අයගම දරුවන්ගේ කඳුළු සොයා ගිය ගමනක්…

ටයලාටයබ
ගිනි කන්ද උඩ බල සෙල්ලම
April 3, 2018
මහවැලියේ රැකියා
මහවැලියේ රැකියා ප්‍රෝඩාවක්
April 3, 2018
Show all

අයගම දරුවන්ගේ කඳුළු සොයා ගිය ගමනක්…

ප්‍රිජටබංඓය

පේන නොපෙනෙන තරම් ඈතට විහිදී ගිය තණ පළස… තණ පත්වලට දරා ගත නොහැකි තරමට බර වූ පිනි කැට… ඝන නොවූ ද, තුනී නොවූ ද මීදුම මැදින් මවකගේ හෝ පියෙකුගේ අතේ එල්ලී එන පුංචි සුදු කොකුන් බඳු දරු පැටවුන්… මේ දරු පැටවුන් ‘මුල් ගුරුවරයා’ (ගුරු ගීතයේ දුයිෂෙන්) සොයා එන්නේද? තරමක් මෑතින් පෙනෙන උසට නැගී සිටින තොරණකොත කන්ද… ඊට මුහුණ ලා තිඛෙන බලිගල නැති නම්, උඩුවක් කන්ද අර දරාගෙන සිටින්නේ පොප්ලර් ගස්ද?
මට මා අමතක විය. සිහි එළවාගෙන බැලුයේ දැන් මේ පය ගසා සිටින තැන ගැනය. උදේ පාසල පටන් ගන්නටත් කලින්ම එහි ගිය මා රැඳී සිටින්නේ අයගම රාහුල මධ්‍ය මහා විද්‍යාලයේ (ජාතික පාසලේ) ක්‍රීඩාපිටියේය. වෙන කිසිම පාසලක දැක නැති තරම් විශාල ක්‍රීඩාපිටියක්ය. මේ දක්වා දැක ඇති විශාලම පාසල් ක්‍රීඩාපිටිය මෙන් දෙතුන් ගුණයකින් විශාලය. ජීවිතයට නොදුටු ස්ටෙප් තණබිමේ අංශු මාත්‍රයක් වැන්න.
මේ බිම හරහා ඇවිදගෙන යන පුංචි පැටවුන්ගේ පාසල් ගොඩනැගිල්ල තියෙන්නේ පිටිය කෙළවරේ අයිනකය. අඩි සියයකට වැඩිය දිග ගොඩනැගිල්ලකි. තද වැස්ස ඇදහැලෙන කාලයට මේ ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම යට වේ. කළු ගෙඟ් ප්‍රධාන අත්තක් වූ පරගල් ගඟ නැත්නම්, ගලතුර ගඟ දෙගොඩතලා යාමෙන් මේ පිටිය සහ ගොඩනැගිලි යට වේ. වැස්සට ගංවතුර දෙගොඩතලා ආව ද, වැසි අවසන් වූ විගස වතුර බැස යන්නේ දරා ගන්නට නොහැකි වේදනාවකින් විය හැකිය. දරුවන්ට සිදු වූ විපත ගැන කම්පාවෙන්ය. කොහොම වුණත්, දවස් කීපයකින් වතුර බැස යයි. මාපියන්ගේ ශ්‍රමදාන දහදිය මහන්සියෙන් ගොඩනැගිලි සුද්ද පවිත්‍ර වීමෙන් පසු දරු පැටවුන් යළිත් පාසලට පැමිණේ. ස්වභාව ධර්මය සියල්ල අකාමකා දමා කොරහත් බිඳගෙන යන්නේ නැත.
එසේ වුවත්, අඳබාල පාලකයන් දරුවන්ගේ අනාගතය එහෙ මපිටින්ම අකාමකා දමා ඇත. යළි පිරියම් කර ගැනීමට දරන්නට සිදු වන්නේ මහාම ලොකු කාර්යභාරයක්ය. දැරිය යුතු ප්‍රයත්නයේ තරම වචනයෙන් කිව නොහැකිය. මා දැන් පැමිණ සිටින්නේ එලෙස විනාශ කරමින් තිබ‍ෙන විද්‍යාලයක් සම්බන්ධ ශෝචනීය තත්ත්වය සොයාගෙනය.
