ජාතිවාදය – ආගම්වාදය කියන්නෙ බිස්නස් එකක් (ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, බිමල් රත්නායක)

air accident 01
වසර 69ට ගුවන් අනතුරු 70ක්
March 20, 2018
Maithripala-Sirisena - 11
ජනාධිපතිතුමෝ අඩු ගාණේ කඩු කොපුවෙන්වත්…
March 20, 2018
Show all

ජාතිවාදය – ආගම්වාදය කියන්නෙ බිස්නස් එකක් (ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, බිමල් රත්නායක)

bimal

පසුගිය කාලයේ ඇති වුණු ජාතිවාදී ගැටුම් පිටුපස විවිධ නාමකරණයෙන් යුත් සංවිධානවල මැදිහත් වීම් තිබෙනවා නේද?

ඇත්තෙන්ම ජාතිවාදය හරි ආගම්වාදය හරි කියන්නේ ව්‍යාපාරයක්. මුලදී මෙවැනි ආගම්වාදී, ජාතිවාදී සංවිධාන මේ රටේ ගොඩනැගිලා තිබුණේ නැහැ. විශේෂයෙන්ම 2010න් පසුව රාජපක්ෂ කණ්ඩායම විසින් ආරක්ෂක අංශවල අයත් යොදාගෙන සිංහල බෞද්ධ අන්තවාදී සංවිධාන ආණ්ඩුවේම අනුග්‍රහයෙන් නඩත්තු කරන්න කටයුතු කළා. ඒවාට අවශ්‍ය මුදල් වාගේම ආරක්ෂාවත් ලබා දුන්නා. ‘බොදු බල සේනා’ කියන සංවිධානය ඒකෙ ආරම්භය විදියට දකින්න පුළුවන්.

පසුව තවත් එවැනි සංවිධාන ගණනාවක් බිහි වීම පිළිබඳව ඔබේ පැහැදිලි කිරීම මොකක්ද?

බොදු බල සේනා ආරම්භ කරලා ඒක රටේ යම් කණ්ඩායමක් ලෙස තහවුරු වුණාට පස්සේ ඔවුන්ට මුදල් හදල් ලැබෙන මාර්ග විවෘත වුණා. ආණ්ඩුවේ අනුග්‍රහයෙන්ම මුදල් ලැබුණා. එම සංවිධානයේ කාර්යාලය විවෘත කළේ එවකට ආරක්ෂක ලේකම්, ගෝඨාභය රාජපක්ෂ විසින්. ඒක රටම දන්නවා.
2013 විතර වෙන කොට බොදු බල සේනා තනිවම භුක්ති විඳින මේ වරප්‍රසාද තමන්ටත් ලබා ගන්න තවත් එවැනි සංවිධාන බිහි වෙන්න පටන් ගත්තා. ඒ අනුව රාවණාලා, මහසෝනලා එක එක නම්වලින් ජාතිවාදී ආගම්වාදී සංවිධාන වශයෙන් එළියට ආවා. මේවා එකක්වත් පොදු ජනතාව අතරින් බිහිවුණු සංවිධාන නොවෙයි. මේ හැම සංවිධානයක්ම සාමාජිකයන් හතර පස් දෙනෙක්වත් නැති වුණාට තමන්ට වැඩියෙන් මුදල් දෙන කෙනා වෙනුවෙන් ඕනෑම වැඩක් කරන කණ්ඩායම් විතරයි.
විශේෂයෙන්ම 2012 වගේ කාලයක ඉඳලා මේ රටේ සාමාන්‍ය ජනතාව තුළ භීතියක් නිර්මාණය කරලා තියෙනවා. මේක මුලින් ම ඇති කළේ රාජපක්ෂවාදීන් විසින්. මොවුන් මුස්ලිම් ජාතිකයන් සිංහලයන් වඳ කරන්න කටයුතු කරනවා කියන භීතිය සමාජගත කළා. මේ භීතිය රට පුරාම තැන් තැන්වල ගහපු ගිනිමැල වගේ එහෙමත් නැත්නම්, උගුල් වගේ අටවලා තියෙනවා. අවශ්‍ය වෙලාවට දල්වන්න හෝ උගුල ගස්සන්න විතරයි තියෙන්නේ. ලංකාවේ මුස්ලිම් ජාතිවාදයත්, සිංහල ජාතිවාදයත්, දමිළ ජාතිවාදයත් තියෙනවා. කොත්තුවක් ඇතුළේ පිටි ගුලියක් වඳ පෙත්තක් විදියට දකින තරමට අනෙකා පිළිබඳ සැකය මේ ජාතිවාදය විසින් තීව්‍ර කරලා තියෙනවා. ඇත්තටම මේක හිස්ටීරියාවක්¦ මානසික රෝගයක්.

