හමුදාව පාවා දුන් මහා දේශප්‍රේමියා ජනතාවගෙන් වසන්වීම

නුවර
ගැටුම්වල වාසිය පාලකයන්ටයි (ජනතා විමුක්ති පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක ගයාන් ජානක හේරත්)
April 2, 2018
11-012
ජනතාවගේ පැතුම් සහ ජනාධිපතිගේ පැතුම්
April 2, 2018
Show all

හමුදාව පාවා දුන් මහා දේශප්‍රේමියා ජනතාවගෙන් වසන්වීම

full-01

පසුගිය දින කිහිපයේදී ශ්‍රී ලංකාවේ බුද්ධි අංශය පිළිබඳව සමාජය තුළ ප්‍රබල ලෙස කතිකාවක් ගොඩනැගුණි. ඒ කතිකාව නිර්මාණය වූයේ නිකන්ම නොවේ. මහනුවර ජාතිවාදී ගැටුමත් සමඟ මේ කතිකාව සමාජය පුරා පැතිරෙන්නට විය. විශේෂයෙන්ම ලංකාවේ බුද්ධි අංශය දුර්වල වී ඇතැයි වන මතය මුලින්ම කරළියට රැගෙන ආවේ රාජපක්ෂ කඳවුර විසිනි. ඊට තවත් තල්ලුවක් දුන්නේ රාජපක්ෂ ගැති මාධ්‍යයයි. ඔවුන්ට අනුව ලංකාවේ බුද්ධි අංශය සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇත. බුද්ධි අංශය සක්‍රියව තිබුණා නම් මෙවන් ජාතිවාදයක් නිර්මාණය විය නොහැකි බවද මේ කණ්ඩායමේ මතය වී ඇත. ඔවුන්ට අනුව මේ යහපාලන ආණ්ඩුව රටේ බුද්ධි අංශය සම්පූර්ණයෙන්ම දුර්වල කර ඇත. එහි අවසාන ප්‍රතිඵලය ලෙස ජාතිවාදය පැතිර ගියේය. මෙවන් පට්ටපල් බොරු වපුරමින් රාජපක්ෂ කණ්ඩායම උත්සාහ ගන්නේ ආණ්ඩුව පෙරළා දමා තමන්ගේ බලයක් ගොඩ නගා ගැනීමයි. බලය ලබාගැනීම සඳහා කවර ගණයේ හෝ තක්කඩි කමක් කළ හැකි බව මේ සිදුවීම හරහා යළි යළිත් රාජපක්ෂ කඳවුර තහවුරු කරමින් සිටී.
රාජපක්ෂලාගේ ආණ්ඩුව සමයේ පැවති ජාතිවාදී, ආගම්වාදී, අන්තවාදී ගැටුම් සියල්ලම කරන ලද්දේ ඔවුන්ගේ ආරක්ෂාව යටතේය. එකළ පැවති ගැටුම් විශේෂයෙන්ම අලුත්ගම මුස්ලිම් ජනතාව ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරය වැළැක්වීමට රාජපක්ෂලාට නොහැකි වූයේ බුද්ධි අංශයේ දුර්වලකම නිසාද? නැත කිසිසේත්ම නැත. එදා රාජපක්ෂ බලයේ සිටින විටත්, අද රාජපක්ෂ බලය ලබාගැනීමේ දොල දුකෙන් සිටින විටත්, ඔහු ජාතිවාදය භාවිතා කරන්නේ තමන්ගේ පැවැත්ම වෙනුවෙනි. මෙවර නුවර ජාතිවාදී ගින්න පාවිච්චි කරන්න හදන්නේද ඒ මජර උවමනාව වෙනුවෙනි. සැබවින්ම ලංකාවේ බුද්ධි අංශය දුර්වල කරන ලද්දේ කවුරුන්ද? අන් කවරෙක්වත් නොව රාජපක්ෂලාමය. ඒ සඳහා සාක්ෂි ඕනෑවටත් වඩා වැඩියෙන් පෙන්වා දිය හැකිය.