‘ඔය පේනවා නේ… මහින්දෝදය තාක‍ෂණාගාරය බලිය වගේ හදලා තියෙන්නේ, වතුර බහින පැත්ත අවහිර කරලා. මේ ඉස්කෝලේ එක ශ්‍රේණියේ ඉඳලා 13 ශ්‍රේණිය වෙනකම් පන්ති තිබුණා. හිටිහැටියේ මේක ‘ද්වීතියික පාසලක්’ කරන්න ප්‍රාථමිකය අයින් කරන්න රටේ ඉහළම ඉඳලා වලිකෑවේ ඔය බලිය නිසා. මාපියන් එකා වාගේ මේ වැඩේට විරුද්ධ වුණා.’ පියෙක් හඩ අවදි කළේය. තවත් අයෙක් ඊට අමතර විශේෂ දෙයක් එක් කළේ ‘අපේ මේ ගම්වල ඉන්නේ තේ දලු කඩන, රබර් කිරි කපන අහිංසක කම්කරුවෝ වැඩිම දෙනෙක්. ස්ථීර ආදායම් තියෙන සියයට දහයක් පහළොවක්වත් නෑ. ප්‍රයිමරිය අයින් කරලා මෙතැන ඉඳලා හැතැප්ම තුනක් විතර ඈතින් තියෙන පල්ලේගල කනිෂ්ඨයට හරි හැතැප්ම හතරක් විතර ඈතින් තියෙන උඩුගල කනිෂ්ඨයට හරි දරුවන් දාන්න වෙනවා. මාසෙකට රුපියල් හය හත්දාහක් වාහනවලට වියදම් කරන්න අපට බෑ. ඒක නිසා අපි ද්වීතියික පාසල් වැඩේට විරුද්ධ වුණා. ඒ වෙලාවේ පාලකයෝ බැලුවේ මොන බොරුව හරි කරලා හරි ඒ අයට ඕනෑ දේ කර ගන්න.’ එම්. එම්. ආරියරත්න පියා විස්තර කරයි.
‘එක දවසක් රැස්වීමක් තියලා දෙමව්පියන්ගෙන් ඇහුවේ, ‘මේ ඉස්කෝලේ දියුණු කරනවාට විරුද්ධද?’ කියලා. ‘ස්විමින් ෆූල්’ එකක් දෙනවා කිව්වා. හොස්ටල් හදලා දෙනවා කිව්වා. ඔය තියෙන්නේ දැන් අවුරුදු හතක්, අටක් තිස්සේ දීපු දේවල් තමයි…’ චන්ද්‍රරත්න පියා විස්තර කළේය. රත්නපුර, අයගම අධ්‍යාපන කොට්ඨාසයට තිඛෙන එකම ප්‍රධාන පාසල ශ්‍රී රාහුල මධ්‍ය මහා විද්‍යාලයයි. එය එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට තිඛෙන එකම ප්‍රධාන පාසලද වේ. එහි ප්‍රාථමික අංශය ඉවත්කර ද්වීතියික පාසලක් ලෙස සංවර්ධනය කරන බවට කෙබරයක් දේශපාලකයන්දී තිබී ඇත. තම දරුවන්ගේ ප්‍රාථමිකය අහිමි කර හැතැප්ම පහ හයක් ඈතට දැමීමට මාපියන් එකාවන්ව විරෝධය පළ කර තිබිණි.
මේ විරෝධය හමුවේ මඳක් පසුබා ඇති එවක සිටි පාලකයන් සහ නිලධාරීන් මේ මාපියන්ට අභියෝගයක් භාර දී ඇත. එය නම්, මාස දෙකකින් ගොඩනැගිල්ලක් ඉදි කර දී ප්‍රාථමික සිසුන් රඳවා ගත හැකිද? යන්නය. අතේ මිටේ සල්ලි පනම් තුට්ටුවක් නැති වුවත්, තම දරු පැටවුන්ගේ අනාගත සුබසිද්ධිය වෙනුවෙන් කළ නොහැකි දෙයක් නොමැති බව ඔප්පු කරමින්, මාපියන් අභියෝගය භාරගෙන ඇත. ලංකාරාමවාසීව සිටි රඹුක්පොත ධම්මදින්න හිමියන්ගේ පුරෝගාමීත්වයෙන් සංවිධානයක් පිහිටු විය. පුරෝගාමී වූවන් බොහෝ දෙනෙකු සිටියද, සංවිධානයක් ලෙස තනතුරු දැරීමට සභාපති වශයෙන් සුනිල් රාජපක්ෂ, ලේකම් ලෙස නහල්වතුර සහ භාණ්ඩාගාරික ලෙස වසන්ත කුමාර ගමගේ යන අය ‘පාසල නගාසිටුවීමේ කමිටුව’ පිහිටුවාගෙන තිබිණි. ඔවුන් මැදිහත් වී ඉදිරිපත් වීමෙන් ඉදිරියේදී මෙම පාසල් ප්‍රාථමිකයට දරුවන් ඇතුළත් කිරීමට සිටින මාපියන් ද දැනුම්වත් කර මුළු සංවිධානය 53 දෙනෙකුගේ කැපවීමෙන් පටන්ගෙන තිබිණි.
