ජාතිවාදී ගිනි අවුළා වීණා වයන අපේ නායකයෝ…

Maithripala-Sirisena - 11
ජනාධිපතිතුමෝ අඩු ගාණේ කඩු කොපුවෙන්වත්…
March 20, 2018
6141_kalawewa - 14
කලාවැව අභය භූමි රක්ෂිතය අනතුරේ
March 20, 2018
Show all

ජාතිවාදී ගිනි අවුළා වීණා වයන අපේ නායකයෝ…

ranil in digana - 12

අපේ රටේ දැන් ආණ්ඩුවක් තිඛෙන්නේ නමට පමණය. හෙට රටට, ජනතාවට සිදු වන දේ රට පාලනය කරන නායකයන් දන්නේ නැත. රටට සිදු වන දෙය ජනතාව දන්නේ ද නැත. ජනපති මෛත්‍රී හා අගමැති රනිල් අතහැරෙන දීගයකදී හැසිරෙන අඹු – සැමි යුවළක් සේ හැසිරෙති. එදා 2015 ජනවාරි 08 වැනි දින සුවහසක් ජනතාවට මෛත්‍රී දුන් පොරොන්දු, ප්‍රතිඥා කඩ කර අවසානය. ඒ වෙනසට මුල් වූ සියලු දෙනා අපේක්ෂා භංගත්වයට පත් වී අවසානය. මේ නායක දෙපොළ තම තමන්ගේ දේශපාලන පක්ෂ වැටී ඇති වළෙන් ගොඩගෙන හොඳින් හෝ නරකින් රටේ පාලනය ඉදිරියට ගෙන යාමට මාන බලන බව පෙනේ. රට දැන් ගමන් කරමින් තිඛෙන්නේ බලයෙන් පහ කරන ලද මහින්ද රාජපක්ෂට අවශ්‍ය ආකාරයට දැයි කා තුළත් දැන් ඇත්තේ සැකයකි.
මේ රට දේශපාලන, ආර්ථීක හා සමාජීය අතින් අගාධය කරා ගෙන ගිය මහින්ද රාජපක්ෂ හා මේ ආණ්ඩුවේ නායක දෙපළ වෙන් වෙන්ව හොර රහසේ සබඳතා පවත්වන බව දැන් රටට, ජනතාවට නොරහසකි. මේ නායක දෙපළගේ පක්ෂවල සිටින දේශපාලනඥයෝ මේ දෙදෙනා රූකඩ මෙන් නටවති. මේ නායක දෙපළ හා මැති ඇමතිවරුන් තමන්ගේ බලය රඳවා ගැනීම සඳහා ඒ ඒ වෙලාවට පැලැස්තර විසඳුම් යෙදුවද, රට සියලු අංශයන්ගෙන් වේගයෙන් ව්‍යසනය කරා ගමන් කරමින් තිබේ. අගමැති රනිල්ගේ ආර්ථීක සංවර්ධන ක්‍රමය ජනපති මෛත්‍රීට අල්ලන්නේ නැත. අධ්‍යාපන ක්‍රමය මෙන්ම අනෙකුත් සැලසුම් විශේෂයෙන් ආයෝජන ක්‍රම සහ විධි ජනපති පිළිගන්නේ නැත. දැන් මේක නියම අච්චාරුවකි. රජයේ නිලධාරීන් රාජකාරී කළ යුත්තේ, මේ දෙදෙනාගෙන් කවුරුන් දෙන නියෝගවලට දැයි පැහැදිලි නැත. මේ නිසාම රටේ කිසිදු කටයුත්තක් හරියට නොකෙරේ.
