රනිල්ට වෙනසක් නෑ ලූ !

මානව හිමිකම්
මානව හිමිකම් උඩ දැමීමේ දේශපාලන සූදුව
April 3, 2018
000
අපරාධවලට පොලිසිය බිලි වෙයි
April 3, 2018
Show all

රනිල්ට වෙනසක් නෑ ලූ !

chandrika-ranil-mythree-400-seithy-news

බක් මාසය යනු ‘භාග්‍යවත් වූ මාසය’ යනුවෙන් නම් කෙරී ඇත්තේය. මාස් කන්නයේ අස්වනු කපා ගෙට ගෙන අමතරව බත බුලතින් සරු වී අටුකොටු පිරී තිබීම නිසා පොදු ජනතාවට භාග්‍යවත් වූ මාසයක් බව පැරැන්නන්ගේ්
පිළිගැනීම වී තිබුණේය. ඒ කතා අතීතකාමීන්ට නම්, කිසියම් ආශ්වාදයක් ගෙන දෙන කතා වී තිබ‍ෙන්නේය. නමුත්, වර්තමානයේ පොදු ජනයාට එසේ වී නැත්තේය. පොදු ජනයාට එසේ නොවුවද, බක් මාසයේ ‘කරල පැහී තිබ‍ෙන’ පිරිසක් මහජන නියෝජිතයන් වශයෙන් සිටින්නෝය. ඒ පිරිසගේ කරල පැහී තිබ‍ෙන්නේ අනෙක් බක් මාසවලට වඩා සුවිශේෂී හේතුවක් නිසා වන්නේය. ගම් මට්ටමේ පුංචි ආණ්ඩු පිහිටු වීමේදී රුපියල් ලක්ෂ දහයේ සිට කෝටිය දක්වා මුදලකට මහජන නියෝජිතයන් විකිණෙන බව හෙළි වී ඇත්තේය. මේ විශ්වාස භංගයේදී අවම ලන්සුව තැබ‍ෙන්නේ කෝටි කීයකට දැයි හෙළි නොවන්නේය. වාහන ස්වීප් ඇදෙන්නේ කෝටි කීයකින් උඩදැයි මේ දක්වා හෙළි නොවන්නේය. දේශපාලනය අන්ත දූෂිත ජඩ ජාවාරමක් වූ රටක තත්ත්වය මෙසේ වන්නේය.

වීරවංසට ඉබ්බා වැටීම

විශ්වාස භංගයේදී ස්වීප් ඇදීම ගැන කතාව මුලින්ම එළියට පැන්නේ වීරවංසගෙන් බව හෙළි වන්නේය. රාජපක්ෂ පවුල් පාලන සමයේ ස්වීප් ඇදුණු අංක එකේ පුද්ගලයා වීරවංස වන්නේය. ස්වීප් ඇදීම කෙතරම් වූයේද යත්, වයස අඩු වීම දක්වා උප්පැන්නය වෙනස් වී තිබුණේය. පාස්පෝට් කීපයක් හිමිවීමට තරම් වී තිබුණේය. වීරවංසට පමණක් නොව ඇඹේණියටද ඒ වරම ලැබීමට තරම් භාග්‍යවන්ත වූ කාලයක් ඒ අවධියේදී තිබුණේය. මෙසේ වූ වීරවංස විශ්වාස භංග යෝජනාව කතානායකවරයාට භාර දීමේදී කළ කතාවකින් ඉල්ලං කා තිබුණු බව වාර්තා වන්නේය. මහින්ද පෙරටු කර ගත් පිරිස පාර්ලිමේන්තුවේ කතානායක නිල කාමරයට ගොස් සුබ මොහොතින් යෝජනාව භාර දෙන ගමන් ‘කතානායකතුමනි, මේක ඔබතුමාට ස්වීප් එකක් වෙන්නත් පුළුවන්…’ යනුවෙන් වීරවංස කියා ඇත්තේය. එයට ක්ෂණිකව ප්‍රතිචාර දැක් වූ කතානායකවරයා ‘මම ස්වීප් ගන්නේ නෑ… මාව ඕවාට පටලවා ගන්නත් එපා.’ යනුවෙන් ප්‍රකාශ කර ඇත්තේය. එදා සිට මේ සටහන තබන මොහොත දක්වා වීරවංසගේ කටට ඉබ්බා වැටී තිබ‍ෙන්නේය.

