දේශීය කර්මාන්තකරුවා වළපල්ලට යවන ආණ්ඩුවේ බදු පනත

Emma Gonzale
තුවක්කුවට එරෙහිව රෙනී කිං
April 3, 2018
ත්‍රීිබෙවිඑහ
විශ්වාස භංගය හමුවේ ඩීල් රජ වීම…
April 3, 2018
Show all

දේශීය කර්මාන්තකරුවා වළපල්ලට යවන ආණ්ඩුවේ බදු පනත

Budget_2018_srilanka

ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රය මේ වන විට දැවැන්ත අර්බුදයකට ලක්ව ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. මෙය පසුගිය 2001දී පැවති ආණ්ඩුව සමයේ පටන්ම බරපතළ තර්ජනයන්ට ලක් විය. මේ වන විට එය දැවැන්තම අර්බුදයට ලක්ව ඇති මොහොත බවට පත්ව ඇත. මේ වන විට ආණ්ඩුව පාර්ලිමේන්තුවේදී ප්‍රපාතන විරෝධී සහ ප්‍රතිතෝලන බදු පනත් කෙටුම්පත සම්මත කරගෙන ඇත. ඒ අතර ආරක්ෂණ පියවර පනත් කෙටුම්පතක්ද සම්මත කරගෙන තිබේ. මෙය මුලින්ම 2001දී පැවති ආණ්ඩුව විසින් ඉදිරිපත් කොට නැවත 2005 මැයි 12 අමාත්‍ය මණ්ඩල තීරණයක් ලෙස අරගෙන නැවත 2006 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනතක්. මේ පනත් කෙටුම්පත ගැන පාර්ලිමේන්තුවේ සාකච්ජා වූයේ 2001 වසරේ සිටයි. ජනතා විමුක්ති පෙරමුණේ දැවැන්ත විරෝධය හමුවේ එවක පැවති ආණ්ඩුවට මෙය හකුළා ගැනීමට සිදුවිය. මේ ප්‍රපාතන විරෝධී සහ ප්‍රතිතෝලන බදු පනත් කෙටුම්පත හොඳ එකක් බවට පත් කිරීමට අවශ්‍ය පියවර ඔවුන් විසින් ගෙන තිබිණි. ඒ කර්මාන්ත මණ්ඩල සමඟ සාකච්ඡා කරමින් දේශීය කර්මාන්තකරුවන් මුණගැසෙමින් ඔවුන්ගේ යෝජනාවන්ද සමගින් එය සකස් කිරීමෙනි.
මේ පනතේ වඩා යහපත් අරමුණ වන්නේ දේශීය කර්මාන්තකරුවා ආරක්ෂා කර ගැනීමයි. වටිනාකමෙන් සහ ප්‍රමිතියෙන් පහත් භාණ්ඩ විදේශයන්ගෙන් ලංකාවට ගෙන ඒමෙන් දේශීය කර්මාන්ත සහ ව්‍යාපාර විනාශ වීම වළක්වා ගැනීම රජයේ වගකීමකි. ඒ සඳහා නීති සකස් කිරීමද යහපත් අරමුණකි. මේ වන විටත් දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීම සඳහා සෙස් බදු ක්‍රමයක් රට තුළ ක්‍රියාත්මක වෙමින් ඇත. නව පනත හරහා දේශීය කර්මාන්තකරුවාත්, දේශීය කර්මාන්තත් යළි අර්බුදයකට ලක් වීමට බොහෝ දුරට ඉඩකඩ විවර වේ. නිදහස් වෙළෙඳපොළ පදනමින් ජාත්‍යන්තර කර්මාන්තකරුවන් තමන්ට බාධාවක් වෙන බදු ඉවත් කිරීමට යෝජනා ඉදිරිපත් කළහොත්, ආණ්ඩුවට එම ව්‍යාපාරිකයාට දේශීය වෙළෙඳපොළට ඇතුළු වීම සඳහා අවශ්‍ය නෛතික පියවර ගැනීමට බැඳී සිටී. ඒ ආණ්ඩුව නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට අත්සන් තබා ඇති නිසාවෙනි. වත්මන් ආණ්ඩුවට ජාත්‍යන්තර ව්‍යාපාරිකයාට සහ කර්මාන්තකරුවාට ලංකාවේ වෙළෙඳපොළට ඇතුළු වීමට ඉඩ ලබා දෙන්නේ කෙසේද කියා සොයා බලමින් ඇත. මේ කියන පනත හරහා දේශීය කර්මාන්තකරුවාට ආණ්ඩුව ආරක්ෂණ පියවර යටතේ යෝජනා ඉදිරිපත් කරනු ලබයි. ඒ කරන යෝජනාව වන්නේ පිටරටින් ගෙනෙන භාණ්ඩයකින් ඇති තර්ජනය කුමක්ද යන්න මෙහිදී දේශීය කර්මාන්තකරුවා ඔප්පු කළ යුතුය. එසේ ඔප්පු කළහොත් ආරක්ෂා කිරීමටත්, ඔප්පු නොකරන්නේ නම් අනාරක්ෂිත බවත් දේශීය කර්මාන්තකරුවාට ඇති වන ආකාරයට ආණ්ඩුව කටයුතු කරමින් ඇත.
