ගිනි කන්ද උඩ බල සෙල්ලම

ත්‍රීිබෙවිඑහ
විශ්වාස භංගය හමුවේ ඩීල් රජ වීම…
April 3, 2018
ප්‍රිජටබංඓය
අයගම දරුවන්ගේ කඳුළු සොයා ගිය ගමනක්…
April 3, 2018
Show all

ගිනි කන්ද උඩ බල සෙල්ලම

ටයලාටයබ

රටේ ජනතාව මත පැටවී ඇති ණය කන්දරාව පිළිබඳව මුදල් අමාත්‍ය මංගල සමරවීර පසුගියදා පාර්ලිමේන්තුවේදී හෙළිදරවු කළා. මේ වසරේ ට්‍රිලියන 1.09ක් වන ණය ගෙවීම් ලබන වසරේ ට්‍රිලියන හතරක් වන බවයි, ඔහු ප්‍රකාශ කළේ. මේ ණයවලින් සියයට 85ක් 2015ට පෙර රාජපක්ෂ රජය ගත් ණය බවද මංගල කීවා. මහින්දලා ණය ගත්තත්, මෛත්‍රීලා ණය ගත්තත් ගෙවිය යුත්තේ මේ රටේ ජනතාව බව පැහැදිලියි. රටේ නිෂ්පාදනය අඩුයි. වියදම් අධිකයි. එහෙම නම්, මේ ණය ගෙවන්න බදු අය කර ගන්න සිදු වෙනවා. මේ බදු සෘජුවම හා වක්‍රාකාරව පැටවෙන්නේ ජනතාව මත. බෝලය ඒ පැත්තට මේ පැත්තට දමමින්, රට ණය උගුලේ හිර කිරීම මේ පාලකයන්ගේ කටයුත්තයි¦ රාජකාරියයි.
මහින්ද රාජපක්ෂගේ දූෂිත ආණ්ඩුවේ සිටි හැමෝම මේ ආකාරයට ණය ගැනීම්වලට වගකිව යුතුයි. ඒත්, දැන් සමහරු 2020 අරමුණු කරගෙන විවිධ විරෝධතා, මාධ්‍ය සංදර්ශන පවත්වමින්, රට, ජනතාව කරදරවලට පැටලෙන හැටි නරඹමින්, සතුටු වෙනවා. මෛත්‍රී ජනපතිත් එක්ක මෙගොඩට පැන ගත් දූෂිතයෝ ටික වගේ වගක් නැතිව සුදනන් වගේ දැන් කතා කරනවා. දැන් මේ ආණ්ඩුව නොකීවාට මේ අයත් පුළුවන් තරම් ණය ගන්නවා. ඒ වාගේම
හැකි සෑම තැනකින්ම හොරකම් කර ගන්නවා. මේ අයට ආර්ථීක අඩුපාඩුකම් නැහැ. සැප සම්පත් ඇති තරම් ලැබ‍ෙනවා. බදු ගෙවන්නේ නෑ. මහජනතාවගේ නාමයෙන් සියලු දේම වාගේ නොමිලේ. එහෙම බලාගෙන ගියාම රට අද මුහුණ පා සිටින ඛේදජනක තත්ත්වය මේ පාලකයන්ට දැනෙන්නේ නැහැ. තමන් වස්ත්‍ර ඇඳගෙන නියම පාරේ ගමන් කරනවා කියලා හිතුවාට මේ ගොල්ලො හෙලුවෙන් මහා ප්‍රපාතයකයි යන්නේ. රටට ණය ගෙවන්න බැරි වෙන දිනයක් උදා වෙනවා. ණය නොදෙන කාලයක් එනවා. සැලැස්මක් නැතිව දූෂණ වහගෙන, වංචා මැද්දේ මේ යන ගමන නිසා රටේ දැනට තිඛෙන නිෂ්පාදනය, අපනයනය අඩු වෙනවා. රටේ ජාතික ආදායම කොතරම් අඩු වුණත්, මේ දේශපාලකයන් තමන්ගෙ කොටස වෙන් කර ගන්නවා. රටේ බදු බර වැඩි වෙලා, ආර්ථීක උද්ධමනය, පීඩනය ජනතාව දරන්නට අසීරු වූ විට මේ කාට කාටත් හැංගෙන්න තැන් හොයන්න වේවි.