ගෝඨාගේ ලේ මාපිලා

වීරවංසගේ කටට ඉබ්බා වැටී තිබුණ ද, ඔහු මේ වන විට තෝරාගෙන සිටින රාජපක්ෂ පවුලේ ගැලවුම්කාරයා නම්, බරපතළ ලෙස කට ඇරීමට පටන්ගෙන තිබ‍ෙන්නේය. වීරවංසගේ මීළඟ ගැලවුම්කාරයා හැටියට තෝරාගෙන සිටින්නේ ගෝඨා වන්නේය. ගෝඨා රජ කරවා වීරවංස යුවරජු වීමට බලාගෙන සිටින බව හෙළි වන්නේය. මේ අරමුණ ඇතිවම දැන් වීරවංස මහින්ද පවුලේ ලොකු පුතාකමෙන් ඉවත් වී සිටින්නේය. ම් අතර වීරවංසගේ ඊළඟ ‘රජු’ මේ සතිය ආරම්භයේදී අධිකරණ භූමියේදී මාධ්‍යයට විශේෂ කතාවක් කියා තිබුණේය. ‘මීළඟ ජනාධිපතිවරණයට රාජපක්ෂ පවුලේ කෙනෙකු මාපිලාගෙන් හරි තරග කර දිනන්න ඕනෑ’ කියාය. ප්‍රකාශයේ තිබ‍ෙන ගැඹුර ඉතාම පැහැදිලි එකක්ය. මාපිලා යනු මාරාන්තික උග්‍ර විෂ සහිත සර්පයෙකු බව සාමාන්‍ය ජනතාවගේ විශ්වාසය වන්නේය. ඔවුන්ගේ මතයට අනුව ලේ මාපිලා අතිශය භයානක බව කියවෙන්නේය. ඌ කරන්නේ මිනිසුන් නින්දට ගිය පසු ලේ උරා බීම බව කියවෙන්නේය.

රංජිත් දැන් තනිවම

භාග්‍යවන්ත වූ මාසයේදී කරල පැහී ඇත්තේ, රනිල්ගේ පක්ෂයේ උදවියට පමණක් නොවන්නේය. ඊට අමතර බොහෝ දෙනෙකුගේ ද කරල පැහී ඇත්තේය. නැතිනම්, ඉදිරියේදී ලොකු අස්වැන්නක් බලාපොරොත්තුවෙන් මේ තීරණාත්මක මොහොතේදී වපුරා ඇත්තේය. නිදර්ශනයක් ලෙස ඩලස් මෙයට මැදිහත් වී සිටින්නේ ඉදිරියේදී ලොකුම අස්වැන්නක් නෙළීමට වන්නේය. ඒ සඳහා රනිල් දිගටම අගමැති ධුරයේ රැඳී සිටිය යුතු බව කල්පනා කරමින්, තීන්දු තීරණ ගෙන සිටින්නේය. ඔහු පමණක් නොව ඒ පිටුපස රාජපක්ෂ පවුලේ ප්‍රබලයන්ද සිටින්නේය. රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද ආදීන් ක්‍රියා කරමින් සිටින්නේ තමන්ගේ නඩු-හබවලින් බේරීමට වන්නේය. මේ සියලු දෙනා අතරේ අවංක දේශපාලන වුවමනාවකින් විශ්වාස භංගය කරටගෙන සිටින්නේ රංජිත් සොයිසා පමණක් බව හෙළි වන්නේය. නමුත්, එසේවූ අවංකයන් දැන් දැන් කල්පනා කරන්නේ මහින්ද සහ නාමල්ගේ ඡන්ද පවා අවිනිශ්චිත බව වන්නේය. විවෘත ඡන්ද විමසීමක් නිසා යෝජනාවට පක්ෂව පෙනී සිටිය ද, යටින් යන ‘ඩලස් වසන්තය’ මෙහෙයුම නිසා තදබල පරස්පරයක් තිබ‍ෙන බව හෙළි වන්නේය.

