දහසක් දුක් විඳ ලැබූ උපාධිය අතැතිව මහමග සටන් වදින්නෝ

faines tree in pasbage - 14
පස්බාගේ ජනතාව ගැටලු රැසක් මැද
March 20, 2018
ජජජජජජජජ
අපි උපන් බිමට වැඩක් කරන්න ඕනෑ… (එම්.එස්.එච්. මොහොමඩ් ‘ෆයිට් කැන්සර්’ කණ්ඩායම් නායක)
March 20, 2018
Show all

දහසක් දුක් විඳ ලැබූ උපාධිය අතැතිව මහමග සටන් වදින්නෝ

graduate protests - 15

වතුරේ ඔබන ලද ටෙනිස් බෝලයක් එය යටපත් කොට තැබීමට යෙදවූ පීඩනයටම ප්‍රතිපීඩනයක් මුදාහරිමින් දියෙන් මතුපිටට ඉපිලෙන්නා සේම අපේ රටේ පාලකයන් විසින් විවිධාකාරයේ උප්පරවැට්ටි හරහා යටපත් කරන්නට තතනන රැකියා විරහිත උපාධිධාරී ගැටලුව ද නිරතුරුවම බරපතළ ගැටලුවක් සේ සමාජය තුළ ඉස්මතු වෙමින් තිබේ. මේ තත්ත්වය මෙලෙස වර්ධනය වීමට ප්‍රධාන වශයෙන්ම හේතු වන්නේ අපේ රටේ පැවැති සහ පවතින පාලනයන් සියල්ලේම පාහේ ඇති දැක්මක් හෝ වැඩපිළිවෙළක් නොමැතිකම සහ බැරිබැරියාවයි.
සෑම අවුරුද්දකම පාහේ තමන්ගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කරමින් උපාධිධාරීන් දසදහස් ගණනක් විශ්වවිද්‍යාලවලින් පිටමං වුවද, 2012 මාර්තු 30 වන දායින් පසුව උපාධි ලබා ගත් කිසිදු උපාධිධාරියෙකු හට වසර 06ක් තිස්සේම මෙතෙක් එකදු පත්වීමක් හෝ ලබා දීමට අපේ රටේ පාලකයන් අසමත් වී තිබේ. ඉදින්, ස්ථීර වැඩපිළිවෙළක් නොමැතිව වර්ධනය වන මේ ගැටලුවෙන් ඉතා දුෂ්කරව අධ්‍යාපනය ලබා විශ්වවිද්‍යාලවලින් පිටමං වන උපාධිධාරීහු දසදහස් ගණනක් සෑම වසරක් පාසාම පීඩාවට පත්වෙමින් සිටිති. දැනටමත් එම පිරිස සංඛ්‍යාත්මකව ආසන්න වශයෙන් 60,000ක් පමණ වන බවට තොරතුරු අනාවරණය වී තිබේ.
ඉදින්, අපේ රටේ සංවර්ධනය වෙනුවෙන් උපාධිධාරීන් සතු දැනුම උකහා ගන්නවා වෙනුවට පාලකයන් විසින් සිදු කරමින් සිටින මේ කල්මැරිල්ලට එරෙහිව ගෙන යන සටනට නායකත්වය දීමට රැකියා විරහිත උපාධිධාරී සංගමය හා උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය පෙරමුණ ගෙන සිටීම ප්‍රශංසනීයය. ඔවුන් එකාවන්ව සිය ජයග්‍රහණයේ බලාපොරොත්තුව සහිතව දහසක් දුක් විඳ ලබා ගත් උපාධියද අතැතිව මහමග සටන තෝරාගෙන ඇත්තේය. ඒ අනුව ඔවුන්ගේ මේ අනවරත අරගලය හමුවේ තව දුරටත් නෑසූකන්ව සිටීමට පාලකයන්ට නොහැකි වී ඇත්තේය. ජාතික මට්ටමෙන් මෙන්ම පළාත් මට්ටමෙන්ද දිගින් දිගටම ගෙන යනු ලබන උද්ඝෝෂණ හා