නීතිය නිවැරදිව කි්‍රයාත්මක නොකිරීම මේ තත්ත්වයන් ව්‍යාප්ත වීමට හේතුවක් විදියට ඇතැම් අය ප්‍රකාශ කරනවා. නීතිය ක්‍රියාත්මක නොවීම එකම කාරණය විදියට සලකන්න පුළුවන්ද?

කාලයක් පුරා වපුරමින් තිබෙන මේ ජාතිවාදය කියන හිස්ටීරියාව පිළිබඳ සැබෑව හෙළි කරන්න රටේ උගතුන්, කලාකරුවන් වාගේම ආණ්ඩුව පාර්ශ්වයෙනුත් ප්‍රමාණවත් මැදිහත් වීමක් කරලා නැහැ.
මුස්ලිම් ජනතාව වැඩි වෙලා සිංහලයන් වඳ වෙලා යාවි කියන මතය ගත්තොත්, 1871 ලංකාවේ සිදු කළ පළමුවැනි ජන සංගණනයේදී මේ රටේ මුස්ලිම් ජනතාව ඉඳලා තියෙන්නේ සියයට හතයි දශම දෙකයි. අවුරුදු එකසිය හතළිහකට පස්සේ 2011 සංගණනයේදී මුස්ලිම් ජනගහනය සියයට නවයයි දශම හතයි. 1871 මුස්ලිම් අයට වඩා සිංහල ලක්ෂ පහළොවක් ඉඳලා තියෙනවා. අද වෙන කොට ඒ පරතරය සිංහල අය ලක්ෂ 122ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. මෙවැනි තත්ත්වයන් පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමේ වගකීම රටේ උගතුන්ට, විද්වතුන්ට, කලාකරුවන්ට වාගේම ආණ්ඩුවටත් පැවරෙනවා. නමුත්, මේ වෙනුවෙන් මේ තාක් ප්‍රමාණවත් මැදිහත් වීමක් කරලා නැහැ.
ඒ නිසා නීතිය ක්‍රියාත්මක කිරීම කියන එකට වඩා මුලින්ම කළ යුත්තේ මෙවැනි තත්ත්වයන් වළක්වා ගැනීමේ ක්‍රියාමාර්ගයන් ගැනීමයි.
නීතිය ක්‍රියාත්මක වීම කියන්නේ, ගිනි තිබ්බාට පස්සේ පොලිසිය එන එක නොවෙයි. සමාජ ජාලාවල වාගේම ජාතික නාළිකාවල, පුවත් පත්වල අමු අමුවේ ජාතිවාදය ගෙන යනවා. ඒවාට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෑ. කලබල ඇති වෙලා පල්ලි විසිපහක් කුඩු කළාට පස්සේ තමයි, රටේ ජනාධිපතිවරයා ජාතිය අමතන්නේ. අගමැතිවරයා කට අරින්නේ, ගම්මාන පනහක් විතර ගිනි තිබ්බාට පස්සේ. ඇයි මේ? පසුගිය ඡන්දයේදී මේ දෙන්නට සිංහල ඡන්ද අඩු වෙලා තිබුණා. මේවාට අත දාලා තියෙන ඡන්ද ටිකත් අඩු කර ගන්න වෙයි කියන කාරණාව මේ අයට තියෙන එක ප්‍රශ්නයක්. ඒ නිසා තමයි. පොලිසියට, හමුදාවට කි්‍රයාත්මක වෙන්න අණ දෙන්නේ නැත්තේ.

එක් එක් ජාතිකත්වයන් අතර තිබෙන සංස්කෘතික වෙනස්කම් පවා ජාතිවාදීන් විසින් ගැටුම් ඇති කරන්න භාවිත කරනවා නේද?

