ගැටුම්වල වාසිය පාලකයන්ටයි (ජනතා විමුක්ති පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක ගයාන් ජානක හේරත්)

01-England-Outline
බ්‍රිතාන්‍යයෙන් කොක්කක්
April 2, 2018
full-01
හමුදාව පාවා දුන් මහා දේශප්‍රේමියා ජනතාවගෙන් වසන්වීම
April 2, 2018
Show all

ගැටුම්වල වාසිය පාලකයන්ටයි (ජනතා විමුක්ති පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක ගයාන් ජානක හේරත්)

නුවර

පිළිගත් දේශපාලන පක්ෂයක සංවිධායකවරයෙකු විදිහට ඔබ නියෝජනය කරන මහනුවර පසුගිය දිනවල සිදුවුණු ජාතිවාදී ගැටුම් පිළිබඳව ඔබගේ පැහැදිලි කිරීම මොකක්ද?

අපි මේක අහඹු සිදුවීමක් නිසා ඇති වුණු දෙයක් විදිහට දකින්නේ නැහැ. කාලයක් පුරා රට තුළ නඩත්තු කරමින් ආ ජාතිවාදයේ එක් ප්‍රකාශවීමක් විදිහට තමයි මේ සිදුවීම දකින්නේ. කාලයක් පුරා යම් යම් පිරිස් විසින් වපුරන ලද ජාතිවාදයේ අස්වැන්න තමයි අපි අද මේ සමාජයක් විදිහට නෙළමින් සිටින්නේ.
ඒක අපේ රටේ පාලකයන් දිගින් දිගටම තමන්ගේ බල ව්‍යාපෘතීන් වෙනුවෙන් නඩත්තු කරමින් පවත්වාගෙන එන දෙයක් මිසක්, පොදු ජනතාව අතරින් පැන නගින දෙයක් විදිහට අපි දකින්නේ නැහැ.

ජාතිවාදය සහ ආගම්වාදය කියන කරුණුත් එක්ක වත්මන් දේශපාලනයට සෘජු සම්බන්ධයක් තියෙනවා නේද?

බලයේ සිටින කණ්ඩායම් තමන්ගේ බලය ආරක්ෂා කරගන්නත්, අනික් කණ්ඩායම් තමන්ට බලය ලබා ගන්නත් ඉතාමත් පහත් විදිහට ජාතිවාදය භාවිතා කරමින් ඉන්නවා. මෙවැනි විරසකයන් නිර්මාණය කරන ඔවුන්ම එම විරසකයන් නිදැල්ලේ පවතින්න ඉඩ හරිමින් අවශ්‍ය විටෙක පාවිච්චි කිරීමේ තත්ත්වයක් අපට දකින්න ලැබෙනවා. මේක මේ රටේ පාලකයන් විසින් ඉතිිහාසය පුරා කරමින් ආ දෙයක් මිසක් අලුත් දෙයක් නෙමෙයි.
පසුගිය තිස් අවුරුද්දක් ඉක්ම වූ බෙදුම්වාදී යුද්ධයත් එවැනි එකක්ම තමයි. පසුගිය පළාත් පාලන මැතිවරණයත් එක්ක වත්මන් ආණ්ඩුවට ජනතාව විසින් බරපතළ අනතුරු ඇඟවීමක් කළා. ඡන්ද ලක්ෂ ගණනකින් ආණ්ඩුව පසුබෑමකට ලක්වෙලා තියෙනවා. ඒ නිසාම ආණ්ඩුවට නැවත මේ ඡන්ද ටික තමන්ගේ ගොඩට එකතු කර ගන්න උවමනා වෙලා තියෙනවා. ඔවුන් ඒ සඳහා නොයෙකුත් උපක්‍රම තෝරනවා. අගමැතිට අගමැතිකම වගේම, අනෙකුත් මැති ඇමතිවරුන්ට තමන්ගේ තනතුරු රැකගන්නේ කොහොමද කියන එක තමයි මේ වෙනකොට ප්‍රධාන වෙලා තියෙන්නේ.
ඒ් නිසා ඔවුන්ට මේ වගේ සිදුවීම් පාලනය කරන්න මැදිහත් වෙන්නත් දෙවරක් හිතන්න වෙලා තියෙනවා. මොකද මුස්ලිම් මිනිහට ගහනකොට ඒකට විරුද්ධවෙලා ඒ දේවල් කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළොත් තමන්ට සිංහල බෞද්ධ ඡන්ද ටික අහිමිවෙයි කියලා මේ අය කල්පනා කරනවා. ඒ නිසා ඒ ඡන්ද ටික අහිමි කර ගන්නේ නැතිව තමන්ගේ බල ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියන එක තමයි ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ උවමනාව වෙලා තියෙන්නේ.
එතනදී රටේ ජනතාවගේ දේපොළ විතරක් නෙමෙයි ජීවිත අහිමි වුණත් ඔවුන් ඒ දේවල් දෙවෙනි තුන්වෙනි තැනට දාලා තමන්ගේ බලය ආරක්ෂා කර ගැනීම කියන එකට ප්‍රමුඛස්ථානය දෙනවා.
එතනදී නැවත වරක් මේ රට යුදමය තත්ත්වයක් කරා ගෙන යාම හෝ එවැනි තත්ත්වයකට ඉදිරි පරම්පරාවලට මුහුණ දීමට සිදුවීම පිළිබඳව හෝ අපේ වත්මන් පාලකයන්ට වගකීමක් හෝ තැනීමක් ඇත්තේ නැහැ. ජාතිවාදය හෝ ආගම්වාදය ඔවුන් විසින් වපුරනුු ලබන්නේම තමන්ගේ දේශපාලන බල ව්‍යාපෘතීන් සඳහා අවශ්‍ය විටෙක වාසියක් අත්කර ගැනීමේ අරමුණින්ම පමණයි.
ඒක එක අතකින් මේ රටේ දේශපාලනය පත්වෙලා තියෙන අර්බුදයේ්ම එක් ආකාරයක ප්‍රකාශ වීමක් හැටියට පෙන්වන්න පුළුවන්. මොකද වත්මන් පාලකයන්ට රටේ ජනතාවට කියන්න වැඩදායී දෙයක්, ප්‍රතිඵලදායී දෙයක් ඇත්තේ නැහැ. ඒ නිසාම තමන්ගේ බලය ආරක්ෂා කරගන්න ආණ්ඩුවත්, තමන්ගෙන් ගිලිහුණු බලය නැවත ලබා ගන්න අර අඳින කණ්ඩායමුත් ජනතාව අතර විරසකයන් ඇති කරලා, බේදභින්නතා ඇති කරන්න කටයුතු කරන බව ඉතාම පැහැදිලියි.

