දියට හඩන රුක්මල්ගම

slpp with slfp
හොරුන්ට සක්විති කිරුළ
March 20, 2018
jjjjjjjjj
රාජ්‍ය පරිපාලන ව්‍යාපෘතියක් නිළියකගේ සමාගමට
March 20, 2018
Show all

දියට හඩන රුක්මල්ගම

Untitled-1

රුක්මල්ගම නිවාස සංකීර්ණය කියන්නේ, ලංකාවේ පළමුවෙන්ම ඉදි කළ නිවාස සංකීර්ණයය. ආරම්භය 1981 තරම් ඈතට දිව යනවා. නිවාස 501කින් සමන්විතයි. අද වෙන කොට මුලින් පැවති ආකාරයේ නිවාස දැකගන්න ලැබෙන්නෙ අතරින් පතර විතරයි. බොහොමයක් නිවාස නව නිවාස බවට පත් වෙලා.
අංගසම්පූර්ණ නිවාස සංකීර්ණයක තිබිය යුතු එම නිවාස සංකීර්ණයටම වෙන් වුණු ජල පහසුකම් සැලසීමේ ක්‍රමයකුත් ඒ නිවාස සංකීර්ණය ආරම්භයේදීම සකස් කරලා තිබෙනවා. නිවාස සංකීර්ණය පවතින භූමියේ උස් බිමක ඉදි කෙරුණු දැවැන්ත වතුර ටැංකිය රුක්මල්ගම ජනතාවගේ අවශ්‍යතා සඳහා ජලය සපයා දුන්නා. ඒ මීට අවුරුදු අටකට දහයකට විතර ඉස්සර. දැන් තත්ත්වය වෙනස් වෙලා.
ටැංකිය ඉදි කරනු ලබන්නේ එස්.බී.ටී.බී. කියන ප්‍රංශ සමාගමක්. කඳු මුදුනක තිබුණු කළුගලක් හාරලා, ඒක පාදම විදියට යොදාගෙන ඒ මත තනිකරම කොන්ක්‍රීට්වලින් දැවැන්ත ටැංකියක් සකස් කරලා නිවාසවලට ජලය සැපයීම සඳහා සකස් කරලා තියෙනවා. ප්‍රදේශවාසීන් වාගේම එදා ඒ ජල ටැංකිය නිර්මාණය කරන්න දායක වුණු අය කියන විදියට ගැලුම් 1,50,000ක් 1,60,000ත් අතර ධාරිතාවක් සහිත ටැංකියක්. 1981 සිට මෙයට වසර අටක් එපිට කාලසීමාව පුරාවටම රුක්මල්ගම නිවාස සංකීර්ණයට ජලය සැපයුවේ මේ දැවැන්ත වතුර ටැංකිය මගින්. කලටුවාව ජලාශයේ සිට එන ප්‍රධාන නළ මාර්ගයෙන් ලබා ගන්නා ජලය මෙම ටැංකියට යොමු කිරීමේදී නිවාස සංකීර්ණයටම අයත් පොම්පාගාරයේ දැවැන්ත විදුලි මෝටර් භාවිතාවට අරගෙන තියෙනවා. නිවාස සංකීර්ණයට අයිති ගෙවල් 501ට වාගේම ආසන්න විජයපුරයට ජල කරාම දෙක තුනක් සවි කරලා දෙන්න කියන ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම මත එවකට නිවාස හා ඉදි කිරීම් අමාත්‍ය ආර්. ප්‍රේමදාස විසින් ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම ඉෂ්ට කරන්න කටයුතු කළා කියලා කිහිප දෙනෙකුම අප විසින් රුක්මල්ගම ප්‍රදේශයේ සිදු කළ සංචාරයේදී ප්‍රකාශ කර සිටියා.
ලංකාවේ ප්‍රථම නිවාස සංකීර්ණයේ ජල ටැංකිය ජනතාවට ඵලප්‍රයෝජනයක් නැති තත්ත්වයට පත් වෙලා තියෙද්දී, කැලෑවෙන් වැහිලා, ජරාවාස වෙමින් තියෙද්දී අද දවසේ නිවාස ඉදි කිරීම් අමාත්‍ය ධුරය උසුලන්නේ එදා එම ධුරය ඉසිලු ආර්. ප්‍රේමදාස අමාත්‍යවරයාගේ පුත් සජිත් ප්‍රේමදාස.
අවුරුදු විසිපහකට වැඩියෙන් ප්‍රදේශවාසීන්ට සේවය සැලසූ මේ ජාතික සම්පත අකර්මණ්‍ය කරලා වල් වැදෙන තත්ත්වයට පත් කරන්න විශාල වශයෙන් දායකත්වය සැපයූ කෙනා විදියට දිනේෂ් ගුණවර්ධන කියන නම මතක් කරන්න ප්‍රදේශවාසීන් අමතක කළේ නැහැ. ඒ මතක් කිරීමත් එක්කම කියපු වචන පුවත්පතක ලියන්න තරම් සුදුසු නැති නිසා නොලියා ඉන්න සිදු වීම ගැන තියෙන්නෙ කනගාටුවක්.
