ජනතාවගේ පැතුම් සහ ජනාධිපතිගේ පැතුම්

full-01
හමුදාව පාවා දුන් මහා දේශප්‍රේමියා ජනතාවගෙන් වසන්වීම
April 2, 2018
newa-bhakti-park-a-wing-phase-1-elevation-14997918
උන්හිටි තැන් අහිමි කරන හෝමාගම ‘ටෙක්නෝ සිටි’ය
April 2, 2018
Show all

ජනතාවගේ පැතුම් සහ ජනාධිපතිගේ පැතුම්

11-012

ජේ.ආර්. ජයවර්ධනගේ බහුභූත ව්‍යවස්ථාව උපයෝගි කරගෙන එදා 2015 වන විට මහින්ද රාජපක්ෂ ඒකාධිපති, ආඥාදායක පාලනයක් රට තුළ ස්ථාපිත කර තිබුණි. එවන් අගාධයකට යමින් තිබුණු රට ජනතාව විසින් බේරා ගනු ලැබුවේ අනූනමයෙනි. මහින්ද රාජපක්ෂ පාලනය අවසන් කර ගැනීම අනිවාර්ය අවශ්‍යතාවයක් වුවත්, ඒ වන විට යුද ජයෙන් ඇස් අන්ධ වී, මහින්දට වැද වැටෙමින්, ඒ දූෂිත හොර ගුබ්බෑයමට වී නිශ්ශබ්දව සිටි මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා ලෙස තෝරාගෙන ජයග්‍රහණය කරවීම විශාල වරදක් බව මෛත්‍රීපාල මහතා විසින්ම තහවුරු කර අවසානය. රාජපක්ෂගේ හොර ගුහාවෙන් ඔහු එළියට ආවේ මියෙම්වා – රැකෙම්වා කියා ජනපති වීමට තිබූ නොනිත් ආශාව නිසා මිස, පැවති ක්‍රමය කෙරෙහි විරෝධයකින් නොවන බව දැන් පැහැදිලිය. ඒ නිසාම ඔහුට දූෂිතයන්ට දඩුවම් කර, නීතිය ස්ථාපිත කර, යහපත් ආර්ථීකයක් බිහි කර, රටත්, ජනතාවත් වැටී සිටි අගාධයෙන් ගොඩ ගැනීමට අවශ්‍යතාවක් නොතිබූ බවත් දැන් පැහැදිලිය.
එදා මෛත්‍රී සමඟ ආණ්ඩුවෙන් එළියට ආ දුමින්ද දිසානායකට අද වන විට මේ තත්ත්වය හොඳින්ම වැටහී ඇතිවාට සැක නැත. පක්ෂයේ මහලේකම් ලෙස ඔහු විශාල වගකීමක් බාර ගත්තද එහිදී ජනතා ප්‍රසාදයට ලක්වන ආකාරයෙන් ක්‍රියා කිරීමට හෝ තමාට ලැබුණු අමාත්‍ය ධුරය ඵලදායී අන්දමට යොදා ගැනීමටද ඔහු අසමත් වී තිබීම වෙනම කතාවකි. ඔහුගේ බෙල්ලද ගිලටීනයට අසු වී ඇති මේ මොහොතේ අපට නම් පෙනෙන්නේ දුමින්දට මෛත්‍රීපාල සමඟ එකඟවීමට නොහැකි තැන් බොහෝ ඇති බවයි. කොහොමත් අද මෛත්‍රී ජනපති හසරක් නොදැන වල්මත් වී සිටින දේශපාලන පුස්සෙකි.
ඒ වන විට දූෂිතයන්ගේ හොර ගුහාවක්ව තිබූ ශ්‍රීලනිප නමැති බෝම්බය මහින්ද මෛත්‍රී අතට දුන්නේ වෙඩි නූල පත්තු කර බව සත්‍යයකි. තමා බලයට පත් කිරීමට දායක වූ සියලු දෙනා හා සිවිල් සංවිධානවලට පිටුපා ශ්‍රීලනිපයේ පට්ට දූෂිතයන්ට තනතුරු, වරදාන – වරප්‍රසාද පුදා ළඟට ගත්තේ පක්ෂය තුළ තමුන්ගේ බලය පවත්වා ගැනීමට අවශ්‍ය වුණු නිසාය. එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකට සමාන කර ගනිමින්, ශ්‍රීලනිපයේ ලේ, මස්, නහරවලින් හැදුණු පුද්ගලයෙකු ලෙස වීර කතා කීවද, ඔහු කිසිදු දේශපාලන පන්නරයක් නොලැබූ, කශේරුකාවක් නැති, මහින්දලා හා හැදුණු වැඩුණු, වහල් හා දාස මානසිකත්වයට ආශා කරන දේශපාලකයෙකු මිස රට පැතූ ජනතාව බලාපොරොත්තු වූ මිනිසා නම් නොවේ.