මෙවැනි ගැටුම්කාරී තත්ත්වයන් ඇති කිරීමේදී රටේ තරුණ කොටස්, විශේෂයෙන්ම විරැකියාවෙන් පෙළෙන තරුණයන් මෙවැනි කාර්යයන් සඳහා නැඹුරු කර ගැනීමක් දකින්න තියෙනවා නේද?

ඇත්තෙන්ම ඒක ඉතාම කනගාටුදායක දෙයක්. මේ අයව මෙහෙයවන අය හැමදාම හිටියේත්, දැන් ඉන්නේත් තිරය පිටිපස්සේ. ඒ අය එළියට එන්නේ නැහැ. ඒ අය ඇතුළෙ ඉඳන් තමන්ගේ ඉත්තන් විදිහට ඔබ සඳහන් කළ කොටස් මෙවැනි ගැටුම්කාරී කාර්යයන් සඳහා මෙහෙයවනවා.
ඇත්තෙන්ම මේ තරුණ පිරිස් මේ රටට වැඩදායී ආකාරයෙන් යම් මෙහෙවරක නියැලෙන්න කැමති පිරිසක්. නමුත් ඔවුන්ට එම අවස්ථාවන් අහිමි කරලා තියෙන අයම ඔවුන්ව තමන්ගේ බල ව්‍යාපෘතීන් වෙනුවෙන් මෙහෙයවනවා. සමහර විට මෙවැනි ගැටුම්වලට මැදිහත් වෙන පිරිස් තමන්ට ඒ තුළින් යම් වාසියක් බලාපොරොත්තු වෙනවා වෙන්නත් පුළුවන්.
මෙවැනි ගැටුම් ඇති කිරීම අරමුණු කර ගනිමින්ම පිහිටුවාගෙන ඇති නොයෙක් සංවිධාන අරගෙන බැලුවොත් ඒවාට ආරක්ෂාව වගේම මූල්‍ය ප්‍රතිපාදනත් එවැනි සංවිධාන පිහිටුවන්න අනුබල දීපු අය විසින් ලබා දීලා තියෙනවා. නමුත් අවසානයේදී මේ ව්‍යසනකාරී තත්ත්වයන්වල ගොදුරු බවට පත් වෙන්නේත් මේ සඳහා එළිපිට ක්‍රියාකාරී වන පිරිස් විතරයි.
ඒ අය හැමදාම පීඩනයට පත් වෙන මිනිස්සු. අන්තිමට වගඋත්තරකරුවෝ වෙන්නේත් අපේ පන්තියේ ඒ පීඩිත මිනිස්සුම තමයි. දේපොළ නැති වෙන්නේ, ජීවිත පවා නැති වෙන්නේ සෑම සියලු දෙයක්ම සිදු වෙන්නේ පොඩි මිනිහට විතරයි. අන්තිමට හිරේ විලංගුවේ වැටෙන්න වෙන්නේත් පොඩි මිනිහටම විතරයි.
දිගන සිද්ධියේත් අවසාන වශයෙන් සිද්ධ වෙන්න පුළුවන්කම තියෙන්නේ මේ පහරදීම්වලට හවුල් වුණු පිරිස් වැරදිකරුවන් බවට පත්වීම විතරයි. සැබෑ වගඋත්තරකරුවන් සෑමදාම ආරක්ෂිතයි. මොකද ඒ ඔවුන් එකම පිරිසක් නිසා. බලය ලබා ගැනීමේ තරගය හැරුණු කොට ඔවුන් අතර වෙනත් කිසිදු ආකාරයක විරසකයක් ඇත්තේ නැහැ.

