නීතියට උඩින් රමිතගෙන් තවත් හයේ පාරක්

ජජජජජජජජ
අපි උපන් බිමට වැඩක් කරන්න ඕනෑ… (එම්.එස්.එච්. මොහොමඩ් ‘ෆයිට් කැන්සර්’ කණ්ඩායම් නායක)
March 20, 2018
ටටටටටටටටටටට
මාරියාගේ සබඳතාව දෙදරයි
March 20, 2018
Show all

නීතියට උඩින් රමිතගෙන් තවත් හයේ පාරක්

රරරරරරරරරර

‘නීතිය සැමටම පොදුය. එයට සෑම දෙනාම ගරු කළ යුතුය. නීතිය උත්තරීතරය.’ නීතිය පිළිබඳව පවතින පොදු සංකල්පය එයයි. සැබැවින්ම රටක් ලෙස ඉදිරියට යාමට නම්, රටේ නීතිය නිසියාකාරව කි්‍රයාත්මක වීම අත්‍යවශ්‍යය. එහෙත්, ගැටලුව වන්නේ සාමාන්‍ය ජනතාවට අකුරටම ක්‍රියාත්මක වන නීතිය වරදාන, වරප්‍රසාද ලත් අය හමුවේ එසේ නොවීමය. සාමාන්‍ය පුද්ගලයකු නීතිය හමුවේ දණ නමස්කාර කරද්දී වරප්‍රසාද ලත් පිරිස නීතිය හමුවේ නිඳිවදිති.
මේ බව යළිත් තහවුරු කරනු ලබන සිදුවීමක් පසුගිය 09 වැනිදා සිදු විය. පාර්ලිමේන්තු මන්ත්‍රී, කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් ක්‍රිකට් ක්‍රීඩක, රමිත රඹුක්වැල්ල විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකුට ගිනි අවි පෙන්වා තර්ජනය කොට පහර දීමක් සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. ඔහු තම මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී අදාළ සිසුන් දෙදෙනා ගමන් ගත් යතුරු පැදිය ඔහුගේ මෝටර් රථයේ වැදීම නිසා ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාම නිසා මෙම ගැටුම නිර්මාණය වී ඇත. පසුව දෙපාර්ශ්වයේම එකඟතාවයෙන් ගැටුම සමථයකට පත්ව පැමිණිල්ල ඉල්ලා අස් කර ගත් බව පොලිසිය විසින් ප්‍රකාශ කර තිබිණි.
යමෙකුට ගිනි අවි පෙන්වා බියවද්දා පහර දීම යනු අපරාධයක් සිදු කිරීමට තැත්කිරීමකි. එවැනි වරදකට ඇප ලබා දීමට පවා නොහැකිය. එසේ නම්, ගැටලුව වන්නේ දෙපාර්ශ්වය එකඟ වී සමථයකට පත් වූයේ කෙසේද යන්නය. මෙය දේශපාලන බලය යොදාගෙන සිදු වූවක් බව පැහැදිලිය. සාමාන්‍ය පුද්ගලයකු විසින් මෙය සිදු කරනු ලැබුවේ නම්, පොලිසිය කිසි විටෙකත් මෙලෙස කටයුතු කරන්නේ නැත. මෙයින් පැහැදිලි වන්නේ බලය හමුවේ රටේ නීතිය එක් එක් පැත්තට නැවෙන බවය. රාජ්‍ය බලය නොමැතිවත් මොවුන්ට නීතිය කි්‍රයාත්මක නොවන්නේ නම්, රාජ්‍ය බලය ඇති විට මොවුන් කෙසේ කටයුතු කරන්නට ඇත් දැයි මෙයින් ඔබට වැටහෙනවා ඇත.
රමිතට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවුණු ප්‍රථම අවස්ථාවද මෙය නොවේ. වරක් ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ‘ඒ’ කණ්ඩායම සමඟ තරග සංචාරයකට සහභාගී වී ආපසු පැමිණෙන විට බීමතින් ගුවන් යානය තුළ පිස්සු නැටුවේය. එදා මොහුගේ පිස්සු නැටීමෙන් ගුවන් යානය අනතුරකට ලක් නොවී බේරුණේ යාන්තමිනි. එහෙත්, එදා ඔහුට විරුද්ධව කිසිදු නීතිමය පියවරක් ගත්තේ නැත. ඉන් පසු දිනක රාත්‍රි සමාජ ශාලාවක බීමතින් තවත් කි්‍රකට් ක්‍රීඩකයකු සමඟ ගුටි කෙළියක් ඇති කර ගත්තේය. එදා අනෙක් කී්‍රඩකයාට වසරක කාලයක් සඳහා ජාත්‍යන්තර මෙන්ම