නීතිපතිගේ ප්‍රමාදයන්, අධිකරණයේ ප්‍රමාදයන්, නීතියේ අඩුපාඩු, නිලධාරින්ගේ දොස්, විනිසුරුවරුන්ගේ විවිධ චර්යාවන්, පෙන්වමින් රාජපක්ෂවරුන්ට හා ඒ කල්ලියේ දූෂිතයන්ට කළ වැරදිවලට දඩුවම් පැමිණවීමට හිතාමතා ප්‍රමාද කරන්නේ ජනපති බව දැන් කාටත් පැහැදිලිය. අගමැති රනිල් සට කපට ලෙස මහින්ද පාර්ශ්වය හා ගණුදෙනු කළද, ඩීල් දැමුවද මහින්දලා හා ආණ්ඩුවක් පිහිටුවා ගැනීමේ දොළදුක ඇත්තේ මෛත්‍රී ජනපතිට බව කොයි කාටත් වැටහේ.
එදා දූෂණ, වංචාවල බලය අයුතු ලෙස යෙදවීම්වල යෙදුණේ මහින්ද ළඟ දැන් සිටින අය පමණක් නොවේ. මෛත්‍රී ජනපති විසින් ඇමතිකම්දී ළඟට ගෙන නළවන අය අතරේද මහා හොරු හා දූෂිතයන් සිටිති. ජනපතිවරයා ළඟට එනවා නම් ඕනෑම හොරෙකු, දූෂිතයෙකු, පාදඩයෙකු, ජාවාරම්කාරයෙකු සැණෙකින් පාරිශුද්ධ භාවයට පත්වෙයි. හොරකම් කළ නිලධාරීන් යහපත් නීතිගරුක අය වෙයි. අවුරුදු තුනක කාලයක් මහින්ද ළඟ සිටි අයට පමණක් නඩු පවරා, ඔවුන් බය කර ළඟට ගැනීමට දැරූ උත්සාහය දැන් පාරාවළල්ලක් වී තිබේ. තමා ළඟ බලයට කෑදරකමෙන් සිටින හොර කල්ලියද මහින්ද ළඟට යාමට, ඔහුගේ පාලන යුගයක් යළි ලබා ගැනීමට හතර අතේ කුමන්ත්‍රණය කරමින්, මෛත්‍රීව මහින්දගේ දෙපා මුලට ගෙනවිත් අතරමං කර අවසානය. මහින්ද, ගෝඨාභය, වීරවංශ වැනි ජාතිවාදී පියවරු ඇති දැඩි කළ මහසෝන්නු, රීරි යක්කු පමණක් නොව ඒ පෙරේතයන් හා කුම්භාණ්ඩයන්ද මෛත්‍රී ජනපතිගේ බලය අස්සේ සැගවී සිටිති. සිවුරු පොරවාගත් ජාතිවාදී, ආගම්වාදී මැරයන් ඉදිරියේ මුනින් වැටී වඳිද්දී මෛත්‍රී ජනපතිගේ අතේ මොවුන් පිරිත් නූල් බඳිති.
මෛත්‍රී ජනපති අවුරුදු හතළිහක් පමණක් ලැග්ගේ ශ්‍රීලනිපයේ බව සැබෑවකි. ඒ පක්ෂයේ තිබූ ප්‍රකාශිත ගුණ ධර්ම වියැකී ගොස් දූෂිත, හොර, කෙළෙහිගුණ නොදත්, ජාතිවාදී, විකාරරූපී දේශපාලන ගති ලක්ෂණ ශ්‍රීලනිපයේ ජීව ගුණය වෙද්දී ඒවා නිසැකවම මෛත්‍රීටද ඇතුල්වන්නට ඇත. රටක් ලෙස සියලු අතින් විනාශයට මුහුණ පා සිටිද්දී හැට දෙලක්ෂයක ජනතාවක් ඒ පාදඩ පක්ෂයෙන් ඔහුව මුදාගෙන රටේ ජනපතිකම භාර දුන්නේ යළි ඒ නරාවලටම පැන එය ගොඩනගන්න නොවේ. දූෂිතයන්, ජාතිවාදීන් ඔඩොක්කුවේ දාගෙන නළවන්න නොවේ. මහින්දලා පාලනයට හවුල් කරගෙන යළිත් ඔවුන්ට බලය ලබා දෙන්න පාර කපන්නට නොවේ.
