ඊයේ ගිලන් රථ – අද රෙදි සේදීම හෙට..?

janapathoi
ජනපති – අගමැති ගැටුම් ඔඩුදුවයි
April 3, 2018
3333
ආණ්ඩුව දෙසතියක් තුළ මිලියන 14,000ක් ණය වේ
April 3, 2018
Show all

ඊයේ ගිලන් රථ – අද රෙදි සේදීම හෙට..?

indian_laundry_services___1_by_dawnrosecreation-d2xohnl

‘ගොනා එන්නේ පොල් පැළය කන්නට බව ඌ හැරෙන කොටම දැන ගත යුතු’ බව ජනවහරේ ප්‍රසිද්ධ කියමනකි. ඒ විතරකුත් නොවෙයි. අපේ රටේ ජනතාවට නම්, මෙවැනි පන්නයේ අත්දැකීම් කොතෙකුත් ලැබී තිබ‍ෙන්නට හැකියි. ප්‍රශ්නය වන්නේ අප රටක් ලෙස එවැනි දේවලින් උගත් පාඩම් මොනවාද යන්නයි. එය වෙනමම සංවාදයකි. ඒ ගැන කතා කිරීම පසෙක තබා අද අප කතා කරනුයේ ද තවත් එවැනිම පන්නයේ අත්දැකීමක් බවට පත් විය හැකි කාරණයක් ගැනයි. රජයේ රෝහල්වල කිළිටි වූ රෙදි සේදීමේ කර්මාන්තයේ නියුතු වූවන් මුහුණ දී සිටින අර්බුදය සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවධානය මේ වන විටත් යොමු වී තිබ‍ෙනු දක්නට හැකියි.
ඒ අනුව බස්නාහිර පළාතේ රජයේ රෝහල්වල ශල්‍යකර්ම සඳහා සහ රෝගීන්ගේ භාවිතය සඳහා යොදා ගැනෙන ඇඳ ඇතිරිලි හා පොරෝනා ආදී විවිධ රෙදිපිළි සෝදා පිරිසිදු කිරීමේ කටයුතුවල නියුතු වූවන් දහස් ගණනක් සහ ඔවුන්ගේ පවුල්වල උදවිය ද විශාල දුෂ්කරතාවයකට හා ආර්ථීක අර්බුදයකට පත්ව ඇති බව දැනගන්නට තිබේ.
මේ වන විටත් බස්නාහිර පළාතේ රජයේ රෝහල්වල පමණක් දිනකට රෙදි කිලෝ ග්‍රෑම් 17,000ක් පමණ පිරිසිදු කිරීමට සිදුව ඇති බවත්, මෙම රෙදි පිරිසිදු කොට ජීවාණුහරණය කිරීම මගින් විෂබීජ නසා නැවත භාවිතයට ගත යුතුව ඇත. මීට පෙර මෙම කටයුත්තේ නිරත වූයේ දේශීය කර්මාන්තකරුවන් පිරිසක් වුවද, අද ඔවුන්ගේ ජීවනෝපායට නොසිතූවිරූ පහරක් එල්ල වි ඇත්තේය. ඉහත කී රාජකාරිය මෙතෙක් කාලයක් සිදු වූයේ ටෙන්ඩර් පටිපාටිය මත තෝරා ගන්නා කොන්ත්‍රාත්කරුවන් හරහායි. නමුත්, අද වන විට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයෙහි මැදිහත් වීමෙන් මේ සඳහා ඉන්දියානු සමාගමක් සමඟ ගිවිසුම්ගත වී ඇති බවක් හෙළිදරවු වී තිබේ.
ඒ අනුව පළමු වටයේදීම ගිවිසුම කරළිගත වී ඇත්තේ, බස්නාහිර පළාතට අදාළව පමණි. ගිවිසුම්ගත ව්‍යාපෘතියේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 7.5කි. එසේම ඊට අදාළ කරන ගොඩනැගිලි ඉදි කිරීම් හා තාක්ෂණික සහාය සඳහා ද ඉන්දියානු රජයේ මැදිහත් වනු ඇති. කෙසේ වුවද, ඉන්දියාවේ ‘සුග්‍රාම් හොස්පිට්ල් සොලුයුෂන් පෞද්ගලික සමාගමෙහි ශ්‍රී ලංකාවේ අනුබද්ධ සමාගමක් මගින් ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය පිළිබඳව අප කලබල විය යුත්තේ, කරුණු කිහිපයක් හේතුවෙනි.