පසුගිය අවුරුදු තුනේම ප්‍රාදේශීය සංවර්ධනයට පුංචි ඡන්දය අවශ්‍යයි කියලා කෑ ගහපු හැමෝගෙම දෙකොන පූට්ටු වෙලා. ප්‍රධාන දේශපාලන ධාරා දෙකටයි, මහින්දගේ වහල් පිරිස ඉන්න පක්ෂයටයි දැන් ප්‍රශ්න පිට ප්‍රශ්න. මහ ආණ්ඩුව නමට යහපාලනය බෝඩ් එක අටවාගෙන එක්සත් ජාතික පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වශයෙන් එක ගමනක් යන බව පෙනුණාට පුංචි ආණ්ඩුව පිහිටු වීමේදී පොහොට්ටුව ශ්‍රීලනිපය හා එක් වෙනවා. දැන් ගාල්ල වගේ මහා නගර සභාවල දිනපු පක්ෂයට නෙමේ පාලනය පැවරුණේ. මෙහෙම ආයතන බොහොමයි. මෙහෙම ජනතාවගේ සාර්ථක ජනමතය නොමැතිව මේ ආයතන ඉදිරියට ගෙන යන්නේ කොහොමද? ඒ මඳිවාට මේ පත් වුණු විශාල මන්ත්‍රීවරුන් පිරිසට අවශ්‍ය සම්පත් දෙන්නෙ මොන විදියටද? ඒ අයට වැටුප් ගෙවන්න මුදල් හොයන්න වෙනමම බදු ගහන්න වේවි. මහ ආණ්ඩුව එක්ව යම් යම් තීරණ ගනිද්දී පුංචි ආණ්ඩු පිහිටු වීමට පමණක් එක් වන පොහොට්ටු, ශ්‍රීලනිප හෝ එජනිස පාර්ශ්ව ජනතාවට සේවය කරන්නේ කොහොමද? මේ විදියට ගියාම පළාත් පාලන ආයතන වැඩ නොකරන සුදු අලි බවට පත් වීම ස්ථීරයි.
මේ අතරේ එජාප නායක රනිල්ට එරෙහිව පසුගියදා භාර දුන් විශ්වාස භංගයත් අපබ්‍රංශයක්. පාර්ලිමේන්තු සංයුතියේ බහුතරය බැලුබැල්මට එජාපයට, රනිල්ට පක්ෂයි. ශ්‍රීලනිපය හා පොහොට්ටුවේ කල්ලිය කොහොමද විශ්වාස භංගය දිනන්නේ? හැබෑවටම දැනටත් ‘ඩීල්’ අස්සේ කල් ගෙවන පොහොට්ටු පක්ෂයට අගමැති රනිල් ඉවත් කිරීමේ සැබෑ වුවමනාවක් තිබ‍ෙනවාද? මේකෙ සැබෑ වුවමනාව තිබ‍ෙන්නේ ජවිපෙට විතරයි.
මේ අයට ආණ්ඩු පිහිටුවන්න සැබෑ වුවමනාවක් නෑ. අවශ්‍ය 2020 වන තෙක් අලකලංචි අස්සේ නඩු ටික ප්‍රමාද කර ගැනීමයි. ආණ්ඩුවක් අරගෙන ඉදිරියට ගෙන යන්න සැලසුමක් තියෙනවාද? ආර්ථීකය සංවර්ධනය කිරීමේ සැලසුම් මහින්දලාට නැහැ. මේ ආණ්ඩුවට වාගේම ණය ගැනීම, රටේ සම්පත් බදු දීම, විකිණීම පමණයි ඒ අයටත් කරන්න පුළුවන්. අනෙක් අතට හොරකම් කරලා, නීතිය කෙලෙසලා, හොරකම්, දූෂණ, වංචා කළ හොරු කල්ලියකට බලය ආවාම හොරකම් නොකර බැහැ. අර හොරට කාලා පුරුදු තරුණියක් මනමාලි වෙලා යන දවසේත් හොරෙන් මුළුතැන්ගෙට ගිහිල්ලා, ලුණු පොල්කට්ටට ඇඟිල්ල ඔබලා කටේ ගා ගත්තා වගේ මේ අයට දැන් හොරකම් නොකර බැහැ.