හොඳම උදාහරණය මේ පහුගියදා මහනුවර ආශ්‍රිතව හා අම්පාර ප්‍රදේශයේ ඇති වූ ජාතිවාදී ගැටුම්ය. එදා මහින්ද රාජපක්ෂ හා ඔහුගේ සහෝදරයන් රාජ්‍ය බලය යොදා ගනිමින්, ඇති කළ ජාතිවාදී, ආගම්වාදී බලවේග තවමත් යහතින් තිබේ. විමල් වීරවංශලා මෙන්ම දැන් මේ ආණ්ඩුවට එක් වී සිටින චම්පික රණවකලා ඇති කළ ජාතිවාදී ගිනි පුපුරු ද රටේ පැතිර තිබේ. එදා රට තුළ සිදු වූ දෙමළ, මුස්ලිම් විරෝධී ජන කණ්ඩායම් නොනිල වශයෙන් මෙහෙයවූයේ මහා බලයක් අතැතිව සිටි ගෝඨාභය රාජපක්ෂ බව රටට රහසක් නොවෙයි. රටේ සංඝ සමාජයේ බලය අතට ගත් චීවරධාරීන් අවශ්‍ය පරිදි මෙහෙයවමින්, ගෝති්‍රක රටක් ලෙස සුළු ජාතීන් භීතියට පත් කරවමින්, රටේ පාලනය ගෙන ගිය බව කවුරුනුත් දන්නා දෙයකි. බේරුවල, අලුත්ගම සිදු වූ සිදුවීම් රාජපක්ෂලා ඇති කළ ජාතිවාදී සර්පයාගේ දඩබිම් වූ අයුරු කාටත් පැහැදිලිය. ඒ සිදුවීම් පිළිබඳව හොඳටම කරුණු දන්නා ඇමති, රාජිත ද මේ ආණ්ඩුවේ ප්‍රබලයෙකි. එදා සිදු වූ අපරාධවලට වගකිව යුතු අයට දඩුවම් දීමට මේ යහපාලනයට නොහැකි විය. ඒ වෙනුවට ගලගොඩඅත්තේලා, අක්මීමන දයාරත්නලා වැනි මේවා මෙහෙය වූ තවත් චීවරධාරීන් රැසක්ම ජනපති මෛත්‍රී හොඳ පදමට හුරතල් කළ බව අප සිහියේ තබා ගත යුතුය. රටේ ජාතිවාදය වපුරමින්, බොරු බේගල් ප්‍රචාරය කරමින්, මහින්දගේ හෙන්චයියන් පාර්ලිමේන්තුවේ පවා කතා පවත්වද්දී, රට පුරා දේශන පවත්වද්දී මේ යහපාලනය නම්, නපුංසක ආණ්ඩුව නිහඩව බලා සිටි බව කවුරුත් දනිති. පසෙකින් ත්‍රිවිධ හමුදාව කුලප්පු කරමින්, ‘අයියෝ රට ඛෙදන ව්‍යවස්ථාවක් මේ ආණ්ඩුව ගෙනෙනවා… හමුදාව ඉවරයි… රටේ සිංහලයා වඳ වෙනවා… බුද්ධාගම ඉවරයි… කොටි යළි නැගිටිනවා… ජාත්‍යන්තර කුමන්ත්‍රණ අනුව රට සුළු ජාතීන්ට අයත් වෙනවා…’ ආදී වශයෙන් ඔවුහු බොරු කන්දරාවක් ප්‍රසිද්ධියේ සමාජගත කළහ. මේ සියල්ල නිවැරදි කරන්න මහින්ද රාජපක්ෂට බලය ලබා දෙන්නැයි කීහ. මේ සියල්ල සිදු වන විට මේ ආණ්ඩුවේ ජනපති, අගමැති බම්බු ගැසුවේ දැයි ජනතාව ප්‍රශ්න කරන්නේ හේතු ඇතිවය. එසේ ජාතිවාදය තුළම පැලපදියම්ව බලය සෙවූ රාජපක්ෂලා හා ඩීල් දමමින්, අන්තිම දරුණු ඒකාධිපති පන්නයේ ජාතිවාදියා වන ගෝඨාභය රාජපක්ෂ ශ්‍රීලනිපයට ගෙන තනතුරු දී නඩු-හබවලින් ආරක්ෂා කරමින් කටයුතු කළ මේ ශ්‍රීලනිප නායකයන්ට අද ජනතාව ඉදිරියේ කරුණු දැක්වීමට සිදුව ඇත්තේ, රෙදි නැතිවය. අද ජනපති සියලු විනාශයන් සිදු වූ පසු මහනුවරට ගොස් තමාගේ දේශපාලනඥයන්, නිලධාරීන් හා සාකච්ඡා කර ගැටලුවලට විසඳුම් සෙවීමත්, අගමැති වෙනම ගොස් තම පක්ෂයේ අය හා නිලධාරීන් කැඳවා