බුද්ධි අංශ අඩපන කළා යැයි රාජපක්ෂලා යහපාලන ආණ්ඩුවට චෝදනා කළද සැබවින්ම බුද්ධි අංශය දුර්වල කළේ රාජපක්ෂලාය. රාජපක්ෂලා සිය බලය පැවති කාලයේ රාජ්‍ය බලය සහිතව හමුදාව යොදවාගෙන කළ ප්‍රචණ්ඩ ක්‍රියා, නීති විරෝධී ක්‍රියා පිළිබඳව පසුගිය කාලයේ හෙළිදරවු විය. ගෝඨාභය රාජපක්ෂ හමුදාව යොදවාගෙන රට තුළ දැවැන්ත මර්දනයක් දියත් කොට තිබුණේ නොනිල වශයෙනි. ඒ නිසාම අතුරුදන්වූ මිනිසුන්ගේ සංඛ්‍යාව අති විශාලය. අතපය කඩා දැමූ මාධ්‍යවේදීන්ගේ සංඛ්‍යාව ඉහළය. නිහඩ කළ රාජ්‍ය නිලධාරීන්ගේ සංඛ්‍යාව බහුලය. විශේෂයෙන්ම රාජපක්ෂලාට අනුව ලංකාවේ පහළ වූ හොඳම හමුදා නායකයා වූයේ සරත් ෆොන්සේකාය. ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමත් සමඟ ෆොන්සේකා සමඟ සිටි ප්‍රබල බුද්ධි අංශ නිලධාරීන් අකර්මණ්‍ය කළේය. ඇතමුන් අත්අඩංගුවට ගත්තේ විවිධ බොරු චෝදනා ඉදිරිපත් කරමිනි. ඇතමුන් සේවයෙන් ඉවත් කළේය. තවත් සමහරුන්ට රට අතහැර යාමට අවශ්‍ය පසුබිම සකස් කළේය. රාජපක්ෂලා බුද්ධි අංශය දුර්වල කළේ එලෙසිනි.
හමුදා මූලස්ථානය ෂැංග්‍රිලා සමාගමට විකුණා දමන ලද්දේ රාජපක්ෂ ආණ්ඩුව කරන සමයේය. හමුදාවට එල්ල කරන ලද දැවැන්තම ප්‍රහාරය එල්ල කළේ ෂැංග්‍රිලා සමාගමට හමුදා මූලස්ථානය සින්නක්කරව විකුණා දැමීමත් සමඟය. ෂැංග්‍රිලා සමාගමට එතෙක් ලෝකයේ කිසිදු රටක සින්නක්කර භූමියක් තිබී නැත. රාජපක්ෂලා ඒ පහසුකම ෂැංග්‍රිලා සමාගමට නිර්මාණය කරදෙන ලද්දේ කුමන දේශප්‍රේමයක් මතදැයි මෙතෙක් කිසිවෙකුත් ප්‍රශ්න කර නැත. ගාලු මුවදොර පැවති හමුදා මූලස්ථානය විකුණා දැමීමත් සමඟ එම හමුදා මූලස්ථානය පදනම් කරගෙන කරගෙන ගිය පරිපාලන කටයුතු ආදී සියල්ල ඒකක 15කට වෙන් කිරීමට සිදුවිය. එසේ ඒකක 15කට වෙන්කොට කුලියට ගත් ස්ථානවල පවත්වාගෙන යන්නට කටයුතු කරන ලදී. එක් ස්ථානයක් සඳහා මාසික කුලිය ලෙස ලක්ෂ 86ත් කෝටියත් අතර මුදලක් ගෙවන්නට සිදුවිය. ඒ මෙරට ජනතාවගේ බදු මුදල්ය. ඒ අනුව මෙම ඒකක 15 සඳහා මාසිකව ආසන්න වශයෙන් කෝටි 15ක් ගෙවීමට සිදුවිය. මේ කුලී ගෙවීම් හරහා හමුදාවේ ඉහළ නිලධාරීන් කොමිස් මුදල් ලබාගත් බවටද චෝදනා එල්ල විය. මේ සා විශාල මූල්‍ය අපරාධයක් කරමින් රටේ හමුදා මූලස්ථානය පවා විකුණාගෙන ජාතික ආරක්ෂාව හෑල්ලුවට ලක් කළේ අන් කවරෙක්වත් නොව මහා දේශප්‍රේමී පර්සි මහින්ද රාජපක්ෂ බව සුප්‍රසිද්ධ රහසකි.