කොතරම් අගහිඟකම් තිබුණත්, මාපියෝ හැකි උපරිමයෙන් මුදල් දී ගොඩනැගිල්ල ඉදි කිරීමට දිවා-රෑ නැතිව බඩට කන්න ටිකක් නැතිව කැප විය. රුපියල් 10,000.00ක් එක් පවුලකින් ලබා ගැනිණි. නොයෙක් බාධාවලට යට නොවී දින 51කින් ගොඩනැගිල්ල ඉදි කර 2014 ජනවාරි සිට දරුවන්ගේ ඇස් පෑදීමට හැකි සේ කටයුතු කර තිබිණි. මෙයට විශාල අනුග්‍රහයක් ලබා දෙමින්, රාහුල මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ලබා දී ඇත්තේ, අනුපමේය දායකත්වයක්ය. රාහුල විද්‍යාලයේ ගොඩනැගිල්ලක්ද තාවකාලිකව ලබා දී දරු දැරියන් 240කට පමණ අධ්‍යාපන වරම් ලබා දීමට ක්‍රියා කර ඇත. නව ගොඩනැගිල්ල ඉදි කර අවසන් වූ පසු ප්‍රදේශයේ අඳබාල දේශපාලනඥයන් මැදිහත් වී ‘අයගම නව කනිෂ්ඨ විද්‍යාලය’ යනුවෙන් එය නම් කර ඇත. පසුව දී එය ර/නිවි/ශ්‍රී ධම්මානන්ද ප්‍රාථමික විද්‍යාලය’ ලෙස නම් කර ඇත්තේ, මෙය දිගටම රාහුල විද්‍යාලයෙන් වෙන් කර තැබීමේ යටි අරමුණකින් බව පැහැදිලිය.
මේ ප්‍රාථමික විද්‍යාලයට රාහුල මධ්‍ය මහා විද්‍යාලයෙන් තාවකාලිකව ලබා දී ඇති ගොඩනැගිල්ල ඉවත්කර ගැනීමට නියමිතව තිබුණේ 2016දීය. මන්ද, රාහුල විද්‍යාලයේ තිබූ ලෝහ වැඩ, වඩු වැඩ, ලී වැඩ, වෙනත් වෘත්තීය විෂයයන්ද, සෞන්දර්ය විෂයයන් ද ඉගැන් වූ ගොඩනැගිල්ල කඩා දමා අලුත් ගොඩනැගිල්ලකට මුලපුරා ඇති නිසාය. එහි තිබූ බඩුබාහිරාදිය වෙනත් ගොඩනැගිලිවල සහ එළියේ ගොඩගසා, තවත් ඉතිරි වූ දේවල් මඩුවක ගොඩගසා ඇත. මේ නිසා රාහුලයේ ගොඩනැගිල්ල යළි එම විද්‍යාලයට ලබා දීම සඳහා නව ප්‍රාථමිකයට අලුත් ගොඩනැගිල්ලක් ඉදි කර 2017 වසර අවසාන වන විට භාර දීමට නියමිතව තිබී ඇත. එහෙත්, එය විනාශය කියාපාන බලියක් විනා ඉක්මනින් වැඩ නිම වන එකක් නොවේ. ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය නම්, සුභවාදී බලාපොරොත්තු තබාගෙන සිටින්නීය. නමුත්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය සඳහන් කළේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී ගොඩනැගිල්ල පිළිබඳව සාකච්ඡා වූ බවත්, මේ කොන්ත්‍රාත්කරු වෙනුවට වෙනත් අයකුට කොන්ත්‍රාත්තුව ලබා දීමට තීරණය කළ බවත්ය. ගොඩනැගිල්ල ඉදි කිරීම ගැන ප්‍රශ්නය මතු වූ විට කම්කරුවන් දෙනෙකු යොදවා මොනවා හෝ අත-පත ගාන බවට මාපියෝ චෝදනා කරති.