බලපෑම් හේතුවෙන් පසුගිය කාලය තුළ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථීක කටයුතු අමාත්‍යාංශයට රැකියා විරහිත උපාධිධාරීන්ගෙන් අයදුම් පත් කැඳවීමට සිදු වී ඇත. වාර්තා වී තිඛෙන තොරතුරුවලට අනුව එහිදී යොමු වූ අයදුම් පත් ප්‍රමාණය 50,000කට ආසන්නය. නමුත්, රැකියා අවස්ථා 20,000ක් ලබා දීමට පොරොන්දු වෙමින් කැඳ වූ මෙම අයදුම් පත් සියල්ලම යම් වර්ගීකරණයකට ලක් කිරීමට එම අමාත්‍යාංශය මඟින් කටයුතු කර තිබෙන බවක් දැනගන්නට තිබේ. ඒ අනුව එම අයැදුම් පත් අතුරින් වයස අවුරුදු 35 ඉක්මවූවන් හා දැනටමත් පෞද්ගලික අංශයේ කුමන හෝ රැකියාවක නියුතු, අර්ථසාධක අංකයක් හිමිව ඇති පුද්ගලයන් ආදී ලෙස වර්ගීකරණයකට ලක් කොට ඇත. මේ අනුව පැහැදිලිවම පෙනී යන්නේ සියලු රැකියා විරහිත උපාධිධාරීන් හට රැකියා ලබා දීමේ වගකීමෙන් බැහැර වීමට ආණ්ඩුව දරනා නිර්ලජ්ජිත උත්සාහයයි.
වත්මන් ආණ්ඩුවද තව දුරටත් ගමන් කරමින් සිටින්නේ පැරණි ආණ්ඩුවේ අඩි පාරේමය. පැවති රාජපක්ෂ පාලනය යටතේ 2012දී අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් හරහා උපාධිධාරීන් රැකියාවලට බඳවා ගැනීමේ උපරිම වයස් සීමාව අවුරුදු 35 දක්වා පහත හෙළීය. එසේම සංවර්ධන නිලධාරීන් බඳවා ගැනීමේ ගැසට් පත්‍රයට පවා මේ වයස් සීමාව ඇතුළත් කර තිඛෙනු දැක ගත හැකි විය. එය ඉතා අසාධාරණ තීන්දුවක් බව ඕනෑම අයෙකුට තේරුම් ගැනීමේ අපහසුවක් නොමැත. පවතින තත්ත්වයන් හමුවේ යමෙක් අවුරුදු 30න් තමන්ගේ උපාධිය ලබා ගත්තත්, රැකියා පෝලිමේ වසර 06 – 07ක් තිස්සේ තැපීමට සිදු වීමෙන්ම අවසානයේ දී ඔවුන්ගේ වයස අවුරුදු 35 ඉක්මවයි. ඉදින්, කිසිදු වැඩපිළිවෙළක් හෝ දැක්මක් නොමැතිකම නිසාවෙන් රජය මගින් වාර්ෂිකව උපාධිධාරීන් වෙත ඔවුන්ගේ අධ්‍යාපනයට ගැළපෙන රැකියාවක් ලබා දීමට කටයුතු නොකරන පසුබිමක් තුළ ආණ්ඩුවලට මඟහැරුණු වගකීම්වල වන්දිය උපාධිධාරීන් පිට පැටවීම කිසිසේත්ම අනුමත කළ නොහැකි අසාධාරණයකි.
අනෙක් අතට විශ්වවිද්‍යාලවලින් පිටමං වූ උපාධිධාරීන් හට රාජ්‍ය අංශයේ කුමන හෝ අංශයක සුදුසු රැකියාවක් ලබා දීමට රජය අපොහොසත් වීම නිසාත්, එකී කල්මැරිල්ල හේතුකොට ගෙන මුළු ජීවිතයම පසෙකින් තැබිය නොහැකි නිසාත්, තමන්ගේ හා පවුලේ ජීවත් වීම වෙනුවෙන් රුපියලක් හෝ ඉපයිය යුතුම නිසාත් පෞද්ගලික අංශයේ රැකියාවක් වෙත හෝ තල්ලු වීමට උපාධිධාරීන් වෙත බලකෙරෙන තත්ත්වයක් තුළ අර්ථසාධක අංකයක් හිමි වූවන් ලෙස වර්ගීකරණයකට ලක් කරමින් ඔවුන්ට රාජ්‍ය අංශයේ රැකියාවක් ලබා දීමේ වගකීමෙන් මිෙඳන්නට රජයට කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැත. තවදුරටත් අවධාරණය කරන්නේ නම්, උපාධිධාරීන්ට ඔවුන්ගේ අධ්‍යාපන මට්ටමට සරිලන රැකියාවක් ලබා දීමටත්, ඔවුන්ව රාජ්‍ය අංශයේ රැකියා සඳහා බඳවා ගනිමින් උපාධිධාරීන්ට සුරක්ෂිත රැකියාවක් ලබා දීමටත් මෙන්ම වසර ගණනක් තිස්සේ නිදහස් අධ්‍යාපනය නමැති බිජු වපුරා නෙළා ගත් අස්වැන්න මෙන් ලත් උපාධියෙන් රටට ප්‍රයෝජනයක් ගැනීමටත් රජයට ඇති වගකීම සුළුපටු නොවේ. එම නිසා කප්පාදුවකින් තොරව සියලු උපාධිධාරීන් වෙත සුදුසු රැකියාවක් ලබා දීම රජයේ වගකීමයි.
නමුත් හැම පාලකයෙකුම පාහේ දවස ගෙවන්නේ මහා පොරොන්දු හා පම්පෝරි මල්ලක් ජනතාව පිට පටවමිනි. මෛත්‍රීපාල ජනාධිපතිතුමා ද මේ පන්නයේ කටින් බතල හිටවන්නෙකු දැයි යමෙක් ඇසුවහොත්, ඉන් මවිත වීමට දෙයක් ඇත්තේම නැත්තේ වසර 03ක් තිස්සේ තිබූ ඔහුගේ භාවිතාව අනුවයි. හුදු මාධ්‍ය සංදර්ශන හා වේදිකා කතාවලට සීමාවෙමින් ප්‍රකාශ නිකුත් කරන්නෙක් පමණක් නොවීමට ඔහුට අවස්ථාවක් උදා වී ඇත්තේය. පසුගියදාක මඩකලපුවේ පැවති උපාධිධාරී පත්වීම් ප්‍රදානයක් අතරතුරදී මාස 06ක් ඇතුළත සියලුම රැකියා විරහිත උපාධිධාරීන් වෙත රැකියා ලබා දෙන බවට තමන් විසින්ම ලබා දුන් පොරොන්දුව ඔහු විසින් ඉටු කරන තුරු හා ඒ සඳහා අවශ්‍ය කඩිනම් වැඩපිළිවෙළකට අවතීර්ණ වන තුරු රැකියා විරහිත උපාධිධාරීහු සිය බලාපොරොත්තුවේ දෑස් දල්වාගෙන බලා සිටිති. ඒ අනුව ජනාධිපතිවරයාගේ පටන් සියලු වගකිව යුත්තන්ගේ අවධානය මේ ගැටලුව කෙරෙහි යොමු වනු ඇතැයි ඔවුහු තවදුරටත් බලා සිටිති.
කෙසේ වුවද, 60,000ක් යනු සුළුපටු ජීවිත සමුදායක් නොවේ. එහෙයින්ම ආණ්ඩුව මේ ගැටලුව පිළිබඳව වඩාත් සංවේදී වෙමින් කටයුතු නොකරන්නේ නම් හා රටේ අධ්‍යාපනයේ අග්‍රඵලය හිමි කර ගත් උපාධිධාරීන්ව නොසලකා හරියි නම්, නොබෝ දිනෙකින්ම එහි ප්‍රතිවිපාක පාලකයන් භුක්ති විඳිනු ඇතැයි ලියා තැබිය යුතුය. අප එසේ කියනුයේ, ජනතාවාදී නොවන එවැනි මඟක ගමන් කර අවසානයේ ගෙදර යාමට සිදු වූ නායකයන් ගැන ලංකා ඉතිහාසය තුළින් මෙන්ම ලෝක ඉතිහාසය තුළින්ද අපට ඕනෑ තරම් උදාහරණ ඇති නිසාය.