උපදෙස් දීමත් මෑත කාලයේ ජනතාව දුටු හොඳම විහිළුවකි. ඇමති රාජිත මේ ගැටුම් ඇති කළ දේශපාලනඥයන් ගැන වංහුං කියා නම නොකියා නීතිය ඉදිරියට නොගොස් පොඩි උන් සේ ‘පුළුවන් නම් අල්ලන්න’ යැයි අල්ලන සෙල්ලම් කරයි. හදිසි නීතිය ප්‍රකාශයට පත් කර පොලිස් ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කර හමුදාව දෙතුන් දාහක් කැඳවා සමාජ ජාලා, ෆේස්බුක් තහනම් කර මේ රටේ ඇති ජාතිවාදය සම්පූර්ණයෙන් නිවා දැමිය හැකි යැයි මේ නායක දෙපළ සිතනවා නම්, මේ තරම් මෝඩයන් දෙදෙනෙකු තවත් මේ රටේ නැතැයි කීමට ජනතාවට සිදු වනු ඇත. එදා 1983දී ජේ. ආර්. ඇඳිරි නීතිය දමාගෙන මේ රට ගිනි තැබීමට විවිධ කල්ලිවලට ඉඩ දී තිබූ හැටි මේ ජනතාවට මතක තිබිය යුතුය. තම අභිරහස් අරමුණු ඉටු වූ පසු සිය ගණන් අත්අඩංගුවට ගෙන කලක් රඳවාගෙන සිට අන්තිමේ නිදහස් කළ අයුරු ඉතිහාසයට එක් වී හමාරය. හැමදාම මේ රට පාලනය කළ නායකයන් කළේ මහජාතියට, ප්‍රධාන ආගමට ඉඩ දී බලා සිටීම නොවේද? එහි ඵලවිපාක අවුරුදු තිහක් පමණ දිගට ඈඳුණු යුද්ධයේදී සමස්ත රටේ ජනතාවම විඳි බව අමතක නොකළ යුතුය. හැලුණු ලේ ගංගා ගැන කාටත් අද අමතකව ඇති සෙයකි. මේ සියලු දේවල් පිළිබඳ අත්දැකීම් සමූහයක් ඇති මෛත්‍රී – රනිල් යුගලයට සත්‍ය වශයෙන්ම ජාතිවාදය අවසන් කර සැබෑ සාමයක් ඇති කිරීමට පැහැදිලි අවශ්‍යතාවයක් තිඛෙන්නේ දැයි සිදු වන සියලුම දේවලින් තේරුම් ගැනීමට අපහසු නැත. ජනපතිට බලය ඇත්තේ, වසර දෙකකට අඩු කාලයකි. අගමැතිටද ඇත්තේ ඒ හා සමාන කාලයකි. මේ දෙපළ පිහිටුවා ගත් යහපාලන ආණ්ඩුව මේ තාක් කළ කී දෑවලින් ජනතාවට දැනෙන ප්‍රතිඵලයක් අත් කර දී නොමැත. දුන් පොරොන්දු ද ඉටු කර නොමැත. රට රුවල කැඩුණු නෞකාවක් සේ නතර වී තිබේ. ඉතිරි කෙටි කාලයට ප්‍රාතිහාර්යයක් පෑමට ද නොහැක. ඉතිරි කාලය ගත කර ගැනීමට ජාතිවාදය, ගැටුම් තුළින් බලාපොරොත්තු වනවා දැයි අපි නොදනිමු. ආණ්ඩුවේ අක්‍රියශීලී, විසඳුම් නැති ක්‍රියාදාමයන් නිසා සැකයෙන්, බියෙන් ජීවත් වන දෙමළ හා මුස්ලිම් ජනතාව යහපාලනයෙන් ඈත් වූ විට මහින්දගේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක වන බව පැහැදිලිය. මේ සුළු ජාතීන්ගේ කැමැත්ත දිනා ගැනීමට නොහැකි රාජපක්ෂවරුන් ඔවුන් හා වෛරයෙන් සිටින බව කවුරුනුත් දන්නා රහසකි. ගින්න අවුළා දැන් සන්සුන් වෙන්නැයි කියන්නේ ද රාජපක්ෂලාමය. යහපාලන ආණ්ඩුව ඒ අඩි පාරේම යමින්, මහින්දගේ උපදෙස් පරිදි ගෝඨාභයගේ අනුග්‍රහය ඇතිව ජාතිවාදී සරු කෙතේ ඵලය ඉදිරි කෙටි කාලයට නෙළා ගැනීමට යන්නේ දැයි කවුරුනුත් අවදියෙන් සිටිය යුතුය.