මෙවැනි කටයුතුවලට නියමින් හෝ අනියමින් උදවු දෙන ජඩ දේශපාලන සංස්කෘතියේ උන්ට අමතරව නොයෙක් යටි උගුල් අදින ‘මව් කුසක නූපන් සාතන්ලා’ විවිධ වේශයෙන් සිටින බව හෙළි වන්නේය. මේ ජඩයන්ගේ ක්‍රියාකාරීත්වය දැන් තීරණාත්මක තැනකට පැමිණ දරුවන්ගේ අනාගතයට වින කටිමින් සිටී. ඒ ලබන මැයි වන විට රාහුල මධ්‍ය මහා විද්‍යාලයේ ගොඩනැගිල්ල යළි එම විද්‍යාලයට අවශ්‍යව තිබ‍ෙන නිසාය. හේතුව ලබන වසර වෙනුවෙන් උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් බඳවා ගැනීමටය. චිත්‍ර, වාණිජ, කලා, ගණිත විෂය ධාරා හතරක් යටතේ මේ පාසලේ උසස් පෙළ අධ්‍යාපන කටයුතු කෙරේ. 2017 අගෝස්තු උසස් පෙළ විභාගයෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 12 දෙනෙක් සරසවි වරම් ලබා සිටිති. දරුවන්ගේ දක්ෂතාවය මෙයින්ම තහවුරු වේ.
දැන් ප්‍රාථමිකයේ මාපියන්ට ඇත්තේ, බරපතළ ප්‍රශ්නයක්ය. තම කුඩා දරු දැරියන්ගේ අනාගතයට සිදුවන්නේ කුමක් ද යන්නය. ප්‍රාථමික විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ ලේකම්, පත්මා ලියනගේ මව ඉල්ලා සිටියේ, දූ දරුවන් වෙනුවෙන් බලධාරීන්ගේ ඇස් අරවා ඉදි කරමින් තිඛෙන දෙමහල් ගොඩනැගිල්ල කඩිනමින් නිම කිරීමට කටයුතු කරන ලෙසය. ‘අම්මලා, තාත්තලා විඳින දුක අපි හැම වෙලේම දකිනවා. රාහුල ඉස්කෝලේ තිබුණු විදියටම තිබුණා නම්, මේ මොකවත් ප්‍රශ්න නෑ.’ යනුවෙන් අදහස් දැක් වූයේ කුඩා තේ කඩයක් කරගෙන යන රංජනී බටුගෙදර අම්මාය. ප්‍රදේශවාසීහු කොයි කවුරුත් මේ පාසලේ වර්තමාන දියුණුව ගැන ද සාක්ෂි දරති. සියලු දෙනා එක හඩින් ඉල්ලා සිටින්නේ තම කුඩා දරු දැරියන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් නොකර හැකි ඉක්මනින් ගොඩනැගිල්ල ඉදි කර දෙන ලෙස ය. ශ්‍රී රාහුල විද්‍යාලය ආරම්භ කර ඇත්තේ, 1889දීය. ආරම්භක විදුහල්පති, කේ. ඩී. ඕදිරිස් මහතාය. වර්තමාන විදුහල්පති, ඩබ්ලිව්. කරුණාතිලක මහතාය. විදුහල ආරම්භ කර වසර 130කට ආසන්න වී තිබේ. ගෙවී ගිය කාලය තුළ දුයිෂෙන් පරපුරේ ගුරු භවතුන් කොතරම් නම් මෙහි සිටින්නට ඇත්ද?

‘පැන මඩ කඩිති වැව් තාවුලු වැහි කාලේ
පෙන්නා මග නොමග නොවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයන් උඩු මහලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ’

ඒ වැනි ගුරුවරුන්, විදුහල්පතිවරුන් සමඟ අත්වැල් බැඳගෙන මාපියන් තම දරුවන්ගේ යහපත් අනාගතයකට කටයුතු කරන අතර. දූෂිතයන් ඔටුනු දරා කරන විනාශයට විරුද්ධව දරුවන්ගේ නාමයෙන් සටන් කළ යුතු නොවේද?


සටහන සහ ඡායාරූප
ප්‍රියදර්ශන දයාරත්න