ජනාධිපතිතුමෝ අඩු ගාණේ කඩු කොපුවෙන්වත්…

මේ රටේ මහජන ධනය වියදම් කොට පඩිනඩි ගෙවමින්, පවත්වාගෙන ගිය ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව පදනම් කරගෙන ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවල රඟපෑ රැඟුම් මතකය. එම වාර්තා ඉතා ප්‍රශස්ත මට්ටමෙන් නිම කර තිබේ. කොමිෂන් සභාවල සාමාජිකයන් ඔවුන්ගේ කාර්යය උපරිම කැප වීමකින් ඉටු කර තිබෙන බව පැහැදිලි වේ. දැන් රටේ ජනතා ජූරිය ඉදිරියේ කරුණු දැක්වීමට කාලය පැමිණ තිබේ. අම්පාර, දිගන සිද්ධි වැනි අන්තවාදී ක්‍රියා අවුළුවා යට කිරීමට පෙර එම වාර්තා පදනම් කර ගත් සංවාදයක් ඇති කළ යුතුමය.
මහා පරිමාණ වංචා, දූෂණ සිදු කරන ලද රාජ්‍ය ආයතන 34ක් සම්බන්ධ වාර්තාව විශේෂ වැදගත්කමකින් යුක්තය. වංචා, දූෂණ, අල්ලස් ආදිය වැළැක්වීම සඳහා අනුගමනය කළ යුතු නිර්දේශ ද ඉදිරිපත් කර තිබෙන බැවිනි. පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ ස්වාධීන රූපවාහිනී සේවය (අයි.ටී.එන්.) දේශපාලන සූදුව සඳහා යොදාගෙන දැවැන්ත පාඩු සිදු කර තිබේ. ජාතික රූපවාහිනියට රුපියල් මිලියන 368ක් සහ ස්වාධීන රූපවාහිනියට රුපියල් මිලියන 253ක් වශයෙනි. ස්වාධීන රූපවාහිනියට කර තිබෙන පාඩුව පිළිබඳව නොතීසි යැවූ හය දෙනාගෙන් සිව් දෙනෙකු කොමිසම විසින් හඳුනාගෙන තිබේ. හිටපු සභාපති, අනුර සිරිවර්ධන, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, උපාලි රංජිත්, සහකාර අලෙවි කළමනාකරු, දුලිප් ප්‍රියන්ත සහ ජනාධිපතිවරණ අපේක්ෂක පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ යන අය වෙති.
මේ පුද්ලයන්ට විරුද්ධව ‘අපරාධ නඩු’ පැවරීමට කොමිෂන් සභාව නිර්දේශ කර තිබේ. මන්ද, රාජ්‍ය ආයතනයක් වන ස්වාධීන රූපවාහිනියට රුපියල් මිලියන 253ක පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙනි. පාඨකයාට තේරුම් ගැනීම පහසු කරමින්, කොමිසමේ නිර්දේශය උපුටා ගැනීම යෝග්‍ය වේ. ‘මෙම සිද්ධීන් පදනම් කරගෙන පැවැත් වූ පරීක්ෂණයේදී මෙහෙයවන ලද සාක්ෂි සහ හරස් ප්‍රශ්න මඟින් පෙන්වා දී ඇති කරුණුද, දැන්වීම් ලත් පාර්ශ්වයන් (වගඋත්තරකරුවන්) වෙනුවෙන් ඉදිරිපත් කරන ලද ලිඛිත සැල කිරීම් ද යන සියල්ල සලකා බලා එකී සාක්ෂි මෙම කොමිෂන් සභාව විසින් ඉහත විස්තර කරන ලද ආකාරයට විශ්ලේෂණය කිරීමෙන් පසුව පළමුවැනි දැන්වීම්ලත් පාර්ශ්වය වන අනුර සිරිවර්ධනද, තුන්වැනි දැන්වීම්ලත් පාර්ශ්වය වන උපාලි රංජිත් ද, හතරවැනි දැන්වීම්ලත් පාර්ශ්වය වන දුලිප් වික්‍රමසිිංහ ද, හයවැනි දැන්වීම්ලත් පාර්ශ්වය වන මහින්ද රාජපක්ෂ ද අල්ලස් පනතේ 70 වැනි වගන්තියෙහි විස්තර කර ඇති ‘දූෂණය’ නමැති වරද, දූෂණයට කුමන්ත්‍රණය කිරීමේ වරද, දූෂණයට අනුබල දීමේ වරද ආදී වැරදි එකක් හෝ ඊට වඩා වැඩි ගණනක් සිදු කර ඇති බව මෙම කොමිෂන් සභාවේ තීරණයයි.’
