’71’ අභිමානවත් පරපුරක මතකය

Untitled-1
දිළින්දෝ…
April 3, 2018
130318-iraq-war-anniversary-lisa_e3gxy0
ඉරාක යුද්ධයේ සිට පහළොස් වසරක්
April 3, 2018
Show all

’71’ අභිමානවත් පරපුරක මතකය

අප්‍රේල් විරුසමරුව

අප්‍රේල් 05 ලාංකේය නිර්ධන පංති ව්‍යාපාරයට සුවිශේෂී දිනයකි. එදිනට එළඹෙන්නේ 47 වන අප්‍රේල් විරු සමරුවයි. ලාංකේය නිර්ධන පංති ව්‍යාපාරය ධනපති මර්දනයට එරෙහිව නැගීසිටිමින් පෙන්වූ වීරත්වය එහි සුවිශේෂත්වයයි. විවිධ අය ඒ පිළිබඳව විවිධ අර්ථකථනයන් හා විග්‍රහයන් කළද ඒවා වැඩි ප්‍රමාණයක පවතින්නේ ප්‍රතිගාමී අරමුණුය. එනිසා ලාංකිය නිර්ධන පංතිය පංති අර්ථයෙන් නැගීසිටි ප්‍රථම වතාව වන මෙම ශ්‍රේෂ්ඨ අප්‍රේල් අරගලයේ වීරයන්, වීරවරියන්ගේ සැබෑ අරමුණට සාධාරණය ඉටුකිරීම මෙම කෙටි සටහන තුළින් බලාපොරොත්තු වෙමු.
1971 අප්‍රේල් 05 වන දින සැබෑවටම සිදු වූයේ හුදෙක් ජනතා නැගිටීමක් රජය විසින් මර්දනය කිරීමක් නොවේ. එකල පැවතියේ ධනේශ්වර ක්‍රමයේ අර්බුදයේ සරල ප්‍රකාශන අවධියයි. අද පවතින තරම් සමාජ, ආර්ථීක අර්බුදය එකල වත්මනට සාපේක්ෂව සංකීර්ණව නොතිබිණ. නමුත් පෙළගැසෙමින් පවතින සමාජ අර්බුදය අනාගතයේ බරපතළ වන බව අවබෝධ කරගන්නට තරම් නව වමක් බිහිකිරීමට උරදුන් 60 දශකයේ විප්ලවවාදි පරපුර දැක්මෙන් පොහොසත් විය. එනිසාම ඔවුන් අරමුණෙන් මෙම ක්‍රමයට එරෙහි නව සමාජයක් උදෙසා කැපවූ අව්‍යාජ විප්ලවවාදීන් විය. ඔවුන් අනාගතයේ සිදුවන නව සමාජයක් උදෙසා වන අරගලයට නිවැරදි නායකත්වයක් සැපයීමට සුදුසු නව වමක් ගොඩ නැගීම අරඹන්නට විය. රෝහණ විජේවීර ඇතුළු සත් දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් සමඟ 1965 මැයි 14 වනදා අක්මීමන දී පැවැත්වූ සාකච්ඡාව එහි මූලික අඩිතාලම විය. ඒ අයුරින් නිර්මාණය වූ ජනතා විමුක්ති පෙරමුණ, ලාංකේය නිර්ධන පංති ව්‍යාපාරයට නායකත්වය සපයන අනාගත ශක්තිමත් කොමියුනිස්ට් පක්ෂයක ‘පක්ෂ පාසල’ ලෙස හඳුවන්වන ලදී. කුඩා පිරිසක් සමඟ රහසිගත අයුරින් ගොඩනැගුණු සංවිධානය පිළිබඳව කොමියුනිස්ට් පක්ෂයේ ‘ඇත්ත’ පුවත්පත විසින් පළ කරන ලද පුවතක් හේතුවෙන් ප්‍රථම වරට හෙළිදරවු විය. එසේම ව්‍යාපාරය තුළ සිටි පාවාදෙන්නන් විසින් ද ඇතැම් තොරතුරු