පසුගිය දිනක අගමැති රනිල් අලුත් ප්‍රාදේශීය සභා මන්තී්‍රවරුන් පිටිසකට කියලා තිබුණා, බයිසිකලෙන් ඇවිදින් බ‍ෙන්ස් කාරයෙන් ගෙදර යන්න හිතන්න එපා කියලා. මහින්ද රාජපක්ෂත් තමන්ගෙ එහෙයියන්ට කියලා තිබුණා කොන්ත්‍රාත් කරන්න හිතන්න එපා කියලා. අර ‘මහ කකුළුවා ඇදේට යන ගමන් පොඩි කකුළුවන්ට කෙළින් යාමට’ කියුවා සේ මේ අය වැරදි කප්පරක් කරලා මේ පුංචි ගෝලයන්ට හොඳට උපදෙස් දෙනවා, ලෝකයට පෙනෙන්න. මොකද? මේ රටේ ජනතාව මැරිලා ඉපදිලාද? මහින්දගේ ආණ්ඩුව කාලයේ ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, මන්ත්‍රීවරුන් හොරකම් කරද්දී, කොන්ත්‍රාත් කරද්දී, ස්ත්‍රී දූෂණ කරද්දී, මිනී මරද්දී අහක බලාගෙන නීතියට ඔච්චම් කළ නායකයා දැන් ඔළුව විකාරයෙන් පිස්සු නොවෙයිද දොඩවන්නේ?
දැන් කොහොමටත් මහින්ද රාජපක්ෂ පවුලේ බොහෝ දෙනෙකු කටයුතු කරන්නෙ අසිහියෙන්. පහුගියදා දේශපාලන ලෝකයේ කතාවක් පැතිරුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක අගමැතිකම චමල් රාජපක්ෂට දෙනවා කියලා. තමා අගමැති වීමට තිබූ අවස්ථාව මගහැර කතානායක කර වූ ආකාරයත්, නාමල්ට පාර්ලිමේන්තු ගමන යාමට ශෂීන්ද්‍ර පළාත් සභාවලට කොටු කළ ආකාරයත් චමල්ට අමතක වෙන්න විදියක් නැහැ. අනෙක් අතට එදා ගිරුවාපත්තුව රාජපක්ෂලාටම වෙන් වූ බූදලයක් කළ ආකාරය, නිරූපමාලාට, ජෝර්ජ්ලාට විනය කැටීමට දැඟලු ආකාරයත්, තම පවුලේ අයගේ දේශපාලන කෑදරකමත් හොඳින්ම දන්නේ චමල්.
පසුගියදා නාමල්ට රුසියාවේ සිට ඇමෙරිකාවට යාමට ඉඩ ලැබී නැහැ. තමන්ගේ බාප්පලා දෙදෙනාම ඇමෙරිකාවේ පුරවැසියන්. ලෝකයටම උඩඟුකම් ප්‍රදර්ශනය කළ ජනාධිපති පියාගේ පුතාට ඇමෙරිකාවට ගොඩබහින්න නොලැබුණේ ඇයි? රටට නොපෙනුණාට හෙමින් වර්ධනය වන මහින්දගේ බල අධිකාරිය ඉදිරියේ ලෝකයේ රටවල් බොහොමයක් මේ හොරු රැළට දොර වැසීමට ඇති ඉඩකඩ බොහොමයි.