චමල් කලකිරීමෙන්

මේ බක් මාසයෙන් ඇරඹෙන දේශපාලන කාලපරිච්ඡේදය ගැන හෘදය සාක්ෂිය අවමයෙන් හෝ තිබ‍ෙන යූඑන්පී, ශ්‍රී ලංකා කිසිම කෙනෙකුට සුබදායක නොවන බව කල් තියාම තේරුම් ගනිමින් සිටින බව හෙළි වන්නේය. මේ අතර පෙරමුණේම සිටින්නේ මහින්දගේ වැඩිහිටි සහෝදරයා වන චමල් රාජපක්ෂය. ඔහු මේ වන විට දැඩි නිහඩතාවයක සිටින අතර, ජීවිතයේ බරපතළම කලකිරීමට පත්ව සිටින්නේ යැයි සමීපතමයන්ගෙන් හෙළි වන්නේය. රජ වීමේ බලාපොරොත්තුවක් නොතිබුණු චමල්ට රටට වැඩක් කිරීමේ හීනයක් තිබූ බව කියවෙන්නේය. එහෙත්, මහින්ද පාලන සමයේ කතානායක පුටුවට අලවා තැබීමෙන් ඒ කිසිවක් කිරීමට ඉඩ නොදී දැන් ගෙන යන දේශපාලන ඩීල් ගැන ද අන්තයටම කලකිරී සිටින බව හෙළි වන්නේය. කොහොම වුණත්, මේ දිනවල රාජපක්ෂ පවුලේ දේශපාලන කටයුතු ගැන චමල් සම්පූර්ණයෙන්ම කලකිරීමට පත්ව සිටින බව හෙළි වන්නේය. විශ්වාස භංගයේදී එය ඉහළටම නැග ඇත්තේය.

රනිල්ට වෙනසක් නෑ

මේ දේශපාලනය සම්බන්ධයෙන් චමල් කලකිරී පැත්තකට වී සිටිය ද, රනිල්ගේ කලකිරීම ගේම ඉල්ලීමක් දක්වා ගොස් තිබ‍ෙන බව හෙළි වන්නේය. ඒ දක්වා යාමට හේතු වී ඇත්තේ තමන්ගේ රැකවරණය ඕනෑ වෙලාවට මෛත්‍රීත්, මහින්දත් දෙදෙනාම ඉදිරිපත් වී පසුව ඉනිමඟට පයින් ගැසීමේ ප්‍රතිපත්තිය නිසා බව කියවෙන්නේය.
රනිල්ට විරුද්ධ විශ්වාස භංග යෝජනාව කතානායකවරයාට භාර දුන් 21 වැනිදා රනිල් සිටියේ තරමක නොසන්සුන්කමකින් බව හෙළි වන්නේය. මෙයට මුහුණදීම පිිළිබඳව හවුල් ආණ්ඩුවේ සියලූම පාර්ශ්ව මුණගැසී
සාකච්ඡා කිරීමට 22 වැනිදා යොදාගෙන තිබුණේය. සති අන්තයේ ඉංග්‍රීසි පුවත්පතක තොරතුරු සොයන්නෙක් රනිල්ට කෙළින්ම කතා කර විශ්වාස භංගයේදී සිදු වන්නේ කුමක් දැයි විමසා තිබුණේය. රනිල්ගේ උත්තරය වී තිබුණේ, ‘කැපෙනවා නම්, මෛත්‍රීගෙන් කැපුණත් එකයි, මහින්දගෙන් කැපුණත් එකයි. ඒකෙ වෙනසක් නෑ.’  යන්නය. මහජන වරමට පයින් ගසා වැඩිදුරක් යන්නට බැරි බව වර්තමාන දේශපාලනය මගින් තහවුරු කෙරෙමින් තිබ‍ෙන්නේය. එදා ජ‍ෙ.ආර්.ට හෝ පසුව චන්ද්‍රිකාට, මහින්දට තරම් හයියක් නොමැති බව තහවුරු කෙරෙමින් තිඛෙන්නේය. දේශපාලන අස්ථාවර බව ගැන විතරක් කල්පනා කරන්නන් ජනතාවගේ බලය මේ ආකාරයට ස්ථාවර වන බව නොදකින්නේය.