දේශීය තරගද තහනම් කළද, රමිතට කිසිදු තරග තහනමක් නොපැමිණුණු අතර, ඒ වන විට එංගලන්තයේ පැවැත්වෙමින් තිබූ විස්සයි 20 තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව පවා ලබා දුන්නේය. එපමණකුදු නොව සිය පියාට රජයෙන් ලබා දුන් වාහනය අධික වේගයෙන් ධාවනය කිරීමෙන් මොහු මීට වසරකට පමණ පෙර අනතුරක් සිදු කළේය. එදින ඔහු රිය පදවා තිබුණේ බීමතින් වන අතර, අදාළ වාහනයේ ලියාපදිංචි අංක තහඩු පවා නොතිබිණි. එහෙත්, එදා මෙම සියලුම වැරදිවලට ලැබුණු එකම දඩුවම වූයේ දින කිහිපයකට ඔහුගේ රියදුරු බලපත්‍රය අත්හිටුවීම පමණි. සාමාන්‍ය පුද්ගලයකු විසින් රිය පැදවීමේදී එකවර මෙම වැරදි සියල්ල සිදු කරනු ලැබුවේ නම්, පොලිසිය කෙසේ කටයුතු කරාවි දැයි අප ඔබට අමුතුවෙන් සඳහන් කළ යුතු නැත.
මොහුට එරෙහිව රටේ නීතිය පමණක් නොව ක්‍රීඩාවේ නීතියද හරිහැටි ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නොමැත. යම් ක්‍රීඩකයකු අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති නම්, ඔහුට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වේ. මේ සඳහා ඕනෑ තරම් උදාහරණ ක්‍රීඩා ලොවෙන් සොයා ගත හැකිය. එපමණක්ද නොව ක්‍රීඩා පිටියේදී මෙන්ම ඉන් පිටතදීත් විනය විරෝධීව හැසිරෙන්නේ නම්, ඒ සඳහා ද දඩුවම් ලබා දේ. එහෙත්, රමිතට එරෙහිව මෙම කිසිදු අවස්ථාවකදී හෝ නීතිය හරිහැටි ක්‍රියාත්මක වූයේ නැත. මෙම සියලුම වරප්‍රසාද ඔහුට හිමි වී ඇත්තේ, ඔහු රටේ දේශපාලනඥයකුගේ පුතකු නිසා ඒ හරහා ගොඩනැගුණු දේශපාලන බලය නිසාවෙනි. මින් ඉදිරියටත් මොහු විසින් වරදක් සිදු කළ ද ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වේවි දැයි සැකසහිතය. යම් හෙයකින්, ඔහුගේ පියාගේ පාර්ශ්වයට ඉදිරියේදී රාජ්‍ය බලය හිමි වුවහොත්, ඒ පිළිබඳව කතා කිරීමට නොව සිතීමටවත් නොහැකි වනු ඇත.
මෙහිදී තවත් කරුණක් පිළිබඳව සඳහන් කළ යුතුය. මීට පෙර රජයේ ප්‍රබල ඇමතිවරයකුගේ යැයි කියන වාහනයක ගැටී තරුණයකු අනතුරට පත් වූ අවස්ථාවේදී සහ රජයේ පාර්ශ්වය නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරියකට අයත් ඩිෆෙන්ඩර් රථයකින් තරුණයකු පැහැරගෙන ගියා යැයි කියනු ලබන සිද්ධීන්වලදී එම තරුණයන් වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළුෑ ඊනියා දේශප්‍රේමීන්ගේ ඇස්වල මෙම තරුණයන් දෙදෙනා වෙනුවෙන් කඳුළු නොතිබීමය. මෙහිදී රමිතට විරුද්ධව මෙම බොරු දේශප්‍රේමීන්ගේ කටින් එකදු වචනයක් හෝ පිට නොවන්නේ ඔහුගේ පියාද මෙම පාර්ශ්වයේම අයකු වීම නිසාය. මේ බව ඔවුන් නාමල්ලා, යෝෂිතලා කී්‍රඩාපිටියේදී යකා නැටූ අවස්ථාවලදී පවා ඔප්පු කර ඇත.
පුද්ගලයන් අතර, ජාතීන් අතර පමණක් නොව රටවල් අතර පවා සමගිය ඇති කිරීමේ හැකියාව ඇති ක්‍රීඩාවට මෙවැනි ශෝචනීය ඉරණමක් අත් වී තිබීම සැබැවින්ම ඛේදවාචකයකි. මහත්වරුන්ගේ ක්‍රීඩාව ලෙස සැලකෙන ක්‍රිකට් ක්‍රීඩාවට මෙය අත් වී තිබීම එය වඩාත් තීව්‍ර කරන්නක් වේ.


සමන් රණවක ආරච්චි