ඒ මොනවා වුණත්, දැනට පසුගාමී මට්ටමක ඇති නඩු රාශියක් මාස දෙක තුනක් ඇතුළත නියම මඟට පීලිගත වී හීනෙන්වත් නොහිතන කීප දෙනෙකුම නීතිය ඉදිරියේ වරදකරුවන් වී හිරගෙට යාමට ඉඩ තියෙනවා. තම පවුලේ හා එහෙයියන්ගේ අනාගතය ගැන වූ බියකරු සිහිනය ගැන නාමල්ට ඉව වැටි ඇති බවට කරුණු තියෙනවා. අද වාරණ නියෝග මත, ශ්‍රීලනිපයේ නායකයකු වීමට සිහින දකින ගෝඨාභයට සිරගෙදර යකඩ කූරු ගණන් කිරීමට සිදු වන කාලය ළං වන බව නොලීවොත් අඩුවකි. බැසිල් නම්, හොරකම්වල මහමොළකාරයාත් ඒ ඉරණමට නුදුරේදීම ගොදුරු වීම වළක්වන්න බැහැ. නාමල් සහ යෝෂිත ද එවැනිම වූ දඩුවම්වලට ලක් වීම නියතයි. ඔවුන් මේ වන විටත් අගමැති රනිල් හෝ ජනපති මෛත්‍රී සමඟ මොන ආකාරයේ සබඳතා ගොඩනගාගෙන ‘ඩීල්’වල යෙදේවි ද කියන්න බැහැ. අර වීරවංශ නම් වූ ‘දේශප්‍රේමියා’ද සිරගෙදර සිට ජනතාව අමතන දිනය, ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන කියන යුගය වැඩි ඈතක නොවේ. දැන් කාගෙ කාගෙත් අවධානය යොමු වෙලා තියෙන්නේ 2020 ජනාධිපතිවරණය දිසාවට. ගෝඨාභය හෝ වෙන යම් රාජපක්ෂ කෙනෙකු ඉදිරියට එනවාට මහින්ද භයයි. ඒ තමන්ගෙ පුතා නාමල්ට ජනාධිපති ධුරය උරුම වනවා දකින්නට මහින්ද ආසා කරන නිසයි. රට තුළ ගත් විට ඒ සඳහා නියම සුදුස්සෙකු දැනට පෙනෙන්නටත් නැහැ. කොහොමටත් 2020ට පෙර ආණ්ඩුවත්, විපක්ෂයත් අතරේ ඉදිරියට ක්‍රියාවට නැංවෙන ක්‍රියාදාමයන් අනුව සුදුස්සෙකු ජනතාවට සොයා ගන්න පුළුවන් වේවි.
දැනට ඉදිරියට පැමිණ ඇති රනිල්ට එරෙහි විශ්වාස භංගය කන්දක් විලි ලා මී පැටියෙක් වැදුවා වාගේ වේවි. කොටින්ම අවසානයේ එය යූඑන්පී – ශ්‍රීලනිප බල අරගලයක් ලෙස දියත් වී රනිල්ට විශ්වාසය වැඩි වෙන්නටත් පුළුවන්. මහින්ද රාජපක්ෂ හෝ නාමල් සිය ඡන්දය පාවිච්චි කරාවි දැයි දැනටමත් කා තුළත් සැකයක් තිබ‍ෙනවා. ඒ අයගේ අතීතය දන්නා කවුරුත් රාජපක්ෂලාගේ දෙබිඩි දේශපාලනය ගැන දන්නවා.
දේශපාලන ස්ථාවරත්වයක් නැති ඕනෑම රටක් සියලු අංශවලින් වැටීම නියත දෙයක්. තැන තැන යම් යම් සංවර්ධන ක්‍රියාදාමයන් සිදු වන බව පෙනුණාට අද රටේ ජනතාව බහුතරයක් මේවා ගණන් ගන්නේ නැහැ. මේ ව්‍යාපෘති දේශපාලකයන්ගේ කොමිස් කුට්ටි වැඩි වන ‘සංවර්ධන’ සෙල්ලම් ලෙසයි ජනතාව දකින්නේ. ඉදිරියේදී පුංචි ආණ්ඩුවල ක්‍රියාකාරීත්වය ආරම්භ වූ පසු රටේ තව තවත් විසංවාද, අරගල දකින්නට පුළුවන්. ඊළඟට පළාත් සභා කීපයක සටන ඉදිරියේ රට තවත් විසංවාදී වෙයි¦ ආරාවුල්සහගත වෙයි. දැනටමත් බොහෝ දේශපාලනඥයන්ට, මැති ඇමතීන්ට පවා පවතින දේශපාලන තත්ත්වය ප්‍රහේලිකාවක්. රට නූල කැඩුණු සරුංගලයක් වාගේ ප්‍රධාන දේශපාලන ධාරා දෙක එකතු වුණා කියලා සිද්ධ වුණේ රට තවත් අරාජික වුණ එක. ඒ නිසා රටේ ජනතාව සිය පරමාධිපත්‍යය පැවරිය යුතු සුදුස්සන් තෝරා ගැනීම ගැන දැන්ම තීරණය නොකළොත්, රට සුන් වන බව සැලකිය යුතුමයි.


ඩී. බී. ඇල්කඩුව