කොමිෂන් සභාවේ නිර්දේශය ඉතාම පැහැදිලිය. දැන් ජනාධිපති මෛත්‍රී කළ යුතුව තිබෙන්නේ කාගේ බෙල්ල යයිද යන්න ගැන නොසිතා තමන් විසින්ම පත් කරන ලද කොමිෂන් සභාවේ නිර්දේශය ක්‍රියාත්මක කිරීමය. ‘දූෂණය’ නමැති වරදට නිශ්චිතව වැරදිකරුවන් සිව් දෙනෙකු කොමිසම හඳුනාගෙන සිටී. ඒ අතර පර්සි මහේන්ද්‍ර රාජපක්ෂද වේ. ජනාධිපතිවරයා වේදිකාවේදී කඩුව වනන බව කීවද, මෙතනදී ඔහු කළ යුත්තේ කඩුව වැනීමට ඉතාමත් අඩු දෙයක් බවද පෙන්වා දිය යුතු වේ. එම අඩු දෙය නම්, අල්ලස් පනත යටතේ අපරාධ නඩුවක් අධිකරණය ඉදිරියේ ගොනු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් දීමය. හිටපු ජනාධිපති වශයෙන් පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ අධිකරණය ඉදිරියට ගෙන යා නොහැකි බවට කිසිසේත්ම තර්කයක් නොමැතිය. මන්ද, චූදිතයා වන්නේ ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු වන පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ මිස ජනාධිපති නොවීමය.
දූෂණය නමැති වරදට අල්ලස් පනත යටතේ නඩු පැවරීමට නිර්දේශ කිරීමෙන් නොනැවතී කොමිෂන් සභාව තව දුරටත් වැඩේ ඉතා පහසු කර තිබේ. අල්ලස් පනතේ 70 වැනි වගන්තියෙන් ‘දූෂණය’ යන්නට දී තිබෙන නිර්වචනයද දක්වා ඇත. ‘ආණ්ඩුවට අයුතුසහගත ලෙස හෝ නීති විරෝධී ලෙස හෝ පාඩු සිදු කිරීමේ තමා වෙත හෝ යම් තැනැත්තකු වෙත අයුතුසහගත ලෙස හෝ නීති විරෝධී ලෙස හෝ අර්ථලාභයක්, අනුග්‍රහයක් හෝ වාසියක් සිදු කිරීමේ චේතනාවෙන් හෝ ආණ්ඩුවට හෝ යම් තැනැත්තෙකුට අයුතුසහගත ලෙස හෝ නීති විරෝධී ලෙස හෝ පාඩු සිදු විය හැකි බව නැතහොත්, යම් තැනැත්තෙකුට අයුතුසහගත ලෙස හෝ නීති විරෝධී ලෙස හෝ අර්ථලාභයක්, අනුග්‍රහයක් හෝ වාසියක් හෝ සැලසෙන බව දැන දැනම’ යනුවෙන් දක්වා ඇත. ස්වාධීන රූපවාහිනියේ චූදිතයන් සිදු කරන ලද ක්‍රියාව ඉතා පැහැදිලිය. නීති විරෝධී කටයුත්තක් කර ස්වාධීන රූපවාහිනියට පාඩු සිදු කිරීම එක පැත්තකය. අනෙක් පැත්තෙන් පර්සි මහේන්ද්‍ර රාජපක්ෂට නීති විරෝධී ලෙස ප්‍රචාරක වාසියක් අත් කර දීමය. ‘දූෂණය’ යටතේ අල්ලස් පනතේ 70 වැනි වගන්තියෙන් මේ සියල්ල ආවරණය කෙරී ඇත.
‘දූෂණය’ යන්න නීතියට අනුව විග්‍රහ කළා සේම ‘රජයේ සේවකයා’, ‘කුමන්ත්‍රණය’ ‘අනුබල දීම’ යනාදියට දණ්ඩ නීති සංග්‍රහය අනුව ලබා දී තිබෙන අර්ථ දැක්වීම්ද මෙම වාර්තාවෙන් හෙළි කර තිබේ.