‘මේ රටේ වැඩියෙන්ම බණින්නේ මට, මාධ්‍ය පහර දෙන්නේ මට, සමාජ ජාලා වෙබ් අඩවි, ෆේස් බුක් පට්ටා ගහන්නේ මාව. කොයි ජනාධිපතිද මෙහෙම බැණුම් ඇහුවේ?’ මෙහෙම අහන්නේ මෛත්‍රී ජනාධිපතිමයි. මේ වගේ තමන් පොරොන්දු වුණු දේවල් කිසිවක් නොකර, ඊට හාත්පසින්ම වෙනස් දේවල් කරද්දි මිනිස්සු නොබැණ ඉඳියිද? මේ වගේ නිවට නියාළු විදිහට ජනතාව සිදු කළ මහා වෙනස පාවා දුන්නේ කවුද? ජනතාව විසින් පරාජය කළ රාජපක්ෂලා හා හොරු නඩයේ අය සමඟ සාකච්ඡා පවත්වමින් යටින් ඩීල් දැමීම ජනතාව ඉවසයිද? රටේ නීතිය නවමින්, දූෂිතයන්, හොරුන්, මිනීමරුවන් රකිද්දී ජනතාව නිහ~ව සිටියිද? ජනතාව විසින් පරාජයට පත් කළ පක්ෂයක් බලයට පත් කිරීමට ජනතා කැමැත්තට පිටින් කටයුතු කරන්නේ කවුද? ජනපතිවරයා ලෙස තමන්ට පැවරුණ වගකීම් පැහැර හරිමින් අගමැති රනිල්ට අවශ්‍ය ආකාරයට රට ගෙන යාමට ඉඩ දුන්නේ කවුද? ශ්‍රීලනිපයේ හොඳම හොරු පිරිසක්, එජාපයෙන් පැන්නූ පිරිසක්, මහාරාජාගේ හෙංචයියන්, මහින්ද ආණ්ඩුවේ හොර නිලධාරින් කිහිප දෙනෙක් ආදි අඳ බාලයන් පිරිසක් වට කරගෙන විකාරරූපී දේශපාලන නාඩගම් නටන්නේ කවුද? ඔහුම නොවේද? එම නිසා එම අවලාද, ඇණුම් බැණුම්වලට හොඳම සුදුස්සාද ඔහුම නොවේද? ඔහු කියන, කරන ජනපතිවරයෙකුට කිසිසේත් නොගැලපෙන කතා සහ ක්‍රියාවන්වල ප්‍රතිඵලය මේ බව ජනපතිවරයා වටහාගත යුතුයි.
දැන් අමාත්‍යාංශවල හරි හමන් රාජකාරියක් කෙරෙන්නේ නැහැ. සියලු රාජ්‍ය ආයතන ඕනෑවට එපාවට රාජකාරි කරමින් සිටිනවා. පරාජිත මහින්දලා රාජ්‍ය නිලධාරින් බිය ගන්වමින් සිටිනවා. ඒ වගේම තවත් දූෂිත නිලධාරින් පිරිසක් මහින්දලාට වාසිදායක අන්දමින් ක්‍රියා කරමින් සිටිනවා. අධිකරණයේ විනිසුරුවන් පිරිසක් පවා ඔවුන් විසින් හසුරුවන බවක් පෙනෙනවා. තවත් පිරිසක් ජාතිවාදය වපුරමින් දියසේන කුමාරයා ලෙස මේ රටේ සිටි බිහිසුණුම පුද්ගලයෙක් වන ගෝඨාභයට ඔටුනු පළඳවන්නට සැරසෙනවා. ඒ අතරේ අගමැති පිරිසක් සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. තවත් පිරිසක් අගමැතිව එළවීමට මහින්දලා සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. දැනට හෙළිදරවු වී ඇති පරිදි මහින්දලා සමඟ ඉදිරියේදී ආණ්ඩුවක් පිහිටුවීමට ජනපති මෛත්‍රී සාකච්ඡා පවත්වනවා. රටේ ආර්ථීකය අයහපත් බව මහ බැංකුවම කියනවා. තරුණ තරුණියන් රැකියා නැතිව හූල්ලමින් සිටිද්දී, ආයෝජකයන් අහක බලාගෙන. මෛත්‍රී ජනපති කළ මෙන්ම රනිල් අගමැති කළ අයද අද දස අතේ දෙස් දෙවොල් තබමින් බලා ඉන්නවා. මෙහෙම අවිචාරවත් යුගයක් බිහි කළ ජනපතිට නොබැණ වෙන කාට නම් බණින්නද? ඇණුම් බැණුම්වලට සීමා නොවී 2020දී ඔහුව පරාජය කර ගෙදර යැවීමටත් ජනතාව මේ වන විට සූදානම්.
