනවා.
එම රෝහලට ජාන විද්‍යාගාරයක් නැහැ. ජාන පරීක‍ෂණයක් පිටින් කරන්න රුපියල් අනූදහසක් පමණ යනවා. ‘රේඩියෝ අයඩින්’ කියලා ගැබ් ගෙල පිළිකා හඳුනා ගන්න කරන පරීක්ෂණය කරන්න අවශ්‍ය ප්‍රමාණවත් පහසුකම් මහරගම පිළිකා රෝහලේ නැහැ. ඒක පිටින් කරන්න ලක්ෂයකට අධික මුදලක් යනවා. ඒ නිසාම පොරොත්තු ලේඛනයේ අවුරුද්දක් තරම් කාලයක් බලාගෙන ඉන්න රෝගීන්ට සිද්ධ වෙලා තියෙනවා.
ලංකාවේ ආසන්න වශයෙන් පිළිකා රෝගීන් ලක්ෂයක් පමණ ඉන්නවා. ‘බ්‍රොන්කස් කෝෆ්’ පරීක්ෂණය කරන්න පෞද්ගලිකව රුපියල් පහළොස් දහසක් වියදම් කරන්න ඕනෑ. පහළොස් දාහක් නැතිව අවුරුදු ගණන් රෝගීන් පරීක්ෂණය කර ගන්න පෝලිමේ ඉන්නවා. කොලොනොෆ් කෝප් පරීක්ෂණය පිටින් කරන්න 25,000ක් යනවා. එහෙම අය ඉහතින් සඳහන් කළ වියදම් දරන්නෙ කොහොමද?
රෝහලේ ‘එන්ඩොස් කොපි යුනිට්’ එක ඇල්මැරිලා. ‘අල්ට්‍ර සවුන්ඩ් මැෂින්’ හයක් ඕනෑ මහරගම අපේක්ෂා රෝහලට තියෙන්නේ මැෂින් එකයි. දවසකට රෝගීන් දාහත් එක්දහස් පන්සියයත් අතර රෝගීන් සායනවලට එනවා. රෝහලේ නේවාසික රෝගීනුත් එක්දාස් පන්සීයක් පමණ ඉන්නවා. නමුත්, තියෙන්නේ එන්ඩොස් කොපි මැෂින් එකයි.
මේ අඩුපාඩු සම්පූර්ණ කරන්න අපි ඉදිරියේදී කටයුතු කරනවා. දැනට කරලා තියෙන සමීක්ෂණ අනුව 2025 වෙද්දී අපේ රටේ මිනිස්සු මිය යන ප්‍රධාන රෝගය බවට පිළිකා රෝගය පත් වෙනවා කියලා වාර්තා වෙනවා. ඉදිරි අවුරුදු පහ ඇතුළතදී මහරගම අපේක්ෂා රෝහල දකුණු ආසියාවේ තියෙන හොඳම පිළිකා රෝහල්වලින් එකක් බවට පත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

ඔබේ මෙම කාර්යය ඉටු කර ගන්න හැකි වුණොත්, මුදලට ඉහත සේවාවන් සපයන ආයතනවල ලාභයට ඒක දැඩි විදියට බලපෑම් කරනවා. ඒ අය මේ කාර්යය සාර්ථක කර ගන්න ඉඩ දෙයිද කියන ප්‍රශ්නය මම ඔබෙන් අහනවා.

අපේ කණ්ඩායමේ සියයට අනූවක්ම ඉන්නේ මොනම ආකාරයකින් හරි පිළිකා රෝගයෙන් බැට කාපු අය වගේම ඒ අයගේ පවුල්වල අය. ඕනෑම බාධකයකට මුහුණ දෙන්න පුළුවන් කණ්ඩායමක් විදියට අපි එකතු වෙලා ඉන්නවා. ඔබ කියන විදියේ බලපෑමක් ඇති වුණොත්, ඒ අභියෝගයට මුහුණ දෙන්න අපට ශක්තිය තියෙනවා.

මේ යන්ත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පුහුණු කාර්මිකයන් අපට සිටිනවාද?

අපි මුලින්ම දෙදෙනෙකු පුහුණු කරවීම සඳහා ඇමෙරිකාවට යවනවා. එයින් පසු නව දෙනෙක් පුහුණු කරන්න අදහස් කරනවා. එයින් අනතුරුව මෙම යන්ත්‍රය පිළිබඳව මෙන්ම රෝහලේ අඩුපාඩුකම් සම්බන්ධව නිරන්තරයෙන්ම සොයාබැලීම් කරනවා. අපේ කණ්ඩායමට ජාතිභේදයක් හෝ වෙනත් මොනම ආකාරයක හෝ භේදයක් ඇත්තේ නැහැ. අපි ආණ්ඩු විරෝධීන් නොවෙයි. සිංහල, දෙමළ, මුස්ලිම් අපි හැමෝම මිනිස්සු කියන හැඟීමෙන් කටයුතු කරමින් ඉන්නවා. පෙට් ස්කෑනර් යන්ත්‍රය රෝහලට පරිත්‍යාග කිරීම මගේ පුතාගේ සිහිනයක් වාගේම ඉල්ලීමක් ඉටු කිරීමක් විතරයි. නමුත්, මම එතනින් නතර වෙන්නේ නැහැ. එයාගේ අරමුණෙන් එහාට මම මේ ගමන යනවා.
ඒකේ පළමුවැනි අවස්ථාව එළඹෙන අප්‍රේල් පළමුවැනිදා අපි ආරම්භ කරනවා. එදාට මහරගම රෝහලේ ස්ථාපිත පෙට් ස්කෑනර් යන්ත්‍රයෙන් පළමු රෝගියා පරීක්ෂා කරනවා. ඒ කාර්යයට මුලපිරීම සඳහා අපි වැල්ලවත්ත, සැවෝයි ප්‍රිමියම් සිනමා හල අසල සිට මහරගම අපේක්ෂා රෝහල දක්වා පා ගමනක් සූදානම් කරලා තියෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව මේ කාර්යයට එක් වන්න හැමෝම සූදානමින් ඉන්නවා.
මුල දී යම් යම් අඩුපාඩුකම් ඇති වෙයි. නමුත්, අපි ආරම්භයක් අරගෙන තියෙනවා. මේක රටේ සෑම මිනිසෙකුගේම යහපත වෙනුවෙන් ආරම්භ කරපු කාර්යයක් සහමුලින්ම සද්භාවයෙන් කිසිදු ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තුවෙන් සත හට සෙත පිණිසම ආරම්භ කරපු කාර්යයක් විතරයි.


සංවාද සටහන
කිත්සිරි කොඩිතුවක්කු