ජනතාවට ජනාධිපති හා අගමැති දුන් පොරොන්දු අනුව ජාතික සංහිඳියාව ගොඩනැෙඟන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම දැන් හීනයක් පමණකි. දැනට රනිල් හා මෛත්‍රී ගෙන යන වැඩපිළිවෙළවල් සාර්ථක වන ආකාරයක්ද නොපෙනේ.
මේ අවාසනාවන්ත සිදුවීම් දිගින් දිගටම සිදු වන විට අසීරුවෙන් මෙන් ජාත්‍යන්තරයෙන් ලැබූ හොඳ නම, විශ්වාසය පළුදු වීම සිදුවීම නිසැකය. අප රට හා ගනුදෙනු කරන විදේශ රැකියා සපයන මුස්ලිම් රටවල් අප රට හා අමනාප වනු නියතය. ජාතිවාදී ගිනිදැල්වලින් විනාශ නොවන කිසිවක් අප රට තුළ නොමැත. විශේෂයෙන් තිස් අවුරුදු කුරිරු යුද්ධයටත් වඩා දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට අපට සිදු වනු ඇත. හමුදා යොදාගෙන සාම කමිටු හදමින්, ආගමික නායකයන් ලවා දේ්ශන පවත්වමින් පමණක් මේ සඳහා දීර්ඝකාලීන ස්ථීරසාර විසඳුම් සෙවීම සාර්ථක වන්නේ නැත. මහින්ද රාජපක්ෂලා හා විවිධ ජාතිවාදී කණ්ඩායම් අවුළන ලද ගිනි පුපුරු අළු යට තිබේ. පොඩි හුළං පිඹීමකින් ගිනි නැවත ඇවිළේ. අද රටේ මහ ජාතිකත්ව බහුතරයක් මේ ජාතිවාදී ගැටුම් අනුමත නොකළද, සුළු පිරිසකට ජාතිවාදී ගින්නෙන් මේ රට විනාශ කළ හැකි බව කවුරුනුත් අවබෝධ කර ගත යුතුව තිබේ. කලින් කලට දැන් සිදු වන්නේ මෙයයි. දැන් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරය සරත් ෆොන්සේකාට ලබා දීමට එජාපය පැත්තෙන් යෝජනා වෙද්දී, කොටසක් විරුද්ධ වී රංජිත් මද්දුම බණ්ඩාර ඇමතිට දීමෙන් මේ විසංවාදය පැහැදිලි වෙයි. සරත් ෆොන්සේකාට එම තනතුර ලබා දීමට යාම පිළිබඳව රාජපක්ෂවරුන් බොහෝ සේ කලබල වී සිටි බව පැහැදිලිවම පෙනෙන්නට තිබිණි. මහින්ද රාජපක්ෂගේ හොර නඩය හා මේ ආණ්ඩුවේ සමහර නායකයන්ට වෙනම න්‍යාය පත්‍ර හා හොර ගිවිසුම් ඇති බවට හොඳම නිදර්ශනයද එයයි.
නිදහස ලැබූ දා සිට මෙතෙක් මේ රට පාලනය කරන්නේ එකම දේශපාලන සත්ත්වයන් සමූහයකි. පක්ෂ දෙක තුනක සිටියත්, තවමත් වැඩවසම් ක්‍රමයට මැති ඇමතිකම් දරන්නේ මේ පිරිසමය. අප්පාගෙන් පුතාට, දුවට බලය ලැබෙන ඒ හරහා ධනවත් වන රටේ ධනය තමන් සතු කර ගන්නා, බලය හරහා ධනය රැකගෙන තව තවත් හොරකම්, දූෂණ කරන, ජනතාව ඉදිරියේ බොරුවට භේද ඇති බව පෙන්වන ඔවුන් සාමුහිකව රජ සැප විඳින දේශපාලන කෛරාටිකයන් පිරිසක්, බොරුකාරයන් ටිකක් දිගින් දිගටම විවිධ ආකාරයෙන් අප රවටා බලයේ රැෙඳන බව තේරුම් ගැනීමට තවම රටේ ජනතාවට නොහැකි වීම කාගේත් අවාසනාවකි.


ඩී. බී. ඇල්කඩුව