මිනිසා හඳට ගියාලු!

මිනිසා ප්‍රථම වරට හඳ මත පා තැබුවේ 1969 ජුලි මස 20 වැනිදාය. මුලින්ම නීල් ආම්ස්ට්‍රෝං පා තැබූ අතර, ඉන්පසු එඩ්වින් ඕල්ඩ්‍රින් පා තැබීය. මේ නිසා සඳට යාමට රුසියාව සහ ඇමෙරිකාව අතර එකල පැවති තරගයෙන් ඇමෙරිකාවට ජය අත් විය. එය සිදු කළේ නාසා ආයතනය මගින් ක්‍රියාත්මක කළ අභ්‍යවකාශ තරණ වැඩසටහනේ ‘ඇපලෝ 11’ රොකට් යානයෙනි. ඉන් පසු ඇපලෝ 12 යානයෙන්, 1969 නොවැම්බර් 19 වැනි දින ද, ඇපලෝ 14 යානයෙන් 1971 පෙබරවාරි 5 වැනි දින ද, ඇපලෝ 15 යානයෙන් 1971 ජුලි 30 වැනි දින ද, ඇපලෝ 16 යානයෙන් 1972 අප්‍රේල් 21 වැනි දින ද, ඇපලෝ 17 යානයෙන් 1972 දෙසැම්බර් 11 වැනි දින ද වශයෙන් වරකට දෙදෙනෙකු බැගින් තවත් 10 දෙනෙකු හඳ මත පා තබා ඇත.
එහෙත්, තවමත් මිනිසා හඳ මත පා තැබීම පිළිනොගන්නා අය ලොව පුරාම සිටිති. ලංකාවේද මෙය පිළිනොගන්නා අය අතර විශ්වවිද්‍යාල කතිකාචාර්යවරුන්ද සිටින බව මෙයට සති කීපයකට පෙර ජාතික රූපවාහිනී නාළිකාව මගින් ප්‍රචාරය කළ ‘යථාරූප’ වැඩසටහනින් පැහැදිලි විය.
මේ අන්දමට විද්‍යාඥයන් සාක්ෂි මත පදනම්ව කළ සොයාගැනීම්ද පිළිනොගන්නා අය අතර උගතුන් ලෙස සම්මත අය ද සිටිති. නිදසුන් වශයෙන් ලෝකය ගෝලාකාර වස්තුවක් බව පිළිනොගන්නා ඇමෙරිකාවේ අය ලෝකය පැතැලිය යන තේරුම ඇති ‘ෆ්ලැට් අර්ත්’ (Flat Earth) යන නම ඇති සංවිධානයක් පිහිටුවාගෙන ඇත. ඉතාමත් ආදි කාලයේදී බොහෝ මිනිස් සංස්කෘතිවල විශ්වාසය වූයේ ලෝකය පැතැලි බවය. ලෝකය ගෝලාකාර බව මුලින්ම සඳහන් කර ඇත්තේ, ක්‍රිස්තු පූර්ව 8 වැනි සියවසේදී පමණ ග්‍රිසියේ දාර්ශනිකයන් විසිනි. ක්‍රිස්තු පූර්ව 330දී පමණ ලෝකය ගෝලාකාර බවට ඇරිස්ටෝටල් විසින් සාක්ෂි ඉදිරිපත් කරන ලද අතර, මෙතෙක් ඉදිරිපත් වී ඇති විවිධ සාක්ෂි ප්‍රමාණය අති මහත්ය. එහෙත්, ‘ෆ්ලැට් අර්ත්’ සංවිධානයේ අය එම සාක්ෂි පිළිනොගනිති.
සෞරග්‍රහ මණ්ඩලයේ සූර්යයා කේන්ද්‍රය බවද, පෘථීවිය සහ අනෙකුත් ග්‍රහයන් එය වටා ගමන් කරන බවද දැක්වෙන ‘සූර්යකේන්ද්‍රවාදය’ පිළිනොගෙන විශ්වයේ කේන්ද්‍රය පෘථීවිය බවද, එය වටා සූර්යයාද, චන්ද්‍රයාද, අනෙක් ග්‍රහයන්ද, තාරුකාද ගමන් කරන බව දැක්වෙන ‘පෘථීවි කේන්ද්‍රවාදය’ පිළිගන්නා අය සැලැකිය යුතු සංඛ්‍යාවක් සෑම රටකම සිටිති. මෙම අයගේ ප්‍රතිශතය ඇමෙරිකාවේ ජනයා අතර සියයට 26ක් බවද, බි්‍රතාන්‍යයේ ජනයා අතර සියයට 20ක් බවද 2014දී සිදු කරන ලද සමීක්ෂණයකින් සොයාගෙන ඇත.