එක පිරිසක් ජාතිවාදීව කටයුතු කරන අතරේ, තවත් පිරිසක් ජාතිවාදය පිටුදැකීම වෙනුවෙන් ක්‍රියාකාරීව මැදිහත් වුණු අවස්ථාවන් මෙවර අපට දකින්න ලැබුණා නේද?

ඇත්තෙන්ම අපේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් පොදු ජනතාවගෙන් බහුතරයක් ජාතිවාදයට සැබෑ ලෙසම විරුද්ධයි. මේ ජාතිකත්වයන් හැම එකකටම අයිති ජනතාව බහුතරයක් දෙනා අනෙක් ජාතිකත්වයන් මත ජාතිවාදීව ක්‍රියාත්මක වෙන්න හෝ බලපෑම් කරන්න කටයුතු කරන්නේ නැහැ. නමුත්, එම ජාතිවාදී නොවන කොටස් පවා මේ ජාතිවාදී මඩ ගොහොරුවලට ඇද ගන්න ජාතිවාදයට උඩගෙඩි දෙන පිරිස් කටයුතු කරනවා වුණාට ඔබ කියූ ආකාරයේ අවස්ථා කිහිපයකුත් මෙවර අපට දැකගන්න ලැබුණා. ඇත්තෙන්ම ඒක සුබදායී දෙයක්.
නමුත්, ඔවුන් තවමත් සංවිධානාත්මක නැහැ. තමන්ගේ අසල්වැසියා වෙනුවෙන් ඒ වෙලාවේ හදවතේ උපන් ලෙන්ගතුකමකින්, හැඟීමකින් කටයුතු කරනවා මිස ජාතිවාදයට එරෙහිව දියුණු සංවිධානාත්මක වැඩපිළිවෙළක් ඔවුන්ට ඇත්තේ නැහැ. ඇත්තෙන්ම ඒක අඩුවක්. ඒ නිසාම ඔවුන් හුදෙකලාව හෝ පුද්ගලයන් විදිහට හෝ කණ්ඩායම් විදිහට වගේම ආගමික නායකයන් විදිහට තනි තනිව ක්‍රියාත්මක වෙන තත්ත්වයක් දකින්න තියෙනවා.
මේ අරමුණ හොඳයි. ඉදිරිපත්වීමත් හොඳයි. නමුත්, ජාතිවාදය ජනතාව තුළ ව්‍යාප්ත කරන කණ්ඩායම් සියල්ල කටයුතු කරන්නේ දේශපාලනිකව සංවිධානය වීමෙන් කියන එක අපි තේරුම් ගන්න ඕන.
ඒ නිසාම ජාතිවාදයට එරෙහිව කි්‍රයාත්මකවීම කියන කාරණයත් දේශපාලනික විය යුතුයි. තමන්ගේ සිත තුළ අනෙකා පිළිබඳ අනුකම්පාවක් හෝ මානුෂික හැඟීමක් තිබූ පමණින් ජාතිවාදයට එරෙහිව ක්‍රියාත්මකවීම දිගුකල් පැවැත්මක් ඇති දෙයක් නෙමෙයි. ඒ නිසාම ජාතිවාදයට එරෙහි පිරිසත් වඩාත් හොඳින් සංවිධානාත්මකව වගේම දේශපාලනිකව එම තත්ත්වයට එරෙහිව ක්‍රියාත්මක විය යුතුයි.