පොම්පාගාරයේ සේවකයන් තුන් දෙනෙකුට පඩි ගෙවන්න සල්ලි නැහැ කියන එක වාගේම විදුලි බිල ගෙවන්න අමාරුයි කියන කාරණාව මිස වෙනත් කිසිම තාක්ෂණික දෝෂයක් මේ ජල ටැංකිය අතහැර දමන්න තරමට හේතු වෙලා නැහැ. මොකද? අදටත් එම දැවැන්ත ජල ටැංකිය තුළ විශාල ජලස්කන්ධයක් රඳවලා තියෙනවා. නළ පද්ධතියේ සුළු අලුත්වැඩියාවන්වලින් පසුව ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රයෝජනයට ගන්න අදටත් හැකියාව තියෙනවා කියලා මේ පිළිබඳව අදහස් දක්වන අය ප්‍රකාශ කර සිටියා. නමුත්, මේ වන විට ජල ටැංකියට ප්‍රධාන නළ මාර්ගයෙන් ජලය පොම්ප කරන විදුලි මෝටර් සියල්ල ගලවාගෙන ගොස් ඇති බව පවසන ප්‍රදේශවාසීන් කියන්නේ, විදුලි මෝටර් ඉවත් කර ගැනීමේ සිදුවීමට ප්‍රදේශයේ නගරාධිපතිනියක් සම්බන්ධයි කියලා. නිවාස සංකීර්ණය තුළ පිහිටි පොම්පාගාරය නිවාස සංවර්ධන අධිකාරිය විසින් පසුකාලීනව පුද්ගලයකුගේ පදිංචිය සඳහා ලබා දී තිබුණු බවටද ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.
රුක්මල්ගම ප්‍රදේශයේ සෑම නිවසකටම දැන් ජලය ලබා දෙන්නේ කොට්ටාවේ සිට විහිදෙන ප්‍රධාන නළ පද්ධතියෙන් නිසාම බොහෝ නිවාසවලට දවස පුරාම ජලය ලැඛෙන්නේ නැහැ. රාත්‍රී කාලයේදී නිකුත් කරන ජලය බැරල්වලට එක්රැස් කර තබා ගැනීම ප්‍රදේශයේ ජනතාවගේ දෛනික ක්‍රියාවක් වෙලා.
රටක ආණ්ඩුවක් සහ රාජ්‍ය ආයතන තියෙන්නේ ජනතාවට සේවා සපයන්න වුණාට සේවාව මුදලට විකුණලා කීයක් හරි හොයා ගන්න බලන ආණ්ඩුවකින් ජනතාවට ඇති ඵලය මොකක්ද කියලා අප එම ප්‍රදේශයේ කළ සංචාරයකදී ඔවුන් අපෙන් විමසා සිටියා. ඒ වාගේම මේ ජාතික සම්පත විනාශ වෙලා යනවා බලාගෙන ඉන්න බැරි සංවේදී කීප දෙනෙක්ම ‘මිනිස්සු තමන්ට බලපාන ගැටලුවක් විසදා ගැනීමටවත් ක්‍රියාකාරී වෙන්නේ නැහැ’යි කියන එක චෝදනාමුඛයෙන් ප්‍රකාශ කර සිටියා. ඒක එක අතකට පාලකයන්ට කරුණු ඉදිරිපත් කිරීම බීරි අලින්ට වීණා වයනවා වාගේ තේරුමක් නැති දෙයක් කියලා හිතිලා, ජනතාවත් උකටලී වෙලාද කියලත් හිතෙනවා. කොහොම වුණත්, අපේ ජනතාවත් තමන්ගේ ගැටලු වෙනත් කෙනෙකු විසඳලා දෙනකම් බලාගෙන ඉන්න පුරුදු වෙලා කියන එක නම් ඇත්තක්.
නිවාස සංකීර්ණයට අයත් නිවාස 501ට වාගේම අවට නිවාස 200කට පමණ ප්‍රයෝජනයට ගන්න පුළුවන් සම්පතක් විනාශමුඛයට යන්න ඇරලා තියෙන එක අපරාධයක් කියලා දැන දැනම නිහඩව ඉන්න එක එක අතකින් ඒ වරදට තවදුරටත් පවතින්න දෙන නිහඩ අනුබලයක්. ඒ නිසාම මේ පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරන්න තවමත් ප්‍රමාද නැහැ. එහෙත්, ප්‍රදේශයේ ජනතාව ඒ සඳහා සූදානම්ද කියන එක මෙවර එම ප්‍රදේශයේදී අප කළ සංචාරයේදී ඔවුන්ගේ හැසිරීම් විසින් අපේ සිත් තුළ නිරායාසයෙන්ම ඇති වුණු සිතුවිල්ලක් බව කියන්න ඕනෑ.

