උන්හිටි තැන් අහිමි කරන හෝමාගම ‘ටෙක්නෝ සිටි’ය

11-012
ජනතාවගේ පැතුම් සහ ජනාධිපතිගේ පැතුම්
April 2, 2018
din-06-21-dm-12-war20062016_cmy
කඩුවෙල, ගැමුණුපුර සුසාන භූමියටත් සොහොන් ලකුණු
April 2, 2018
Show all

උන්හිටි තැන් අහිමි කරන හෝමාගම ‘ටෙක්නෝ සිටි’ය

newa-bhakti-park-a-wing-phase-1-elevation-14997918

රටක සංවර්ධනය යන්නෙන් අදහස් කරන්නේ මොකක්ද කියලා අපේ රටේ ජනතාවගෙන් විමසුවහොත්, ඒකට ලැබෙන පිළිතුර මොන වගේ එකක් වෙයිද කියලා පූර්ව නිගමනයකට එන්න අමාරුයි. මොකද? සංවර්ධනය කියන එක අපේ රටේ අර්ථගන්වලා තියෙන්නේ, වෙනස් ආකාරයකට නිසා. ගොඩක් දෙනෙක් කියයි. පාරවල් හැදිලා, නගර අලංකරණය වෙලා, ඇවිදින්න මං තීරු හදලා තියෙන එක සංවර්ධනය කියලා. නමුත්, ඒ දේවල් සංවර්ධනය කියන මාතෘකාවේ එක් එක් අංශ විතරයි.
සැබෑ සංවර්ධනයකදී රටේ ආර්ථීක හැකියාව වර්ධනය වෙන්න ඕනෑ. එහි ප්‍රතිලාභ ජනතාව වෙතට ගලාගෙන එන්න ඕනෑ. ජනතාවගේ ආර්ථීක හැකියාව වර්ධනය වෙන්න ඕනෑ. රටේ නිෂ්පාදන කර්මාන්ත වර්ධනය වෙලා, රටට මුදල් ගලාගෙන එන මාර්ග විවර වෙන්න ඕනෑ.
රටක සංවර්ධනය කියන්නේ, ක්‍රියාදාමයක්. එහෙමත් නැත්නම්, දම්වැලක්. පාරවල් විතරක් හැදෙන එක මේ දම්වැලේ එක පුරුකක් පාට කරනවා වාගේ වැඩක්. අනෙක් පුරුක් සියල්ල මලකඩ කන්න ඇරලා, තැනක් දෙතැනක් පාට කරන එක සංවර්ධනය නොවෙයි.
අපේ රටේ බහුතර ජනතාවක් ඉන්නේ ආර්ථීක අතින් අන්ත පහළ අඩියක. කෝටි දෙකක් ඉක්මවන ජනතාවක් ඉන්න රටක රාජ්‍ය සේවකයෝ ඉන්නේ ලක්ෂ 13යි. පෞද්ගලික අංශයේ සේවක අර්ථසාධක අරමුදලට දායක වෙලා ඉන්න පිරිස පමණක් ලක්ෂ 46ක් වෙනවා. මේ අය අතුරින් වෙනත් පෞද්ගලික රැකියාවල නිරත වන අය අවම වශයෙන් ලක්ෂ 50ක් පමණ ඉන්නවා. මේ අය තමන්ගේ ජීවිත ගත කරන්නේ තෘප්තිමත්වද? රටක සංවර්ධනය මනින එක මිම්මක් වෙන්නෙ වැඩ කරන ජනතාවගේ නිදහස් කාලසීමාව කියන එක. එහෙමත් නැත්නම්, විවේක කාලය කියන එක. විදේශ රටවල තත්ත්වය ඒ වාගේ වුණාට ලංකාවට ඒක එහෙම නොවෙයි.
මෙරට මෙතෙක් ක්‍රියාත්මක වුණු සංවර්ධන ව්‍යාපෘතිවල සංඛ්‍යාව සලකා බලන කොට අපේ රටේ ජන ජීවිතය තවමත් මේ තරම් පහළ අඩියක තියෙන්නේ කොහොමද කියන එක විමසා බැලිය යුතු කාරණයක්. ඒත්, තවමත් සංවර්ධන ව්‍යාපෘතීන් විදියට එක් එක් යෝජනා ක්‍රම ක්‍රියාත්මක වෙනවා. මේ හැම ව්‍යාපෘතියක් වෙනුවෙන්ම බර උසුලන්නේ රටේ සාමාන්‍ය ජනතාව වුණාට මේ ව්‍යාපෘතීන් හරහා ලැඛෙන ප්‍රතිඵල භුක්ති විඳින්නේ රටේ එක් පැලැන්තියක් විතරයි.