පසුගිය කාලයේ පැවති කැබිනට් රැස්වීමකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ හමුදා මූලස්ථානය විකුණා දැමීම නිසා රජයට මාසිකව කෝටි 600ක් ගෙවීමට සිදුව ඇති බව සඳහන් කළේ යැයි දිනමිණ පුවත්පත වාර්තා කොට තිබුණි. ඒ කෙසේ වෙතත් මේ දරුණු මූල්‍ය අපරාධය නිසා රට දැවැන්ත කඩාවැටීමකට ලක් වූ බව නම් ඉතාමත් පැහැදිලිය. මෙසේ හමුදා මූලස්ථානය කෑලි 15 කට කඩා දැමූ නිසා හමුදා විනය බරපතළ කඩා වැටීමකට ලක්විය. ඒ නිසාම පාතාලය ඇතුළු විවිධ සංවිධාන වලට එය ප්‍රබල තල්ලුවක් වී ඇතැයි ද චෝදනා එල්ල වේ. විශේෂයෙන්ම හමුදා නිලධාරීන් අනාචාරයේ හැසිරීම්ද වර්ධනය වී ඇතැයි කියවේ. මේ වන විට හමුදා මූලස්ථානය විකුණා දමා වසර හයක් සම්පූර්ණ වී ඇති අතර කෑලි 15කට කැඩීම නිසා මාසිකව ගෙවූ කුලිය විමසා බලන කල්හි ආසන්න වශයෙන් රටේ ජනතාවගේ බදු මුදලින් රුපියල් කෝටි 1080ක් පමණ වෙතැයි කියවේ. මේ රාජපක්ෂලාගේ දේශප්‍රේමයේ තරමය.
විශේෂයෙන්ම මෙය මේ වන විට ජාවාරමක් බවට පත්කර ගැනීමට හමුදාවේ ඉහළ නිලධාරීන් කටයුතු කර ඇති බවට චෝදනා එල්ල වේ. ඉහළ නිලධාරීන් ඉහළ සැප සම්පත් භුක්ති විදිමින් සිටියදී පහළ හමුදා නිලධාරීන් අවම පහසුකම් යටතේ රාජකාරී කටයුතුවල නිරත වෙයි. ඉහළ නිලධාරීන්ගේ සැප වෙනුවෙන් පහළ නිලධාරීන් බිලි බෝයිලා බවට පත්ව ඇත. එවන් තත්ත්වයට හමුදාව පත් කළ රාජපක්ෂලා අද මහ ඉහළින් රණවිරුවන් ගැන කතා කරයි. හමුදාව මේ තත්ත්වයට ඇද දැමීමේ සැබෑ වගඋත්තරකරුවා අන් කවුරුන්වත් නොව රාජපක්ෂලාමය.
මේ ආණ්ඩුවද රාජපක්ෂ අඩිපාරේ යමින් ජාතිවාදය වර්ධනය වීමට අවශ්‍ය පසුබිම සකස් කළේය. ආණ්ඩුවේ බුද්ධි අංශ තමන්ගේ බල වුවමනාවන් වෙනුවෙන් පමණක් පාව්චි කිරීම මේ ආණ්ඩුවේද තියරිය වී ඇත. රාජපක්ෂලාගේ තියරිය වූයේද එයයි. රණවිරුවන් පාවා දෙන්නේ යැයි පාවා දුන් උන් විසින් හ~ නගා කියද්දී ජනතාවද තුෂ්නිම්භූතව බලා සිටින්නේ යහපාලන නායකයෝද එයට අවශ්‍ය පසුබිම සකස් කර දී ඇති නිසාවෙනි.


එස්. කේ. ගමගේ