ජනතාව සූදානම් නැහැ
දේවානන්ද සුරවීර (ජවිපෙ හිටපු නාගරික මන්ත්‍රී)

රුක්මල්ගම නිවාස සංකීර්ණ භූමිය තුළ තිබෙන මෙම ජල ටැංකිය ප්‍රදේශයේ ජනතාවට අයත් සම්පතක්. මේ වෙන කොට වල්බිහි වෙලා විනාශමුඛයට යමින් තිබුණත්, ජල ටැංකිය ඉතාමත් හොඳ තත්ත්වයෙන් තියෙනවා. පවතින සම්පත්වලින් ප්‍රයෝජන ගන්නවා වෙනුවට ඒවා විනාශ වෙන්න අරින එක සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. ජනතාවත් පවතින තත්ත්වයන්ට විසඳුම් සොයන්න ක්‍රියාත්මක වෙනවා දකින්න නැති එක කනගාටුවට කරුණක්.

නඩත්තු වියදම් වැඩියි කියලා මගහරිනවා
ෂාම් ප්‍රියන්ත, විජයපුර

රුක්මල්ගම වතුර ටැංකිය අභාවයට යන්න ඇරලා තියෙන්නේ පාලකයන්ගේ වුවමනාවට මයි. ටැංකිය මගින් ජලය බෙදා දෙන කාලයේ විජයපුරටත් ජල කරාම තුනක් දීලා තිබුණා. වතුර හිඟයක් තිබුණේම නැහැ.
දැන් ප්‍රධාන නළ පද්ධතියෙන් ජලය බෙදාහරින්නේ රාත්‍රී දහයේ සිට පාන්දර පහ වෙනකම් විතරයි. බලධාරීන්ට කිව්වාට නඩත්තු වියදම වැඩියි කියලා, මගහරිමින් ඉන්නවා. ඇත්තටම මේ ජල ටැංකිය තවමත් ඉතාමත් හොඳ තත්ත්වයේ තියෙනවා.

පවුල් හත් අට සියයකට ප්‍රයෝජනයට ගන්න පුළුවන්
රංජිත්, විජයපුර

රුක්මල්ගම වතුර ටැංකිය හදන කොට මමත් එතන වැඩ කළා. එක සැරයක් වතුර පිරෙව්වාම මුළු ස්කීම් එකටම සතියකට ඇති. මේ වෙන කොට ටැංකියට වතුර පොම්ප කරපු මෝටර් ටිකත් ගලවාගෙන ගිහිල්ලා. ඒවා ලක්ෂ ගාණක් වටිනා දේපළ. ඇත්තෙන්ම මේක මහා සහගහන අපරාධයක්.

බලධාරීන්ගේ අවධානය යොමු වෙන්න ඕනෑ
ජයසිංහ, විජයපුර

මේ ගැන අපි කාලයක් තිස්සේ පාලකයන්ට කිව්වා. කවුරුවත් ඇහුම්කන් දුන්නේ නෑ. සුළු අලුත්වැඩියාවකින් පස්සේ මේ ජල ටැංකිය ප්‍රයෝජනයට ගන්න පුළුවන්. අවුරුදු විසිපහකට වැඩි කාලයක් ප්‍රදේශයට ජලය සපයපු මේ ජල ටැංකිය වියදම් වැඩියි කියලා අතහැර දාන එක තේරුමක් නැති දෙයක්. ඒක ආදායම් ලැබෙන දෙයක් බවට පත් කරගෙන හරි නොකඩවා ප්‍රදේශවාසීන්ට වතුර ටික දෙන්න නිවාස සංවර්ධන අධිකාරිය වාගේම මේ සඳහා වගකිව යුතු ඇමතිවරුන්ගෙත් අවධානය යොමු වෙන්න ඕනෑ.


සටහන
කිත්සිරි කොඩිතුවක්කු