මේ සටහන ලියවෙන්නේ තවත් එවැනි එක් ව්‍යාපෘතියක් පිළිබඳව කරුණු පැහැදිලි කිරීමේ අරමුණෙන්. ‘තාක්ෂණ නගර ව්‍යාපෘතිය’ නමින් හෝමාගම ප්‍රදේශය මූලික කරගෙන අක්කර 4,000ක් ඉක්මවන භූමියක් ආවරණය වන ආකාරයෙන් දැනට මෙම ව්‍යාපෘතිය සැලසුම් කරලා තියෙනවා. ‘මෙගා පොලිස්’ අමාත්‍ය චම්පික රණවක කියන විදියට ග්‍රාම සේවා වසම් හතක භූමි ප්‍රදේශයක් මේ නව ව්‍යාපෘතියට අයත් වෙනවා. පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ප්‍රදේශ වාගේම හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් අයත් වන මෙම භූමිය පරිසමාප්ත අර්ථයෙන්ම සශ්‍රීක භූමියක්. පරිසරය සෞම්‍යයි. කොළ පාටින් දිදුලන පරිසරය නෙතට වාගේම ගතටත් සුවදායකයි. තේ, පොල්, රබර් කියන ප්‍රධාන වාණිජ භෝග තුනම මේ ප්‍රදේශයේ හොඳින් වැඩෙනවා. ඒ වාගේම පුවක් සහ කුරුඳුත් වැවෙනවා. වී වගාවත් සිදු කෙරෙනවා.
තාක්ෂණ නගර ව්‍යාපෘතිය නමින් නම් කර ඇති සියලුම ඉඩම් එම ප්‍රදේශයේ ජනතාව පරම්පරා ගණනාවක් ජීවත් වුණු පරම්පරා ඉඩම්. චම්පික අමාත්‍යවරයා කියන විදියට මෙම ව්‍යාපෘතිය සඳහා පවරා ගනු ලබන්නේ ප්‍රදේශයේ පවතින ප්‍රමාණයෙන් විශාල ඉඩම් පමණයි කියන කතාව එම ප්‍රදේශයේ ජනතාව විශ්වාස කරන්නේ නැහැ. ඒ වාගේම තමයි. මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරීන්ගේ ප්‍රකාශ අනුව රබර් වගාවක් තියෙන ඉඩමක් ඔවුන් සලකන්නේ හිස් ඉඩමක් විදියට. පොල් සහ තේ වගා කරලා තියෙන ඉඩමක් වුණත්, එම නිලධාරීන් සලකන්නේ හිස් ඉඩමක් විදියට.
මෙම තාක්ෂණ නගර ව්‍යාපෘතිය එක් එක් තාක්ෂණ නගරයන් සම්බන්ධ කරමින්, ජාලයක් ලෙසින් අදියර හතරකදී නිර්මාණය කරන්න සැලසුම් සකස් කරලා තියෙනවා. එක් නගරයක සිට අනෙක් නගරයට අඩි 70 සිට 120 දක්වා පුළුල් කාපට් ඇතිරූ මාර්ග නිර්මාණය කරන්න නියමිතයි.
කුඩා ඉඩම් පවරා ගැනීමක් සිදු නොවන බවට මෙගා පොලිස් ඇමතිවරයා මෙන්ම නිලධාරීන් පැවසුවාට ජනතාවට නිලධාරීන් පිළිබඳව වාගේම දේශපාලකයන් පිළිබඳවත් විශ්වාසයක් ඇත්තේ නැහැ.
නිසි පරිදි ශක්‍යතා අධ්‍යයනයක් හෝ නොකර පරිසර වාර්තා නොතකා සිදු කිරීමට නියමිත මෙම ව්‍යාපෘතිය හේතුවෙන් අවතැන් වන ජනතාව 1,12,000ක් පමණ වන බව වාර්තා වෙනවා. ඔවුනට එම තාක්ෂණ නගරය තුළම නිවාස සංකීර්ණයක නව නිවාස ලබා දීමට නියමිතයි.
ඒක එක අතකින් ඛේදවාචකයක් වාගේම හාස්‍යයට කරුණක්. වෙල් දෙනියේ, බඩවැටියේ, ඕවිටේ ඇවිදපු මිනිස්සු වත්තේ, පිටියේ වැවෙන ගසකින් පලදාව නෙළා ගත්තු මිනිස්සු නිවාස සංකීර්ණයක හිර වෙලා ගත කරන ජීවිතයක් කියන්නේ හිතින් හිතා ගන්න අමාරු දෙයක්.
නමුත්, ඇත්තෙන්ම පවරා ගනු ලබන අක්කර 4,000ක භූමි ප්‍රමාණය තුළ එතරම් විශාල ජනගහනයක් මේ මොහොතේ ජීවත් වන්නේ නෑ. එයින් කියවෙන අනෙක් කරුණ තමයි, බාහිරින් පුද්ගලයන් ගෙනවිත් එම නගරය තුළ පදිංචි කරනවා කියන කාරණය. මෙම තාක්ෂණික නගර ව්‍යාපෘතිය කොරියානු ආධාර මගින් සිදු වන ව්‍යාපෘතියක්. නගර සංකීර්ණය පුරා ඉදි වන රෝහල්, අධ්‍යාපන ආයතන ආදී සියලුම ආයතන පෞද්ගලික අංශයට අයත් ඒවා. ඒ නිසාම මෙම සියලුම ආයතන මුදල් ගෙවා ලබා ගත හැකි සේවාවන් සපයන ආයතන බව පැහැදිලියි. අපේ අති සංවේදී පරිසර පද්ධතියක් විනාශ කරලා ඉදි කරනු ලබන මෙම ව්‍යාපෘතිය මුලින් සඳහන් කළා වාගේම අපේ ජන ජීවිතයට ගැලපෙන අපේ මිනිසුන් ඉල්ලා සිටින සංවර්ධනයක් නොවෙයි.