හෙළිදරවු විය. ළඳරු එහෙත් අව්‍යාජ විප්ලවවාදී පක්ෂයක බිහිවීමෙන් ධනපති පංතිය තැති ගන්නා ලදී. ඒ අද දින තමන්ට හෝ තම පංතියට එයින් අනතුරක් වේය කියා නොව, මතු අනාගතයේ ධනේශ්වර පංතියට එරෙහිව නැගී සිටින ප්‍රභලම වාමාංශික සංවිධානය මෙය විය හැකි බවට සැක සිතීමෙනි. අනාගතයේ තම පංතියට පහරක් එල්ල කළ හැකි මෙම සංවිධානය ළපටි අවධියේම මුළිනුපුටා දැමිය යුතු යැයි සිතා ඔවුන් විසින් මෙකී ව්‍යාපාරය තහනම් සංවිධානයක් සේ සලකා එය පිළිබඳ තොරතුරු සෙවීමට 1970 අප්‍රේල් මස දී ‘චේ ගුවේරා බියුරෝව’ විශේෂ රහස් පොලිස් ඒකකයක්ද පිහිටුවන ලදී. තහනමට ලක් වුවත් නිර්ධන පංතියේ අනාගතය වෙනුවෙන් ගොඩ නැගි එය විනාශ වීමට නොදුන් සාමාජිකයන් රහසිගතව වැඩ කරන්නට විය. ඒ හේතුවෙන් පැවති රජය විසින් එහි පක්ෂ සාමාජිකයන් මර්දනය කරන්නට විය. එහෙත් ඔවුන් තම අරමුණ අත්හැරියේ නැත. ඔවුන්ගේ අරමුණ වූයේ තමන්ට පුද්ගලික ප්‍රතිලාභ ලබා ගැනීම නොව අනාගතයේ නිර්ධන පංති සටනට නායකත්වය සැපයීමට සුදුසු පක්ෂය රැකීමයි.
1970 පැවති මැතිවරණයෙන් එජාප ආණ්ඩුව වෙනුවට ශ්‍රීලනිප ප්‍රමුඛ සමගි පෙරමුණු ආණ්ඩුවක් බලයට පත්විය. එහෙත් මර්ධනය වෙනස් වූයේ නැත. එය තවතවත් උත්සන්න විය. අවසන එය අතිබිහිසුණු සංහාරයක් ලෙස පෙරට පැමිණි කල අවිගෙන නැගී සිටීම හැර අන් විකල්පයක් ඔවුන් හමුවේ පැවතියේ නැත. අරගලය පැනනැගුනේ ඒ තත්ත්වය තුළයි. රාජ්‍ය මර්ධනය අධිරාජ්‍යවාදීන්ගේද සහයෙන් ක්‍රියාත්මක වී නැගිටීම ලෙයින් යකඩින් ගින්දරෙන් මර්දනය කරන ලදී. මෙම කෘෘර මර්දනය හමුවේ දොඩන්දූවේ කමල බන්දු වැනි බොහෝ විප්ලවවාදීන් ජීවිතය දෙවැනි කොට පක්ෂය රැකගන්නට වදවේදනාවන් විඳ දරාගෙන තම අමිල ජීවිතය පුදකළේ අනාගත සමාජවාදී සමාජ විප්ලවයේ ජය උදෙසා ළදරු පක්ෂය රැකගන්නටය.
සෑම වසරකම අප්‍රේල් මස 5 වනදා මෙසේ සමරනු ලබන්නේ, අනාගතය වෙනුවෙන් විප්ලවවාදී පක්ෂයක් ගොඩනගා, අනාගතය වෙනුවෙන් එය රැක ගෙන, අනාගතයට එම පක්ෂය පරිත්‍යාග කොට දිවිපිදූ විරුවන් සහ වීරවරියන් පිරිසයි. ඔවුන් විසින් මහත් භක්තියෙන් හා විප්ලවීය ගුණයෙන් යුතුව අනාගත පරපුරට රැක දුන් පක්ෂය ජයග්‍රහණය වෙත රැගෙනයාමේ වගකීම පවතින්නේ නව පරපුර අතය.


දසුන් ගුරුළුපොත