ඔව්. සිංහල බෞද්ධයෝ හරක් මස් කන්නේ නෑ කියනවා නේ. නමුත්. සිංහල කතෝලික අය හරක් මස් කනවා. නොකන අයත් ඉන්න පුළුවන්. එහෙම ගත්තාම සිංහල ජනතාව අතරමත් වෙනස්කම් තියෙනවා. ඒ වාගේම
තමයි, මුස්ලිම්, දෙමළ අය අතරත් ඒ ජාතිකත්වයන් තුළත් වෙනස්කම් තියෙනවා.
මේ හැම දෙයක්ම අහම්බෙන් සිද්ධ වුණු දේවල් මිස අපි හිතලා කර ගත්ත දේවල් නොවෙයි. කෙනෙක් සිංහල හෝ දෙමළ වෙන්නේ කලින් ගත්ත තීරණයකට අනුව නෙමෙයි, අහම්බෙන්. මිනිසුන්ගේ තියෙන මේ සංස්කෘතික වෙනස්කම් පක්ෂ බවට පත් කර ගත් ජාතිවාදී, ආගම්වාදී කණ්ඩායම් වාගේම ව්‍යාපාරික ප්‍රජාවත් මේ වෙනස්කම්වලින් ප්‍රයෝජන ගනිමින් ඉන්නවා. පෙබරවාරි, මාර්තු මාස වෙන කොට මුස්ලිම් කඩවලට ඇඳුම් ගන්න යන්න එපා. මුස්ලිම් සිල්ලර කඩවලට බඩු ගන්න යන්න එපා කියලා විවිධ ප්‍රචාරක කටයුතු සිද්ධ වෙන්නේ මොන අරමුණකින්ද කියලා අපි තේරුම් ගන්න ඕනෑ. මේ වෙනස්කම් එකිනෙකා මරා ගන්න යොදා ගන්න පුළුවන් වෙන්නේ ඇයි? අනෙකා පිළිබඳ අවබෝධයක් ලබා දෙන වැඩපිළිවෙළක් අපේ රටේ අධ්‍යාපනය තුළ නැහැ. සිංහල පාසල්වල අනෙක් සංස්කෘතීන් උගන්වන්නේ නැහැ. දමිළ, මුස්ලිම් පාසල්වලත් එහෙමයි.
අපි අපේ වීරයෝ විදියට හික්කඩුවේ සුමංගල හිමි, අනගාරික ධර්මපාල, එස්. මහින්ද හිමි, ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් ගැන ඉගෙන ගත්තා. සිද්දි ලෙබ්බේ, ටී. බී. ජයා කියන අය ගැනත් ඉගෙන ගත්තා. නමුත්, දැන් ටී. බී. ජයා කියන්නේ කවුද කියලා බහුතර දෙනෙක් දන්නේ නැහැ. මේ අය ජාතිකත්ව භේදයකින් තොරව එක රටක් වෙනුවෙන් මොනවාද කරලා තියෙන්නේ කියන එක අපේ පෙළ පොත්වලට එන්න ඕනෑ.
සිංහල දරුවන්ට දෙමළ ඉගෙන ගන්නත්, දෙමළ දරුවන්ට සිංහල ඉගෙන ගන්නත් අද වෙන කොට හැකි වෙලා තියෙනවා වාගේම දරුවන්ට තමන් කැමති වෙනත් ආගමක් පිළිබඳව වෙනත් සංස්කෘතියක් පිළිබඳව හදාරන්නත් ඉඩ හදලා දෙන්න ඕනෑ. අපි අතර තියෙන සංස්කෘතිකමය වෙනස්කම් හඳුනා ගන්න ඉඩ හදලා දෙන්න ඕනෑ.

දේශපාලකයෝ තමන්ගේ අර්බුද වසා ගන්න මෙවැනි තත්ත්වයන් ඇති කරනවා කියලා මතයක් තියෙනවා නේද?

එහෙම තත්ත්වයක් තියෙනවා තමයි, නමුත්, අපි දකින දේ තමයි, මේක රටේ අර්බුදකාරී වෙලාවක ක්‍රිකට් මැච් එකක් පෙන්වනවා වාගේ සරල එකක් නොවෙයි. දැන් මේ ජාතිවාදී ගැටුම තමන්ගේ අර්බුද වහ ගන්න භාවිත කළා වුණත්, තමන්ගේ අර්බුද වහ ගන්න මෛත්‍රීවත්, රනිල්වත් සමත් වෙලා තියෙනවාද? මේ සිද්ධියෙන් වුණේ ඔවුන්ගේ එහෙමත් නැත් නම් ආණ්ඩුවේ නොහැකියාව තව තවත් පෙන්නුම් කිරීම විතරයි.
අපි දකින විදියට නම්, තමන්ගේ අර්බුදය යටපත් කර ගන්න මෙවැනි දෙයක් කළමනාකරණය කර ගන්නවත් ඔවුන් අසමත් වෙලා තියෙනවා. මෙවැනි ජාතිවාදී ගැටුම් ඇති වීම කියන්නෙම ඔවුන්ගේ අරාජික පාලනයේ එක් ප්‍රකාශ වීමක්ම තමයි.