ඇත්තෙන්ම සිද්ධ වෙන්නේ මේ බිමේ මිනිසුන් මේ බිමේ ම ආගන්තුකයන් බවට පත් වීම හෝ අවතැන් වූවන් බවට පත් වීම පමණයි. ඔවුන් උපන් බිම් කඩ තවත් එක් විදේශික කොලනියක් බවට පත් වීමේ අනතුරක් නිර්මාණය වෙමින් තිබෙන බව අප එම ප්‍රදේශයේ සිදු කළ සංචාරයේදී ප්‍රදේශවාසීන් පවසා සිටියා.
කොට්ටාව, කඩුවෙල, පිටිපන, මාලබේ, දියගම, මීගොඩ ප්‍රදේශ ආවරණය වන අයුරින් මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මේ වෙන කොටත් කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව ඉඩම් අත්පත් කර ගැනීම් සිදු වෙනවා. එම පවරා ගත් ඉඩම් සඳහා මේ වන තුරු කිසිදු තක්සේරුවක් හෝ කර ඇත්තේ නැහැ. අද වන විට හෙළිදරවු වී ඇති කරුණුවලට අනුව මහහේනවත්ත ප්‍රදේශයෙන් පමණක් අක්කර 4,000ක් පවරා ගැනීමට සැලසුම් සකස් කරලා ඉවරයි. ඒ වාගේම දාම්පෙ නැගෙනහිර, හොරගල, බටහිර හොරගල, පිටිපන උතුර, හොරකඳවල, ඛෙරුකැටිය ආදී ප්‍රදේශ ගණනාවක් මේ ව්‍යාපෘතියට අයත් වෙනවා.
ඇත්තෙන්ම මෙම ව්‍යාපෘතිය පිළිබඳ නිවැරදි තොරතුරු පිළිබඳව තවමත් ප්‍රදේශයේ ජනතාව ප්‍රමාණවත්ව දැනුම්වත් නැහැ. ප්‍රදේශවාසීන්ගේ අදහස වෙන්නේ ජනතාවට කොළේ වහලා ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි. දැනට හෙළිදරවු වී ඇති තොරතුරුවලට අනුව කලාප හතරක් පුරා විහිදෙන මෙම තෘක්ෂණ නගරය මහහේනවත්ත කලාපය පර්යේෂණ සංවර්ධන හා තෘතීය සංවර්ධන කලාපය ලෙසත්, මාලඹේ කලාපය අධි තාක්ෂණික කලාපයක් ලෙසත්, මීගොඩ ඉලෙක්ට්‍රොනික් කලාපයක් ලෙසත්, දියගම විවේක හා කී්‍රඩා කලාපයක් ලෙසත් සකස් කිරීමට නියමිතයි.
ඇත්තෙන්ම මේ සියලු අංශයක්ම ප්‍රදේශයේ ජනතාවගේ ජීවිතවල සංවර්ධනයට සිදු කරන දායකත්වය බොහො ම දුරස්ථ බව ඔවුන් විසින් මේ වන විට වටහාගෙන අවසන්. ඒ නිසාම ඔවුන් මෙම ඊනියා සංවර්ධන ව්‍යාපෘතියට එරෙහිව විරෝධතා ක්‍රියාමාර්ගවලට එළඹීමට සූදානමින් සිටිනවා. විවිධ කණ්ඩායම් විසින් දැනටමත් ඔවුන්ව තමන්ගේ බල වුවමනාවන් වෙනුවෙන් මෙහෙයවමින් සිටිනවාද යන සැකය එම ප්‍රදේශයේ අප කළ සංචාරයේදී ඇතැමෙකු කළ ප්‍රකාශ හේතුවෙන් අපගේ සිත් තුළ මතු වුණා කිව්වොත්, නිවැරදියි. දියුණු දැක්මක් හා නිවැරදි සංවිධානාත්මක බවකින් තොරව අරගල කිරීම මෙවැනි දැවැන්ත ව්‍යාපෘතියක මෙහෙයුම්කරුවන්ට බලපෑමක් කරන්න තරමට ශක්තිමත් වේවි ද කියන කරුණ අප හා අදහස් දැක් වූ කීප දෙනෙකුගෙන්ම ප්‍රකාශ වුණු අදහසක්. මේ බිමේ ජීවත් වන ජනතාවට ආදායම් උපයා ගැනීමේ මාර්ගයක් වශයෙන් ප්‍රදේශයේ වගා කරන භෝග සඳහා සාධාරණ මිලක් නියම වීමම පමණක් ප්‍රමාණවත් බව තවත් අයෙකු අප හා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා.
කොහොම වුණත්, මේ සංවේදී පරිසර පද්ධතියත් රැක ගනිමින්, අපේ රටේ අපට ගැලපෙන සංවර්ධනයක් ඇති කිරීම පාලකයන්ගේ වගකීමක්. ඒ වාගේම එවන් සංවර්ධනයක් සඳහා අරගල කිරීම ජනතාවගේ වගකීමක්. ජනතා වුවමනාවන් නොසලකා හැරලා සිදු කරන සංවර්ධනයක් තියෙන්න පුළුවන්ද?