මෛත්‍රීගේ චන්ද්‍රසිරි

ජනවරමට පයින් ගසා මහින්දගේ අඩි පාරේ යාමට ගිය මෛත්‍රී දැන් හැම පැත්තෙන්ම ඇනගෙන සිටින්නේය. පළාත් පාලන මැතිවරණය ආසන්නයේදී මහින්දගෙන් ඩැහැ ගත් පිරිස දැන් ලොකු ඇණයක් වී තිබ‍ෙන බව හෙළි වන්නේය. ලොකු ඇමතිකමක් බලාපොරොත්තුවෙන් මෛත්‍රීට එක් වූ වීරකුමාර දැන් සම්පූර්ණයෙන්ම අවුල් හදාගෙන ඇත්තේය. අවුල් හදා ගැනීමට පෙර ජපානය බලා ගෙන ගිය පියසිරි සහ චන්ද්‍රසිරි නිසා දැන් දැන් තවත් බොහෝ පිරිසක් විරසකකම් හදාගෙන ඇති බව හෙළි වන්නේය. මේ දෙදෙනා මෛත්‍රීගේ දූත පිරිසට එක් කරගෙන ඇත්තේ, අනෙක් හැමෝටම රහසේය. හොරය හෙළි වීමෙන් ඇති වී තිබ‍ෙන්නේ බරපතළ ප්‍රශ්න ගොඩක් බව කියවෙන්නේය. මෙය පදනම් කරගෙන දැන් හොර රහසේ මෛත්‍රීට විවේචන හැදෙමින් තිබ‍ෙන බව කියවෙන්නේය. මෛත්‍රී සමඟ ජපානයට ගිය කණ්ඩායම දැන් ‘කිරිපණු’ යනුවෙන් හැඳින්වෙන බව හෙළි වන්නේය. මෙයට හේතු වී ඇත්තේ ජපාන ආයෝජකයන්ගේ හමුවකට මෛත්‍රී සමඟ එක් වී සිටි සෝමවීර චන්ද්‍රසිරි පෙළෙමින් සිටි බරපතළ අපහසුතාවයක් බව කියවෙන්නේය. චන්ද්‍රසිරිට නිතරම පස්ස කැසීමේ තත්ත්වයක් උදා වී තිබී ඇත්තේය. මේ නිසා ‘කිරිපණු’ යන අන්වර්ථ නාමය හැදී ඇති බව හෙළි වන්නේය. චන්ද්‍රසිරිට එය කෙටි කාලයකට ඇති වී තිබූ තත්ත්වයක් විය හැකිය. ජනවරමට මුල සිටම පයින් ගැසූ මෛත්‍රීට ජීවිත කාලය පුරාම පස්ස කසමින් සිටීමට සිදු වුවහොත්, එය කෙතරම් ඛේදයක් වනු ඇත් දැයි කල්පනා කිරීම වැදගත් වනු ඇත්තේය.