පළමුව මෙම ගිවිසුම දැනට අත්සන් තබා ඇත්තේ, ඉදිරි වසර තුන සඳහායි. ඒ කාලය තුළ එකම මිල ගණන් යටතේ බස්නාහිර පළාතේ රජයේ රෝහල්වල රෙදි පවිත්‍ර කිරීමට නියමිතය. එහෙත්, ඉන් පසුව වසර තුනෙන් තුනට මිල ගණන් සංශෝධනය කෙරේ.
ඉදින්, තමන්ගේ රටේ ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවයක් ලබාදීම අතින් අපේ රටටත් වඩා පහළ අඩියක සිටින ඉන්දියාව අපට මේ තරම් සෙනෙහසක් දක්වන්නේ ඇයි දැයි යන්න පිළිබඳ කුකුසක් කා අතරත් ඇති විය හැකියි.
එසේ සැකයෙන් බලන්නට බල කෙරෙන අතීත අත්දැකීම්ද ඉන්දු – ශ්‍රී ලංකා මිත්‍රත්වයේ අතීතය තුළ ඕනෑ තරම් දැකිය හැක්කේය. 2016 වසරේදී මෙරටට හඳුන්වා දුන් ‘හදිසි ප්‍රතිචාර ගිලන් රථ සේවාව’ ඉන් ආසන්නතම උදාහරණයයි. පළමු පියවරේදී එය බස්නාහිර සහ දකුණු පළාත් සඳහා නොමිලේ ලබා දුන්නද, අද වන විට එම සේවය සඳහා බරපැන දැරීමට ශ්‍රී ලංකා රජයට සිදුව ඇත. ඒ නිසාමය මේ සෙනෙහස ගැන රටේ ජනතාව ලෙස අප වඩාත් හොඳින් ඇස් හැර බැලිය යුත්තේ¦ කල්පනා කළ යුත්තේ.
අනෙක් අතට දේශීය කර්මාන්තකරුවන්ටද පයින් ගසා සිදු කරනු ලබන මේ අත්තනෝමතික තීරණ හේතුවෙන් වැය වන්නේ රටේ මුදල්ය¦ කාබාසිනියා වන්නේ ජනතා මුදල්ය. අපේ රට යනු දැනටමත් රැකියා නොමැති තාරුණ්‍යයම පමණක් තිස්පන් ලක්ෂයක් පමණ වාර්තා වන රටකි. එහෙත්, මෙරට සැබෑ විරැකියාවේ අගය ඊටත් වැඩිය. ඉදින්, රටේ තාරුණ්‍යයත්, රැකියා විරහිත මහජනතාවකුත් බලා හිඳිද්දී මෙරට රැකියා අවස්ථා ඉන්දියානුවන් වෙත විවර කිරීමේ මාර්ගයක් බවට මෙම ගිවිසුම පත් වනු ඇතැයි බොහෝ දෙනෙක් බිය පළ කර සිටිති.
කොහොම නමුත්, මේ සියල්ලටම හේතු වූ ගිවිසුමට එළඹීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සිදු කරනු ලබන බාල වර්ගයේ අමුද්‍රව්‍ය යොදා ගැනීම, විෂබීජ ජීවාණුහරණය කිරීම, වර්ෂා කාලවලදී රෙදි රෝහල්වලට ලැබීම ප්‍රමාද වීම, පවිත්‍රතා කටයුතු නිසි පරිදි ඉටු නොවීම නිසා වෙනත් චර්ම රෝග ආසාදන ඇති වීම ආදිය මෙවැනි ගිවිසුමකට එළඹීමට හේතුකාරක වී තිබේ. එසේම ඔහු විසින් වරෙක චෝදනා කර තිබුණේ මෙම රෙදිපිළි බේරේ වැවේ ජලයෙන් සෝදන බවටයි.
එහෙත්, රජයේ රෝහල්වල රෙදි පිරිසිදු කරන්නන්ගේ සංගමය මෙම චෝදනා තරයේම ප්‍රතික්ෂේප කරයි. එසේම එවැනි චෝදනාවක් එල්ල වී ඇත්නම්, ඒ සඳහා නීතිය අනුව කටයුතු කර අදාළ කොන්ත්‍රාත්කරුවාට පමණක් නැවත කොන්ත්‍රාත් ලබා දීම අත්හිටුවීමට තිබූ බවද ඔවුහු පවසති. එසේ නොමැතිව මේ කරුණ දඩමීමා කර ගනිමින්, බොර දියේ මාළු බෑමට ආණ්ඩුව උත්සාහ දරමින් සිටී.