දූෂණය නමැති චෝදනාව යටතේ මහින්ද රාජපක්ෂට නඩු පැවරිය හැකි බව කොමිෂන් සභාව ඉතා පැහැදිලිව පෙන්වාදී, නිර්දේශ පවා ඉදිරිපත් කර තිබීම එක පැත්තකි. මෛත්‍රී – මහින්ද දෙපාර්ශ්වය එක් වී මැයි දිනය එකම වේදිකාවකදී සැමරීමට බාධාකාරී කිසිවක් වර්තමාන ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක නොකිරීම තේරුම් ගත හැකිය. තවත් දුරට කල්පනා කර බලා රාජපක්ෂ පවුලේ අයවලුන් පරීක්ෂණ ආයතනවලට නොගෙනෙන්නටදී තිබෙන උපදේශයද සිහිපත් කිරීම අවශ්‍යය. මහින්දගේ බිරිඳ ශිරන්තිගේ ‘සිරිලිය ගිණුම’ සම්බන්ධයෙන් පරීක්ෂණ නිලධාරීන් හිටපු කතානායකගේ නිල නිවසට යොමු කිරීමද සිහිපත් කිරීම අවශ්‍යය. මේ සියල්ලට අමතරව ජනාධිපති සතු ‘මුක්තිය’ නම් වරය නිසා පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ අධිකරණය හමුවට ඉදිරිපත් නොකිරීමේ තීරණයක්ද ඉතා පහසුවෙන් ගත හැකිය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ළඟ තිබෙන මෙම කොමිෂන් සභා වාර්තා ඉතා පහසුවෙන් කුණු කූඩයට දැමීම අපේක්ෂා කළ යුතු දෙය වේ.
කුණු කූඩයට දැමීමට නියමිත වාර්තාවේ ඉතාම වැදගත් වගන්ති ගණනාවක් ඇතුළත් කර තිබේ. අනාගතයේදී මෙවැනි දූෂණ, මහජන මුදල් කොල්ලයන් වැළැක්වීමේ පූර්ව විධිවිධාන සැලසීම ගැනය. ඒ වෙනුවෙන් කොමිෂන් සභාව ඉදිරිපත් කර තිබෙන නිර්දේශ ඉතාම වැදගත්ය. ‘දූෂණය අද මුළු රටම වෙළා ගත් ව්‍යසනයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. දූෂණයට හෝ වෙනත් අපරාධ නඩුවකට අධිකරණයකදී වරදකරු වී දඩුවම් ලැබූ අයකු මහජන නියෝජිතයකු වශයෙන් තේරී පත් වීමේදී ඇති නුසුදුසුකම පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වැනි ව්‍යවස්ථාවේ සඳහන් වේ’ රටක මූලික නීතිය වශයෙන් සලකන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. අධිකරණයකින් දඩුවම් නියම කළ පුද්ගලයකු මහජන නියෝජිතයකු වශයෙන් තේරි පත් වීමට නුසුදුසු පුද්ගලයකු වන බව එහි සඳහන් වේ. ඉතාම වැදගත් දේ වන්නේ අධිකරණයකදී දඩුවම් නියම වූ පුද්ගලයකු අඩුම තරමෙන් ඡන්දය දීමට හෝ සුදුසු පුද්ගලයකු නොවන බව දන්වා සිටීමය.
අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 (ඇ) ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව සඳහන් කර තිබෙන්නේ දිසා අධිකරණය, ප්‍රාථමික අධිකරණය හෝ ඉන් ඉහළ පවතින කවර හෝ අධිකරණයක් මගින් මාස හයක කාලයකට අච්චු කර බන්ධනාගාරගත කර ඇත්නම්, ඔහු හෝ ඇය ඡන්දය දීමට පවා සුදුසු නොවන බවයි. ඉන් ඉහළට දඩුවම් නියම කරන ලද පුද්ගලයන් ගැන කතා නොකළ යුතු තරම්ය. ජනාධිපතිවරණයකදී, පාර්ලිමේන්තු මහා මැතිවරණයකදී හෝ ජනමත විචාරණයකදී ඡන්දය දීමට සුදුස්සකු නොවේ. අල්ලස් චෝදනා යටතේ වරදකරුවකු වන පුද්ගලයකුටද මෙය එසේම වලංගුය. ඡන්දය දීමේ අයිතිය අහිමි පුද්ගලයකුට ඡන්දය ඉල්ලීමේ අයිතියද ඉබේම අහෝසි වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එයට අදාළ ප්‍රතිපාදන සැලසීම්වලින් නොනැවතී ‘වරදකට වැරදිකරු කිරීමෙන් මහජන නියෝජිතයකු වශයෙන් පත් කිරීමට නුසුදුසු වන ඉහත සීමාවන් සලකා බැලීමේදී පෙනී යන්නේ සිර දඩුවම් විඳි දේශපාලකයකුට වුවද සත් වසරකින් පසුව නැවත මහජන නියෝජිතයකු වශයෙන් තේරී පත් වීමට අවස්ථාව ඇති බවයි. නමුත්, මෙම කොමිෂන් සභාවේ අදහස වන්නේ ‘අපරාධ කි්‍රයාවකට විශේෂයෙන් ‘දූෂණය’ වැනි වරදකට වරදකරු වූ දේශපාලකයකු සත් වසරකින් පසුව වුවද, මහජන නියෝජිතයකු වශයෙන් තේරී පත්වීම නුසුදුසු බවයි.’ යනුවෙන් කොමිසමේ මතය ප්‍රකාශ කර ඇත.