විශ්වාස භංගය ගේම් එකක්

අගමැතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාස භංගය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම විශේෂ සාකච්ඡාවක් පසුගිය සතියේදී පැවැත්වීය. ජවිපෙ නායක සහ ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේද නායකයා වන අනුර දිසානායක මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.
‘දැන් රටේ වෙන කිසි දෙයක් ගැන නෙවෙයි කතා වෙන්නේ විශ්වාස භංගය ගැන. හැමදෙනාගෙම අවධානය මේකට හැරිලා. නමුත්, ඒකෙන් ජනතාවට වෙන සෙතක් නම් නැහැ. මේක මහින්දලා, මෛත්‍රීලා එකතු වෙලා ගහපු ගේම් එකක් විදියට තමයි පේන්න තියෙන්නේ’ විජිත හේරත් කීවේය. ‘ඒකාබද්ධ විපක්ෂයෙන් මේක ගේනවා කිව්වට ඇත්තටම වුවමනාව තිබුණේ වෙන කණ්ඩායමකටයි. මේ අත්සන් ඇතුළේ පේන්න නොතිබුණාට මෛත්‍රීපාල ජනාධිපතිගෙත් අත්සන තියෙනවා. මැතිවරණය කාලෙත් ජනාධිපතිතුමා එජාපයට ගැහැව්වා. රාජපක්ෂ කණ්ඩායම එක්ක ආණ්ඩුවක් හදන්න වුවමනාව දිගටම තිබුණේ එතුමාට. ඒකයි පහුගිය කාලේ හොරු ආරක්ෂා කළේ.’ බිමල් රත්නායක කීවේය. ‘ඒ කොහොම වුණත් අපේ තීරණය ගැන තමයි ගොඩක් අය අවධානෙන් ඉන්නේ. මේකට අපි සහාය දෙන්න ඕනෑ. මේකේ කරුණු 14ක් වුණාට ඇත්තටම තියෙන්නේ කරුණු දෙකයි. බැඳුම්කර ගනුදෙනුවයි, මහනුවර දිගන ජාතිවාදී ප්‍රශ්නයයි. නමුත්, මේකට ඇතුළු වෙන්න ඕනෑ කරුණු ගණනාවක් තියෙනවා. මේ රටේ ආර්ථීකය තිබුණ තැනින් තවත් කඩාවැට්ටුවා. සම්පූර්ණයෙන් අලූත් හොරු, පරණ හොරු දෙගොල්ලම ආරක්ෂා කළා. රටේ ආර්ථීක සම්පත් විකුණලා දානවා. මේවත් ඇතුළු වෙන්න ඕනෑ. පාර්ලිමේන්තුවේ විවාදය දවසේ මේ දේවල් ජනතාවට දැනගන්න අපි කියන්න ඕනෑ’ අනුර දිසානායක කීවේය.
‘මහින්ද රාජපක්ෂ විශ්වාස භංගයට අත්සන් කළේ නැහැ. හැමදාමත් රනිල් ආරක්ෂා කරන ස්ථාවරයක තමයි මහින්ද ඉන්නේ. අයවැයට විරුද්ධව ඡන්දෙ දෙන්නේ නැහැ. රනිල් ගෙදර යවන්න ඇත්ත වුවමනාවක් මහින්දට නැහැ. විශ්වාස භංගය අත්සන් කරලා භාර දුන්නට විවාදයට ගන්න ඒකාබද්ධෙ කණ්ඩායමට ඇත්ත වුවමනාවක් තිබුණෙත් නැහැ. අවුරුද්දෙන් පස්සට ගන්න පුළුවන් වෙයි කියලා තමයි දිනේෂ්ලා හිතුවේ. කොහොම වුණත්, අපිට මේ කණ්ඩායම් දෙකේම පැටිකිරිය රටට කියන්න හොඳ අවස්ථාවක් උදා වෙලා තියෙනවා.’ බිමල් රත්නායක කීවේය.
‘මහ බැංකුව මුදල් අමාත්‍යාංශයට පවරන්න හදනවා. මේකත් මේ දේශපාලන ගේම් එකේම කොටසක්. මහ බංකුව මුදල් අමාත්‍යාංශයෙන් ගලවලා රනිල්ට භාර දුන්නෙත් ජනාධිපතිවරයයි. බැඳුම්කර ගනුදෙනුව සිදු වුණාට පස්සෙ කඩිනමින් කරන්න තිබුණේ මහ බැංකුව රනිල්ගෙන් ඉවත් කරන එක. නමුත් ඒක කළේ නැහැ. අවුරුදු 03ක් යනකම්. දැන් මේ විශ්වාස භංගය නිසා ඒක පවරා ගන්නවා. මේවා තමයි දේශපාලන විහිළු’ විජිත හේරත් කීවේය.

20 ගැන සංවාදයක්…

ජනතා විමුක්ති පෙරමුණ විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කිරීමට සූදානම් වන විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ 20වැනි සංශෝධනය මේ වන විට කෙටුම්පත් කරමින් තිබේ. ජවිපෙ නායකයන්ගේ මැදිහත් වීමෙන් නීතිඥ කණ්ඩායමක් වෙත මෙම කෙටුම්පත සකස් කිරීමට භාර දී තිබේ. මේ සම්බන්ධයෙන් මේ දිනවල විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, නීතිඥයන් ඇතුළු විද්වතුන් සමඟ පුළුල් සංවාදයක් ආරම්භ කොට ඇත. ජනාධිපතිවරයාගේ බලතල පාර්ලිමේන්තුවට, කොමිෂන් සභාවලට පැවරීම සම්බන්ධයෙන්, පළාත් සභාවල ආණ්ඩුකාරවරුන්ගේ බලතල සම්බන්ධයෙන්, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමෙන් අනතුරුව ඇති වන අන්තර් කාලය සම්බන්ධයෙන් ආදී විවිධ කරුණු පිළිබඳව සංවාදයක් සිදු වෙමින් තිබේ. කෙටුම්පත සකස් කිරීමෙන් අනතුරුව, ආගමික නායකයන්, දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන හමු වී සාකච්ඡා කිරීමට ජවිපෙ සූදානමින් සිටියි.