මෙවැනි තත්ත්වයන් වළක්වා ගැනීම පිළිබඳව ජවිපෙ මන්ත්‍රීවරයෙක් විදියට ඔබලාගේ පක්ෂය යෝජනා කරන්නේ මොන වගේ වැඩපිළිවෙළක්ද?

අපට ඡන්ද අහිමි වෙයිද නැද්ද කියන එක නොසලකා සෑම ආකාරයකම ජාතිවාදයට අපි විරුද්ධයි. මේ රට සෑම වැසියකුටම සමානව අයිතියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙත් සඳහන් වෙන්නේ එහෙම. මේක සිංහල බෞද්ධ රටක් කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොතනකවත් සඳහන් වෙන්නේ නැහැ.
මේ රටේ ජනතාව අතර සහජීවනය ගොඩනැගීම වෙනුවෙන් අපට පැවරෙන කාර්යභාරය තව තවත් පුළුල් වෙමින්, විස්තීර්ණ වෙමින් තියෙනවා. ඒ සඳහා අපි ජාතික මට්ටමෙන් ජාතික සමගියට කැමති පිරිස් ඒකරාශී කරගෙන රට පුරාම ජාතිවාදය එරෙහි රැස්වීම් මාලාවක් පැවැත්වීමට කටයුතු කරමින් ඉන්නවා. ජාතික සමගි කමිටු ගම් මට්ටමින් ගොඩනගන්න කටයුතු කරනවා. ඒ මගින් මතවාදීව ජනතාව දැනුම්වත් කරන්න කටයුතු කරනවා. මේ ජාතිවාදය කියන බොරුව පරාජය කරන්න වැඩපිළිවෙළක් සකස් කරන්න කියලා අපි ආණ්ඩුවටත් යෝජනා කරනවා.
යම් ජාතිවාදී සිදුවීමක් පිළිබඳව නිරීක්ෂණය කරන්න වාගේම ඒවා වාර්තා කරන්න ආයතනයක් ස්ථාපිත කරන්න ඕනෑ කියලා අපි ආණ්ඩුවට යෝජනා කරනවා. ඒක ස්වාධීන ආයතනයක් විය යුතුයි. අත්අඩංගුවට ගන්න හෝ හිරේ දාන්න නොවෙයි, එම තත්ත්වයන් නිවැරදි කරන්න, ප්‍රතික්‍රියාමාර්ග ගන්න ඒ ආයතනයට ඉඩ සලසා දෙන්න ඕනෑ. කෙනෙකුට අපහාසාත්මකව ‘තම්බියා’ කිව්වත්, ඒකට පැමිණිලි කරන්න තැනක් තියෙන්න ඕනෑ.
හැත්තෑව දශකයේ දෙමළ ජනතාවට එරෙහිව ක්‍රියාත්මක වුණු ජාතිවාදී උන්මත්තක ස්වභාවය මේ මොහොතෙත් මේ රටේ මුස්ලිම් ජනතාවට එරෙහිව ක්‍රියාත්මක වෙමින් තියෙනවා. හැත්තෑව දශකයේදී පහර කෑමට ලක් වුණේ දෙමළ ජාතිවාදීන් නොවෙයි. ජාතිවාදී නොවන සාමාන්‍ය ජනතාව. අද මුස්ලිම් ජනතාව සම්බන්ධයෙනුත් සිදු වෙමින් තිබෙන්නේ ඒ දේම තමයි. අසාධාරණ ලෙස මුස්ලිම් සමාජයේ සාමාන්‍ය මුස්ලිම් ජනයාට එල්ල කරන ප්‍රහාරවලට ලැබෙන ප්‍රතිඋත්තරය ඉතාම භයානක එකක් වෙන්න පුළුවන් කියලා අපි ආණ්ඩුවට වාගේම රටේ සියලුම දෙනාට අනතුරු ඇඟවීමක් වශයෙන් දැනුම් දෙනවා. ඒකේ වන්දිය පරම්පරා ගණනාවක් අපෙන් අනතුරුව අපේ් දරුවන්ටත් ගෙවන්න සිදු වේවි. ඒ නිසා මෙම තත්ත්වය වළක්වා ගන්න අපි හැමෝම කටයුතු කරන්න ඕනෑ. මේ රටේ ජීවත් වෙන මිනිස්සු විදියට ඒක අපි හැමෝගෙම වගකීමක්. ජනතා විමුක්ති පෙරමුණේ අපි ඒ වගකීම ඉටු කිරීම වෙනුවෙන් කටයුතු කරමින් සිටිනවා.


සංවාද සටහන
කිත්සිරි කොඩිතුවක්කු