දැන් මහින්ද හොරට නායකත්වය දුන්නු පොහොට්ටු පක්ෂය පුංචි ඡන්දයට දැමූ බහුතර පිරිසක් විවිධ දූෂණ, වංචාවලට චෝදනා ලැබූවන්ය. නැතිනම් ඒ අයගේ නෑයන්ය. ඔවුන් සමඟ සම්මුතිවාදීව පළාත් පාලන ආයතන පිහිටුවා ගැනීමටද සමහර ශ්‍රීලනිප නියෝජිතයන් සූදානම් වන බව කියවේ. එසේ වූවොත් රාජපක්ෂලාගේ දූෂණ, වංචා චෝදනා යටපත් කර, ඔවුන්ව ආරක්ෂා කළ පුද්ගලයා ලෙස ජනපති මෛත්‍රී ඉතිහාසගත වේවි. ජනපතිගේ උපදේශකයන් හා එහෙයියන් ගෝඨාභය හෝ වෙනයම් පුද්ගලයකු සමඟ ගිවිසුම් ගත වී මීළඟ ජනාධිපතිවරණයට ගියද, මේ අශුද්ධ සන්ධානයට නැවත ජනතා වරමක් ලැබෙන්නේ නැහැ.
එදා 2015 මේ රට රාජපක්ෂලාගේ වියරු පාලනයෙන් මුදා ගැනීමට කටයුතු කළ ප්‍රගතිශිලි බලවේග යළි ඒකරාශී විය යුතුව තිබෙන කාලයයි මේ. විවිධ සමාජ බලවේග – පුරවැසි සංවිධාන, දූෂණ විරෝධි සංවිධාන හා සකලවිධ බලවේගවලට මේ හැර වෙනත් පිළියමක් නැහැ. බීරි අලින්ට වීණා වයනවා සේ සිය දහස් වර ජනපතිට කීවත්, ලීවත්, සම්මුඛ සාකච්ඡා පැවැත්වූවත් මේ තාක් කිසිදු පලක් වී නැහැ. පොදු අපේක්ෂකයකු හරහා රට නිසි මගට ගැනීමේ න්‍යාය මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණයෙන් පසු අනුගත වූ ක්‍රියාදාමය නිසා අර්බුදයට ගියත්, තව දුරටත් එය පිළිබඳ යම් බලාපොරොත්තුවක් තැබිය හැකියි. මේ රට අනාගතයේ පත්විය හැකි ව්‍යසනවලින් බේරා ගැනීමේ ශක්තිය ඇත්තේද පොදු අරමුණකට පමණය. මහින්දලා, මෛත්‍රීලා ඒකාබද්ධ වුවද, ජයගත හැක්කේ සිංහල බෞද්ධ ජාතිවාදී බලවේගවල ඡන්දය පමණකි. මේ රටේ යහපත් පාලනයක් පතන සිංහල, දෙමළ, මුස්ලිම් බහුතර ජනතාවක් තවමත් ඔවුන්ට එරෙහිව සිටින බවත් සිහිතබා ගත යුතුයි.
මෙතෙක් කාලයක් නායකයන් මාරු කරමින්, පාලකයන් ගැන විශ්වාසය තබමින් කටයුතු කළ ජනතාව දැන් විකල්ප නායකත්වයක් කරා යාමටත් කාලය එළඹිලා. එජාප, ශ්‍රීලනිප පක්ෂ කෙරෙහි විශ්වාසය තබමින් තව දුරටත් කටයුතු කරනවාද? නැතිනම් දූෂණය, වංචාව, සැබවින්ම ප්‍රතික්ෂේප කරන කණ්ඩායමක් කෙරෙහි විශ්වාසය තබනවාද යන්න තීරණය කරන්නටත් කාලය හරි. සැබෑ ජනතා බලවේග ඒකරාශී කරගනිමින්, අලුත් ගමනක් කරා යාමට හැකි ශක්තිමත් බලවේගයක් ගොඩනැගිය යුතු වෙනවා. මේ රට ඉදිරියේ ඇති ඒකාධිපති, භයානක පාලකයෙකු පත්වීමේ අනතුර වළක්වා ගැනීමට නම් එය අනිවාර්යෙයන්ම කළ යුතු වෙනවා.


ඩී. බී. ඇල්කඩුව