මුලින්ම සූර්යකේන්ද්‍රවාදය ඉදිරිපත් කර ඇත්තේ, ග්‍රිසියේ ඇරිස්ටාකස් විසින් ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවසේදීය. මෙම මතය සඳහා ජ්‍යාමිතික සහ ගණිතමය ආකෘතිය ඉදිරිපත් කරන ලද්දේ 1500දී නිකොලස් කොපර්නිකස් විසිනි. මෙය කෙප්ලර් විසින් තවදුරටත් දියුණු කර ඇත. ගැලීලියෝ විසින් දුරේක්ෂය භාවිත කර ලබා ගත් නිරීක්ෂණ මත කොපර්නිකස්ගේ මතය තහවුරු කළේය මේ මතය ඉදිරිපත් කිරීම නිසා ගැලීලියෝට ජීවිතාන්තය දක්වා සිරභාරයේ සිටීමට සිදු විය. එයට පෙර ක්‍රිස්තු වර්ෂ 1600දී ඉතාලි ජාතික බෘෘනෝ නමැති දාර්ශනිකයා විසින් කොපර්නිකස්ගේ සූර්ය කේන්ද්‍රවාදය නිවැරදි බව ප්‍රකාශ කිරීම නිසා අවුරුදු අටක සිරදඩුවමක් ලැබූ කාලයේ පවා තම මතය වෙනස් නොකිරීම නිසා කතෝලික පල්ලියේ බලධාරීන් විසින් ඔහු ප්‍රසිද්ධ ස්ථානයකදී පණපිටින් පුළුස්සා මරා දමන ලදී. 1889දී ඔහු පුළුස්සා මරා දමන ලද ස්ථානයේදීම ඔහුගේ පිළිරුවක් ඉදි කර ඇත.
1831 සිට අවුරුදු පහක කාලයක් එච්. එම්. එස්. බීගල් (H.M.S. Beagle) නමැති නැවෙන් ලොව පුරා බොහෝ රටවල සංචාරය කළ චාල්ස් ඩාවින්ට එම චාරිකාවේදී දක්නට ලැබුණු සත්ත්ව සහ ශාක විවිධත්වයද, ඔහු විසින් එකතු කර ගන්නා ලද පාෂාණභූත සතුන් සහ ශාක ද නිරීක්ෂණය කළ ඔහු සතුන්ගේ සහ ශාකවල විවිධත්වයට හේතුව පැහැදිලි කිරීමට 1859දී ‘ඔරිජින් ඔෆ් ස්පීසීස්’ (Origin of Species) නමැති ග්‍රන්ථය මගින් පරිණාමවාදය ඉදිරිපත් කරන ලදී. පරිණාමය අද ප්‍රත්‍යක්ෂයක් ලෙස විද්‍යාඥයන් විසින් පිළිගනු ලැබ ඇතත්, ඇමෙරිකාවේ ජනගහනයෙන් සියයට 46ක්ද, බ්‍රිතාන්‍යයේ ජනගහනයෙන් සියයට 50ක්ද පිළිගන්නේ පරිණාමය නොව සතුන් හා ශාක දෙවියන් වහන්සේ විසින් මවා ඇති බවය.
ඉහත සඳහන් ඉතිහාසය අනුව මිනිසා සඳ මත පා තබා ඇති බව පිළිනොගන්නා අය අප රටේ පමණක් නොව තාක්ෂණය අතින් ඉතා දියුණු ඇමෙරිකාව සහ බි්‍රතාන්‍යය වැනි රටවල පවා සිටීම ගැන පුදුම විය යුතු නැත. එහෙත්, සද’ මත මිනිසා පා තබා ඇති බවට අද අපට ඇති සාක්ෂි මොනවා දැයි බලමු.