අපට ගැලපෙන සංවර්ධනයක් ඕනෑ
නිහාල් රණසිංහ, ලේකම්, දාම්පෙ ගම සුරැකීමේ සංවිධානය
අමරතුංග

අපි දෙවතාවක් චම්පික ඇමතිතුමා හමු වෙන්න ගියා. මේ ව්‍යාපෘතියට පොඩි ඉඩම් ගන්නෙ නෑ කියලා කියනවා. නමුත්, පොඩි ඉඩම් අතෑරලා ලොකු ඒවා විතරක් අරගෙන හදන තාක්ෂණ නගරය මොකක්ද?
මේකෙ ඇත්ත තත්ත්වය අපට හංගනවා. මේ අය උදුරා ගන්නේ අපේ පාරම්පරික ඉඩම්. ඔය කියන ප්‍රතිලාභ ජනතාවට ලැඛෙනවා නම්, කෙළින්ම පැහැදිලි කරන්නේ නැත්තේ ඇයි? ගමෙන් පිරිසක් හෝටලයකට ගෙන්නලා, පැය හයක් විතර මේ ගැන කතා කළා. නමුත්, ඇමතිවරයාගේ පැහැදිලි කිරීමත් පැහැදිලි නෑ.

මේවා රටේ තියෙන හොඳම ඉඩම්
සභාපති, හෝමාගම ජන අයිතීන්
සුරැකීමේ සංවිධානය

නිලධාරීන්ට සහ පාලකයන්ට අපි අදටත් ආදායම් ගන්න පොල්, රබර් ඒ ඉඩම් පේන්නේ හිස් ඉඩම් විදියට. ඔවුන් අපේ ඉඩම් ඒ ආකාරයෙන් නාමකරණය කරලා තමයි, මේ ව්‍යාපෘතියට පවරා ගන්න යන්නේ. පවරා ගත් ඉඩම්වලට වන්දි හෝ විකල්ප ස්ථාන නැහැ.
මේක සාරවත් බිමක්. හැමදේම හැදෙන, හැමදාම වතුර ටික තියෙන මේ වගේ ඉඩම් අපට ඵල ප්‍රයෝජනයක් නැති මේ වාගේ ව්‍යාපෘතිවලට තෝරා ගන්නේ ඇයි? ඕනෑ තරම් මුඩු බිම් මේ රටේ තියෙනවා. ඇයි මේ තරම් සංවේදී පරිසරයක් විනාශ කරන්නේ කියලා තේරුම් ගන්න බැහැ. අපි මේකට එරෙහිව නිවැරදි දැක්මක් සහිතව සංවිධානය වෙලා කටයුතු කරනවා.


සටහන
කිත්සිරි කොඩිතුවක්කු