දේශීය කර්මාන්තකරුවාට මේ ආකාරයෙන් විදේශ රටවලින් ගෙනෙන භාණ්ඩවලින් ඇති තර්ජනය ඔප්පු කිරීමට යාමේදී කර්මාන්ත සහ ව්‍යාපාර පැත්තකින් තබා අදාළ කාරණය සම්බන්ධයෙන් වෙහෙසීමට සිදු වේ. එවිට වනුයේ දේශීය කර්මාන්තකරුවාට සහ ව්‍යාපාරිකයාට තම ව්‍යාපාර කර්මාන්ත එපා වීමයි. කෙසේ වුවත්, ජාත්‍යන්තර වශයෙන් මෙරටට පැමිණෙන කර්මාන්තකරුවා අනිවාර්ය ලෙසම දේශීය කර්මාන්තකරුවාට තර්ජනයක් වනු ඇත. මේ වන විට ඉන්දියාවෙන් මෙරට රෝහල්වල රෙදි සේදීම සඳහා කණ්ඩායම් ගෙන්වීමට පියවර ගෙන ඇත. එවිට දේශීය වශයෙන් එම කාර්යයේ නිරත කණ්ඩායම් බරපතළ අර්බුදයකට ලක් වීම මේ වන විටත් ඇස් පනාපිටම ඔප්පු වී ඇත. දේශීය කර්මාන්තකරුවා නගාසිටුවනවා වෙනුවට මේ පනත ක්‍රියාත්මක කිරීම හරහා සිදු වන්නේ දේශීය කර්මාන්තකරුවා අකර්මණ්‍ය වීමයි.
නව පනත් කෙටුම්පත හරහා අධ්‍යක්ෂ ජනරාල්වරයාට අසීමිත බලයක් ලැබ‍ෙනවා. දේශීය කර්මාන්තකරුවන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවාද? පිළිගන්නවාද? යන්න තීරණය කරනු ලබන්නේ අදාළ අධ්‍යක්ෂ ජනරාල්වරයාය. දේශීය කර්මාන්තකරුවන් මාස ගණනක් තිස්සේ විදේශීය කර්මාන්තකරුවාගෙන් ඇති බාධා සොයා බලා සියලු තොරතුරු ඉදිරිපත් කළ ද, අදාළ තනි අධ්‍යක්ෂ ජනරාල්වරයෙකුට ඉල්ලීම ප්‍රතික්ෂේප කළ හැකිය. ඉන් සිදු වන්නේ විදේශීය කර්මාන්තකරුවාට රටට ඇතුළු වීමට ඇති ඉඩකඩ විවර වීමයි. අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඒකාධිපති බලතල හිමි වීම හරහා ඔහුගේ සිතැඟි අනුව කටයුතු කිරීමට යාමෙන් දේශීය කර්මාන්ත බරපතළ කඩාවැටීමකට ලක් වීම අනිවාර්ය වනු ඇත. මේ පනත බලාත්මක වීම හරහා දේශීය කර්මාන්තයට තර්ජනයක් ඇති බව ඔප්පු කළද, විදේශ කර්මාන්ත ආක්‍රමණය ආණ්ඩුවට නතර කිරීමට නොහැකි වනු ඇත. ඊට අදාළ නීතිමය රැකවරණය මේ පනත තුළින් නිර්මාණය වේ. විදේශීය කර්මාන්තකරුවාට මේ හරහා කාර්මික ආරවුල් නිරාකරණය කිරීමේ අධිකරණයට යාමේ හැකියාව නිර්මාණය වේ.
මේ පනත් කෙටුම්පත හරහා දේශීය කර්මාන්ත බරපතළ තර්ජනයකට ලක් වීම තුළින් තිබ‍ෙන දේශීය කර්මාන්ත ටික පවා කඩාවැටීමකට ලක් වී රට ආර්ථීකමය වශයෙන් තව තවත් පහතට ඇදවැටීම වැළැක්විය නොහැකි වනු ඇත. දේශීය කර්මාන්තකරුවා සිය කර්මාන්ත නවතා තමන්ට තිඛෙන තර්ජන පිළිබඳව තොරතුරු සොයාගෙන අදාළ අධ්‍යක්ෂ ජනරාල්වරයා හමුවට ගොස් පැමිණිලි ඉදිරිපත් කිරීමට සිදුවේ. එවන් පැමිණිලි සිය ගණනින් අදාළ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලැබුණහොත්, එම පැමිණිලි විභාග කිරීමට ගත වන කාලය විසින් දේශීය කර්මාන්ත කඩාවැටීමට ඉඩකඩ විවර වේ. මන්ද යත්, ඒ වන විට චීන, ඉන්දියන්, යුරෝපා කර්මාන්ත ශාලා රටට ඇතුළු වීමට අවශ්‍ය ඉඩකඩ සකස් කර ගැනීමයි.
මේ පනත ඉදිරිපත් කරන විටද ආණ්ඩුව චීන සමාගම්වලට ලංකාවට පැමිණිමට අවසර ලබා දී ඇත. ඉන්දියානු සමාගම්වලට ලංකාවට පැමිණීමට අවස්ථාව ලබා දී ඇත. වෙනත් විදේශීය සමාගම්වලට ලංකාවේ ව්‍යාපාර කිරීමට අවස්ථාව ලබා දී ඇත. දේශීය කර්මාන්තකරුවා සුරකින බව පවසමින්, දේශීය කර්මාන්තකරුවන් රවටා යම් උප්පරවැට්ටියක් ආණ්ඩුව ක්‍රියාත්මක කරයි. මෙරටට මේ වන විටත් බරපතළ ලෙස මිල අඩුවෙන් පෙන්වා භාණ්ඩ ගෙන්වමින් ඇත. ඒ නිසාම ලංකාවේ වෙළෙඳපොළ මේ වන විට ඇත්තේ දැඩි අනාරක්ෂිත තත්ත්වයකය. මේ පනත බලාත්මක වීම හරහා වෙළෙඳපොළ පමණක් නොව දේශීය කර්මාන්තකරුවා ද අනාරක්ෂිත වීම නොවැළැක්විය හැකි වනු ඇත.


එස්. කේ. ගමගේ