මේ අතර මධ්‍යම පරිසර අධිකාරියේ බලපත්‍රයද, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාගේ යෝග්‍යතා සහතිකයද, ග්‍රාම නිලධාරී සහතිකයද මෙන්ම පෙර සේවා පළපුරුද්දද සොයාබලමින්, මින් මනතට කොන්ත්‍රාත් ලබා දෙන බව ප්‍රකාශ කර තිබේ. සෞඛ්‍ය සේවය තුළ ගුණාත්මක සංවර්ධනයක් සිදු කිරීම සම්බන්ධයෙන් අපට කිසිදු තර්කයක් නොමැත. නමුත්, ඒ බව කියාපාමින් සෞඛ්‍යය විකිණීමට මාන බලන්නේ නම්, අපි ඊට එරෙහි වෙමු.
අනෙක් අතට අපේ රටේ දේශීය කොන්ත්‍රාත්කරුවන් විසින් මෙම රෙදි සේදීමේ ටෙන්ඩර් ලබා ගැනීම තුළ වක්‍රව තවත් පවුල් දහස් ගණනක් තම ජීවිකාව සරිකර ගත්හ. නමුත්, දැන් ඒ සියල්ලන්ගේම ජීවිතවලට කණකොකා හැඩ වී ඇත්තේය. සමහරුන් විසින් මෙම කොන්ත්‍රාත් ලබා ගැනීමට හා තම කර්මාන්තය වඩාත් දියුණු කර ගැනීමේ අරමුණින් බැංකු ණය ආදිය ලබාගෙන ඇත. ඒ ණය මුදල්වලින් රෙදි වියළීමේ යන්ත්‍ර වැනි නවීන යන්ත්‍රසූත්‍ර මිල දී ගෙන අලුතින් සේවකයන්ද බඳවාගෙන ඇත. නමුත්, අද ඒ සියල්ල ගඟට කැපූ ඉනි බවට පත් කරමින්, සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රමුඛ බලධාරී නඩය විසින් තම හිතුමතේට කටයුතු කොට ඇත්තේය.
වගකිව යුතු අමාත්‍යවරයකු ලෙස කළ යුතුව තිබුණේ, එල්ල වී තිබ‍ෙන චෝදනා සම්බන්ධයෙන් රෙදි සෝදන්නන් හා සාකච්ඡා කොට විසඳුම් ලබා ගැනීමටය. නොඑසේ නම්, පරීක්ෂණ පවත්වා තම රාජකාරිය පැහැර හරින කොන්ත්‍රාත්කරුවන්ගේ ටෙන්ඩර් අහෝසි කිරීමය. එසේම රෙදි සේදීමේ කර්මාන්තය වඩාත් දියුණු හා ගුණාත්මක එකක් බවට පත් කරවීම සඳහා අවශ්‍ය සහාය හා මඟපෙන්වීම කර්මාන්තකරුවන් වෙත ලබා දීමය. එසේ නොමැතිව එළඹ තිබ‍ෙන මෙම ගිවිසුම හරහා වසර 30කට අධික කාලයක් තිස්සේ පාරම්පරිකව කරගෙන ආ ඔවුන්ගේ ජීවනෝපාය අහිමි කරමින්, පවුල් පිටින් ජීවිත දහස් ගණනක් මහපාරට ඇද දැමීම කිසිසේත් අනුමත කළ නොහැක.
අවසාන වශයෙන් සටහන අවසන ලියා තැබිය යුතුම දෙයක් ඇත.
ව්‍යාජ ඖෂධ ජාවාරම් ඇතුළු බරපතළ සෞඛ්‍ය විරෝධී ඉතිහාසයක් මෙන්ම දේශීය වශයෙන් පිරිහුණු සෞඛ්‍ය සේවයක් පවතින ඉන්දියාව වැනි රටක් වෙත බිෙඳන් බිඳ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බලය අත්පත් කර ගන්නට ඉඩහැරීම කිසි විටෙකත් මෙරට සෞඛ්‍ය සේවයට හිතකර නොවන බව සිහි තබා ගත යුතුය.


නිපුණා සාරංගි