ජනාධිපතිගේ හා අගමැතිගේ යුද්ධය

අපේ රටේ ප්‍රධාන පුරවැසියා ජනාධිපතිවරයාය. දෙවෙනි පුරවැසියා අගමැති යයි කිවහොත් එහි වරදක් ඇත්තේ නැත. දැන් පළමු පුරවැසියාත්, දෙවෙනි පුරවැසියාත් එළිපිට සංග්‍රමයකට එළඹ සිටින බව ලෝකයටම ප්‍රදර්ශනය වී අවසානය. 2015 ජනවාරි 08 බලයට පත්වන මොහොතේ කිරියි, පැනියි මෙන් සිටි මේ යුවල දැන් එකිනෙකා පෙන්නන්නටවත් බැරි තරමට විරසකවී මහත් ගැටුමක් ඇරඹී තිබේ. සීතල යුද්ධයක්ව පැවති මෙම ගැටුම එළිපිට සටනක් බවට පත්වූයේ පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසුවය. පළාත් පාලන මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලූ එජාපයේ උපක්‍රමය වූයේ ශ්‍රීලනිපය දෙකඩ කිරීම ඔස්සේ එහි ඡන්ද ගොඩ දෙකට බ‍ෙදා එයින් ඇතිවන වාසියෙන් පළාත් පාලන ආයතනවල වැඩි බහුතරය දිනාගැනීමයි. ශ්‍රීලනිපයෙන් ඉවත් වූ මහින්ද රාජපක්ෂ පිලට වෙනම පොහොට්ටු පක්ෂය ලෙස සංවිධානය වීමටත්, ඔවුන්ට එරෙහිව පැවති අපරාධචෝදනා සම්බන්ධ නීතිය නිසියාකාරව ක්‍රියාවට නොනැගීමටත් එජාපය පැත්තෙන් කටයුතු කළේ මෙම උවමනාව නිසා බව දේශපාලන විශ්ලේශකයන්ගේ තර්කයයි. රාජපක්ෂ ආණ්ඩුවේ දූෂකයන්ට හා අපරාධකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නිසියාකාරව නොගැනීම පිළිබඳ බරපතළ චෝදනාවක් පවතින තත්ත්වය යටතේ එය නිකම්ම බැහැර කළ හැකි තර්කයක් නොවේ. කෙසේ නමුත් එජාපය බලාපොරොත්තු වූ දේ සිදුවූයේ නැත. ඒ සියල්ලට වඩා ජනතාවගේ ආණ්ඩු විරෝධය ඉහළට පැමිණ තිබුණි.
පසුගිය 29දා ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා මහබැංකුව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතට පවරා තිබේ. එය පැවතියේ රනිල් වික්‍රමසිංහ මහතාට අයත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථීක කටයුතු අමාත්‍යාංශය යටතේය. එය පැහැදිලිවම අගමැතිවරයාට එරෙහි ප්‍රහාරයකි. ඊට පෙර පසුගිය 27දා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් පැවති ආර්ථීක කලමනාකරණ කමිටුව ජනාධිපතිවරයා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරන ලදී. මෙම කමිටුව ආණ්ඩුවේ ප්‍රධානම ආර්ථීක උපදේශකයන් වන ආර්. පාස්කරලිංගම්, චරිත රත්වත්තේ, මලික් සමරවික්‍රම, සරත් අමුණුගම, රවී කරුණානායක යන අයගෙන් සමන්විත විය. එසේම ඉදිරි සතියේ පාර්ලිමේන්තුවේ විවාද කිරීමට සහ ඡන්ද විමසීමට නියමිත අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය තුළද ඇත්තේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර සටන බව දේශපාලනය ගැන යම් හෝ වැටහීමක් ඇත්තෙකුට තේරුම් ගැනීම අපහසු නැත.
ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර ගැටුමක් එළිපිට සිදුවන්නේ නම් එය පැහැදිලි ලෙසම දේශපාලන අර්බුදයකි. එම අර්බුදය ආණ්ඩුවටත් ආණ්ඩුවේ සමස්ථ ක්‍රියාවලියටත් සෘජු ලෙසම බලපාන බවට සැකයක් නැත. ඒ තුළ සෑම දෙයක්ම අවිනිශ්චිතතාවයට පත් කෙරෙයි. අරාජිකත්වයක් නිර්මාණය කෙරෙයි. සැබවින්ම දැන් රට තුළ ඇත්තේ එවැනි වටපිටාවකි. මෙම අර්බුදය එක්කෝ අගමැතිවරයාගේ නොහැකියාව ලෙස හෝ නැතහොත් ජනාධිපතිවරයාගේ නොහැකියාව ලෙස සරල කියවා ගැනීමකට බොහෝ දෙනා පෙළඹෙනු දක්නට ලැබේ. දැන් රට තුළ ඇත්තේ ප්‍රධාන ධනපති පක්ෂ දෙක එක්ව ගෙනයන පාලනයකි. මෙම පාලනය පිහිටුවා ගනු ලැබුයේ කලින් පැවති පාලනය සෑම පැත්තකින්ම අසාර්ථක බව හෙළිදරව්වීම නිසාය. වත්මන් ආණ්ඩුවේ අර්බුදය උත්සන්න වූයේ පළාත් පාලන මැතිවරණය තුළ විශාල ආණ්ඩු විරෝධයක් ප්‍රකාශයට පත්වීමත් සමගය. ඒ තුළ ජනාධිපතිවරයාගේත්, අගමැතිවරයාගේත් අනාගත බල උවමනාවන් බිඳවැටීම නිසාය. ආණ්ඩුව කෙරෙහි විශාල ප්‍රසාදයක් ප්‍රකාශ වූයේ නම් එවැනි බල අර්බුධයක් ඇතිවන්නේ නැත. ආණ්ඩුව කෙරෙහි එවැනි මහජන අප්‍රසාදයක් ඇති වූයේ ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීම නිසාය. ආණ්ඩුවේ ප්‍රධාන පොරොන්දු වූයේ යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමය. එහෙත් මතුපිටින් යම් යම් නීති රීති සංශෝධනය වීම් හැරුණු විට එකදු දූෂකයකුටවත් අපරාධකරුවකුටවත් දඩුවම් ලබා දුන්නේ නැත. එපමණක් නොව බැඳුම්කර වංචාව ඇතුළු මහා පරිමාණ වංචා තවතවත් සිදුවෙන තත්ත්වයක් ඇති විය.
මෙම අත්දැකීමට ලාංකීය ජන සමාජය මුහුණ පාන්නේ පළමු වතාවට නොවේ. 1948 සිටම මේ අත්දැකීම දැන් ඇති තරම් ලබා තිබේ. ඒ නිසා මෙය හුදු පුද්ගලයන්ගේ නොහැකියාවක් නොව සමස්ත ක්‍රමයේම නොහැකියාව බව පැහැදිලි විය යුතුය. එය පවතින සමාජ ක්‍රමයේ ජාති ලක්ෂණයක්ය. එය අප රටේ පමණක් නොව ජාත්‍යන්තරවත් තහවුරු වී අවසන්ය. කෙතරම් අසාර්ථක වුවද තම පැවැත්ම වෙනුවෙන් විවිධ කූට ප්‍රයෝග යොදමින් ජනතාවට විවිධ ප්‍රෝඩාකාරී සංදර්ශන පෙන්වමින් දිගටම බලයේ සිටීමට හෝ බලය ලබාගැනීමට මේ දේශපාලන මහත්වරු අති දක්ෂය. ඒ බව පසුගිය දශක ගණනාවම සාක්ෂි දරයි.
මේ දිනවල එම අර්බුදය වෙන කවරදාටත් වඩා පිටතට පැන තිබේ. ඉන් තවදුරටත් මේ පවතින තුවාලයට කිසිදු පැලැස්තරයක් දමා පලක් නොවන බවය. එයට ස්ථීර ප්‍රතිකාරයක් අවශ්‍යය. එයට ඇත්තේ මෙතෙක් පැමිණි සාම්ප්‍රදායික, පවතින ක්‍රමයට අනුගතවන වැඩපිළිවෙළක නොව එයින් සපුරා වෙනස්වන විකල්ප වමේ වැඩපිළිවෙළක් තුළය. අද සමාජයට අවශ්‍යව ඇත්තේ එවැනි ශක්තිමත් වැඩපිළිවෙළකි.