ජන සමාජයක, රටක සංංවර්ධනයට ජාතිවාදය විසින් ඇති කරන බලපෑම මොන වගේද?

ඇත්තෙන්ම ඉතාමත් අහිතකර බලපෑමක්. එයින් රටක වගේම ජන සමාජයක සංවර්ධනයට ඇති කරනු ලබනවා. ඒක පුද්ගලිකව වගේම පොදුවේ රටේ ආර්ථීකයටත් හානි දායකයි. යමෙකුගේ පුද්ගලික දේපොළක් හානි කිරීම පෞද්ගලික කාරණයක් පමණක්ම නෙවෙයි.
ඒක සමාජ කාරණයකුත් වෙනවා. පල්ලියකට, පන්සලකට, වෙළඳ ව්‍යාපාරයකට හානි කළාම ඒකේ බලපෑම සමස්ථ සමාජයටම තියෙනවා. ඒ වගේම රට ජ්‍යාත්‍යන්තරව අපකීර්තියට පත් වෙනවාත් එක්කම විදේශ අතපෙවීම්වලට ඉඩකඩ විවර වෙනවා. ජාතිකත්වයන් වශයෙන් ඛෙදී පැවතීමම අපේ රට තවමත් සමාජ සංවර්ධනයේ මූලික අවස්ථාවන් හෝ අත්පත් කරගෙන නැති බව ප්‍රකාශ වීමක් හැටියට තමයි අපට හඳුනාගන්න වෙන්නේ.

මෙරට තුළ සක්‍රීය දේශපාලන පක්ෂයක් විදිහට ජවිපෙ ජාතිවාදයට විරුද්ධ වෙන්නේ කුමන අර්ථයකින්ද කියන එක පැහැදිලි කරන්න.

විශේෂයෙන්ම අපි පක්ෂයක් විදිහට මෙවැනි කරුණුවලට මැදිහත් වීමේදී අපේ ඡන්දවලට ඇති වන බලපෑම ගැන හිතලා කටයුතු කරන්නේ නෑ. මේ රට අනෙකුත් ජාතිකත්වයන් වගේම සිංහල බෞද්ධ බහුතරයක් වාසය කරන රටක්. නමුත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම පිළිඅරගෙන තියෙන විදිහට අපිත් මේ රට හැමෝටම සමානව අයිතියි කියන පදනමින් කටයුතු කරනවා.
මේ රට ගොඩනැගීම සඳහා ජාතික සමගිය අත්‍යවශ්‍ය සාධකයක් හැටියට සලකලා කටයුතු කිරීම අපේ මූලික කොන්දේසියක් වෙනවා. ඒක අපි ඉහළින්ම පිළිගන්නවා. ඒ නිසාම ජාතිවාදය පරාජය කිරීම කියන කාරණාවත් මම මුලින්ම සඳහන් කළා වගේම දේශපාලනිකව සංවිධානය වීමෙන් කළ යුතු දෙයක් බව අපි දැඩිව විශ්වාස කරනවා. ඒ වගේම ඒ වෙනුවෙන් කටයුතු කරමින් සිටිනවා.
අපි මේ වන විට රටේ සිවිල් සංවිධාන හා විද්වතුන් මෙන්ම පූජ්‍ය පක්ෂයද ඒකරාශී වෙමින් සංවිධානාත්මකව කටයුතු කරමින් සිටිනවා. මේ වන විට දේ්ශපාලන පක්ෂයක් විදිහට ජනතා විමුක්ති පෙරමුණත් සමඟ තවත් සිවිල් සංවිධාන ගණනාවක් ජාතිවාදයට එරෙහිව ‘අපි මිනිස්සු’ නමින් සම්මන්ත්‍රණ මාලාවක් පවත්වාගෙන යමින් තිබෙනවා. එළඹෙන 29දා අපි මහනුවර එක් සම්මන්ත්‍රණයක් පැවැත්වීමට කටයුතු සැලසුම් කරලා තියෙනවා.
අපි ඕනෑම දුෂ්කර තත්ත්වයක් යටතේ වගේම කිසිදු වාසි අපේක්ෂාවකින් තොරව ජාතිවාදයට එරෙහිව ඕනෑම මොහොතක ක්‍රියාත්මක වෙන්න පසුබට වෙන්නේ නැහැ. මොකද මේ බෙදීම් පරාජය කළ යුතුමයි කියන දැඩි විශ්වාසයක් අපට තියෙනවා.


සංවාද සටහන
කිත්සිරි කොඩිතුවක්කු