ඇපලෝ 11, 14 සහ 15 යන යානාවලින් ගොස් හඳ මත පා තැබූ අය එම ස්ථානවල ලේසර් කිරණ පරාවර්තනය කළ හැකි උපකරණ තැන්පත් කර ඇත. මෙම උපකරණයකට පෘථීවියේ සිට ලේසර් කිරණයක් යැවූ විට එය නැවත පෘථීවියට පරාවර්තනය වේ. ලේසර් කිරණ හඳේ වෙනත් තැනකට පෘථීවියේ සිට යැවූ විට පරාවර්තනය වී ලැබ‍ෙන්නේ පැහැදිලි ආලෝක ලපයක් නොව අපහැදිලි ලපයකි. අදාළ ලේසර් කිරණ තාක්ෂණය සහ දුරේක්ෂයක් ඇති ඕනෑම අයකුට මෙය පරීක්ෂා කළ හැකිය. පෘථීවිය මත දී නිපදවා ඇති එම උපකරණ ඇපලෝ චාරිකා මගින් තැන්පත් කරන ලදැයි ප්‍රකාශ වූ ස්ථානවල එම උපකරණ පවතින බව මෙයින් සනාථ වේ.
තවද, 2009දී හඳ වටා යවන ලද චන්ද්‍රිකාව මගින් සඳ මත පා තැබූ ස්ථානවල ඡායාරූප එවා ඇත. මෙම ඡායාරූපවල හඳට බස්සවන ලද යානා කොටස් පමණක් නොව හඳගාමීන් හඳ මත ගමන් කළ විට හඳ මත සටහන් වූ අඩි පාරවල් ද දක්නට ලැබේ.
ඇපලෝ 11, 12, 14, 15, 16 සහ 17 යන චාරිකා හයේදීම සඳ මතින් එකතු කර ගත් හඳේ පාෂාණ සහ පස් කිලෝ ග්‍රෑම් 382 අතුරින් කිලෝ ග්‍රෑම් 10ක් පමණ නාසා ආයතනය මගින් ද, නාසා ආයතනයට සම්බන්ධකමක් නැති පර්යේෂණ ආයතන විසින්ද පර්යේෂණවලට භාජනය කර ඇත. ඒවා මගින් එම පාෂාණ හඳේ පාෂාණ බවට ඔප්පු වී ඇත. එයට එක් සාක්ෂියක් නම්, එම පාෂාණවල වයස අවුරුදු බිලියන 4.5ක් තරම් වන අතර, පෘථීවියෙන් ලබාගෙන ඇති පරණම පාෂාණවල වයස අවුරුදු බිලියන 3.8ත් 4.3ත් අතර පවතී. හඳේ පාෂාණ පෘථීවියේ ඇති පැරණිම පාෂාණවලට අවුරුදු මිලියන 200ක් පමණ පැරණිය. තවද, සෝවියට් රුසියාව විසින් හඳට යැවූ යානාවලින් ගෙන්වා ගත් හඳේ පාෂාණවල සංයුතිය ඇපලෝ චාරිකාවලින් ගෙනා පාෂාණවල සංයුතියට සමාන වී ඇත.
විස්මය නම්, සාක්ෂි හා තර්කනය මත පදනම් වූ විද්‍යාත්මක සිද්ධාන්තද, සිදුවීම්ද පිළිනොගන්නා අය කිසිම නිරීක්ෂණයක් හෝ කරුණක් හෝ මත පදනම් නොවූ විවිධ ආගමික විශ්වාසද, භූතයන්, දෙවියන්, ප්‍රේතයන්, කුම්භාණ්ඩයන්, අසුරයන් වැනි අය ගැන ද, අණවින, කොඩිවින, විශ්ව ශක්තිය වැනි බල ගැනද, ‘ෆෙන්සුයි’ සහ ජ්‍යොතිෂ්‍යය වැනි දේ ගැන ද, බ‍ෙලි කටුවල සියලු සම්පත් ලබා දෙන ලක්ෂ්මී දෙවඟන වාසය කරන බවද ආදී මිථ්‍යා විශ්වාසද හිසමුදුනින් පිළිගැනීමය. විද්‍යාත්මක මත සහ කරුණු අවබෝධ කර ගැනීමට දැනුමට අතිරේක වශයෙන් විචාර බුද්ධියද අවශ්‍ය බව පෙනේ.


ඒ. ඩී. ගුණසේකර
හිටපු අධ්‍යක්ෂ
පශ්චාත් උපාධි ගුරු අධ්‍යාපන
දෙපාර්තමේන්තුව
ජාතික අධ්‍යාපන ආයතනය