සෑම උපාධිධාරියෙකුටම රැකියා ලබා දීමට ජාතික ප්‍රතිපත්තියක් සැකසිය යුතුයි
රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැඳවුම්කරු මහේෂ් විමුක්ති

රැකියා විරහිත උපාධිධාරී සංගමය ලෙස අප මේ වන විටත් යම් ජයග්‍රහණ ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා. විශේෂයෙන්ම රැකියා විරහිත උපාධිධාරී සංගමයේ දකුණු පළාත් ශාඛාව ලෙස දිගින් දිගටම කළ අරගලයේ ප්‍රතිඵලයක් ලෙස පසුගිය මාර්තු 12 වැනිදා ගුරු පත්වීම් 800ක් දිනා ගැනීමට හැකි වූවා. ඒ වාගේම අපගේ මධ්‍යම පළාත් ශාඛාව ලෙස කළ අරගලයේ ප්‍රතිඵලයක් ලෙස ගුරු පත්වීම් 1,950ක් ලබා ගැනීමට හැකි වූවා. එයිනුත් නොනැවතී ජාතික ප්‍රතිපත්ති හා ආර්ථීක කටයුතු අමාත්‍යාංශය මගින් පොරොන්දු වූ රැකියාද වහාම ලබා දීමට පියවර ගන්නා ලෙස ආණ්ඩුවට බල කරමින් අප පසුගිය 14 වැනිදා එම අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක් ද පැවැත්වූවා.
කෙසේ නමුත්, රැකියා විරහිත උපාධිධාරීන් ලෙස අප එක්ව කළ මේ අරගලය තුළ යම් ජයග්‍රහණ ප්‍රමාණයක් ලබා තිබුණද, එය කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. ඒ නිසා අපි ආණ්ඩුවට මතක් කර දෙන්න කැමතියි මේ රටේ රැකියා විරහිත උපාධිධාරීන් කියන්නේ ඔබේ වගකීමක් බව. ඒ නිසා ඔවුන්ව ගුරු සේවය සඳහාත්, සංවර්ධන නිලධාරීන් ලෙසත්, ඒ හැරුණු විට වෙනත් සුදුසු රජයේ රැකියා සඳහාත් බදවා ගැනීමට වහාම කටයුතු කරන ලෙස අප ඉතා ඕනෑකමින් යුතුව ඉල්ලා සිටිනවා.
ඒ වගේම සියලු රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දෙන තුරු අප අපගේ අරගලය අඛණ්ඩව ක්‍රියාත්මක කරන අතරම අනාගතයේදී බිහි වීමට නියමිත උපාධිධාරීන්ට ද ගැටලුවක් නොවන පරිදි මේ තත්ත්වය වෙනස් කිරීමට අදාළව විසඳුම් ලබා දිය යුතු බවත් අවධාරණය කර සිටිනවා. එහිදී නිශ්චිත ජාතික ප්‍රතිපත්තියක් අනුව වාර්ෂිකව උපාධිධාරීන් වෙත රාජ්‍ය අංශයේ රැකියා ලබා දීමේ වැඩපිළිවෙළක් සඳහා අවතීර්ණ වීමේ අවශ්‍යතාවයද මතක් කර දීමට කැමතියි.

උපාධිධාරීන් පිළිබඳව ඇති රජයේ වගකීමෙන් මිඳීමේ උත්සාහය නිර්ලජ්ජිතයි !
උපාධිධාරී ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු චන්දන සූරියආරච්චි

ඇත්තෙන්ම මේ වෙනකොට වත්මන් යහපාලන ආණ්ඩුවත් ගමන් කරන්නේ පැරණි පාලකයන් ගමන් කළ පාරේමයි. මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී හඳුන්වා දුන් අවුරුදු 35 සීමාව මේ ආණ්ඩුවත් පවත්වාගෙන යන්න කටයුතු කර තිඛෙනවා. ඒ වාගේම රජය පාර්ශ්වයෙන් මෙතෙක් සුදුසු රජයේ රැකියාවක් ලබා දීමට අපොහොසත් වීම නිසා විවිධ ආයතනවල විවිධ මට්ටමේ රැකියාවල නියුතු සහ අර්ථසාධක අංකයක් හිමි උපාධිධාරීන්ද තමන්ගේ වගකීමේ සීමාවෙන් ඉවත් කරන්න කටයුතු කර තිබෙනවා. මෙය ඉතා නිර්ලජ්ජිත උත්සාහයක් ලෙසයි අප දකින්නේ. ඒ නිසා ඒ සීමාවන් ඉවත් කරමින් විශේෂයෙන්ම අවුරුදු 35 සීමාව අවුරුදු 45 දක්වා ඉහළ දැමීමට කටයුතු කළ යුතු බව අපගේ අදහසයි. ඒ මතක් කර දීම ආණ්ඩුවට කරන ගමන් අප සංවිධානයක් ලෙස මෙතෙක් දිනා ගත් ජයග්‍රහණ ගැනත් යමක් කිව යුතුයි. ඉතිහාසයේ පටන් විවිධ අවස්ථාවලදී අප සියලුම රැකියා විරහිත උපාධිධාරීන් වෙත නිවැරදි නායකත්වයක් ලබා දෙමින් කළ 1999, 2005, 2008 සහ 2012 අරගලවල ජයග්‍රාහී ප්‍රතිඵල අදත් අප භුක්ති විඳිමින් සිටිනවා. ඒ නිසා තවදුරටත් සියලු රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා ගැනීමේ අරගලය හා ශක්තිමත්ව එක් වන ලෙස අප සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.


නිපුණා සාරංගි