සහාය ඉල්ලා ජවිපෙට ඇමතුම්…

මේ දිනවල රට පුරා ප්‍රාදේශීය සභාවල, නගර සභාවල සහ මහ නගර සභාවල බලය පිහිටුවීමේ තරගයක් ඇති වී තිබේ. මෙහිදී පත් වී සිටින මන්ත්‍රීවරුන්ගෙන් ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඉතාම තීරණාත්මක සාධකයක් වී ඇත. මේ හේතුවෙන් පොදුජන පෙරමුණේ, ශ්‍රීලනිපයේ සහ එක්සත් ජාතික පක්ෂයේ විවිධ මට්ටම්වල නායකයන් ජවිපෙ නායකයන්ට දුරකථන ඇමතුම් ලබා දෙමින් සභාවල ප්‍රධානියා පත් කර ගැනීමට සහාය ඉල්ලමින් තිබේ. ඇතැම් ආයතනවල ගුටිකෙළි ද, ඇතැම් ආයතන තුළ අල්ලස් දීම් ද, තවත් ආයතන තුළ දේශපාලන ඩීල් ද සිදු වෙමින් තිබේ. ‘ඔබතුමාලාගේ උඩ නායකයෝ විශ්වාස භංග ගෙනත් අගමැතිකම් වෙනස් කර ගන්න හදනවා. නමුත් සභාවල ඩීල් ගහලා එකතු වෙලා සභාපතිකම් ගන්නවා. අපි තීරණයක් අරගෙන තියෙන්නේ මේ දේශපාලන ඩීල්වලට අපේ සහාය දෙන්නේ නැහැ කියලා. අපේ මන්ත්‍රීවරුන් විපක්ෂයේ ඉඳගෙන ජනතාවට විය යුතු වගකීම් ඉෂ්ට කරනවා. මොන සභාපතිවරයා පත්වුණත් අපිට වැඩක් නැහැ.’ සහාය ඉල්ලා ලැබුණු දුරකථන ඇමතුමකට පිළිතුරු දෙමින්, සුනිල් හඳුන්නෙත්ති කීවේය. ‘ජනතාවටත් වෙන්නේ මොකක්ද කියලා දැන් හොඳට තේරෙනවා ඇති. ඛෙදිලා ඡන්දේ ඉල්ලුවාට, දැන් සභාවල ඉන්නේ එකට. තමන්ගේ පුටුව බේරා ගන්න සල්ලි වියදම් කරනවා. මේ එන්නේ ජනතාවට සේවය කරන්න නෙවෙයි නේ. ඒ නිසා අපි අලුත් හොරුන්ටවත්, පරණ හොරුන්ටවත් සහාය දෙන්නේ නැහැ.’ මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු කළ විමසීමකට ප්‍රචාරක ලේකම් විජිත හේරත් පිළිතුරු දෙමින් කීවේය.

ගමේ වැඩ ගැන සාකච්ඡාවක

ජනතා විමුක්ති පෙරමුණේ පළාත් පාලන අපේක්ෂකයන් සහභාගී වූ විශේෂ රැස්වීම් මාලාවක් දිස්ත්‍රික් මට්ටමින් පසුගිය 24 වෙනිදා සහ 25 වෙනිදා පක්ෂයේ නායකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. එහිදී පක්ෂ නායකයෝ වර්තමාන දේශපාලන තත්ත්වය සහ පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ඔවුන් දැනුම්වත් කිරීමක් කළහ. අනතුරුව කොට්ඨාස මට්ටමින් පළාත් පාලන ආයතන මට්ටමින් ගමට සේවය කළ හැකි ආකාරයත්, පක්ෂයේ සංවිධාන කටයුතු ඉදිරියට ගැනීම පිළිබඳවත් යෝජනා අදහස් සාකච්ඡා කරන ලදී. පක්ෂයට ලැබී තිබ‍ෙන පළාත් පාලන ආයතන මන්ත්‍රී ධුරවලින් ගමට උපරිම ප්‍රතිලාභ ලැබ‍ෙන ආකාරයෙන් සේවය සැලසීම පිළිබඳවත්, අනෙකුත් අපේක්ෂකයන් මන්ත්‍රීවරුන් සමඟ සම්බන්ධීකරණයෙන් ප්‍රදේශයේ පවතින ගැටලු පළාත් පාලන ආයතනයේ අවධානයට යොමු කිරීම සහ ගමේ විවිධ සංවිධාන මගින් ගමට ලැබිය යුතු සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව සොයා බැලීම පිළිබඳවත්, කොන්ත්‍රාත් ලබා දීමේ දී  එම මුදල් නිසි පරිදි සංවර්ධන කටයුතුවල යෙදවෙනවාද යන්න පිළිබඳවත් සොයාබැලීමට කටයුතු කළ යුතු බවට මෙම සාකච්ඡාවලදී යෝජනා සහ අදහස් ඉදිරිපත් විය.