කොමිසම ඇඟිල්ලේ තරමට ඉදිමෙන්නට නොදන්නා පණ්ඩිතකම් වාර්තා කර ඇති බව යම් පිරිසකට පෙනී යා හැකිය. ඔවුන් එවන් පණ්ඩිත වාක්‍ය ලියා නැත. ‘දේශපාලකයකු ව්‍යවස්ථාදායකයේ නියෝජිතයකු වන්නේ රටට සහ ජනතාවට සේවය කිරීම උදෙසාය. රටේ මුල් පුරවැසියා වන ජනාධිපතිවරයා ඊටත් වඩා භාරධූර අන්දමින් වගකිව යුතු මහජන නියෝජිතයෙකි. දූෂණය නමැති වරදට පුද්ගලයකු වරදකරු වන්නේ රජයේ සේවකයෙකු වශයෙන් තමාට පැවරී ඇති බලතල ක්‍රියාත්මක කිරීමේදීය. එසේම දූෂණය නමැති වරද සිදු කිරීමේදී ආණ්ඩුවට අයුතුසහගත ලෙස හෝ නීති විරෝධී ලෙස පාඩු සිදු කිරීමද ඇතුළත් වේ.’
මෙයට යටත්ව පර්සි මහේන්ද්‍ර රාජපක්ෂට කොමිෂන් සභාව කෙළින්ම චෝදනා එල්ල කර ඇත්තේ, ‘දූෂණයට කුමන්ත්‍රණය කිරීමේ වරද සිදු කර ඇත’ යනුවෙනි. පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ ඇතුළු චූදිතයන් සිව් දෙනා ‘දූෂණය’ නමැති වරද සිදු කිරීම, දූෂණයට අනුබල දීම සහ දූෂණයට කුමන්ත්‍රණය කිරීම යන අපරාධ සිදු කර ඇති බව කොමිෂන් සභාව නිර්දේශ කර තිබේ. කොමිෂන් සභාව ඇඟිල්ලේ තරමට එහා ගොස් ඉදිමී තවත් නිර්දේශයක් කර තිබේ. ‘එවැනි වරදවලට වරදකරුවන් වූ දේශපාලනඥයන්ට ව්‍යවස්ථාදායකයේ නියෝජිතයන් වශයෙන් හෝ ව්‍යවස්ථාපිත මණ්ඩලයන්හි නිලධාරීන් වශයෙන් හෝ පත් වීමට අවස්ථාව ලබා දීම නුසුදුසු බව මෙම කොමිෂන් සභාවේ අදහසයි. ඒ අනුව මෙම කොමිෂන් සභාව නිර්දේශ කරනු ලබන්නේ ඉහත ව්‍යවස්ථාවල දක්වා ඇති ලෙසට වැරදිකරුවන් වූ අය එසේ වැරදිකරු කිරීමෙන් පසු කිසිම අවස්ථාවක මහජන නියෝජිතයන් වශයෙන් පත් වීමේ අපේක්ෂකයන් වීමට නොහැකි සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු’ බවට නිර්දේශ කර තිබේ. වැඩිදුරටත් නිර්දේශ කර තිඛෙන්නේ ජනාධිපති වශයෙන් බලයේ සිටින අතර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේදී රාජ්‍ය මාධ්‍ය අයථා ලෙස යොදා ගැනීම වැළැක්වීමටද පියවර ගත යුතු බවය. පර්සි මහේන්ද්‍ර රාජපක්ෂට විරුද්ධව කඩුව වැනීමට යන ලෙස යෝජනා කිරීම මෛත්‍රී අමාරුවේ දැමීමක් සේ සිතන්නේ නම් – ඉදිරි සැලසුම් අවුල් කිරීමට හේතු වන්නේ නම් – එසේ නොකර සිටිය හැකිය. ඒ වෙනුවට කඩු කොපුව වනා කොමිෂන් සභාවේ අතුරු නිර්දේශ නීතිගත කරන ලෙස දන්වා සිටීම යෝග්‍යය. ඉතිරි හරිය මහජන ජූරියටම භාරය.


ඉන්ද්‍රසිරි ජයසුන්දර